වස්දඬුවක් අතැති ආරක්ෂක නිලධාරියා

 ඡායාරූපය:

වස්දඬුවක් අතැති ආරක්ෂක නිලධාරියා

රෑ පැල් රකින ගොවියා පාඵව, කාන්සිය මඟහරවා ගැනීමට මැවූ නිර්මාණ අපට හුරුය. එවැනි පැල් කවියක් දෙකක් කට පාඩම් නැත්තෙක් සොයා ගනු බැරි තරම්ය. ඒ ගම්මානයෙනි. එහෙත් අද වනවිට ගම්මානයක පැල් කොටයකටවී රැය ගෙවාගනු බැරි තරමට මනුස්ස ජීවිතය සංකීර්ණ වී ඇති සැටියකි. එහෙයින්දෝ ගම්මානවලින් වැළ නොකැඩී සිදාදියට ගාටන ඇත්තන් අද සුලභය.

ඉඳින් ඒ ඉන්ගම්මමාරුව හරහා උරුමවන රැකී රක්ෂා ගොන්නක් අදටත් සිදාදියේ නැත. එක්කෝ සිකියුරිටි රස්සාවකි, නැතිනම් මේසන් වැඩකට අත්වැඩ දීමකි. ඒ මිසෙක මහලු අයකුට මේ ගෙන්දගම් පොළොවත් සමඟ ඔට්ටුවන්නට ඇති වෙනත් මංමාවත් හිඟය.‍ෙ

අපේ කතානායකගේ ජීවිත කතාව ද තරමක් වෙනස්ය. එය එතරම්ම සුන්දර නැත. ඔහු රැකියාවට කරන්නේ නිදි වැරීමය. එය වේදනාකාරී බව සැබෑය. එහෙත් ඔහු ඒ වේදනාව අපට රසයක් කොට තිළිණ කරන්නෙකි. ඒ අතින් ඔහු අපූරු මිනිසකු බව කියන්නේ අප නොවේ. වසර ගණනාවක පටන්ම මේ වාදකයාගේ මියුරුසරින් සැනසෙන ඇත්තන්ය. විශේෂයෙන්ම අලුයම් නිහඩතාව අතරින් ව්‍යායාම් පිණිස මේ පෙදෙසට පැමිණෙන බොහෝ දෙනකු මේ කතාවේ ජීවමාන සාක්ෂිකරුවන්ව සිටී.

මෙතැන දෙනෝ දාහක් යනෙන තැනකි. පිහිටා ඇත්තේ ද කොළඹට තදාසන්නවය. උත්සවයක්, ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙන දිනට මේ ඉසව්ව කාර්ය බහුලය. කලබලකාරීය. එවිට කම්කරුවෝ පුටු, හට් කැනපි මෙහි ගෙන එති. ඔවුහුම ඒවා මේ ශාලාව ඉදිරිපිට එළිමහනේ ද සවි කරති. එවිට ඔහු මුර කුටියේ සිට ඒ දෙස බලා සිටින්නේ සෙවිල්ලෙනි. ඉනික්බිතිව ආහාර බාරව සටින්නෝ, සැර බීම, කට ගැස්ම බාරව සිටින්නෝ ද වශයෙන් එකිනෙකා එති. ඒ කොයි කවුරුත් දෙස මේ ආරක්ෂක නිලධාරියාගේ විමසුම් ඇස තවමත් යොමු වුණු ගමන්ය. එහෙත් තුවක්කු, පිස්තෝල අත දරන ආරක්ෂක අංශවල පිරිස් සමඟ සසඳා බලද්දී ඔහු වෙනස්ම මිනිසෙකි. ඔහු අතැත්තේ වස් දඬුවක්වන හෙයින්ය.

හෙතෙම එතැන ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන බව සැබෑවකි. එහෙත් කෝටිපති, ප්‍රකෝටිපතියන් පවා නිතර ගැවසෙන ඒ සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂාවේ වගකීමට උරදෙන කෙනකු වන ඔහු මුදලිගේ ජයතිස්සය. එහෙත් ජයතිස්ස මේ අවට ගැවසෙන කවුරුන් අතරත් ප්‍රකට තවත් එක් ආරක්ෂක නිලධාරියකු ලෙස නම් නොවේ. එසේම ජයතිස්සව හඳුනන්නේ මේ සම්මන්ත්‍රණ ශාලාවට යන එන ඇත්තන් පමණක් ද නොවේ. ඒ අවට ඇවිදින විහිදුණු මංතීරුවට ව්‍යායාම් පිණිස පැමිණෙන කොයි කාගේත් අවධානය දිනාගන්නටත් මේ පුංචි මිනිසා සමත්ව සිටී. ඒ සියල්ලම මේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා මුරකුටියේ සිට මවන තාල ඔස්සේ ඔහු කරා පැමිණි සෙයකි.

