පාරාවළල්ලක් වූ බ්‍රෙක්සිට්

 ඡායාරූපය:

පාරාවළල්ලක් වූ බ්‍රෙක්සිට්

Brexit යනු Bretain සහ Exit යන ඉංගිරිසි පද දෙක ගලපා උච්චාරණ පහසුවට මෑතක දී සාදා ගත් වචනයකි. ඉතාම සරලව කිවහොත් මෙයින් කියැවෙන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් පිටව යාමයි.

යුරෝපා සංගමයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය දෙවන ලෝක මහා සංග්‍රාමයට හේතු වූ ජාතිකවාදි සංකල්ප පිටු දැකීම පිණිස යුරෝපා මහාද්විපයේ ජාතීන් අතර පිහිටුවා ගන්නා ලද හවුලක් ලෙස හැඳින්වීමේ දොසක් නැත. මුලදී එය සම්මුති සමුළුවක් (Federation) වූ අතර කාලයාගේ ඇවෑමෙන් එක්සත් රාජ්‍ය සන්ධානයක් (Confederation) බවට පත් විය. පසුව යුරෝපා රටවල් කිහිපයක් එක් වී රේගු සංගමයක් (Customs union) පිහිටුවා ගන්නා ලදි. 1951 දී එය යුරෝපා ගල් අඟුරු සහ වානේ ප්‍රජාව (European Coal and Steel Community) විය. 1951 පැරිස් සම්මුතිය යටතේ එම සංවිධානයේ කටයුතු වඩා විධිමත් වූ අතර 1958 රෝම සම්මුතිය අනුව යුරෝපා ආර්ථික ප්‍රජාව (Europian Economic Community) පිහිටුවා ගන්නා ලදි. 1992 නෙදර්ලන්තයේ මාස්ට්‍රිචිට් හිදී පැවැත්වු සමුළුවකද අත්සන් තැබූ සම්මුතියට අනුව යුරෝපා සංගමය එනමින් ආයතන ගත වන්නේ 1993 නොවැම්බර් 01 දින සිටය. 2007 ලිස්බන් සමුළුවේදී සම්මුතිය සංහෝධනය කරන ලද අතර වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ එම සම්මුතියට අනුව වන එකඟතාය.

ආරම්භයේ දී මේ කාර්යයට උර දුන්නේ ප්‍රංශයල (බටහිර) ජර්මනියල ඉතාලිය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් යන රටවල් පමණි. බ්‍රිතානයය ඊට එක්වන්නේ 1972 වසරේය. ඉන්පසු මේ දක්වා එය එහි කටයුතුවලට සක්‍රිය දායකත්වයක් දරමින් සිටියි.

මේ වනවිට එම සංගමය සංමාජිකයන් 28 දෙනෙකුගෙන් සමන්විත ප්‍රබල සක්‍රීය සංවිධානයකි.

වර්ගකිලෝ මීටර් මිලියන 48ක වපසරියකින් යුත් යුරෝපා සංගමයේ බල ප්‍රදේශය තුළ සමස්ත ජනගහනය මිලියන 512 ඉක්මවන බව සඳහන්ය.

රාජ්‍ය පාලනයේ දී ඒ ඒ රටවල් තමන්ගේ ව්‍යවස්ථාවලට අනුකූලව රාජ්‍ය පාලනය ගෙන යන අතර ප්‍රමිතගත පොදු නීති පද්ධතියක් ඒවායේ ක්‍රියාත්මක ය. ඒ යටතේ තනි වෙළඳ පොලක් පවතින අතර දේශ සීමා සහ තීරු බදු දපොදු ය. ජනතාවටල ප්‍රාග්ධනයටල ශ්‍රමයට සහ භාණ්ඩ හා සේවාවලට දේශ සීමා නොමැත. සියලු රටවල පුරවැසියන් ඒ ඒ රටවල ජාතිකත්වයට අමතර වශයෙන් යුරෝපා සංගමයේ පුරවැසියන් සේ පිළිගැනෙන අතර ඒ නිසා වීසා අවශ්‍යතාවලින් නිදහස්ය.

බ්‍රිතාන්‍යය හැර අනෙක් සාමාජික රටවල පොදු මුදල් ඒකකය යුරෝය. බ්‍රිතාන්‍යයේ පමණක් පෙර පැවැති පරිද්දෙන් ස්ටර්ලින් පවුම ක්‍රියාත්මකය.

