මියැදුණ තක්සලාවකට හුස්ම දී ආත්ම ගොඩදාන ආදරණීය ගුරුතුමා

 ඡායාරූපය:

මියැදුණ තක්සලාවකට හුස්ම දී ආත්ම ගොඩදාන ආදරණීය ගුරුතුමා

ගුරු දිවියට වසර විසි පහයි
2003 දී වසා දැමූ පාසලක්

පාසල යළි ආරම්භ කළේ 2013 ජනවාරි 28 වැනිදා
පාසල ආරම්භ කළේ ළමුන් විසි හයකගෙන්
කිසිදු ගුරුවරයෙක් හිටියේ නැහැ
මේ වෙද්දි ළමයි 105යි. ගුරුවරු 7යි

ඡායා [වාරියපොල සමූහ -  අශෝක චන්ද්‍රසේකර]
නිමාෂා සඳරුවනි

ගුරුවරයා වූ කලි උත්තම පුරුෂයෙකි. ගුරුවරයා යනු පහනෙන් පහනක් දල්වන්නෙක් ලෙසද, පරපුරක් ගොඩනඟන්නෙක් ලෙස සහ සමාජයට වගකිව යුත්තෙක් යන නොයෙක් ආකාරයේ නිර්වචනවලින් හැඳින්විය හැකිය. අතීතයේ සිට දේවත්වයෙන් පිදුම් ලැබූවෙකි. ගුරුවරුන් වනාහි තම දැනුම ගුරු මුෂ්ඨියකින් තොරව ශිෂ්‍යයන්ට ලබා දෙන පිරිසකි. ඔවුන් කරන සේවය කිසි දිනක මිල කළ නොහැකිය. වර්තමානයේ ගුරුවරුන්ට වැටුප් ලබා දුන් නමුදු ඔවුන් කරන සේවය ඒ වැටුපට මායිම් කර කටයුතු කරන පිරිසක් නොවන බව පැහැදිලිය.  ඒ මක්නිසාද යත් ඔවුන්ගේ මුළු ජීවිතයම තමන් දන්නා තමන් ‍අවබෝධ කරගත් සත්‍යයයන් සෑමදේම අන් අයට කියාදී අන් අය නිවැරදි මාර්ගයන් වෙත හැරවීම ගත් උත්සාහය නිසාවෙනි. උතුම් ගුරුවරයෙක් යනු කැපවීම, ධෛර්යය, උත්සහය, නොසැලෙන අධිෂ්ඨානය සහ කරුණාව යන ගුණාංගයන්ගේ සංකලනයකි. 
එකී සෑම ගුණාංගයන්ගේම එකතුවක් වූ අපූරු ගුරුවරයෙකු අපට නිකවැරටිය අධ්‍යාපන කලාපයේ මාදුරාගම කුමර විද්‍යාලයෙන් හමුවිය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ගුරු පියෙකි. ඔහු එම විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ඩී. එම්. ඒ. පී. දිසානායක මහතාය. මේ, අප සමඟ බෙදාගත් ඔහුගේ ජීවන සැරියේ මතක සටහන්ය.   
 

මේ වන විට  ඔබේ ගුරු වෘත්තියට වසර කීයක්ද?
මේ වෙද්දි මගේ ගුරු වෘත්තියට වසර විසිපහක් සපිරෙනවා. 
 

ගුරු වෘත්තියට පිවිසීමට කුඩාකල සිට ඔබේ සිතේ බලාපොරොත්තුවක් තිබුණාද?
ඔව්. ඇත්තටම කුඩා කාලයේ ඉඳන්ම මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා අනාගතයේදී ගුරුවරයෙක් විය යුතුයි කියලා. මොකද මගේ පියා විදුහල්පතිවරයෙක්. කුඩා කාලයේ සිට මගේ පියාගෙන් මට ලැබුණු ආභාෂය නිසා එහෙම සිතුවිල්ලක් මගේ හිතේ තැන්පත් වෙන්න ඇති කියලා මට විශ්වාසයක් තිබෙනවා. අද වෙද්දි මම ඒ ඉලක්කය කරා ගොස් සිටිනවා. ඇත්තෙන්ම මම ඒ පිළිබඳව සතුටු වෙනවා. 


