ගමෙන් ගිහින් ජීවිතය දිනා  ගමට ඇවිත් ජීවිත රකින ජීවකයෝ

 ඡායාරූපය:

ගමෙන් ගිහින් ජීවිතය දිනා  ගමට ඇවිත් ජීවිත රකින ජීවකයෝ

වැදූ මවත් උපන් බිමත් අමතක කරන්නා මිනිස්කමටද නිඟා කරන්නකු බව මුතුන්මිත්තෝ පැවසූහ. එහෙත් අද සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් රැකියාව ලද සැනින් සියලු දේ අමතක කරති. රැකියාව හෝ තත්ත්වය පවත්වා ගැනීමට අප්‍රමාණ වෙහෙසක නිරත වෙති. එයම හේතුවක් බවට පත්කරගන්නා ඔවුහු ජීවිතයේ මුල් කාලයේ තමන්ට උපකාර කළ මිනිසුන්ව පමණක් නොවේ, ගහකොළට පවා ද්‍රෝහී වෙති. බොහෝ අය නගරයට පැමිණ නැවතත් ගමට යෑමට හේතුවක් කර ගන්නේ තමන්ගේ මවගේ හෝ පියාගේ හදිසි අභාවයයි. පසුව තමන්ගේ නමට පැවරූ ඉඩකඩම් විකිණීමට යන ගමන ගමට යන අවසාන දවසයි.

බොහෝ අය එසේ වුවද උඩුගම්බලා පිහිනන මිනිස්සු අතළොස්සක්ද සමාජයේ නැත්තේ නොවේ. එය අපට පසක් වන්නේ පසුගියදා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල භූමියේදීය. විදුහල් බිමේ එක් කෙළවරක වූ ශාලාවක මිනිස්සු තැන් තැන්වල වාඩි වී සිටිති. ඊට මඳක් නුදුරින් බිමද තැන් තැන්වල කිලිනොච්චියේ වැසියෝ වාඩි වී සිටියහ. ඔවුන් සිටියේ ඔවුන්ගේ වාරය පැමිණෙන තුරුය.

එතැන සිදුවන්නේ කුමක්දැයි කිසිවකුගෙන් විමසීමට ළංවෙද්දී නාස් පුඩු හරහා සිරුරට ඇතුළු වූ ‘ඉස්පිරිතාල සුවඳ’ හිතට යම් ඉඟියක් ලබා දුන්නේය. නිරෝගී ජීවිතයකට ඖෂධ කෙතරම් සහයක් ලබා දුන්නද එවැනි ඖෂධ කිහිපයකින් නැඟෙන්නා වූ සුවඳ ගන්ධය නිසාවෙන්ම එතැන රෝගීන් හා වෛද්‍යවරු සිටින බව යාන්තමට සිතට දැනුණි.

රෝගීන්ට බෙහෙත් දීම සාමාන්‍ය දෙයකි. අද රටේ සෑම තැනකම විවිධ පිරිස් විසින් සංවිධානය කරණු ලබන වෛද්‍ය සායන පැවැත්වෙන්නේ නිවාඩු දිනවලට රජයේ පාසල්වල නිසා මේ සිදුවන වෛද්‍ය සායනයද සාමාන්‍ය සායනයක් මෙන් දිස් විණි.

එහෙත් බෝතල් අඩි වැනි කාච දෙකක් ඇති කණ්ණාඩියක් දමා ගෙන වෛද්‍ය වෘත්තියේ නොව මහපාරේවත් යෑමට නොහැකි වයෝවෘද්ධ මාතාවක් අඬු කතුරු අතින් ගෙන කරන මහා හරඹය දැකීමෙන් මේ ස්ථානයේ සිදුවන්නේ තරමක වෙනස් දෙයක් යැයි තේරුම් ගැනීමට එතරම් කාලයක් ගත නොවිණි.

කිලිනොච්චියේ ශාන්තපුරම් අංක විසි හත නිවසේ පදිංචි සින්නතුරෙයි බාලක්‍රිෂ්ණන් වෛද්‍යවරයෙකි. ඔහු දැනට සේවය කරන්නේ මඩකළපුව සිත්තන්ඩි රජයේ රෝහලේය. වයස අවුරුදු විසි නවයක නාඹර තරුණයකු වූ ඔහු මුලින්ම මේ සිදුවන දේ විස්තර කළේය.

