බෞද්ධ සිතුවම් කලාව බටහිරට නැඹුරු කළ සිත්තරා

 ඡායාරූපය:

බෞද්ධ සිතුවම් කලාව බටහිරට නැඹුරු කළ සිත්තරා

19 වෙනි සියවසේ අග භාගය ශ්‍රී ලාංකේය බෞද්ධ සිතුවම් කලාවේ සංක්‍රාන්ති සමයක් විදියටයි බොහෝ දෙනා සලකන්නෙ. ඒකට හේතුව තමයි සියවස් කිහිපයක් තිස්සේ විහාර බිතු සිතුවම් කලාවේ ආධිපත්‍යය හිමි කරගෙන හිටි නුවර යුගයේ සිතුවම් සම්ප්‍රදාය ටිකෙන් ටික පරිහානියට පත් වීම සහ ඒ වෙනුවට යුරෝපීය යථාර්ථවාදී සිතුවම් සම්ප්‍රදාය බෞද්ධ විහාරස්ථානවලට ඇතුළුවීම.

නුවර යුගයේ සිතුවම් ශෛලිය පිරිහෙන්න ප්‍රධානම හේතුවක් වුණේ අධිරාජ්‍යවාදී බලපෑම. මුලින් සඳහන් කරපු යුරෝපීය ස්වාභාවිකවාදී සිතුවම් ශෛලිය මුලින්ම භාවිතා වුණෙත් පල්ලිය හරහා සිද්ධ වුණු ආගමික කටයුතු වෙනුවෙන්.

ඒ ශෛලියේ තිබුණු සුවිශේෂ ලක්ෂණ අතරෙ ත්‍රිමාන බව, යුරෝපීය ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ සහ ඇඳුම් ආයිත්තම් ඇතුළත් වීම, සජීවීව මිනිස් සහ සත්ත්ව රූප නිර්මාණය මෙන්ම කුඩා තොරතුරු පවා ඉදිරිපත් කිරීම වගේ කාරණා දකින්න ලැබෙනවා.

ඒ වගේම නුවර යුගයේ සිතුවම් සම්ප්‍රදායේ භාවිතා වුණු තීරු ඇතුළෙ සිදුවීමෙන් සිදුවීමට කතාව ගලාගෙන යන රටාව වෙනුවට කතාවට අදාළ එක සුවිශේෂී සිදුවීමක් තනි රූපරාමුවක් විදියට ඉදිරිපත් කිරීම තමයි මේ අලුත් සිතුවම් ශෛලිය හරහා සිද්ධ වුණේ. ඒ ක්‍රමයට පොදු ජනතාව අතරෙ වගේම ආගමට, දහමට (ඇතැම් අවස්ථාවල යටත් විජිත පාලකයින්ටත්) ලැදි ප්‍රභූ පන්තියෙත්, ඒ පන්තියේ අනුග්‍රහයෙන් වැඩිදියුණු වුණු විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් අතරෙත් තිබුණෙ දැඩි ප්‍රසාදයක්.

මුල් යුගය සහ කලාවට පිවිසීම

එහෙම පසුබිමක තමයි 1880 ජුනි මාසෙ 25 වෙනිදා අම්බලන්ගොඩදී එම්. සාර්ලිස් සිත්තරා ඉපදෙන්නෙ. පුංචි කාලෙ ඉඳලම සාර්ලිස් දරුවා චිත්‍ර කලාවට දක්වන්නෙ සුවිශේෂ දක්ෂතාවක්. සිංහල, පාලි, සංස්කෘත භාෂාවන්ගෙන් සමන්විත මූලික බෞද්ධ අධ්‍යාපනය අහවර කරන ඔහු එතනින් එහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යන්නෙ විද්‍යොදය පිරිවෙනට.

ඒ වනවිට තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබුණු චිත්‍ර ශිල්පී රිචඩ් හෙන්රිකස් මුණගැහීම තමයි සාර්ලිස් සිත්තරාගෙ ජීවිතේ වෙනස් කරන ප්‍රධානම සිදු වීමක් වෙන්නෙ. එම්. සාර්ලිස් ශිල්පියාට යුරෝපීය ක්‍රිස්තියානි සිතුවම් ආභාෂය වැඩිපුරම ලැබෙන්නෙ රිචඩ් හෙන්රිකස් හරහා.

