රජ මැදුරක සිරි පැවතුණු යටිමාදුර

 ඡායාරූපය:

රජ මැදුරක සිරි පැවතුණු යටිමාදුර

බදුල්ල දිස්ත්‍රික්කයේත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් මායිමට ආසන්නව පිහිටි යටිමාදුර, ජනප්‍රවාද මෙන්ම බොහෝ අත්භුත සිදුවීම් සමඟ අතීත නිර්ව්‍යාජ ගැමියන්ගේ සොඳුරු මතක රැසක් සඟවා ගත් මංසන්ධියකි. සරුවට වැඩී ඇති කිරිවැදුණු ගොයමින් සපිරි වෙල් යාය හා ඊට ඉහළින් හාත්පස පැතිරුණු තුරු ලිය සළු පැලඳි කඳු පන්ති මවන දසුන පියකරුය.

ඓතිහාසික බෝධිය

අතීතයේ මුණ්ඩක නම් බ්‍රාහ්මණයෙක් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියෙන් අංකුර බෝ පැළ තුනක් ලබාගෙන ඒවා මහියංගණයේ රෝපණය කිරීම සඳහා පා ගමනින් පැමිණ ඇති අතර එම ගමනේදී ඔහු ප්‍රථමයෙන් නවාතැන් ගෙන ඇත්තේ දඹගොල්ල පූජාතැන්න ප්‍රදේශයේය. ඔහු නැවත පිටත් වන විට එක බෝ පැළයක් පොළොවට මුල් ඇද තිබීම නිසා එම ස්ථානයේම රෝපණය කොට යටිමාදුරට පැමිණ තිබේ. ඔහු එම ප්‍රදේශයේද ගිමන් හැර පිටත් වන්නට යන විට තවත් එක් බෝධියක් මුල් ඇද තිබීම නිසා එම ස්ථානයේම රෝපණය කොට ඇත. අද වන විට එම බෝධින් වහන්සේ අති විශාල වෘක්ෂයක් බවට පත්ව ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙමිනි.

තීත සාක්ෂි

‘‘මෙතන පරණ රජමැදුරක නටබුන් වගේ ගල් කණු එහෙම තියෙනවා. අතීත සාක්ෂි අනුව මෙ තැන වළගම්බා රජතුමා විහාරයක් කරවන්න උත්සාහ කළා කියලත් කියනවා.” යටිමාදුර ජෙතවනාරාම රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය ගල්කඩවල ධම්මාවාස හිමියෝ පැවසූහ. ‘‘මේ තරම් විශාල මළුවක් මේ පැත්තේ වෙන කිසිම පන්සලක නැහැ. පහළ තියෙනවා උඩහට ගල් කණු ගේන්න ගල් කඩපු තැනක්. එතන තවත් ගල් කණු තියෙනවා ඒවාත් උඩහට ගේන්න නියමිතව තියෙන්න ඇති. මොනවා හරි හේතුවක් නිසා, මේ විහාරය රජතුමාට කර ගන්න බැරිවෙලා තියෙනවා. මුණ්ඩක කියන බ්‍රහ්මණයා ගෙනාවා කියන මේ ඓතිහාසික බොධින් වහන්සේ පාමුල සෙල් ලිපියක් තියෙනවා. ඒ වගේම උඩහ ඒ දවස්වල රජමැදුරක් තිබිලා තියෙනවා එතනට උඩමාදුර කියලත් මෙතනට යටිමැදුර යටිමාදුර කියලත් කියනවා. දැනට පුරාවිද්‍යාවෙන් පරීක්ෂණ කරනවා මේ තැන ගැන වැඩි විස්තර හොයා ගන්න”යැයි විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

යටිමාදුර ජේතවනාරාම රාජමහා විහාරය ආසන්නයෙන් කාපට් අතුරා ඇති මාර්ගය අවසන් වන අතර ගම්මානයට පැමිණෙන බස්රථ ආපසු හරවන්නේද මෙම ස්ථානයෙනි. උපතැපැල් කාර්යාලයක් මෙන්ම කුඩා වෙ‍ෙළඳසැල් දෙක තුනකින් සමන්විත යටිමාදුර හන්දිය මෑතකාලීනව ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින හන්දියකි. නගරයෙන් බොහෝ ඈත්ව පිහිටි මෙම ඓතිහාසික වටපිටාවක් සහිත ගම්පියසේ බොහෝ ඇදහිලි සහ විශ්වාසයන්ද පවතී.