ගුරුවරයෙක් විදියට ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ කුමන වර්ෂයේදීද? 
මම ගුරුවරයෙක් විදියට මුල්ම පත්වීම ලබන්නේ 1993 වසරේ පෙබරවාරි මාසයේදී.


ඒ මුල්ම පත්වීම ලැබෙන්නේ කුමන පාසලටද?
නිකවැරටිය අධ්‍යාපන කලාපයේ ගනේවැව විද්‍යාලයට තමයි මගේ මුල්ම පත්වීම ලැබුණේ. මට සෞන්දර්ය විෂය බාර ගුරුවරයෙක් විදියට තමයි පත්වීම ලැබෙන්නේ. චිත්‍ර භාර ගුරුවරයා විදියට මාස හයක පමණ කාලයක් මම ඒ පාසලේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළා.   


ඒ පාසලට ගිය මුල් අවධියේ මුහුණදුන් අත්දැකීම් මොන වගේද?
ගනේවැව විද්‍යාලය කියන්නේ අතිශය දුෂ්කර පරිසරයක පිහිටි දුප්පත් ළමුන් අධ්‍යාපනය ලබන පාසලක්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් දහයක් පයින් පාසලට යා යුතුයි. මට ඒ කාලේ පාපැදියක් තිබුණා. මම දිනපතා ඒ කිලෝමීටර් දහයම පාසලට ගියේ පාපැදියෙන්. ඒ පාසලේ දරුවො එක්ක එකතු වෙලා සෞන්දර්යාත්මක වැඩසටහන් බොහොමයක් මම කළා. ඒ පාසලේ දරුවන්ට ආලෝකය කරා ගමන් කරන්න මම මාර්ගය කියාදුන්නා.  මගේ පියා මගේ පසුපසින්ම ඉඳන් ඒ සෑම කටයුත්තක් සඳහාම උපදෙස් ලබාදුන්නා. එය මට විශාල රුකුලක් වුණා. 


ඉන්පසු ඉගැන්වූ පාසල් පිළිබඳ මතකය අවදි කළොත්?
මම මුලින්ම 1993 පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාස හයක පමණ කාලයක් කුරුණෑගල ගනේවැව විද්‍යාලයේත්, 1993 අගෝස්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා  හුලෝගෙදර මහ විද්‍යාලයේත්, 1993 දෙසැම්බර් මාසයේ සිට 1996 පෙබරවාරි මාසය දක්වා දලුගොල්ල විද්‍යාලයේත් සේවය කළා. 1996 පෙබරවාරි මාසයේ සිට 1997 දෙසැම්බර් මාසය දක්වා ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ පුහුණුව ලැබීමෙන් පසුව 1998 ජනවාරි මාසයේ සිට 2003 ජුනි මාසය දක්වා පුත්තලම කොත්තුකච්චිය මහ විද්‍යාලයේත්, 2003 ජුනි මාසය තුළ පමණක් කුරුණෑගල තිඹිරියාව විද්‍යාලයේත්, 2003 ජූලි මාසයේ සිට 2009 ඔක්තෝබර් මාසය දක්වා කුරුණෑගල හුළුගල්ල මහ විද්‍යාලයේත්, 2009 වසරේදී විදුහල්පති විභාගයෙන් සමත් වී 2011 වසරේ ඔක්තෝබර් මාසය දක්වා විදුහල්පතිවරයා ලෙස හුළුගල්ල මහ විද්‍යාලයේත්, 2011 ඔක්තෝබර් මාසයේ සිට 2013  මාර්තු මාසය දක්වා එලගම්මිල්ලෑව විද්‍යාලයේත්, 2013 මාර්තු මාසයේ සිට මේ දක්වා මාදුරාගම කුමර විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ලෙසත් සේවය කරනවා. 