මේ සම්මුති අනුව සාමාජික රටවල ව්‍යවස්ථා හා අනෙකුත් නීති රීතිද වෙනස් කරනු ලැබිණි.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් ප්‍රමුඛ ආර්ථිකය ඇති රට සේ සැලකෙන්නේ බ්‍රිතාන්‍යයයි. එරට මෙම සම්මුතිවලට ඇතුළත් වූයේ 1974 වසරේය. ඒ මහත් දුෂ්කරතා මධ්‍යයේය.

මාස්ස්ට්‍රිච්ට් සම්මුතිය නීත්‍යනුකූල ව පිළිගන්නා තෙක්ම ආරම්භක රටවල් හයට තීරණ ගැනීමේ නිෂේධ බලය හිමිව තිබිණි. ඒ අනුව ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩිගෝල් බ්‍රිතාන්‍යයට සාමාජිකත්වය දීමේ දී නිෂේධ බලය භාවිත කොට එය වැළක්වී ය. ඩිගෝල්ගේ අභාවයෙන් පසු එවකට බ්‍රිතාන්‍ය අගමැති කන්සර්වෙටිව් පාක්‍ෂික සර් එඩ්වඩ් හීත් නැවත සිය රටේ අයදුම්පත ඉදිරිපත් කළ අතර එරටට සාමාජිකත්වය ලබා දෙන ලදි.

1972 වසරේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යුරෝපා ප්‍රජා ක්‍රියාකාරීත්ව පනත සම්මත කළේය.

1974 කන්සර්වෙටිව් පක්‍ෂයට බලය අහිමි විය. බලයට පත් වූයේ ලේබර් පක්‍ෂයයි. එම පක්‍ෂය මුල සිට ම මෙයට විරුද්ධය. ඒ අනුව ලේබර් ආණ්ඩුව ‘බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද?’ යන්න ගැන ජනමත විචාරණයක් පැවැත්වීය. එසේ නොවිය යුතු බවට පක්‍ෂව සියයට 67.2 ඡන්ද ප්‍රමාණයක් ලැබිණි. ඒ අනුව බ්‍රිතාන්‍යය මේ දක්වාම යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරයි.

මෙයින් පැහැදිලි වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් විය යුතුය යන සංකල්පය ආරම්භයේ සිටම පැවත ආ බවයි.

1993දී එක්සත් රාජධානියේ නිදහස් පක්‍ෂය (UKIP) නම් දේශපාලන පක්‍ෂයක් අලුතින් පිහිටුවා ගන්නා ලද අතර එය අද දක්වා ම ක්‍රියාත්මක ය. එය යුරෝපා සංගමයට එරෙහි මතවාදයක් දරයි.

1998 දී ජනමත විචාරණ පක්‍ෂය නමින් දේශපාලන පක්‍ෂයක් ද පිහිටුවා ගන්නා ලද අතර එම පක්‍ෂය ලත් තැනම ලොප් වූ බැව් සඳහන්ය.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28න් බහුතරය දුප්පත් රටවල්ය. මේ නිසා ධනවත් කාර්මික රටවලට හවුලක් තුළ සිටීමෙන් පාඩු සිදුවේ. මන්දයත් මෙහි ක්‍රියාත්මක වන්නේ සමානාත්මතාව බැවිනි. කිසියම් ආකාරයක සමාජවාදී ක්‍රමයකි.

බ්‍රිතාන්‍යයන්ට මෙබඳු සමානතා ක්‍රම නොරිසි ය. යුරෝපා සංගමය තුළ බ්‍රිතාන්‍යයන්ට ලැබෙන වාසිවලට වඩා බ්‍රිතාන්‍යයෙන් යුරෝපා සංගමයේ අනෙක් සාමාජිකයන්ට ලැබෙන වාසි හා ප්‍රතිලාභ ඉමහත්ය. කාර්මික රටක් වන බ්‍රිතාන්‍යයේ ජාතික ආදායමට අපනයන බදු සෑහෙන දායකත්වයක් දරයි. මේ ගිවිසුම් නිසා එය අහිමි වී ගිය අතර දිළිඳු රටවලින් ආනයනයක් නොකෙරෙන හෙයින් වෙළඳ ඌණතාවක් ඇති වෙයි. කිසියම් රටක් ආර්ථික අවපාතයකට ගොදුරු වුව හොත් එය සෙසු සාමාජික රටවලට ද බලපායි. වසර කිහිපයකට පෙර ග්‍රීසියේ වූ ආර්ථික අවපාතය මේ ආකාරයෙන් යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවලට ද අයහපත් බලපෑමක් ඇති කළේය.