කීර්තිබණ්ඩාර දෙවියෝ

කීර්තිබණ්ඩාර දෙවියන් යනු වලපනේ ප්‍රදේශය තම අඩවිය කරගත් ප්‍රාදේශීය දෙවි කෙනෙකි. එම දෙවියන් මෙම ප්‍රදේශයේ ජන ජීවිතය හා බද්ධව සිටින්නේ තම වගා බිම් රැක ගන්නට මෙම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන බවට ගැමියන් තුළ පවතිව දැඩි විශ්වාසය හේතුවෙනි.

‘‘ඒ දවස්වල රජතුමාගේ නෑදෑවන කුමාරයෙක් ඉඳලා තියෙනවා කිරිබණ්ඩා කියලා. මේ කුමාරයා ගොවිතැනට හරි දක්ෂයි.” යටිමාදුර හන්දිය ආසන්නයේ දිවි ගෙවන ජිනදාස මහතා, අතීත ජනප්‍රවාදයක මතකයන් පාදා දෙමින් පවසයි. ‘‘පස්සේ මේ කුමාරයා ලොකු වෙල් යායක් අස්වද්දලා එක සරුවට පැසීගෙන එනකොට රජතුමා ළඟ හිටිය අය රජතුමාට කෙළම් කිව්වා, මේ කුමාරයා රජකම අල්ලගන්නයි යන්නේ කියලා. පස්සේ රජතුමා මේ කුමාරයාව ගලකින් පහළට දලා මරන්න නියෝග කළා. කුමාරයා ගලෙන් පහළට වැටෙනකොට වධකයො දෙන්නත් ඇදගෙන තමයි වැටුණේ. පස්සේ ඒ කුමාරයා කිර්තිබණ්ඩාර කියලා දෙවි කෙනෙක් බවට පත් වුණා. අර වධකයෝ දෙන්නා කුඩා හැඩයා මහාහැඩයා කියලා දෙන්නෙක් බවට පත් වුණා. මේ මහා හැඩයාට අපි කියන්නෙ කිරි අප්පා කියලා. කිරි අප්පා තමයි අපේ භව භෝගයන්ට ඇල්ම බැල්ම දාලා අපිව ආරක්ෂා කරන්නේ.”

නව ජනාවාස

යටිමාදුර ගම්මානයට ඇත්තේ ඉතා දිර්ඝ ඉතිහාසයකි. එය වළගම්බා රජ සමයේ සිට මේ දක්වාම පවතින්නකි. උඩරට කැරැලි සමයේ, එම කැරැල්ල මෙහෙයවූ නායකයන්ද මෙම ගම්මානයේ පදිංචිව සිට ඇති අතර පසුව මෙම ගම්මානය ජනශූන්‍ය ප්‍රද්ශයක් බවට පත්ව ඇත. ප්‍රදේශය පුරා පැතුරුණු වසංගතයක් නිසා මෙම ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක් වූ බවට ගැමියන් විශ්වාස කරන අතර රජ කළ සශ්‍රිකව පැවති මෙම ගම්බිම් එක වර ජනශූන්‍ය වූයේ කෙසෙද යන්න අබිරහසකි.

මහාකුඹුරේ ගෙදර පුංචිබණ්ඩා මහතා යටිමාදුර පදිංචිකරුවෙකි. අසූ වියැති ඔහු ප්‍රදේශයේ අතීත තතු සිහි කළේය. ‘‘මම මෙහාට ආවේ 1959දි. ඒ එනකොට මේ පැත්තේ ගෙවල් තිබුණෙ නැහැ. ගමේම පවුල් පහළොවක් විතර ඉන්න ඇති. ගමට එන්න පාරක් තිබුණෙ නැහැ. ඒ දවස්වල මේ පැත්තට කවුරුත් එන්නේ නැහැ. කිරි අප්පාගේ ඇල්ම බැල්ම තමයි තිබුණේ.. ගමට කඩයක් වත් තිබුණෙ නැහැ. ඉස්සර අපි කඩෙන් කියලා ගත්තේ ලුණු ටික විතරයි. එ්කටත් මෙතන ඉඳලා හැතැම්ම අටක් නිල්දණ්ඩාහින්නට පයින් යන්න ඔනේ. එහේ ඉඳන් තමයි බස් තිබුණේ. නුවරටම රුපියල් එකයි සත පනහයි.”

