පාසලේදී සිදුවිය හැකි අනතුරු

 ඡායාරූපය:

පාසලේදී සිදුවිය හැකි අනතුරු

පාසැල් යන දරුවන් තුළ නිරතුරුවම කෙළිලොල්බව සහ දඟකාරකම දක්නට ලැබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ට කොයි මොහොතේ කුමන අනතුරක් සිදුවේදැයි කිව නොහැකිය. පාසැල් පරිසර පද්ධතියේදී දරුවන්ගේ සියලු වගකීම පැවරෙන්නේ ගුරුවරුන්ටයි. මෙහිදී පාසැල් කාර්ය මණ්ඩලය පාසලේ සියලු දරුවන් වෙත නිසි අවධානය යොමු කළ යුතුය. එසේ නොවුණහොත් බරපතළ තත්ත්වයන්ට වුවද මුහුණ දීමට සිදුවිය හැකිය. එහෙත් පාසලේදී සිදුවිය හැකි අනතුරුවලදී තම ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙන් පාසල් දරුවන්ද දැනුවත් කර තිබීම වැදගත්ය.

පාසලේදී සිදුවිය හැකි අනතුරු වශයෙන් හඳුන්වන්නේ මොනවාද?

අනතුරක් සිදුවීමට නිශ්චිත ස්ථානයක් නැහැ. එම නිසා පාසලේදී වුවත් ඕනෑම අනතුරක් සිදු වෙන්න පුළුවන්. රිය අනතුරක් පවා සිදුවිය හැකිය. පාසලට වාහනයක් පැමිණීමේදී හෝ පාසලෙන් වාහනයක් පිටව යෑමේදී වුවද අනතුරක් සිදුවිය හැකිය. එවැනි අනතුරුවලින් මියගිය ළමයි ගැන පවා අපට වාර්තා වී තිබෙනවා. ගොඩනැඟිලි දෙකක් එක ළඟ තිබීමේදී, උඩ ඉඳන් යම් දෙයක් පහළට වැටුණු අවස්ථාවකදී අනතුරක් වීමට පුළුවන්. ඒ විතරක් නෙමෙයි සීරීම්, කැපීම්, වැටීම් වැනි අනතුරුද සිදුවිය හැකිය. ඒ වගේම පාසලේ රසායනාගාරවලදී (විද්‍යාගාර) ඇසට යම් රසායනික ද්‍රව්‍ය වැටීම, තැවරීම, පිලිස්සීම් ආදිය සිදුවන්න පුළුවන්. ඒ වගේම පිරිසුදු කිරීම්වලදී අතපය තුවාල වීම්, අස්ථි භග්න වීම් සිදු වන්න පුළුවන්.

පාසලේදී අනතුරු සිදුවන්නේ කුමන හේතු නිසාද?

පාසැල් භූමිය නිරන්තරයෙන්ම ආරක්ෂාකාරීව පැවතිය යුතුයි. ඒ වගේම දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටීමත් අවශ්‍යයි. එහෙම නැත්නම් හදිසි අනතුරු ඉක්මනින් සිදුවෙන්න පුළුවන්. විශේෂයෙන් ක්‍රීඩා කටයුතුවලදී නිරන්තරයෙන්ම ගුරුවරයකුගේ අධීක්ෂණය යටතේ පමණක් දරුවන් ඒ සඳහා යොමුවිය යුතුයි. එසේ නොවුණහොත් දරුවන්ගේ වයස් මට්ටමට අදාළ නොවන ක්‍රියාකාරකම් කිරීමෙන් අනතුරු සිදුවන්න පුළුවන්.

පාසලේදී යම් දරුවකුට අනතුරක් සිදු වූ විගස ලබාදිය යුතු ප්‍රථමාධාර මොනවාද?