යුරෝපා සංගමයට එරෙහි බලවේග සටන අත්හැරියේ නැත. කෙසේ හෝ ඉන් ඉවත් වීම ඔවුන්ගේ එකම අරමුණ විය. (UKIP) පක්‍ෂයට එතරම් ඡන්ද පදනමක් නොමැති වුවද යුරෝපා සංගමය හැර යා යුතු යන යන ස්ථාවරයේ දිගටම රැඳී සිටිමන් නොයෙකුත් විරෝධතා ව්‍යාපාර මෙහෙය වන්නට ඔවුන්ට හැකි විය.

කන්සර්වේටිව් පක්‍ෂය දිගට ම සිටියේ යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතුය යන ස්ථාවරයේය. එම පක්‍ෂයේ නායකයා වූ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් දැරූ මතය ද එයම වූ අතර නැග එන විරෝධතාවලට මුහුණ දෙන්නට ඔහුට සිදු විය. 2015 මහ මැතිවරණයට කන්සර්වෙටිව් පක්‍ෂය ඉදිරිපත් වූයේ තමන් බලයට පත් වුව හොත් ඒ කාරණයට අදාල ව ජනමත විචාරණයක් පවත්වන බවට ප්‍රතිඥා දෙමිනි. ඡන්දයෙන් කැමරන්ගේ පක්‍ෂය ජයගත් අතර ඔහු අගමැති විය. පොරොන්දු වූ පරිදි ජනමතවිචාරණයක් පැවැත්විය යුතු විය. ජනමතවිචාරණය පවත්වන්නට පෙර ඊට නෛතික සුජාතභාවය දෙන ජනමතවිචාරණ පනත 2015 දෙසැම්බර් 17 දින නීති පොතට එක් විය.

ජනමතවිචාරණය 2016 ජුනි මස 23 දින පවත්වන ලදි. එහි දී ලියාපදිංචි ඡන්ද දායකයන් අතරින් සියයට 72.21 ඡන්දය පාවිච්චි කළ අතර ඔවුනතුරින් සියයට 51.89 යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්නට පක්‍ෂව කැමැත්ත පළ කළහ. ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වන්නට මහා බ්‍රිතාන්‍යයට සිදුවෙයි. ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව වසර දෙකක් තුළ එරට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය.

මෙහි දී රුසියාව මැදිහත් වූයේයැයි චෝදනා එල්ල වේ. Leave EU යන සටන් පාඨය ඔස්සේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලද්දේ අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට බලපෑම් එල්ල කළේ යැයි චෝදනා ලැබූ කේම්බ්‍රිජ් ඇනලිටිකා බවත් ඒ සඳහා ෆේස්බුක් වෙතින් පෞද්ගලික දත්ත සොරකම්කරන ලද බවටත් චෝදනා එල්ල වෙයි

මෙහි ප්‍රතිපලයක් ලෙස ඩේවිඩ් කැමරන් පක්‍ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය. නැවත ඡන්දයකට යාම හෝ පක්‍ෂයේ වෙනත් කෙනෙකු රට භාර ගැනීම කළ යුතු විය. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි තෙරේසා මේ එරට පාලනය භාරගන්නේ ඒ අනුවය.

අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද යුරෝපා සංගමයෙන් වෙන් වීමේ බැරෑරුම්කම දනිතත් දැන් ඇයට කරන්නට දෙයක් නැත.

යුරෝපා සංගමය කියන්නේ මහා බ්‍රිතාන්‍යය සාමාජිකත්වයෙන් ඉවත් වුවහොත් සංගමයේ සාමාජිකයන්ට ලැබෙන කිසිදු පහසුකමක් එරටට නොලැබෙන බවයි. එය ඉන්පසු සාමාජික නොවන රටකට දැක්වෙන සැලකුම් ලබනු ඇති අතර වැඩිපුරම මෙයින් අනතුරට මුහුණ පා සිටින්නේ ශ්‍රමිකයන්ය.

දැන් බ්‍රිතාන්‍යය උගුලක සිරවී සිටියි. ප්‍රතිඵල මොනවා වුනත් ලබන වසරේ මාර්තු 19 දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇත.

[එස්. නන්දලාල්]

මාතෘකා