දරුපල අහිමි කරන නිදන්ගත රෝගයක් ක්ලැමිඩියා ට්‍රැකොමැටිස්

 ඡායාරූපය:

දරුපල අහිමි කරන නිදන්ගත රෝගයක් ක්ලැමිඩියා ට්‍රැකොමැටිස්

අද වන විට ලෝකයේ වඩාත් සුලබව දක්නට ලැබෙන ලිංගික සම්ප්‍රේෂක බැක්ටීරියා ආසාදනය ලෙස ක්ලැමිඩියා ට්‍රැකොමැටිස් (Chlamydia trachomatis) හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව තුළ ක්ලැමිඩියා ආසාදිත රෝගීන් සුළු ප්‍රතිශතයක් මේ වන විටත් වාර්තා වී ඇත. වෙනත් රටවල් මෙන් තත්ත්වය දරුණු නොවූවත් ඒ පිළිබඳ දැනුවත් භාවය කාලීන අවශ්‍යතාවකි. මෙහි වඩාත් හානිකර ප්‍රතිඵලය වන්නේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම වඳභාවය නොහොත් දරුපල අහිමි වීම යන තත්ත්වයට මුහුණ පෑමට සිදුවීමයි. බොහෝ විට කාන්තාවන් සඳහා මෙම තත්ත්වය වඩාත් දරුණු ප්‍රතිඵල ඇතිකළද පිරිමින් සදහා ඇති කරන්නා වූ බලපෑම කාන්තාවන්ට මෙන් බරපතළ නොවේ.

මුලින් සඳහන් කළාක් මෙන් මෙහි රෝග කාරකයා වන්නේ ක්ලැමිඩියා නම් බැක්ටීරියා විශේෂයකි. මොවුන්ගේ සුවිශේෂත්වය වන්නේ ඔවුන්ගේ ගුණන හැකියාව ධාරක සෛල තුළට පමණක් සීමා වීමයි. ආසාදිත රෝගීන්ගේ ශුක්‍ර තරලය හෝ යෝනි ශ්‍රාවයන්හි අන්තර්ගත මෙම බැක්ටීරියා සෛල නව ධාරක සෛල කරා සම්ප්‍රේෂණය සිදුවන්නේ ආසාදිත සෛල හා නව සෛල අතර ඇතිවන්නා වූ ඝට්ටනය නොහොත් සම්බන්ධතාව හේතුවෙනි. එහිදී සෛල මතුපිට ග්‍රාහක ප්‍රෝටීන් හා බැඳෙන මෙම බැක්ටීරියාව නව සෛලය කරා ගමන් කර ආසාදනය ඇති කරනු ලබයි.