වන්දනා ගමන්

මෙම අව්‍යාජ ගැමියන් හේන් ගොවිතැනින් මෙන්ම කුඹුරු අස්වැද්දීමෙන් ජීවිකාව සරි කර ගත් අතර තම ආගම ඇදහිලි හා විශ්වාසයන්ටද මුල් තැනක් ලබා දී ඇත. ‘‘ඉස්සර අපේ අප්පච්චිලා ශ්‍රී පාද වන්දනාවේ යන්නේ මෙහෙ ඉඳන් පයින්. ඒක දවස් ගාණක ගමනක්. වන්දනාවේ යන වෙලාවට අපේ සීයලා දෙපළ ඔක්කොම පවරලා තමයි යන්නේ. ඒ වන්දනාව ඉවර කරලා ආපහු එන්න වෙයිද කියලා දන්නේ නැති නිසා” යැයි ජිනදාස මහතා පවසයි.

බිනර පෝය දිනට වලපනේ බොහෝ ගම්මානවල ජනයා අතීතයේ සිටම මහියංගණයට වන්දනාවේ යෑමට පුරුදු වී සිටියහ. එකල අද මෙන් ගමනාගමන පහසුකම් නොතිබුණ නිසා සියලුම ගම් වැසියන් කප්රුක් රැගෙන බෙර වයමින් පෙරහැරින් මහියංගණයට යන්නට පිටත් වන්නේ දවුල් බෙර වයමිනි. කැලෑ මැදින් දින දෙක තුනක් යන මේ දුෂ්කර ගමන බොහෝ සෙයින් විනෝදජනක බව එදා එසේ පා ගමනින් ගිය ගැමියයෝ අදත් පවසති. ඒ කෙසේ වෙතත් වලපනේ සිව් දෙසින් පැමිණෙන මෙම වන්දනාකරුවන් මහියංගණයට යෑමට නම් අනිවාර්යයෙන්ම යටිමාදුර හන්දියෙන්ම යා යුතුම විය. යටිමාදුර වෙල් යාය මෙම වන්දනාකරුවන්ගේ ප්‍රධාන නැවතුම් පොළක්ද විය.

කිවුලේ ගෙදර හේන

හතළිස් අටේ කැරැල්ලට නායකත්වය දුන් කිවුලේගෙදර මොහොට්ටාලද යටිමාදුර තම වාසභුමිය බවට පත්කරගෙන සිට ඇත. දැන් හන්දිය ආසන්නයේ ඇති ඉඩම එකල කිවුලේ ගෙදර මොහොට්ටාල පදිංචිව සිටි ඉඩම බවත්, එය එකල කිවුලේ ගෙදර හේන වශයෙන් හැඳින්වූ බවත් බඹරපනේ ධනපාල මහතා පවසයි.

බඹරපනේ ධනපාල මහතාද යටිමාදුර හන්දියේ දිවි ගෙවන අසූ වියැති ගැමියෙකි. අතීතයේ තම මුත්තා දෙවන විමල ධර්මසූරිය රජතුමාගෙන් නම්බුනාම ලැබූ බව ඔහු පවසන්නේ අභිමානයෙනි. ‘‘ඒ දවස්වල කොනොප්පු බණ්ඩාර පෘතුගිසිී එක්ක සටන් කරලා දෙවන විමල ධර්මසූරිය කියලා රජ වුණා. ඒ වෙලාවේ එතුමාට යුද්ද කරන්න ඌවේ සෙනා සංවිධානය කරලා තියෙන්නේ අපේ මුත්තා. එ්කට උපහාරයක් විදිහට රජතුමා අපේ මුත්තට ‘ස්වර්ණ නලපටධාරී වීරවික්‍රම වීර විකුම් ලැබූ පහන්තොට වීරසිංහ මුදියන්සෙලාගේ’ කියන ගෞරව පෙළපත් නාමය පිරිනමලා තියෙනවා. පස්සේ අපේ අත්තා, අත්තම්මලාගේ බඹරපනේ කියන පෙළපත් නාමය අපිට පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා.