''මුලින්ම කියන්න ඕන මේ අපේ මුල්ම වෛද්‍ය සායනය. ඒක නිසා සංවිධානය කරද්දි ගැටලු මතුවුණා. ඒවා ගණන් ගන්න එපා. කිලිනොච්චියේ ඉපදුණු, හැදුණු වැඩුණු, කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා වෛද්‍යවරු බවට පත්වුණු පිරිස කවුද කියලා අපි කාලයක්ම හෙව්වා. ලියුම් ලියලා ටෙලිෆෝන් කරලා විස්තර එකතු කළා. අවසානෙදි අපි පුංචි සංවිධානයක් හැදුවා. ඒකේ නම ''කිලිනොච්චියේ අපි''. මේ සංවිධානයට අපි එකතු කරගත්තේ වෛද්‍යවරු විතරයි. මොකද අපි කල්පනා කළා අපේ දැනුමෙන්, සේවාවෙන් මොනවහරි දෙයක් කරන්න ඕන කියලා. මේ අයගෙන් සමහරු දැන් විශ්‍රාම ගිහින්. තවත් සමහරු විදේශගත වෙලා එහෙ සේවය කරනවා. අනෙක් අය ලංකාවේ හැම පැත්තකම සේවය කරනවා.

“අවුරුදු තිස් ගණනක් මේ පළාතේ යුදමය වාතාවරණයක් තිබුණා. ගොඩක් අය ඉගෙන ගත්තේ ඒ අසීරුකම් එක්ක. යුද්ධයට මැදි වුණු අපේම මාමලාට නැන්දලාට සීයලාට ආච්චිලාට සහෝදර සහෝදරියන්ට වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් ගොඩාක් වටිනවා. රජයේ රෝහලෙන් ඒ දේවල් වෙනවා. ඒත් අපි හිතුවා අපිත් මොනව හරි දෙයක් මේ අපේම අය වෙනුවෙන් කරන්න ඕනේ කියලා. මුලින්ම අපි පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට කියලා අවසර ගත්තා. දැන් මාසයකට සැරයක් මේ වෛද්‍ය සායනය පවත්වනවා.

“ලංකාවේ විවිධ පළාත්වල ඉන්න ''කිලිනොච්චියේ අපි'' සංවිධානයේ වෛද්‍යවරු තමන් කිලිනොච්චියට එන දිනය දන්වනවා. ඒ අනුව අපි වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය හදනවා. නැත්නම් වෛද්‍යවරු පිරිලා වැඩක් වෙන්නේ නැති වෙයි කියලා හිතුණා. ඒ එන වෛද්‍යවරු අනුව අපි සායන සූදානම් කරනවා. දැන් මේක අපේ මුල්ම සායනය නිසා අපි ඇස්, අස්ථි දත්, කන, නාසය, උගුර වගේ දේවල් සම්බන්ධයෙන් විතරයි සායන කටයුතු කරන්නේ. ඉදිරියේදී කායික වෛද්‍ය සායනයත් ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය උපකරණ හා ඖෂධ සඳහා යන වියදම පියවා ගැනීමට උපකාර කරන්නේද මේ පාසලෙන් ඉගෙනගෙන වෛද්‍යවරු බවට පත් වී සිටින විදේශ රටවල රැකියාව කරන පිරිසය. ඒ අතරින් සමහරු විශ්‍රාමික පිරිස වෙති. එමෙන්ම මෙම සායනයට සහභාගි වන පිරිසට අවශ්‍ය ආහාර ලබා දීම කරන්නේද මෙම වෛද්‍යවරු විසින්මය. එම වෛද්‍යවරු මාසයෙන් මාසයට එක් එක්කෙනා බැගින් භාරගෙන ආහාර ලබා දීම කරති. ආහාරවලට යන වියදමද මේ වන විට රෝගීන්ගේ ඖෂධ වෙනුවෙන් භාවිත කළ හැකි බව ඔවුන් පවසන්නේ මහත් සතුටකිනි. කිලිනොච්චියේ ජනතාව වෙනුවෙන් විදේශ රටවලින් ඔවුන්ට අවශ්‍යවන උපකරණ විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ශ්‍රවණ උපකරණ, ඇස් කණ්ණාඩිද බෙහෙත්වලට අමතරව ලැබී තිබේ.

“අද අපිට එංගලන්තේ ඉඳලා දෙන්නෙක් කතා කළා. ඒ අය ශ්වසන අපහසුකම් ඇති රෝගීන්ට භාවිත කරන්න ඉන්හේලර් එවන්නම් කිව්වා. ඉතින් අපිට දැනෙනවා අපේ උත්සාහය සාර්ථකයි කියලා. අපිට මේකෙන් ලැබෙන සතුට කොච්චරක්ද කියලා කියන්න බෑ.” ඒ හඬ වෛද්‍ය බාලක්‍රිෂ්ණන්ගේය.