ඒ ගෙවෙමින් තිබුණෙ පැරණි නුවර යුගයේ සිතුවම් කලාව තරමක් ඒකාකාරී විදියට ගොඩක් අයට දැනෙන්න පටන් අරගෙන තිබුණු කාලයක්. ඒ වෙනුවට අඳුර, එළිය හරහා ගැඹුරක් එකතු කරපු, වඩාත් සජීවී වර්ණ භාවිතයක් සහිත යුරෝපීය ස්වාභාවිකවාදී සිතුවම් ශෛලිය ජනතාව අතරෙ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් තිබුණෙ. රිචඩ් හෙන්රිකස් කියන්නෙ ඒ සිතුවම් ශෛලියට අනුව තමන්ගෙ සිතුවම් නිර්මාණය කරපු ශිල්පියෙක්. සාර්ලිස් සිත්තරාත් මුල් යුගයේ රිචඩ් හෙන්රිකස්ගේ සිතුවම් ශෛලිය දැඩිව අනුකරණය කරපු බවට සාධක තියෙනවා.

ජනප්‍රිය බෞද්ධ සිතුවම් කලාවක් උදෙසා

එම්. සාර්ලිස් සිත්තරා තමන්ගෙ ගමන පටන් ගන්නේ කොළඹ මාළිගාකන්ද විහාරයෙන්. එතන ඉඳලා අශෝකාරාමය, වේළුවනාරාමය, පොතුපිටියේ පූජාරාමය, කිරිබත්ගොඩ ඊරියවැටිය සුදර්ශනාරාමය, මතුගම ශ්‍රී මංගල විහාරය, තිස්සමහාරාමය වගේ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් සාර්ලිස්ගේ සිතුවමින් හැඩ වෙනවා. ඒ වගේම විවිධ බෞද්ධ ග්‍රන්ථ වෙනුවෙනුත් තමන්ගේ සිතුවම් දායකත්වය සපයන්න ඔහුට අවස්ථාව ලැබෙනවා.

සිතුවම්කරණයේ දී භාවිතා කළේ බටහිර ශෛලියක් වුණත් ඒ හරහා බුද්ධාගමට කිසියම් වටිනාකමක් දෙන්න මේ ශිල්පියාට අවශ්‍ය වෙනවා. ඒ වෙනකොට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණු බෞද්ධ පුනරුදයට තමන්ගෙ දායකත්වය සිතුවම් කලාව හරහා සපයන එම්. සාර්ලිස් සිත්තරා යුරෝපීය පරිසරයක ආසියානු බෞද්ධ කතා ස්ථානගත කිරීම හරහා එතෙක් නොතිබුණු ජනප්‍රියත්වයක් බෞද්ධ සිතුවම් කලාවට එකතු කරනවා.

ආගමික පුනර්ජීවනය වෙනුවෙන් කැපවෙලා වැඩකරපු ව්‍යාපාරිකයෙකු වුණු විලියම් පේද්‍රිස්ගේ අනුග්‍රහයෙන්, එම්. සාර්ලිස් සිත්තරා නිර්මාණය කරපු බෞද්ධ සිතුවම් ගණනාවක් ජර්මනියෙදි ලිතෝ ක්‍රමයට මුද්‍රණය වෙන්නෙ මේ අතරෙ. එහෙම මුද්‍රණය කරන සිතුවම් කොළ ගමක් ගමක් ගානෙ, ගෙයක් ගෙයක් ගානෙ, හන්දියක් හන්දියක් ගානෙ ව්‍යාප්ත වෙනවා.

රජ පවුලේ පින්තූර එල්ලලා තිබුණු ගෙවල්වල ඒ බෞද්ධ චිත්‍රත් රාමු වෙලා තැන්පත් වෙනවා. අද පවා සමහර පරණ ගෙවල්වල ඒ චිත්‍ර දකින්න පුළුවනි. ඒ වනතුරුම එහෙම දෙයක් බෞද්ධ ගෙවල්වලට එකතු වෙලා තිබුණෙ නැති බවත් මෙතනදි සිහිපත් කරන්න වෙනවා.