ගොඩ මඩ ගොවිකම්

අතීතයේ සිටම කුඹුරු වගාව මෙන්ම යටිමාදුර අවට ඇති කඳු පන්තිවල හෙන් වගාව ජයටම සිදු කර ඇති බවට අදටත් සාධක පවතී. කිරිමුණ්ඩ, කුරුළුතුඩ, සුවඳැල්, බ්‍රහාස්මති මෙන්ම කච්චපුට ආදිීවී වර්ග මඩ ගොවිතැන් සරු කළ අතර මාවී, ඇල් වී, කුරහන්, මෙනේරි, තල, බඩඉරිඟු හේන් ගොවි තැන සරු කොට ඇත. අතීතයේ සිටම කිරි අප්පාගෙන් අවසර ගෙන හේනට යන ගැමියන් තුළ ඇත්තේ අපූරු විශ්වාසයන් හා ඇදහිලිය.

‘‘අපි ඉස්සර හේනක් කොටන්න කැලේට වුණත් යන්නේ කිරි අප්පට බාර හාර වෙලා එකම දවසක. අපි හේන් වපුරන්නෙත් එකම දවසක. එහෙම නැති වුණොත් අපිට කිරිඅප්පාගෙන් කරදර වෙනවා. අපි හේන් කපන්න පටන් ගත්තාම දවස් තුනෙන් හේනෙන් එන්න ඔනේ. එහෙම නැත්නම් රෑට එක පාරටම මැස්සො ගොඩාක් ඇවිත් හෙනේ පැල වහ ගන්නවා ගිනි ගොඩත් එක්ක. ඒ මැස්සෝ ගිනි ගොඩටත් වැටෙනවා. එත් මැරෙන්නේ නැහැ. මටත් එහෙම වෙලා තියෙනවා. පස්සේ කිරිඅප්පට කන්නලව් කරලා දවස් දෙකකින් යනවා කියලා අවසර ඉල්ල ගත්තම මැස්සො නැතිවෙලා යනවා. අනික පිටින් කවුරු හරි ආවම වයසක එක්කෙනෙක් ඇවිත් අහනවා, අලුත් දෙහිද පරණ දෙහිද කියලා. පරණ දෙහි කිව්වොත් විතරයි ඒ පිටින් එන කෙනාට ඉන්න පුළුවන් වෙන්නේ. තව වෙලාවකට රෑට හේනේ පැල් රකින කොට වයසක කෙනෙක් ඇවිත් ඔහේ ඉඳගෙන ගිනි තපිනවා හරියට අඳුනනවා වගේ. ඒ එන්නෙත් කිරි අප්පා තමයි. ඉස්සර මෙහේ කිරි අප්පාගේ ඇල්ම බැල්ම ගොඩාක් තිබ්බා. අපිට ඔනේ විදිහට කැලේ කපන්න බැහැ. ඒ වගේම අපේ හේන්වලට සත්තුන්ගෙන් කරදරයක් වෙනවානම් කිරිඅප්පා හීනෙන් ඇවිත් කියනවා.”

අලි ගම්වැදීමට හේතුව

ඉස්සර අපි හේනක් කෙටුවාම ඒක ආපහු කොටන්නේ අවුරුදු හත අටකින්. එතකන් අර අතහැරපු හේනේ කැලේ ඉන්න අලින්ට, මුවන්ට සත්තුන්ට ඕනේ තරම් කන්න කොළජාති තියෙනවා. ඒක නිසා උන් ගම්වලට එන්නේ නැහැ. දැන් කන්න නැති නිසා තමයි අලි ගම්ඔවලට එන්නෙ. වසර හැත්තෑවකට ආසන්න කාලයක් පරිසරයත් සමඟ දිවි ගෙවන කළුබණ්ඩා මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම වෙල් යාය බොලගන්දාවෙලයි. වෙල් යායේ සිට එන තවලම් තවමත් යටිමාදුර හන්දියෙන් ඇදී යන්නේ ප්‍රදේශයේ සංවර්ධනයෙහි සීමාවන් සංකේතවත් කරමිනි. කෙසේ වෙතත් දශක කිහිපයකට පෙර පැවති තත්ත්වයට වඩා යටිතල පහසුකම් මෙන්ම ජන ජීවිතයද සංවර්ධනය වී ඇත. පසුගිය කාලයේ ගම්මිරිස් වගාවෙන් සරු වූ ගැමියන්ගේ අතමිට අද වන විට හිස්ව ඇත්තේ ගම්මිරිස් මිල පහත වැටීම නිසාය. යටිමාදුර හන්දියත් සමඟ ඇති ඒ මනස්කාන්ත පරිසරය මෙන්ම ඔවුන්ගේ නිර්ව්‍යාජත්වයද තවත් බොහෝ කලක් අපගේ අතීත උරුමයන්ද රැක ගනිමින් පවතිනු ඇත.

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා