බල්ලන් නිසා මරණයෙන් අවසන් වන ජලභීතිකාව

 ඡායාරූපය:

බල්ලන් නිසා මරණයෙන් අවසන් වන ජලභීතිකාව

ජලභීතිකාව මාරාන්තික රෝගයක් වන්නේ ජලභීතිකා රෝගය වෙනුවෙන් කිසිදු ඔසුවක් මේ දක්වා සොයාගන්නට නොහැකිවීම නිසාවෙනි. එහෙත් ජලභීතිකා රෝගයෙන් බේරීමේ හැකියාවක් ඔබට ඇත. ජලභීතිකා රෝගයෙන් ජනතාව බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් තිබුණද නමුත් මෙරට බොහෝ දෙනෙකු තවමත් ජලභීතිකා රෝගයට ගොදුරුව මියයෑම අතිශයින් ඛේදනීය තත්ත්වයකි.

ජලභීතිකාව රෝගය නිසා වසරකට මෙරට පුද්ගලයන් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් මියයන අතර, ලොව පුරා වසරකට පනස් දහසකට ආසන්න පිරිසක් මෙම රෝගයට ගොදුරුව මරු දකින බව සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

ක්ෂිරපායි සතකු සපා කෑමෙන් හෝ සීරීමෙන් ජලභීතිකා රෝගකාරක ශරීරගතවීමේ අවදානමක් තිබේ. නමුත් සියයට 90ක් පමණ ප්‍රමාණයක් වාර්තා වන්නේ බල්ලන් සපා කෑමෙනි. එමෙන්ම බොහෝවිට ජලභීතිකා රෝගයට ගොදුරුවන්නේ අවුරුදු 15ට අඩු දරුවන්ය. ඊට හේතුව ඒ වයසේ දරුවන් සුනඛයන් වැනි සතුන් සමඟ නිතර දෙවෙලේ ගැවසීමය.

පසුගියදා යෙදී තිබූ ජලභීතිකා සතිය නිමිත්තෙන් රජයේ පශු වෙද්‍ය කාර්යාලවලින් ජලභීතිකාව තුරන් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ අතර ජලභීතිකා රෝගය පිළිබඳ කරුණු රැසක් එහිදී අනාවරණය විය.

ඔබේ නිවසේ පූසන් හෝ බල්ලන් ඇතිකරනවා නම් වසරකට වරක් එන්නත් කිරීම් සිදුකර ගැනීමෙන් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා විය හැකිය. එලෙස එන්නත් කිරීම ලංකාවේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවලදී නොමිලේ සිදු කරන අතර, ඊට අමතරව ඇතැම් අවස්ථාවල පශු වෛද්‍ය නිලධාරීන් විසින් ගම්මානවලට පැමිණ එන්නත් ලබාදීමද සිදුකරනු ලබයි.

නිවසේ ඇතිකරන බල්ලන්ගෙන් එසේ ආරක්ෂාව සලසා ගත හැකි වුවද ප්‍රශ්නය වන්නේ අයාලේ යන බල්ලන් විශාල වශයෙන් පරිසරයේ සැරිසැරීමයි. ඒ පිළිබඳ රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ දැනුවත් කිරීම මහජනතාවට වැදගත් වනු ඇත.

"බොහෝ වෙලාවට අයාලේ යන සතුන් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා එවැනි සතුන් ඉන්න තැනක් ගැන අපිට දැනුම් දුන්නොත් අපි එම ස්ථානයට ගොස් ස්වයංක්‍රිය එන්නත් විදිනයක් මගින් එම සුනඛයන්ටත් එනනත් විදිනු ලබනවා. ඊට අමතරව අපි පිරිමි සහ ගැහැනු සතුන්ට වඳ සැත්කම් සිදු කරනවා. ජලභීතිකා සතිය නිමිත්තෙන් අපි පසුගිය සතියේ මෙම සැත්කම් නොමිලේ සිදුකළා. ඉදිරියේදී නොමිලේ ගමින් ගමට ඇවිත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි නිතරම මහජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ නිවෙස්වල ඇතිකරන සතුන් අයාලේ යෑම හැකිතරම් වළක්වාගෙන නිවසේම තියාගන්න කියලයි. සුරතල් සතෙක් ඇති කරනවා නම් මාස එකහමාරකින් පසු එන්නත් කරන්න පුළුවන්. මාස 4කින් පසු සැත්කම් කරන්න පුළුවන්. "

කෙතරම් ආරක්ෂා වුවත් බල්ලකු සපාකෑමකට අහඹු ලෙස හෝ ලක්විය හැකිය. එවැනි විටකදී කළ යුතු පිළිවෙත් දැන සිටීමද ඕනෑම අයකුට වැදගත් වේ.

