වරලසේ සුන්දරත්වය රැකගන්නේ කොහොමද?

 ඡායාරූපය:

වරලසේ සුන්දරත්වය රැකගන්නේ කොහොමද?

කාන්තාවකට සුන්දර වරලසක් තිබුණද, එය නිරන්තරයෙන් ආරක්ෂා කරමින් දීර්ඝ කාලයක් සොඳුරු ලෙස පවත්වා ගැනීම අපහසු කාර්යයකි. වර්තමානයේ දක්නට ලැබෙන කාර්යබහුල සමාජ රටාව තුළ බොහෝ දෙනෙකුට තමන්ට හිමිව තිබෙන සුන්දර කේශ කලාපය සුරැකිව තබාගැනීමට අපහසු වේ. එලෙස සිදුවන්නේ කාලය නොමැති වීම හා අනවබෝධය නිසාය. එම නිසා හිසකෙස් බ්‍රෂ් කිරීම, පීරීම, ෂැම්පු කිරීම හා හිසකෙස් වියළීම නිසි පරිදි කළ යුතුය.

උපදෙස් - වෛද්‍ය කමල් සේරසිංහ

සභාපති සහ පාඨමාලා අධ්‍යක්ෂ

D.A.M.S. (Hon) S.L., M.S. (Ay) Ophth & ENT, B.H.U.-India, Osethma Health (Pvt) Ltd

සටහන [මදාරා මුදලිගේ]

හිසකෙස් බ්‍රෂ් කිරීම සහ පිරීම

සෑමවිටම හිස පීරීම කළ යුත්තේ හිසකෙස් වියළිව පවතින විටදීය. තෙත අවස්ථාවේ පීරීමෙන් කෙස් අග පැලීම සිදුවෙයි. හිස පහතට නවා හිස මුදුනේ සිය පහළට පළමුව පීරීම කළ යුතුය. ඉන් පසු හිස කෙළින් කර පීරීම කළ යුතු අතර එවිටද තරමක් හිස ඉදිරියට නමා සිදුකිරීමෙන් හිසට ලැබෙන රුධිර සැපයුම දියණු වේ. බ්‍රෂ් කිරීමෙන් හිසේ ඇති ස්වභාවික තෙල් හිසකෙස් අග දක්වාම ගමන් කරවීමටද ඉවහල් වේ. තුනී හිසකෙස් ඇති කෙනෙකුට මෘදු අගවල් සහිත දැති තිබෙන බ්‍රෂ් එකක් භාවිත කිරීමෙන් හිස සීරීම් වළක්වා ගත හැකිය. ඝනකම් දිගු කෙස් ඇති අයෙකුට විශාල දැති සහිත විශාල බ්‍රෂ් එකක් යෝග්‍ය වේ. කෙටි හෝ රැලි ගැසුණු කෙස් සඳහා දැති කෙටි ඈත්ව පිහිටි බ්‍රෂ් එකක් යෝග්‍ය වේ. කිසිවිටකවත් තියුණු දැති සහිත බ්‍රෂ් භාවිත නොකළ යුතුය. ගැට ගැසුණු කෙස් අග සිට පීරීමෙන් පහසුවෙන් ගැට ඉවත් කරගත හැකිය.

ෂැම්පු කිරීම

හිසකෙස් හොඳින් පීරිය යුතුය. එමගින් කුණු දූවිලි සහ මැරුණු සෛල කොටස් ගසෙන් බුරුල් වේ. ජලය විදීමෙන් හිසකෙස් තෙත් කරගත යුතුය. ෂැම්පු තේ හැඳි එකක් පමණ ජලය ස්වල්පයකට දමා මිශ්‍ර කර තනුක කර ගත යුතුය. එම මිශ්‍රණය හිසට දමා හොඳින් සමබාහනය කර ගත යුතුය. අත්ල යොදා ගනිමින් හිසෙන් පහළට වැටෙන කෙස්ද ගෙන හිස මත තබමින් හොඳින් ෂැම්පු කර ගත යුතුය. ඉන්පසු ෂැම්පු සම්පූර්ණයෙන්ම ඉවත් වන තෙක් හොඳින් සේදිය යුතුය. අවශ්‍ය නම් මෙම ක්‍රියාවලියම නැවත කළ හැකි ය.

හිසකෙස් වියළීම

ෂැම්පු සෝදා හැරීමෙන් පසු හිසකෙස් තුවායකින් වෙලා විනාඩි 10ක් තෙත උරා ගැනීමට තැබිය යුතුය. එසේ නොමැතිව නිතර කෘත්‍රිම වියළන (Dryer) මඟින් කෘත්‍රිමව හිස වියළීමෙන් හිසකෙස් අග පැලීමටත් කෙස් ඇදීමටත් ලක්වේ. විනාඩි 10න් පසු තුවාය ඉවත් කර හිසකෙස් පහළ සිට හිස දෙසට පීරිය යුතුය. එසේ පීරීමෙන් කෙස් ගැට ගැසීම වැළකේ.

මාතෘකා