ගමෙන් ඉගෙනගෙන ගමෙන් ගිහින් දොස්තරලා වුණු මේ මිනිස්සු නැවතත් ගමට ඇවිදින්ය. සෙල්ලප්පාගේ පුතා... කන්දසාමිගේ දුව... පොන්නදොරේගේ හදාගත්ත කොළුවා ලෙස එදා කිලිනොච්චියේ වැසියෝ මොවුන්ව හැඳින්වූවත් අද මේ සියලුම දෙනා දොස්තර මහත්වරුය.

ඔවුන් ඔවුන්ගේ ගමට පැමිණ මිනිසුන්ගේ ජීවමාන දෙවිවරු වී සිටිති. ඔවුන්ගේ ඥාතීන්ට, මවුපියන්ට නිරාමිස ප්‍රීතියක් ලබා දෙන්නට ඔවුහු මහත් වෙහෙසක් දරති.

ගමෙන් නගරයට ගොස් පහසුකම් සමඟ ජීවත්වන බොහෝ මිනිසුන් ගමේ සේවයට පැමිණීමට දැඩි අකැමැත්තක් දක්වන කාලයක වෛද්‍යවරු වූ මේ පිරිස ගමට සේවය කිරීමට පැමිණ සිටිති. මේ පිරිස අතර සිටි වයෝවෘද්ධම මාතාව දන්ත වෛද්‍ය විශේෂඥවරියක ලෙස සේවය කොට මේ වන විට විශ්‍රාම ගොස් වසර පහළොවකි. ඇය සෙබස්තියන්පිල්ලේ ක්‍රිස්ටිනාය. වයස අවුරුදු හැත්තෑ එකක් වූවත් ඇගේ කඩිසරකමට වචන නොමැත.

''මම මගේ සේවයෙන් විශ්‍රාම ගිහින් දැන් ළමයින්ගේ ළඟ ජීවත් වෙන්නේ. ඉන්නේ දෙහිවල. මේ ළමයි කිව්වා මෙහෙම වැඩක් කරමුද කියලා. අපි ඉගෙන ගත්ත ඉස්කෝලෙන්නේ මේක කරන්නේ, මම හා කිව්වා. මගේ ගම පරන්තන්. මම කිලිනොච්චියට එහා ගමේ ජීවත් වුණේ. කොහොම හරි මම දත් දොස්තරවරියක් වුණා. ගොඩාක් අමාරුවෙන් තමයි ඒ කාලේ ඉගෙන ගත්තේ. පස්සේ එංගලන්තෙදි විශේෂඥ පුහුණුව ලබලා දන්ත විශේෂඥ වෛද්‍යවරියක් වුණා. නමුත් කනගාටු වෙනවා මගේ සේවා කාලෙදි එක දවසක්වත් මට උතුරු පළාතේ රෝහලක වැඩ කරන්න ලැබුණේ නෑ.

“මේ ළමයි ටික එකතු වෙලා කරපු වැඩෙන් මට ඒකටත් අවස්ථාවක් ලැබුණා. ඒ වගේම තමයි කාලෙකින් ආපහු මගේ ගමට එන්න ලැබුණා. ඒත් දුකයි දැන් මාව දැකලා අඳුනගන්න පුළුවන් අය ගමේ නෑ. මම උදේ ඉඳලම කතා කළ අය මාව දන්නේ නෑ. මාව දන්නේ නෑ කියන්නේ මගේ අම්මා තාත්තා කොහොමවත් දන්නේ නෑ. මගෙ නංගිත් දැන් ඉන්නේ පරන්තන්වල නෙවෙයි. එයා බැඳලා. දැන් ඉන්නේ යාපනේ. එයාව දන්න අය නම් මුණගැහුණා. එයාගේ අක්කා කියලා මම මේ මිනිස්සුන්ට කියලා සතුටු වුණා. දන්න අය මුණගැහුණම තමයි ගමේ ආවා කියන හැඟීම දැනෙන්නේ.”

එතුමිය සතුට දුක සියල්ල එකට මුසු කරගනිමින් කී දේ අතර මගේ මතකයට දැඩිව කා වැදුණේ ඉපදුණු ගමට කොහොම හරි යම් දෙයක් කරන්න ලැබීම වාසනාවක් සතුටක් යනුවෙන් ඇය පැවසූ වදන් කීපයයි. හැමෝටම මෙවැනි සිත් පහළවන්නේ නම් මේ ලෝකය කොතරම් සුන්දර ලෝකයක් වනු ඇත්ද?

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා