භීෂණ යුගයෙන් පටන්ගෙන විසිනව වසරක් සිප් කිරි පොවන විදුහල්පති

 ඡායාරූපය:

භීෂණ යුගයෙන් පටන්ගෙන විසිනව වසරක් සිප් කිරි පොවන විදුහල්පති

අතීතයේ සිට ගුරුවරයා සමාජයේ බුහුමනට පාත්‍ර වූයේ ගරු කටයුතු තැනැත්තකු ලෙසටය. ගුරුවරයා එසේ ගරු කටයුතු වන්නේ සමාජයේ අනෙක්‌ අයට වඩා ඔහු දැනුමෙන්ද, සංවර බවින්ද, උපදේශනයෙන්ද, හැකියාවෙන්ද වඩා ඉහළ මට්‌ටමක වැජඹුණු නිසා බව පැරණි පත පොතේ සඳහන් වේ. එම නිසාම ගුරු, ගුරු දේව, ආචාර්යවරයා, ගුරුන්නාන්සේ, ඇදුරුතුමා යන විශේෂිත නම්වලින් ගුරුවරයා හඳුන්වා දී තිබේ. 'ගුරු' යන සංස්‌කෘත වචනයේ අර්ථය 'අඳුරින් අලෝකය වෙන් කර දෙන උතුමා' යන්නය. අතීතයේ විසූ හැම ගුරුවරයකුම පාහේ එවැනි ගුණ සමුදායකින් යුතු උත්තම පුද්ගලයන්ය. අවාසනාවකට මෙන් ගුරු වෘත්තියේ සැබෑ වටිනාකම් අනුව කටයුතු කරන ගුරුවරුන් හමුවන්නේ අල්ප වශයෙනි.   
එවැනි ආදර්ශමත් ගුරුවරයකු බඩල්කුඹුර කෙසෙල්කොටුව ප්‍රාථමික විද්‍යාලයේදී අපට හමුවිය. ඔහු එම විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන සුමනසිරි දිසානායක මහතාය. මේ, අප සමඟ බෙදාගත් ඔහුගේ ජීවන සැරියේ මතක සටහන්ය.  
 
මේ වන විට  ඔබේ ගුරු වෘත්තියට වසර කීයක්ද?
මගේ වෘත්තීය ගුරු ජීවිතයට මේ වෙද්දි වසර 29ක් වෙනවා.   

ගුරු වෘත්තියට පිවිසීමට කුඩාකල සිට ඔබේ සිතේ බලාපොරොත්තුවක් තිබුණාද?
නැහැ. ඇත්තටම එහෙම අදහසක් නම් තිබුණේ නැහැ. ගුරු වෘත්තියට පිවිසෙන්න කළින් මම ව්‍යාපාර කටයුතුවල නියැලිලා හිටියා. නමුත් 1987 වසරේදී තරඟ විභාගයක් තිබුණා. ඒ විභාගය සමත් වෙලා තමයි මම ගුරු වෘත්තියට පිවිසුණේ.  

ගුරුවරයෙක් විදියට ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ කුමන වර්ෂයේදීද? 
මට මුලින්ම ගුරුවරයෙක් ලෙස පත්වීම ලැබෙන්නේ 1989 වර්ෂයේදී.  

ඒ මුල්ම පත්වීම ලැබෙන්නේ කුමන පාසලටද?
මොනරාගල අධ්‍යාපන කලාපයේ බඩල්කුඹුර, කරවිල ප්‍රේමානන්ද මහා විද්‍යාලයට තමයි මගේ මුල්ම පත්වීම ලැබුණේ. වසරක පමණ කාලයක් මම ඒ පාසලේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළා.   

ඒ පාසලට ගිය මුල් අවධියේ මුහුණදුන් අත්දැකීම් මොන වගේද?
1989 කියන්නේ රටේ ලොකු භීෂණයක් තිබුණ කාල වකවානුවක්. නමුත් මම ඒ කිසිවක් නොසලකා බොහෝ අපහසුතා, දුෂ්කරතා මැද්දේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. මගේ පළමු අත්දැකීම නිසාත් එය දුෂ්කර පාසැලක් නිසාත් මට විශාල අභියෝග සංඛ්‍යාවකට මුහුණදෙන්න සිදුවුණා.  

ඉන්පසු ඉගැන්වූ පාසල් පිළිබඳ මතකය අවදි කළොත්?
මම මුලින්ම 1989 – 1990 වසරවල බඩල්කුඹුර, කරවිල ප්‍රේමානන්ද මහා විද්‍යාලයේත්, 1990 – 2007 වසරවල බඩල්කුඹුර කිරිවානාගොඩ කනිෂ්ඨ විද්‍යාලයේත්, 2007 වසරේ සිට මේ දක්වා බඩල්ගම, කෙසෙල්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කරනවා.   