ක්ලැමිඩියා ට්‍රැකොමැටිස් ආසාදිත පුද්ගලයන් ආසාදනයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්වන අතර, මේ හේතුවෙන් රෝගය පූර්ව අවධියේ හඳුනා ගැනීම දුෂ්කර කාර්යකි. නමුත් වෛද්‍ය විද්‍යානුකූල ක්‍රම භාවිතයෙන් මෙම තත්ත්වය මුල් අවදියේදීම හඳුනාගතහොත් ඊට අදාළ ප්‍රතිකාර මඟින් තත්ත්වය පාලනය සඳහා පිළියම් යෙදිය හැකිය. නමුත් බොහෝ පුද්ගලයන්ට තමන් හට ක්ලැමිඩියා බැක්ටීරියාව ආසාදනය වී ඇති බව නිර්ණය කරගැනීමට වසර කීපයක් ගතවේ. එම කාලය ඇතුළත ප්‍රතිකාර නොගැනීම නිසා තත්ත්වය වඩාත් දරුණු රෝගී තත්ත්වයනටද මඟ පාදයි. විශේෂයෙන් කාන්තාවන්ට නිදන්ගත රෝගී තත්ත්වයන් වන ශ්‍රෝණි අසාදනය, ගැබ්ගෙල ප්‍රදාහය හා පැලෝපීය නාල අවහිරතා යන තත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. මීට අමතරව පුරුෂයන්ගේ මුත්‍රාශය, ගුද මාර්ගය හා උගුර යන ස්ථාන ආසාදනයන්ට නතු වේ.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රතිකාර නොගැනීමත්, ආසාදිත අවස්ථාව හදුනා ගැනීමට ප්‍රමාද වීමත් තුළින් කාන්තාවන් හට මතුවන ඉහත කී රෝගී තත්ත්වයන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අවයව වන ගර්භාශය හා පැලෝපීය නාලවල සාමාන්‍ය කාර්යභාරය කෙරෙහි බාධා ඇති කරනු ලබයි. මෙම ප්‍රදාහ තත්ත්ව දිගු කාලයක් තිස්සේ පැවතීම හේතුවෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ ශුක්‍ර තරලයේ ගමන් මාර්ගයට බාධා ඇති කරනු ලබන අතර ඒ හේතුවෙන් සංසේචිත කලලයක් ඇතිකිරීමේ අවස්ථාව අවම කරනු ලබයි. ඇතැම් විට ක්ලැමිඩියා ආසාදන හේතුවෙන් බහිෂ්කේතනික(ectopic) ගැබ් ගැනීම් සිදුවන අතර එහිදී සංසේචිත ඩිම්බය ගර්භාශයෙන් පිටත ස්ථානයක වර්ධනය වීම සිදුවේ. මෙම තත්ත්වය මවට ඉතාමත් අහිතකර බලපෑම් ඇති කරනු ලබයි. ක්ලැමිඩියා ආසාදිත ගර්භණී කාන්තාවන් මගින් ඔවුන්ගේ නොඉපදුණු බිලිඳුන්ට රෝගය සම්ප්‍රේෂණය විය හැකි අතර එමඟින් බිලිඳා නිතැතින්ම ක්ලැමිඩියා ආසාදිතයකු බවට පත්වේ. මීට අමතරව කලලය ගබ්සා වීම, නොමේරු දරු උපත් හා මල දරු උපත් යන සංකූලතාවන්ට මුහුණ පෑමට ගර්භණී මවට සිදුවේ. මෙය ඉතාමත් කණගාටුදායක තත්වයකි.

ක්ලැමිඩියා ආසාදනවලට බොහෝවිට ගොදුරු වන්නේ අහිතකර ලිංගික චර්යාවන් පවත්වන පුද්ගලයන් වීමද විශේෂත්වයකි. බොහෝ ක්ලැමිඩියා අසාදිත පුද්ගලයන් ඔවුන්ගේ ලිංගික සබඳතාවන් තනි පුද්ගලයකුට සීමා නොකළ කිහිප දෙනකු ඇසුරු කරන්නන්ය. ඔවුන්ගේ රෝග ලක්ෂණ බොහෝ විට විශේෂ ආකාරයෙන් ගම්‍ය වන අතර, එහිදී ඉන්නන්, වණ, එරිතිමා(erythema) යන තත්ත්වයන් දක්නට ලැබේ. බොහෝ පර්යේෂණ මගින් තහවුරු වී ඇති අන්දමට මෙම ක්ලැමිඩියා ට්‍රැකොමැටිස් ආසාදිත තත්ත්වය ලෝකය පුරා අවුරුදු 25ට අඩු තරුණ තරුණියන් අතර අනෙකුත් වයස් කාණ්ඩවලට සාපේක්ෂව සුලබව ව්‍යාප්තව ඇත.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ද බහුල ලෙස මෙම තත්ත්වයට ගොදුරු වී ඇති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මඳ සරු බවට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් ඇසුරෙන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත. එහිදී කාන්තාවන්ගෙන් 1/3ක ප්‍රමාණයක් ක්ලැමිඩියා ආසාදනය නිසා සරු බව අහිමි වීම හෙවත් දරුපල රහිත තත්ත්වයට පත්වී ඇතැයි හෙළිවී තිබේ. පිරිමින්ගේ මෙම තත්ත්වය පැවත ඇත්තේ කාන්තාවන්ට වඩා ඉතා පහළ මට්ටමකය.

ගතානුගතික සමාජ පද්ධතීන් සහිත ශ්‍රී ලංකාව වැනි රටවල්වලට සාපේක්ෂව චීනය හා බටහිර රටවල්වල ක්ලැමිඩියා අසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාව තුළ ක්ලැමිඩියා ආසාදනයේ තත්ත්වය බරපතළ නොවූවද අපට අනාගතය පිළිබඳ ඉඟි පළ කිරීම සිදුකළ නොහැකිය. එබැවින් තත්ත්වය දරුණු වීමට පෙර පූර්ව ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වඩාත් කාලෝචිත වේ.

[අරුණි කඩවත - විද්‍යා පීඨය- කොළඹ විශ්වවිද්‍යාල]

මාතෘකා