ඔහු වෙනස්ද?

 ඡායාරූපය:

ඔහු වෙනස්ද?

තම සහකරුගේ ලිංගික හැසිරීම අසාමාන්‍ය බවට ඇතැම් කාන්තාවෝ මැසිවිලි නඟති. සැබවින්ම එවැනි අසමාන්‍ය ලිංගික හැසිරීමක් නිවැරදිව හඳුනා ගැනීමකින් තොරව තම සහකරු වෙත චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන්නේ ඇතැම් විට එවැනි චෝදනාවකින් ඔහුගේ පෞරුෂත්වයට මෙන්ම මානසිකත්වයට පවා අහිතකර බලපෑමක් එල්ල විය හැකි නිසාය.

එම නිසා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.

යම්කිසි ලිංගික හැසිරීමක් සාමාන්‍යද? අසාමාන්‍යද යන්න තීරණය කිරීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ පොදු සමාජය ඒ පිළිබඳ දරන මතයයි. ඊට අමතරව යම් හැසිරීමක් තමාට හෝ වෙනත් අයෙකුට හානියක් වෙනවා නම්, එයත් සැලකෙන්නේ අසාමාන්‍ය හැසිරීමක් විදිහටයි. ලිංගික අපගමන චර්යා කියන්නේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් හඳුන්වන විද්‍යාත්මක නාමයයි.

එවැනි අසාමාන්‍ය ලිංගික හැසිරීම් යම්කිසි වස්තුවක් ආශ්‍රය කරගෙන හෝ තමාට හෝ අනුන්ට පීඩාකාරී හැසිරීමක් ඇසුරුකර ඇතිවෙන්න පුළුවන්. කිසියම් වස්තුවක් සම්බන්ධව ඇතිකරගන්නා මෙවැනි එක් අපගමන චර්යාවක් ලෙස ස්ත්‍රී යට ඇඳුම් හෝ වෙනත් ඇඳුම්, ආභරණ ආදිය සොරකම් කිරීම දක්වන්න පුළුවන්. අපට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන කතාවක් තමයි රෙදි වැල්වල වනා තිබූ ඇඳුම් අතුරුදන් වීම. මෙවැනි තත්ත්වයක් අපි සලකන්නේ අපගමන චර්යාවක් විදිහටයි. මෙම තත්ත්වයේ තිබෙන විශේෂත්වය තමයි මෙම ඇඳුම් හෝ ආභරණ ප්‍රයෝජනයට ගත් ඒවා වීම. සමහර අවස්ථාවකදී භාවිතයට නොගත් ඇඳුමක්, ආභරණයක්ම වෙන්නත් පුළුවන්. නමුත් විශේෂිත වූ ශරීර අංගයකට මෙම ආකර්ෂණය පවතින්න පුළුවන්.

ඒ වගේම මෙවැනි අපගමන හැසිරීම්වල තරමක වෙනසක් සහිත තවත් හැසිරීමක් තිබෙනවා. එහිදී ඔවුන් ආකර්ෂණය වන්නේ ස්ත්‍රියට හෝ ඇගේ ඇඳුම්වලට. එහිදී තිබෙන විශේෂත්වය තමයි ඔවුන් ලිංගික වින්දනය ලබාගන්නේ එම ඇඳුම් හෝ ආභරණ තමන්ගේ ඇඳුම්වලට යටින් ඇඳ ගැනීමෙන්.

ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ඔවුන් ලිංගික සංතෘප්තිය ලබාගන්නේ කුඩා දරුවන් තම ලිංගික අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීමෙන්. මෙහිදී වයස අවුරුදු 18ට අඩු දරුවන් සමඟ ලිංගික ක්‍රියාකාරකම් පැවැත්වීම නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. නමුත් මෙම තත්ත්වය අසාමාන්‍ය ලිංගික චර්යාවක් වීමට නම් දරුවා වයසින් අඩුවිය යුතුවනවා වගේම ශරීර ස්වභාවයෙනුත් බාලවයස්කාර දරුවන් විය යුතුයි. මෙම චර්යාවන්ට ගොදුරුවන දරුවන් ගැහැණු දරුවන් පමණක් වන්නේ නැහැ. අඩු වයස් පිරිමි දරුවන් වුණත් මෙවැනි අයගේ භාවිතයට හසුවෙන්න පුළුවන්.