ඔබ විදුහල්පතිවරයා ලෙස පත්වන විට එම පාසලේ තිබුණ තත්ත්වය මොනවගේද? 
කෙසෙල්කොටුව ප්‍රාථමික විද්‍යාලය කියන්නේ ඉතාම දුෂ්කර පාසලක්. ඉතා අමාරුවෙන් තමන්ගේ එදාවේල හම්බ කරගෙන කන දෙමව්පියන්ගේ දරුවන් තමයි මේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ. 2007 වසරේදී පාසලේ හිටපු විදුහල්පතිවරයා වෙනත් පාසැලකට මාරු වුණා. ඒ පුරප්පාඩුව පිරවීම සඳහායි මම මේ පාසලේ විදුහල්පතිවරයා ලෙස පත්කළේ. 2007 වසරේදී මේ පාසලේ ළමුන් අට දෙනෙක් අධ්‍යාපනය ලැබුවා. නමුත් ඊට මාස කිහිපයකට පසු ඒ සංඛ්‍යාව ළමුන් තුන්දෙනෙක් දක්වා අඩු වුණා. පාසලේ ඒක පංතියයි ඉතුරු වුණේ. ඒ නිසා පාසැල වසා දැමීමට පවා තීරණය කළා. ඒ වසරේදී පාසලේ ගුරු හිඟයකුත් තිබුණා. නමුත් මම මගේ උත්සාහයෙන් මේ වන විට ළමුන් විසි හතරදෙනෙක් අධ්‍යාපනය ලබන පාසලක් බවට කෙසෙල්කොටුව ප්‍රාථමික විද්‍යාලය පත්කර තිබෙනවා. දැනට මෙම පාසලේ ගුරුවරු 5ක් සේවයේ යෙදෙනවා. ඒ වගේම ලබන වර්ෂයේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට ළමුන් 10ක් අයැදුම්පත් භාරදීලා තිබෙනවා. පාසල මෙම තත්ත්වයට ගේන්න ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා.   

ඔබගේ විදුහල්පති ජීවිතයට මේ වෙද්දි වසර කීයද?
මගේ විදුහල්පති දිවියට මේ වෙද්දි වසර එකොළහයි. පාසැලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළත් ගුරුවරු නැති කාල පරිච්ඡේදවලදී මමත් පංතිවල ඉගැන්වීම් කටයුතු කරනවා.   

විදුහල්පතිවරයා වශයෙන් පාසල වෙනුවෙන් ඔබ කළ කැපකිරීම් ගැන සිහිපත් කරනවා නම්? 
දුෂ්කර පාසලක් නිසා අඩුපාඩු රාශියක් තිබුණා. තවමත් තිබෙනවා. ඒ අතරින් පාසලේ පවතින භෞතික සම්පත් අඩු නිසා පරිත්‍යාගශීලින්ගේ අවධානය ඒ වෙත යොමු කරලා ඩෙස්, බංකු, පුටු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත්, පෑන්, පැන්සල් ආදී ලිපිද්‍රව්‍ය ආදිය ලබාගත්තා. මහජන බැංකුව, ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සහ ස්වේච්ඡා සංවිධාන ඒ සඳහා විශාල සහයෝගයක් ලබාදුන්නා. මේ පාසලේ සිට දරුවන්ගේ නිවෙස්වලට යාමට කිලෝමීටර් දහඅටක් පමණ පයින් යා යුතුයි. දරුවන්ට අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යාම සඳහා දුෂ්කර දීමනාවක් ලැබෙනවා නම් හොඳයි. දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් සමඟ ඉතාමත් සහයෝගයෙන්, සමඟියෙන් කටයුතු කරගෙන යනවා.   

වර්තමානයේ බොහෝ ගුරුවරුන් තෝරාගන්නේ නගරබද සුපිරි පාසල්, ජනප්‍රිය පාසල්. නමුත් ඔබ දුෂ්කර පාසල් පමණක්ම තෝරාගන්න හේතුව කුමක්ද?
ගුරුවරයා කියන්නේ දෙමාපියන්ට පසු දරුවන්ට හොඳ නරක කියා දී දරුවන් යහමඟට ගත හැකි කොට්ඨාසයක් කිව්වොත් නිවැරදියි. ලෝකේ තියෙන උතුම්ම වෘත්තිය ගුරු වෘත්තිය කියලත් කතාවක් තියෙනවනේ. නමුත් වර්තමානයේදී බොහෝමයක් ගුරුවරුන් නගරබද සුපිරි පාසල් හෝ ජනප්‍රිය පාසැල්වලට මාරුවීම් සාදාගෙන යනවා. එය බොහෝ කණගාටුවට කරුණක්. මෙවැනි දුෂ්කර පාසල්වල දරුවන්ට අධ්‍යාපනය දෙන්න කැමති ගුරුවරු ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු සංඛ්‍යාවක්. අනිත් කාරණාව තමයි මේ දරුවන්ට අමතර පංති යාමට මුදල් සොයාගැනීමේ හැකියාවක් නැහැ. එදාවේල කන්න පවා මුදල් සොයාගන්නේ බොහොම අමාරුවෙන්. ඒ හේතුව නිසා තමයි මම දුෂ්කර පාසල් පමණක් තෝරා ගන්නේ. මම හිතනවා එය සමාජයට විශාල ආදර්ශයක් කියලා. එයින් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා.   