ඔබ විදුහල්පතිවරයා ලෙස පත්වන විට වර්තමානයේ විදුහල්පති ධුරය දරන පාසල තිබුණ තත්ත්වය මොනවගේද? 
මම මේ පාසලේ විදුහල්පතිවරයා ලෙස නීත්‍යනුකූලව පත්වෙන්නේ 2013 වසරේදී වුණත් 2012 වසරේදී එලගම්මිල්ලෑව පාසලේ සේවය කරන අතරතුර මම අනියමින් මේ පාසලට සම්බන්ධ වුණා. නමුත් 2003 වසරේදී මේ පාසල වසා දමා තිබෙනවා. ඉතින් මම 2012 වසරේදී මේ පාසල බාර අරගත්තා. ඒ වෙද්දි පාසල් භූමිය පුරා වල් බිහිවෙලා ලඳු කැළෑවක් බවට පත්වෙලයි තිබුණේ. මුළු පාසලටම එක ගොඩනැගිල්ලක්, කුඩා බුදු කුටියක් සහ කැසිකිළියක් පමණයි තිබුණේ. මම ගමේ දෙමව්පියන් සමඟ එකතුවෙලා මහත් පරිශ්‍රමයක් යොදා දින ගණනාවක් මුළුල්ලේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකි ආකාරයට පාසල් භූමිය සුද්ද පවිත්‍ර කළා. ඒ කාලේ මම බොහොම අමාරුවෙන් පාසලට ළමුන් විසිදෙකක් පමණ හොයාගත්තා. ඒ කාලේ ගුරු මණ්ඩලය සඳහා කිසිවෙක් හිටියේ නැහැ. නිකවැරටිය කලාප කාර්යාලයේ ගුරු උපදේශකවරිය මට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම දෙමව්පියන් සමඟ සංසදයක් හදාගෙන පාසල සංවර්ධනය කළා. 2013 ජනවාරි 28 වැනිදා තමයි මේ පාසලේ ඉගෙනුම ලැබිය හැකි ආකාරයට මම ආරම්භ කළේ. පාසල ආරම්භ කරද්දි ළමුන් විසි හයක් දක්වා තිබූ ගණන වර්ධනය කරගන්න මට පුළුවන් වුණා. ඉන්පසු වෙනත් පාසලකින් අපේ පාසලට ගුරුවරියක් ස්ථානගත කළා. 
මේ වෙද්දි මගේ පාසලේ ළමුන් එකසිය පස්දෙනෙක් ඉගෙනුම ලබනවා. ගුරු මණ්ඩලයේ ගුරුවරු හත්දෙනෙකු සේවය කරනවා. පාසල පෙර තිබූ තත්ත්වය එක්ක සසඳා බැලීමේදී අද පවතින තත්ත්වය පිළිබඳව මම ඉතාම නිහතමානී ලෙස සතුටක් ලබනවා. පාසල මේ තත්ත්වයට ගෙන ඒමට මට ප්‍රදේශවාසීන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. 

 

ඔබගේ විදුහල්පති ජීවිතයට මේ වෙද්දි වසර කීයද?
මගේ විදුහල්පති දිවියට මේ වෙද්දි වසර නවයක් සපිරෙනවා. 