බොදු සිතුවම් කලාවේ සාර්ලිස් ලකුණ

ගොඩක් විචාරකයො පසුකාලීනව චිත්‍ර ශිල්පී එම්. සාර්ලිස්ට එල්ල කරපු චෝදනාවක් තමයි ඔහුගේ සිතුවම් ශෛලිය කිසිම දේශීය ලක්ෂණයක් දකින්න නොලැබුණු, අනුකාරකවාදී එකක්ය කියන කාරණාය. බටහිර සිතුවම් කලාව බාල විදියට කොපි කිරීමකින් එහා දෙයක් සාර්ලිස් ශිල්පියා අතින් සිද්ධ නොවුණු බවයි සමහර කලා විචාරකයන්ගේ නිර්දය මතය වුණේ. ඒ චෝදනාවේ යම් ඇත්තක් තිබුණත් එතනදි කල්පනා කළ යුතු වැදගත්ම කාරණයක් තමයි එම්. සාර්ලිස් සිත්තරා චිත්‍ර ඇඳපු යුගයේ තිබුණු සමාජ, දේශපාලන වටපිටාව.

ඒ කාල සීමාව ඇතුළත දේශීය සිතුවම් කලාවට වැඩිය පොදු ජනතාවගෙ අවධානය දිනා ගන්න සමත් වෙලා තිබුණෙ යුරෝපීය යථාර්ථවාදී සිතුවම් ශෛලිය. චිත්‍ර ශිල්පී එම්. සාර්ලිස් බෞද්ධ සිතුවම් ජනතාව අතරට ගෙනියන්න පාවිච්චි කරන්නෙත් පොදු ජනතාවගෙ අන්න ඒ කැමැත්ත.

මේ සුවිශේෂ චිත්‍ර ශිල්පියාගෙ සිතුවම් ශෛලියට ලැබුණු දැඩි ජනප්‍රියත්වය නිසාම රට පුරා බෞද්ධ විහාරස්ථානවල සිතුවම් ඒ ශෛලියෙන් නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් ඇතිවෙනවා. පැරණි නුවර යුගයේ සිතුවම් ඉවත් කරලා අලුතෙන් ස්වාභාවිකවාදී ශෛලියට අනුව සිතුවම් අඳින්න පවා සමහර විහාරස්ථාන තීරණය කරනවා.

ඒ නිසාම ගොඩාක් අය එම්. සාර්ලිස් සිත්තරාව අනුගමනය කරන්න සහ ඔහුගෙ සිතුවම් රටාවේ ආභාෂය ලබා ගන්නත් පෙළඹෙනවා. විසිවෙනි සියවසේ ආරම්භක අවධියේ බිහිවුණු සුවිශේෂ සිත්තරෙක් විදියට කවුරුත් පිළිගන්න සෝලියස් මැන්දිස් කියන්නෙත් මුල්කාලීනව සාර්ලිස් සිත්තරා අනුගමනය කරපු කෙනෙක්. ඊට අමතරව ඒ අඩිපාරේ ගිය තවත් ගොඩාක් චිත්‍ර ශිල්පීන් ඉන්නවා.

ඒ නිසාම ලාංකේය බෞද්ධ සිතුවම් කලාව පොදු ජනතාව අතරෙ ප්‍රචලිත කරවන්න විශාල දායකත්වයක් සපයපු කෙනෙක් විදියට චිත්‍ර ශිල්පී එම්. සාර්ලිස් හැඳින්වීම අතිශයෝක්තියක් නෙමෙයි. අනුකරණය කිරීම සම්බන්ධයෙන් මොන තරම් විවේචන තිබුණත්, ඒ දායකත්වය අමතක කරන්න බැහැ. ඇත්තටම එම්. සාර්ලිස් කියන්නෙ විසිවෙනි සියවසේ මුල බිහිවුණු, ලාංකේය බෞද්ධ සිතුවම් කලාවේ සුවිශේෂ පරිච්ඡේදයක්. ඒ වගේම එක්තරා විදියක හැරවුම් ලක්ෂයක්.

[සෞම්‍ය සඳරුවන් ලියනගේ]

මාතෘකා