ලොකු පිරිසක් පාලනය කරනවාට වඩා පොඩි පිරිසක් පාලනය කරන එක අමාරු වැඩක් නෙවෙයිද? 
මම එහෙම හිතන්නේ නැහැ. මම හරිම සතුටින් තමයි මේ දරුවෝ එක්ක කාලය ගතකරන්නේ. මගේ අත්දැකීම් අනුව පහසුකම් තිබෙන, විශාල දරු පිරිසක් අධ්‍යාපනය ලබන පාසලක සේවය කිරීමට වඩා පහසුකම් අඩු, අවම දරුවන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසලක් පාලනය කිරීම පහසුයි. “අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත” කියලා පැරණි කියමනකුත් තියෙනවනේ. කුඩා කාලයේ කොයි දරුවාගෙත් හිත යන්නේ සෙල්ලමටයි. මගේ පාසලේ දරුවන් අධ්‍යාපන කටයුතු සහ බාහිර කටයුතු නියමාකාරයෙන් කරගෙන යනවා. සෙල්ලම් කිරීම සඳහා ඔවුන් දවසට පැය දෙක තුනක් වැය කරනවා. නමුත් එයින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක් වෙන්නේ නැහැ.  

අධ්‍යාපන අමාත්‍යංශය, කලාප අධ්‍යාපන කාර්යාලය වැනි ආයතන මඟින් ඔබේ පාසලට ලැබෙන සහයෝගය මොන වගේද?
අපේ පාසලට ආරක්ෂිත වැටක් තිබුණේ නැහැ. නමුත් 2015 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කළ ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ අපේ පාසලට ආරක්ෂිත වැටක්, ගේට්ටුවක් සහ සෙල්ලම් මිදුලක් ලබා දුන්නා. එයට මා මේ මොහොතේදී ස්තූති කරන්න කැමතියි.   

මේ වනවිට  ඔබේ පාසල ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලබා තියෙනවා. ඒ පිළිබඳ සඳහන් කළොත්?
මෙම පාසලේ ඉතිහාසය තුළ මේ දක්වා කිසිම දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා නැහැ. මේ වසරේදී තමයි ප්‍රථම වරට ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලබාගන්න හැකියාව ලැබුණේ. 2018 පහේ ශිෂ්‍යත්ව විභාගයට අපේ පාසලෙන් ළමයි හය දෙනෙකු ඉදිරිපත් වුණා. එයින් පස් දෙනෙකු ලකුණු 143ට වඩා ලබාගෙන තිබෙනවා. ඒ වගේම ආර්. එම්. ප්‍රනීත් පසන් ශිෂ්‍යයා ලකුණු 177ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා. මම මේ මොහොතේදී නිලන්ත රත්නායක සර් පිළිබඳ විශේෂයෙන් මතක් කළ යුතුමයි. ඒ මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසා තමයි මේ වගේ ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලබාගන්න හැකි වුණේ. ඊට අමතරව සතියේ දින පහම කිසිදු මුදලක් අය නොකර පාසලේ ගුරුවරු පස්දෙනාම මාරුවෙන් මාරුවට මේ දරුවන් සඳහා පාසල් වේලාවෙන් පසු අමතර පංති කළා. මේ ලබපු ජයග්‍රහණයට එයත් විශේෂයෙන් උපකාරී වූ බව මගේ විශ්වාසයයි.   

මෙම පාසල් පරිසරය තුළ ඔබට මුහුණදීමට සිදුවූ අභියෝග මොනවාද? 
මේ පාසල පිහිටා තිබෙන්නේ ඉතාමත් ජන ශූන්‍ය ප්‍රදේශයක. ඒ නිසා පාසල අවට ජනගහනය අඩුයි. ඒ හේතුව නිසයි පාසලේ අඩු ළමයි සංඛ්‍යාවක් ඉගෙනුම ලබන්නේ. මම ළමයි, ගුරුවරු, දෙමාපියන් සමඟ ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන නිසා මේ දක්වා දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ.   

වසර විසි නවයක වෘත්තීය ජීවිතය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද?
ඇත්තෙන්ම මට ගොඩක් සතුටුයි. දරුවන්ට සිප් සතර කියාදී ඔවුන්ව යහමඟට ගැනීමේ හැකියාව පවතින්නේ ගුරුවරයෙක්ට පමණයි. මම වෘත්තීය ජීවිතය ආරම්භ කළ දවසේ සිට අද වෙනතුරු දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම් කළ කෙනෙක්. ඒ වගේම වෘත්තීය ජීවිතය තුළ හැලහැප්පීම් බොහෝමයකට මම මුහුණ දුන්නා. හැබැයි එයින් ලද පන්නරය, අත්දැකීම් මාව පරිණත කර තිබෙනවා වගේම වෘත්තීය ජීවිතය තුළ මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා.   

මාතෘකා