රොනී ලීච් යන්නට ගොසිනි

 ඡායාරූපය:

රොනී ලීච් යන්නට ගොසිනි

රොනී ලීච් කවුද කියා නොදන්නා කවුරුන් හෝ වේ නම්, රෑ ඩැනියෙල් දවල් මිගෙල් චිත්‍රපටියේ තට්ටයා මතක් කරගන්නට යැයි ඇරයුම් කරමි. තට්ටයට මුදුනින් ඇන්ටනාවක් සවි කරගෙන, බයිසිකල් පැඩල් දෙකක් පාගමින් අප සිනා සාගරයක ගිල්වූ ඒ ආදරණීය තට්ටයාව ඔබට මතක ඇති යැයි සිතමි.

ඊයේ උදෑසන හේ නික්ම ගියේය. ඒ මම මේ ලියමන අමුණන ඕස්ට්‍රේලියාවේම කිලෝමීටර තුන්දහස් හාරසීයකට පමණ එහායින්, පර්ත් නුවරදීය. හෘදයාබාධයක් හේතුව වූ බව පමණක් මට ලැබුණු සටහනේ තිබුණි. මතක ඇති කාලයේ පටන් ජීවිතේට දැක නොතිබුණත් පුදුමාකාර ලෙස ආදරය කළ චරිත ගොන්නක් අතර, ඉහළින්ම සිටි කීපදෙනාගේ රංචුවේ එකම සහ ලස්සනම තට්ටයා රොනී ලීච් ය. ඒ නිසාම, සමුදෙන්නට මත්තෙන් අපේ පරම්පරාවේ ආදරය ඔහුට මෙසේ හෝ ලියා තැබිය යුතුම වේ.

බිග් මැච් සීසන් එකේ එස්.එස්.සී. එක නටවන්නට Stallions ටෙන්ට් එකේ සිට බයිලා කියූ රොනී ලීච්ගේ හඬ අපිට පුදුමාකාර ලෙස හුරුපුරුදු ය. බයිලා බීට් එකට කළවම් වූ ඒ ආතල් කටහඬ යළි බිග් මැච් එකේ නෑසෙනු ඇත. මරියසෙල් ගුණතිලක, ඩෙස්මන්ඩ් සිල්වා වැනි කටහඬවල් මැද හරි අපූරුවට සංකලනය වී හරි සොමියට අපිව නැටවූ ඒ කටහඬ යළි නෑසෙනු ඇත.

අපිට ඒවා එතරම් දැනෙන්නේ අපි හැදී වැඩුණේ ඒ කටහඬවල් සමඟින්ම නිසා වන්නට ඇත. 'කවුද බොලේ ඇලිස්' වැනි 'all time hits' මෙන්ම 'ටිකිරිමලී' වැනි මෑත කාලයේ ගැයූ ගී වල පවා රොනී ලීච් අනන්‍යතාව නොමසුරුව ඉතිරි කළ බව නොරහසකි. ඒ, කාලය කොතරම් වෙනස් වුණත් අපි එක සේ ඒ ගීත වැළඳ ගත් නිසා ය.

රොනී ලීච් වඩාත් ජනතාව වැළඳගත්තේ ගායකයෙකු ලෙසද නළුවෙකු ලෙසද යන්න ලිහා ගත නොහැකි ගැටලුවක් වන තරමටම එම අන්ත දෙකෙහිම එක සමාන ජනප්‍රියත්වක් ඔහු ඉසිලුවේ ය. 'රෑ දැනියෙල් දවල් මිගෙල්' මෙන්ම, " හායි හූයි බබි ආච්චි", "ජොන්සන් ඇන්ඩ් ගොන්සන්" , "මගෝ ඩිගෝ ඩයි" වැනි අතිසාර්ථක ප්‍රහසන චිත්‍රපට ගණනාවක රංගනයෙන් සහභාගී වෙමින් මුළු රටක් ලෝකයක් සිනා සයුරක ගිල්වන්නට ඒ දිළිසෙන ලස්සන තට්ටයේ අයිතිකරුවාට හැකි විය.

කුඩා කල සිට අප ආදරය කළ කලාකරුවෝ එකිනෙකා නික්ම යමින් සිටිති. ඒ කලාකරුවන්ගේ රංගනයන් දැක බඩ පැළෙන්නට හිනා වුණු අපි, අද අපේ කුඩා කාලය වර්ණවත් කළ ඔවුන්ගේ වෙන්වීම් දැක හඬා වැළපෙන්නෙමු. සෝ සුසුම් හෙළන්නෙමු. ඒ ඔවුන් අපේ හිත්වල දිනාගත් ආදරය හින්දාම වන්නට ඇත. විජය නන්දසිරි මහතා වියෝවූ බව අසා ඔහුගේ චිත්‍රපට බලමින් ඇස්වල කඳුළු පුරවන් සිටි අපි, ඒ තුවාල සනීප වෙන්නත් පෙර තව තවත් අපේ කුඩා කල ආදරය කළවුන්ට සමුදෙමින් සිටින්නෙමු.

මිනිස්සුන් හිනස්සා සතුටින් තැබීම කලාවකි. ඒ කලාව උපතින්ම ගෙන එන උන් විරල යැයි මම විශ්වාස කරමි. අවශ්‍ය තැන්වල අවශ්‍ය ලෙස හාස්‍යය ඇවිස්සීම, මිනිසුන්ව හිනැස්සීම තුළින්ම උන්ගේ ආදරය දිනාගැනීම 'ජෝකර්' කෙනෙක් හෝ 'හුදී විකට නළුවෙක්' තැනින් බොහෝ එහාට ගිය ප්‍රතිභාවක් යැයි මම විස්වාස කරමි. ලංකාවේ ජෝකර්ලා, විකට නළුවන් ඕනෑ තරම් සොයාගත ඇත. දියවන්නාව පැන්න ගමන් හොඳම ජෝකර්ලා තෝරන සමුළුවක් පවා ලංකාවේ පැවැත්වෙයි.

නමුත් රොනී ලීච් ලා හිටියේත්, ඉන්නේත් එක්කෙනෙක් පමණක්ම ය.

විජය නන්දසිරිලා ලංකාවටම එක්කෙනෙක් පමණම ය!

රොනී ලීච්ට රටක් 'තට්ටයා' කීවේ ආදරේට ය. අපි ඔහුව නොදැක්කත්, කතා කර නොතිබුණත්, කට පුරා ආදරෙන් 'තට්ටයා' ගැන කතා කෙරුවෙමු. ඒ ඔහු අපිව හිනැස්සූ තරමටම අපි ඔහුට ආදරය කළ නිසාය.

රොනී ලීච් ඕස්ට්‍රේලියාවේදීම දෙනෙත් පියාගැනීම උහුලා ගන්නට බැරි වේදනාවක් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. නමුත් ඔහු එසේ සමුගත්තේත් රසික ආදරය නොඅඩුව විඳගෙනය. කොතරම් වේදනාබර පුවතක් වුණත්, හිත හදාගන්නටම ඕනෑ ය. රොනී ලීච් යළිත් අපි වෙනුවෙන් බයිලා නොගයනු ඇත.

"තට්ටයා.. මම ලස්සන තට්ටයා..

කාගෙත් හොඳ මිත්‍රයා.. කවුරුත් දන්නා.. "

ඒ ඔබම ඔබ ගැන කියාගත් හැටිය. මට නම්, ඔබ ඊටත් වඩා හරි ආදරණීය ය.

ආදරණීය රොනී ලීච්,

අපේ ළමාවිය හිනාවෙන් පිරවූවාට ඔබට තුති!

තට්ටය උඩ අලවාගත් ඇන්ටනාවත්, හතර අතේ පෙරළුණ ෆුට් සයිකලයත් සමඟ ඔබව මතක තබාගත්තාට අමනාප නැති වේ යැයි සිතමි. ඒ ඔබ ගැන මට ඇති ආදරණීයම මතකය ය.

ඉතිං එහෙනම්,

ඔබට සුබ ගමන්!

[දෙමින්ත ජයසිංහ]

මාතෘකා