දරුවන් ලෙඩ කරන අසාත්මිකතා

 ඡායාරූපය:

දරුවන් ලෙඩ කරන අසාත්මිකතා

අසාත්මිකතාව එසේත් නැත්නම් allergy නම් රෝගී තත්ත්වය අද කාලයේ දරුවන් අතර තිබෙන සුලබ රෝගයකි. මෙහිදී සිදුවන්නේ පරිසරයේ තිබෙන යම් යම් හානිදායක නොවන ද්‍රව්‍යන් සඳහා ශරීර අභ්‍යන්තරය ප්‍රතිචාර දැක්වීමේ තත්ත්වයකි. එම තත්ත්වය තුළ ඇදුම ( Asthma ), පීනස ( Allergic rhinitis ) දද ( eczema ) සහ ශරීරයේ කැසීමත් සමඟ පළු මතුවීම ( Urticaria ) සුලභව ඇතිවන අසාත්මික රෝගී තත්ත්වයක් බවට පත්ව තිබේ.

ඇතැම් අවස්ථාවලදී මෙම අසාත්මිකතාවන් අතිශය භයානක වීමට හැකි අතර, වෛද්‍ය විද්‍යාත්මකව එම තත්ත්වය anaphylaxis ලෙස හඳුන්වයි. එහිදී ශ්වසන මාර්ගය අවහිර වීම හා ශරීරයේ රුධිර ගමනය අකර්මණ්‍ය වීම මගින් මරණය පවා සිදුවිය හැකිය. එම නිසා දෙමවුපියන් තුළ මෙම තත්ත්වය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් තිබීම වැදගත්ය.

අසාත්මික තත්ත්වය හඳුනාගත හැක්කේ කෙසේද?

බොහෝ අවස්ථාවන්හිදී දරුවන්ට අසාත්මික තත්ත්වයක් ඇති වී ඇත්දැයි සැක කරන්නේ ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිටයි. හරියටම අසාත්මිකතාව දක්වන්නේ කුමන ද්‍රව්‍යටදැයි හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ තිබෙනවා. මේවා රුධිරය ආශ්‍රිතව කරන පරීක්ෂණ සහ Skin Prick යනුවෙන් සම මතුපිට සිදුකරන පරීක්ෂණයි. නමුත් ඇතැම් අවස්ථාවලදී අපට නිශ්චිතවම ආසාත්මික වන්නේ කුමකටදැයි කියා සොයා ගැනීමට හැකියාවක් නැහැ.

දරුවන්ට අසාත්මික තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

අසාත්මිකතාවන් ඇති වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති අධි ක්‍රියාකාරීත්වය නිසයි. සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රධාන කාර්ය වන්නේ ශරීරයට පිටතින් ඇතුළු වන විසබීජ වැනි අහිතකර ද්‍රව්‍ය සඳහා ප්‍රතික්‍රියා දැක්වීමයි. නමුත් අසාත්මිකතාවන් ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, පරිසරයේ තිබෙන කිසිදු හානිදායක තත්ත්වයක් නොමැති ද්‍රව්‍යයන්, උදාහරණ වශයෙන් ආහාරපාන, දූවිලි, පරාග, බල්ලෝ, පූසෝ වැනි සතුන් , ඖෂධ වැනි දේවල් සඳහා අනවශ්‍ය ලෙස ප්‍රතික්‍රියා දක්වනවා. බොහෝ අවස්ථාවන්වලදී මෙම තත්ත්වය ඇති වන්නේ ආවේණික වශයෙන්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මෙම අසාත්මික රෝගයන් සම්ප්‍රේෂණය වෙනවා. මීට අමතරව යම් යම් පාරිසරික සාධකත් අසාත්මික තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපාන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කුඩා කල මවුකිරි වෙනුවට පිටි කිරි බීම අසාත්මිකතාවන් වැඩිවීම කෙරෙහි බලපාන සාධකයක්.

දරුවන්ට ඇතිවන අසාත්මික තත්ත්වයන් පාලනය කිරීම සඳහා දිය යුතු උපදෙස් මොනවාද?

මෙය එක් එක් දරුවාට තිබෙන අසාත්මික රෝගී තත්ත්වය අනුව වෙනස් වනවා. බොහෝ අවස්ථාවලදී දරුවා අසාත්මික වන්නේ කුමකටද කියා සොයාගැනීම අපහසුයි. කිසියම් අවස්ථාවකදී අසාත්මිකතාව ඇති කරන ද්‍රව්‍ය හඳුනාගත හැකි වුවහොත් එම ද්‍රව්‍ය හැකිතරම් දරුවාගෙන් ඈත්කර තැබිය යුතුයි. උදාහරණයක් වශයෙන් යම්කිසි කෑමකට අසාත්මිකතාවක් දක්වන්නේ නම්, එම කෑම ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් දෙයක් නම් එවැනි අසාත්මික දෙයක් ඉතා කුඩා ප්‍රමාණයකින් වුවත් ශරීරගත වුවහොත් දරුවා රෝගී විය හැකි බවයි.

එම නිසා යම් ආහාර ද්‍රව්‍යකට අසාත්මිකතාවක් ඇති දරුවකුට එම ආහාර අඩංගු කිසිදු දෙයක් කෑමට නොදිය යුතුයි. උදාහරණයක් වශයෙන් රටකජුවලට අසාත්මිකතාවයක් ඇති දරුවකු රටකජු ඉතා ස්වල්පයක් හෝ ඇති කෑමක් අනුභව කළොත් ඔහුට අසාත්මික රෝග ලක්ෂණ ඇති විය හැකියි. එබැවින් තම දරුවා ආහාරයට ගන්නා සියලුම කෑම කෙරෙහි අවධානයෙන් පසුවීම වැදගත් වනවා. එසේ වුවත් අසාත්මික කුමකටදැයි හරියටම නොදැන, නිකරුණේ ආහාර වර්ග දරුවාට නොදීමද නොකළ යුතුයි. එමඟින් දරුවාට පෝෂණ ඌනතා පවා ඇතිවිය හැකියි.

ඒ වගේම ඇදුම , පීනස, හා දද වැනි අසාත්මික රෝග සඳහා බොහෝ අවස්ථාවන්හිදී වෛද්‍යවරුන් දිගු කාලයක් ගැනීම සඳහා විවිධ ඖෂධ ලබාදෙනවා. මේවා නොකඩවා නියමිත වේලාවන්හි භාවිත කිරීම මඟින් දරුවාට නිරෝගී ජීවිතයක් ගතකිරීමට පුළුවන්.

අසාත්මිකතාවන් ඇති දරුවකු සම්බන්ධයෙන් දෙමවුපිය, භාරකරුවන් අනිවාර්යයෙන් මතක තබාගත යුතු කරුණු මොනවාද?

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ anaphylaxis වැනි භයානක අසාත්මිකතා ඇති දරුවන්ගේ මවුපියන්ටයි. එවන් අවස්ථාවන්හිදී සිදුකළ යුතු හදිසි ප්‍රතිකාර පිළිබඳව දැනුවත් විය යුතුයි. එවැනි හදිසි ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඔවුන් සතුව නිතරම තිබිය යුතුයි. ඒ වගේම යම් කිසි ඖෂධයක් සඳහා දරුවා අසාත්මික බවක් දක්වනවා නම් එම ඖෂධයේ නම අනිවාර්යයෙන්ම තම වෛද්‍යවරයා වෙත පැවසිය යුතුය. එසේ නොවුණහොත් එම ඖෂධය යළි ලබාදීමෙන් දරුවාට දරුණු අසාත්මිකතා ඇතිවිය හැකියි.

සටහන- මදාරා මුදලිගේ

උපදෙස්- වෛද්‍ය ප්‍රසාද් චතුරංගන

විශේෂඥ ළමා වෛද්‍ය,

රිජ්වේ ආර්යා ළමා රෝහල

කථිකාචාර්ය, කොළඔ වෛද්‍ය පීඨය

මාතෘකා