 

විදුහල්පතිවරයා වශයෙන් පාසල වෙනුවෙන් ඔබ කළ කැප කිරීම් ගැන සිහිපත් කරනවා නම්? 
මම පාසල බාර ගත් දවසේ පටන් මේ දක්වා පාසරේ පැවති ආකාරය ඡායාරූපගත කර පසුකාලීන ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව ගබඩා කර තිබෙනවා. මම විශ්වාස කරනවා ඒ ඡායාරූප හොඳ සාධක, සාක්ෂි කියලා. මුල සිටම මේ පාසල ගොඩනැඟීම පිළිබඳව මගේ හිතේ විශාල සතුටක් තිබෙනවා. මේ වෙද්දි පාසලට අලුත් ගොඩනැගිලි දෙකක් ලැබී තිබෙනවා. දෙමව්පියන්ගේ සහයෝගයෙන් පාසල් පරිසරය ආරක්ෂාකාරීව, පිළිවෙලකට සහ අලංකාර ලෙස සාදා තිබෙනවා. දරුවන්ගේ ආකල්ප, අධ්‍යාපන කුසලතා ඉහළ නැංවීමට විශාල ව්‍යාපෘති ගණනාවක් අපේ පාසලේ ක්‍රියාත්මක වෙනවා.


අධ්‍යාපන අමාත්‍යංශය, කලාප අධ්‍යාපන කාර්යාලය වැනි ආයතන මඟින් ඔබේ පාසලට ලැබෙන සහයෝගය මොන වගේද?
අපේ පාසලට අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හා  කලාප අධ්‍යාපන කාර්යාලය විශාල සහයෝගයක් ලබාදෙනවා. පාසලේ අධ්‍යාපන කටයුතු පිළිබඳව එම ආයතන දෙකම නිරන්තරයෙන් සොයා බලා මට උපදෙස් ලබා දෙනවා. 


වර්තමානයේ බොහෝ ගුරුවරුන් තෝරාගන්නේ නගරබද සුපිරි පාසල්, ජනප්‍රිය පාසල්. නමුත් ඔබ දුෂ්කර පාසල් පමණක්ම තෝරාගන්න හේතුව කුමක්ද?
මං කැමතියි දුප්පත් දරුවන්ට උගන්වන්න. හොඳ ගුරුවරයෙක් වෙන්න. සල්ලි තිබෙන මධ්‍යම පාන්තික හෝ ධනවත් පවුල් පසුබිමක් තුළ හැදෙන දරුවන්ට වඩා දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමෙන් විශාල ආත්ම තෘප්තියක් ලැබෙනවා කියා මා විශ්වාස කරනවා. 


විභාගය ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් ළමුන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා ඔබේ පාසල තුළ ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන් මොනවාද?
වත්මන් සමාජය දෙස බැලූ බැල්මට පෙනෙනවා පවතින්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් කියලා. දෙමව්පියන් සහ ගුරුවරුන් දරුවන්ව ඇතැම් විට මෙවලමක් සේ භාවිතා කරනවා. මේ වෙද්දි අධ්‍යාපනය තරගකාරී ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. දරුවන්ගේ ආධ්‍යාත්මික, චරිත, නායකත්ව සංවර්ධනය සඳහා විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් රැසක් මගේ පාසල තුළ ක්‍රියාත්මක වෙනවා. 
දරුවන් විසින් ස්වයං පෙලඹීමෙන් යුතුව යහපත් යමක් කළොත් අපේ පාසලේ ක්‍රියාත්මක වන කප්රුක වැඩසටහන යටතේ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කරනවා. දරුවාට ගෙදරදීත් අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යාම සඳහා කුඩා පන්ති කාමරයක් සාදා ‘ළමා මිතුරු නිවෙස් තක්සලාව’ නමින් හඳුන්වන  විශේෂ වැඩසටහනක් අපේ පාසලේ ක්‍රියාත්මකයි. 