"යම් කිසි සතෙක් හපා කෑවොත් හෝ සීරුවොත් සබන් හෝ විසබීජ නාශකයක් යොදා විනාඩි 10ක් හෝ 15ක් ඉතා හොඳින් ගලාගෙන යන ජලයෙන් සොදා හරින්න. එසේ බොහෝ වේලාවක් සේදීමෙන් තුවාලයේ රැඳී තිබෙන විසබීජ ඉවත් වෙනවා. ඉන්පසු හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. එම සතාගේ එන්නත් කළ කාඩ්පත් තිබෙනවානම් ඒවාත් රැගෙන යන්න. හපා කෑ බල්ලා අල්ලා ගැටගසන්න. එම සතා සැක සහිත නම් පශු වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්න. සතා මරා දැමුවා නම්, සැක සහිත එම සතාගේ හිස පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයට හෝ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට, පශු වෛද්‍ය පීඨයට යවා පරීක්ෂණ කරන්න සිදු වෙනවා. මේ වන විට මාරාන්තික ජලභීතිකා රෝගය මර්දනය කිරීම සඳහා දීපව්‍යාප්තව පශූ වෛද්‍ය කාර්යාල මගින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ගමින් ගමට යමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් මේ සියල්ල සාර්ථක කරගැනීමට මහජන සහාය අවශ්‍යයි."

ජලභීතිකාව වැලඳුණු සතකු හඳුනා ගැනීමද වැදගත් වන්නේ එසේ නැතිනම් අහිංසක සතුන් පවා ජලභීතිකාව වැලඳුණු සතකු ලෙස සලකා හිංසාවට ලක්වීමට ඉඩ තිබෙන නිසාය. රජයේ පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ ජලභීතිකාව වැලඳුණු සතකු පහසුවෙන් හඳුනාගත හැකි බවයි.

"එහෙම සතෙක් නිතරම අඳුරු ස්ථානයක සැඟවෙන්න උත්සාහ කරනවා. ආලෝකයට ,ශබ්දයට, ස්පර්ශයට අධික ලෙස සංවේදී වෙනවා. සැර සුනඛයෙක් නම් සැර ස්වභාවය නැති වෙනවා. සාමන්‍ය තත්ත්වයෙන් සැර නැති සුනඛයෙක් නම් සැර වෙනවා. වෙනදාට වඩා හැසිරීම් රටාව වෙනස් වෙනවා. හසුවන හසුවන දේවල් හපා කනවා. කටින් කෙළ සහ සෙම ගලනවා. ඒ වගේම මෙම සතුන් ජලයට බියක් දක්වනවා. සුනඛයකුට නම් දින 10ත් 14ක් කාලයකදී රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ නිසා මෙවන් තත්ත්වයක් දුටු සැණින් හඳුනාගෙන එම සතා අසලට ළංනොවී හැකි ඉක්මනින් පශු වෛද්‍ය කාර්යාලයට දෙන්න."

බොහෝ විට සතුන්ගෙන් හපාකෑම්වලට ලක්වන අවස්ථා කිහිපයක් හඳුනාගෙන තිබේ. එම සතුන් කෑම කන විට, පැටවුන්ට කිරි දෙන අවස්ථා, පැටවුන් සමග සිටින අවස්ථාවලදී සහ සතුන් නිදා සිටින අවස්ථාවලදී හපා කෑම් බහුලව සිදුවේ. එවැනි අවස්ථාවල සතුන් අසලට යෑමෙන් වැළකිය යුතුය. ඇතැම් අවස්ථාවල රිළවුන් වැනි සතුනට ආහාර දීමට යෑමෙන්ද සපා කෑමට ලක්වූ අවස්ථා රැසක් වාර්තා වී තිබේ. සුනඛයන් වැනි සතුන් දඩාවතේ යෑමට එක් හේතුවක් වන්නේ කැළි කසළ වැනිදේ තැන් තැන්වල දමා තිබීමය. එම නිසා ඒවා ක්‍රමවත්ව බඳුන්වලට දමා ඉවත් කිරීමට කටයුතු කරනවානම් සුනඛයන් වැනි සතුන් අයාලේ යෑම සීමාකර ගත හැකිය. නිවසේ සිටින සතෙක් ගැබ්ගත් විට කොතැනකට හෝ අත්හැර දැමීමට ඇතැම් අය පෙලඹී සිටීම සුනඛයන් අයාලේ යෑම වැඩිවී තිබේ.