තවත් ලිංගික අපගමන චර්යාවක් වන්නේ සතුන් සමඟ ලිංගිකව හැසිරීමයි. බොහෝ වෙලාවට මෙම කටයුතුවලට යොදාගන්නා සතුන් ලෙස බල්ලා සහ ගවයා හැඳින්විය හැකිය. මෙම සතුන් දෙවර්ගය මිනිසාට ඉතා සමීපයි. සාමාන්‍ය තත්ත්වයට වඩා ඉතා අසාමාන්‍ය ලිංගික හැසිරීමක් තමයි මෘතදේහ සමඟ ලිංගික හැසිරීම්.

ඉහත කී කරුණුවලට අමතරව අසාමාන්‍ය ලෙස සැලකිය හැකි තවත් හැසිරීම් කිහිපයක් තිබෙනවා. ලිංගික අවයවය ප්‍රර්ශනය කිරීම ඒ අතර සුලබයි. ඔවුන් තෝරාගත් ස්ථානයක් ඒ වෙනුවෙන් භාවිත කරනවා. ඒ වගේම තමයි මෙම ප්‍රදර්ශනය කිරීම බොහෝ වෙලාවට සිදුකරන්නෙත් නාඳුනන පුද්ගලයකුට. එවන් අවස්ථාවකදී එම තත්ත්වයට ලක්වන පුද්ගලයාගේ හැසිරීම මඟින් ඔහු තෘප්තියට පත්වෙනවා. ලිංගික සහකරුට හෝ සහකාරියට වදහිංසා පැමිණවීමෙන් ලිංගික තෘප්තිමත් භාවය ලැබීමත් මෙහි තවත් අංශයක්. සමහර පුද්ගලයන් තමාටම රිදවාගැනීම තුළද ලිංගික තෘප්තියලබාගන්නවා.

ලිංගික අපගමන හැසිරීම් නැත්නම් මෙවැනි අසාමාන්‍ය ලිංගික හැසිරීම් බොහෝ වෙලාවට පවතින්නේ පිරිමින්ටයි. එයට හේතුව තමයි පිරිමියකු ලිංගික හැසිරීමකින් අපේක්ෂා කරන ප්‍රධානතම ආස්වාදය ලැබීම වීමයි. නමුත් කාන්තාවක තුළ මෙම තත්ත්වය වෙනස්වීමට ප්‍රධාන හේතුව බවට පත්වෙන්නේ කාන්තාවක් ලිංගික හැසිරීමකට යොමු වන්නේ ආස්වාදයට වඩා ආදරය හා අවධානය විසින් වීමයි.

මෙවැනි අසාමාන්‍ය ලිංගික හැසිරීමකට හුරුවීමට කුඩා අවදියේදී ලැබූ අත්දැකීම් සහ අත්විඳීම් හේතුවෙන්න පුළුවන්. ඒවගේම මොළයට සිදුවූ හානියකින් පසුව සාමාන්‍ය තත්ත්වයේ සිටි අයකුටත් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.

ලිංගික අපගමන හැසිරීම් එකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එක් පුද්ගලයෙක් තුළ පැවතිය හැකිය. ඒ වගේම තමයි මෙම පුද්ගලයන් අසාමාන්‍ය හැසිරීම වගේම සාමාන්‍ය ලිංගික ජීවිතයකුත් පවත්වාගෙන යාමේ අවස්ථා ඕනෑතරම් තිබෙනවා. සමහර පුද්ගලයන් ඉන්නවා මෙවැනි අසාමාන්‍ය තත්ත්වයන් පවතිනවා නමුත් පිටතට පෙන්වන්නේ නැහැ. එම ලිංගික ආස්වාදය විඳීමේ ආශාව පවතින්නේ ඔවුන්ගේ මනස තුළයි. මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වූ තත්ත්වයක් බව වටහාගැනීම මූලිකවම වැදගත් වෙනවා වගේම ප්‍රතිකාර සඳහා යොමුකිරීමත් අවශ්‍යයි.

මනෝ උපදේශිකා [ඉවෝනි දිල්කි]

මාතෘකා