මේ පන්ති කාමරය ක්‍රමානුකූලව පවත්වාගෙන යන දරුවන් සඳහා වසර අවසානයේ සහතිකපතක් අපි ලබාදෙනවා. ලෝක ළමා දිනය දවසේ අපේ පාසලේ දරුවන් ලවා එක් චිත්‍රයක් අන්දවාගෙන වසර අවසානයේදී එම චිත්‍ර අතරින් ලස්සන චිත්‍ර කිහිපයක් තෝරාගෙන සහතික පත් ලබා දෙන ‘කුමර සිත්තම්’ නමින් විශේෂ වැඩසටහනක්ද අපේ පාසල තුළ ක්‍රියාත්මකයි. අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ප්‍රදානය කරනු ලබන ගුරු ප්‍රතිභා ප්‍රභා සම්මානය 2017 වසරේදී සහ මේ වසරේදී මට ලැබුණා. ඒ පිළිබඳව මම  විශාල ආත්ම තෘප්තියක් ලබනවා. දුප්පත් දරුවන් වෙනුවෙන් කළ අසීමිත කැප කිරීම නිසා මට මේ සම්මානය ලබා ගැනීමට හැකි වුණා කියා මා සිතනවා.


විදුහල්පතිවරයා ලෙස ගුරුවරු, දෙමව්පියන් සහ දරුවන් අතර පවතින අන්තර් සම්බන්ධතාව මනාව කළමනාකරණය කරගන්නේ කොහොමද?
ප්‍රජාව තමයි මගේ පාසලේ තිබෙන විශාලම සම්පත. අක්කර පහක භූමි ප්‍රමාණයක් මගේ පාසල සතුයි. ඉන් අක්කර දෙකක ගොඩනැගිලි ඉදි කර තිබෙනවා. ඉතිරි අක්කර තුනක භූමි ප්‍රමාණයේ කජු සහ පොල් වගා කර තිබෙනවා. මුළු පාසල් වත්තම ප්‍රයෝජනය සඳහා ගෙන තිබෙනවා. දෙමව්පියන් එකතු වෙලා පාසලේ එක්රැස් වන කසළ මනාව කළමනාකරණය කරනවා. 


අමතර පන්ති මඟින් දරුවන් මානසිකව සහ දෙමව්පියන් මූල්‍යමය අතින් පීඩාවට පත් කරනවා. මේ දෙපාර්ශ්වයම පීඩාවන්ගෙන් මුදවා ගැනීම සඳහා ඔබ සිතන ආකාරයට කුමක් කළ යුතුද? 
අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබාදෙන විෂය නිර්දේශය නිසියාකාරව පාසල තුළ සම්පූර්ණ කරනවා නම් අමතර පන්තිවලට දරුවන් යොමු කළ යුතු නැහැ කියලයි මම හිතන්නේ. මගේ පාසලේ දෙමළ සහ ඉංග්‍රීසි ගුරුවරු නැහැ. නමුත් අපි දරුවන්ගේ භාෂා කුසලතාව සංවර්ධනය කිරීම සඳහා ගුරුවරු දවස් බෙදාගෙන පාසල් වේලාවෙන් පසුව අමතර පන්ති කරනවා. සතියකට වතාවක් මා ගුරු මණ්ඩලය සමඟ එකතු වෙලා දරුවන්ගේ ප්‍රගතිය පරීක්ෂා කරනවා. 


වසර විසි පහක වෘත්තීය ජීවිතය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද?
මට මගේ ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දි ගොඩක් සතුටුයි. දරුවන්ට සිප් සතර කියාදී ඔවුන්  යහමඟට ගැනීමේ හැකියාව පවතින්නේ ගුරුවරයෙක්ට පමණයි. මම වෘත්තීය ජීවිතය ආරම්භ කළ දවසේ සිට අද වෙනතුරු දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම් කළ කෙනෙක්. ඒ වගේම වෘත්තීය ජීවිතය තුළ හැලහැප්පීම් බොහෝමයකට මම මුහුණ දුන්නා. හැබැයි එයින් ලද පන්නරය, අත්දැකීම් මාව පරිණත කර තිබෙනවා වගේම වෘත්තීය ජීවිතය තුළ මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා.   

 

මාතෘකා