ජලභීතිකා රෝගයට හේතු වන්නේ ලීසා වර්ගයට අයත් ආර් එම්. ඒ වෛරසය වන අතර, ජලභීතිකා රෝගය වැලඳුණු පසු ප්‍රතිකාර කර සුවයක් ලබාගත නොහැකිය. සතකු සපා කෑ විට දින කිහිපයකින් මෙන්ම වසර කිහිපයක් ගතවී වුවද ජලභීතිකා රෝගය වැලඳිය හැකිය. ඒ නිසා සතකු සපා කෑ විට ඒ පිළිබඳ අඩු තක්සේරුවක් නොකර තම වටිනා ජීවිතය ජලභීතිකාවට ගොදුරු නොකිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යය. එබැවින් සතකු සපා කෑ විට හැකි ඉක්මනින් රෝහලකට ගොස් අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.

ශ්‍රී ලංකා රසායනාගාර විද්‍යාඥ සංගමයේ සම ලේකම් කීර්ති වික්‍රමරත්න මහතා ඒ පිළිබඳ දක්වන්නේ මෙවැනි අදහසකි.

“ ලෝකයේ වසරකට ජලභීතිකා රෝගය වැලඳීමෙන් 55 000ක් මියයනවා. ඉන් 31000ක් වාර්තා වෙන්නේ ආසියානු කලාපයෙන්. ඉන් 20 000ක් වාර්තා වන්නේ අපේ අසල්වාසි රට ඉන්දියාවෙන්. බොහෝ රටවලට මෙම රෝගය පාලනය කිරීමට නොහැකි වූ නමුත් සිංගප්පුරුව, ජපානය ඔස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල් බොහෝමයක් මේ වන විට ඉතා සාර්ථක ආකාරයෙන් මෙම ජලභීතිකා රෝගය තුරන් කර තියෙනවා. අපේ රටේ පාසල් සහ පන්සල් ආසන්නයේ අයාලේ යන සුනඛයන් බොහෝ සේ දැකගන්නට පුළුවන්. මංමාවත්වල සෑම තැනම වගේ අපිට දකින්නට ලැබෙන්නේ අයාලේ යන සුනඛයන්. එවැනි තත්ත්වයක් හමුවේ එවන් සතකු සපා කෑ විට හෝ සීරිමක් සිදුවූ විට ඇතැමුන් නිසි ප්‍රතිකාර නොකර සිටීම නිසා මෙම රෝගය වැලඳී මිය යන අවස්ථා අපට අසන්නට දකින්නට ලැබෙනවා. එම නිසා ජලභීතිකාව පාලනය කර ඇති රටවල් එය පාලනය කළ ආකාරය සොයා බලා කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සමග පාසල් පෙළ පොත්වලට මෙම සම්බන්ධයෙන් ඇතුළත් වුවහොත් පාසල් සිසුන්ට මෙහි භයානකකම පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. ලංකාවට සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් මෙම අයාලේ යන සුනඛයන් නිසා සංචාරක කර්මාන්තයටත් යම් හානියක් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ජලභීතිකාව තුරන් කිරීම සඳහා ජනතාව දැනුවත් කරමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි."

දැනුවත් කිරීම් කොතෙක් කළත් ආරක්ෂාව සහ ප්‍රවේසම පිළිබඳ වැඩි වගකීමක් ඇත්තේ ජනතාවට බව අමතක නොකළ යුතුය.

(විශේෂ ස්තූතිය - දමන පශුවෛද්‍ය නිලධාරිනි රසිකා ප්‍රියදර්ශනී මහත්මියට)

ශ්‍රී ලංකා රසායනාගාර විද්‍යාඥ සංගමයේ

සම ලේකම්

කීර්ති වික්‍රමරත්න

මාතෘකා