පාසලේදී සිදුවන අනතුරුවල ස්වභාවය අනුවයි කළ යුතු ප්‍රථමාධාර මොනවාද යන්න තීරණය වන්නේ. උදාහරණයක් ලෙස උඩකින් වැටී අස්ථි භග්නයක් සිදුවූ විට අදාළ ස්ථානය සොලවන්නේ නැතුව සුදුසු වාහනයක දමාගෙන රෝහලට ගෙන යා යුතුයි. හුස්ම ගන්නේ නැත්නම් හෝ මරණයට පත්වේ යැයි සැක සිතන අවස්ථාවක රෝගියාගේ පපුව මැද අඟල් 2ක් පමණ යටට වන්නට අත තබා පපු තෙරපුම සිදුකළ යුතුයි. එවැනි පුද්ගලයකුගේ කඳ සහ ගෙල එක ඒකකයක්ව තබා ඔසවා ගෙන සුදුසු වාහනයක හෝ ගිලන් රථයක දමා රෝහලට රැගෙන යා යුතුයි. ඒ වගේම මෙවැනි පුද්ගලයකු රෝහලට රැගෙන යා යුත්තේ ප්‍රථමාධාර ලබාදෙමින්. ඒ වගේම එවැනි පුද්ගලයකුට කිසිවක් කන්න බොන්න දෙන්නේ නැතුව ළඟම ඇති රෝහලට හැකි ඉක්මනින් රැගෙන යාම ඉතා වැදගත්.

පිලිස්සීමෙන් අනතුරක් සිදු වී ඇත්නම් එම ස්ථානය පැයක් හෝ පැය භාගයක් පමණක්වත් සේදීම සිදු කළ යුතුයි. වැටීම නිසා අතක් පයක් කැඩුණහොත් එම ස්ථානය චලනය නොකර කළමණාකරණය කර රැගෙන යා යුතුයි. පතුරක්, ප්ලාස්ටික් කෑල්ලක් හෝ කාඩ්බෝඩ් කෑල්ලක් තබා රෙදි පටි කිහිපයකින් හොඳින් බැඳ ආරක්ෂාකාරීව චලනය නොකර රැගෙන යාම සිදුකළ යුතුයි.

විශේෂයෙන් ක්‍රීඩාවන් සිදු කරන අතරතුර සිදුවිය හැකි අනතුරු වර්ග සහ ප්‍රථමාධාර මොනවාද?

පාසලේදී ක්‍රීඩාවන් සිදු කරන අතරතුරදී සිදුවීමට හැකි අනතුරු ලෙස ගැනෙන්නේ සීරීම් තුවාල, අස්ථි බිඳීම්, කැපීම් යනාදියයි. අස්ථි භග්නයක් සිදුවී ඇත්නම්, එම ස්ථානය සොලවන්නේ නැතුව, පතුරක් වැනි යමක් තබා රෙදි පටිවලින් ගැට ගසා වෛද්‍යවරයකු ළඟට රැගෙන යා යුතුයි. සීරීමක් නම් එම සීරුණු ස්ථානය හොඳින් සේදිය යුතුයි. රුධිරය ගලා ගෙන යන්නේ නම් ඉක්මනින් එය පාලනය කරගත යුතුයි.

පාසලේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට සිදුකළ යුතු දෑ මොනවාද?

දරුවන් අනතුරට පත් නොවන ආකාරයට සෑම විටම පාසැල් පරිසර පද්ධතිය ආරක්ෂාකාරීව තබා ගැනීමට අවධානය යොමු කළ යුතුය. ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීමේදී වයස් මට්ටමට අනුව දරුවන්ව තෝරා ගැනීම කළ යුතු වනවා. නිරන්තරයෙන්ම ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ දරුවන්ගේ ක්‍රියාකාරකම් සිදු කළ යුතුයි. හදිසි අවස්ථාවකදී ලබාදීම සඳහා ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගත යුතුයි. පාසලේදී අනතුරු සිදුවිය හැකි අවස්ථාවන් මොනවාද? එම අනතුරු වළක්වා ගත යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ දරුවන්ව දැනුවත් කර තිබීමත් ඉතා වැදගත්.

පාසලේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු පාර්ශ්වයන් කවරේද?

විශේෂයෙන්ම දරුවන් පාසැල් පරිසර පද්ධතිය පිළිබඳ දැඩි සැලකිල්ලෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතුය. ඒ වගේම ගුරුවරු, විද්‍යාගාර භාර නිලධාරීන් යනාදී පිරිස් වඩාත් අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කළ යුතුය.

උපදෙස් - කොළඔ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී,

පුෂ්පා රම්‍යාණි සොයිසා

සාකච්ඡා සටහන- [මදාරා මුදලිගේ]

මාතෘකා