ජයතිස්ස අප නෙත් ගැටුණු අන්දමත් හරි අපූරුය. ඒ පසුගියදා අපට සම්මන්ත්‍රණ ශාලාවට ගොඩවැදීමට අවස්ථාව හිමි විය. එහෙත් එහි ඇතුළුවූ මුල් හෝරාවක පමණ කාලය තුළ වෛවර්ණ ආලෝක රටා, කොක් හඬලා සිනාසීම් හෝ සාද තෙපුල් දෝරේ ගලන කතාසරිත් සාගරයක සේයාවක්වත් එහි නොවීය. එවේලේ අපේ කතානායකයා ද ඔහේ මුරකුටියට වී සිටින්නට ඇත. ඒ නිකම්ම නිකම් පුද්ගලික ආරක්ෂක නිලධාරියකු විදියටය.

එහෙත් රෑ කළුවර බෝ වනවිට සාදය ඇරඹිණ. කෙමෙන් නිහඬතාවද බිඳිණ. ඒ පරිසරයෙන් මතුවන්නට වූයේම කංකරච්චලයකි. ඒ කිහිප දෙනා බැගින් සැදුම්ලත් පිරිස් ඔවුනොවුන්ගේ කුදු මහත් කතාබස් ඇද බාමින් සිටි හෙයිනි. මේ ඒ අතරවාරයේය,

මිහිකත නළවාලා....,

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට...

ආදී ගීතවල සංගීතය සිහින් සරින් මතුවන්නට වූයේය, එහෙත් ඒ වාදනයේ ඇත්තේ සුවිශේෂයකි. තනිකරම වස්දඬුවකින් පමණක් එම ගී වැයීම ඊට හේතුවකි. ඒ හැරෙන්නට මේ සංගීත රාව කොතැනකින් කෙසේ නැඟෙන්නේදැයි ද නොපෙනේ. එය පටිගත හෝ තැටිගත කරන ලද්දක්ද? එහෙත් එවැනි හැඟීමකින් සෑහෙන්නටත් සිත ඉඩ නොදේ. කෙමෙන් තව තවත් ඉපැරණි මියුරු ගී වස්දඩුවෙන් උපද්දවා ඔහු ගුවනට පාකර හරී. මේ හේතුවෙන් අප එතෙක් එල්බ සිටි කතාබහට මඳ විරාමයක් දුනිමු. එතෙක් කරබාගෙන සිටි තැනින් කර උස්සා බැලීමු. බොහෝ වෙලාවක් දෑස් එහේ මෙහේ කරකවමින් සිටි අපේ නෙත්වලට අන්තිමේදී ඔහු හසුවිය. ඒ සාද බිමේ ඈත කෙළවරක පිහිටි මුර කවුළුව අද්දරිනි. එවිටත් අපේ කතානායකයා කිසි හාවක් හූවක් නැතිවම තොටුපල අයිනේ ගීයේ එන සිහින් සංගීත රාව වා තලයට මුසු කරමින් උන්නේය. ඔහුගේ අතැඟිලි එකෙල මෙකෙල වනු ඔහුට ළංවූ අපට දැක ගත හැකි විය. එහෙත් ගීය වයා හමාර කොට බොහෝ වේලාවක් ගෙවෙන තුරුත් ඔහුගේ හඬ නම් අවදි නොවීය.

එසේම මේ වාදකයා එතැන ආරක්ෂාව බාර නිලධාරියකු වශයෙන් අප දැන ගත්තේද එවේලේය. ඒ බටනලා වාදනය නිමකළ ඔහු සෙමෙන් මුර කුටිය තුළට වැදී අපෙන් නොපෙනී ගිය විටය. කෙසේ නමුත් අන්තිමේදී අප ජයතිස්සගේ මුර කුටියට කර පෙවීමු. මේ එවිට ඔහු අප ඉදිරියේ දිග හැරි කතාවය.

‘රස්සාවල් දෙක තුනක් කළා. අන්තිමේදී සිකියුරිටි කෙනෙක් විදියට ජීවත් වෙන්න හිත හදාගත්තා. දැන් මං වයසයිනේ. මට දැන් අවුරුදු හැට පහක්. මේ වයසේ කෙනකුට මේ වගේ රස්සාවක් හොයාගන්න එකත් අමාරු කාලයක්නේ මේ.’

හීන් හඬින් ජයතිස්ස කෙඳිරූ ඔහුගේම ජීවන තතු හදවතින් වැයූ තැන් තවමත් අප සවන්පත් අග දෝංකාර දෙයි. එසේම නිතර දෙවේලේ මධු සාද පැවැත්වෙන මේ අපූරු උයන්තෙරට වී වස්දඬුව වයන, ජීවිතයේ සැඳෑ කල ගෙවන මේ බටනළා වාදකයා කවමදාකවත් මත් වතුර, දුම් වැටි බී නැතැයි ඔහු කියයි. මේ හැරෙන්නට ජයතිස්ස සම්බන්ධයෙන් කිව යුතු තවත් කරුණක් වෙයි. ඒ ඔහු මිල මුදල් අපේක්ෂාවෙන්ම බටනලාව වාදනය නොකරන බවය.

ජයතිස්ස කියන අන්දමට ඔහු මුර කුටියේ කාංසියක් දැණුනු හැම වේලාවකදීම දෝතට ගන්නේ වස්දඬුවය. මුර කුටිය තුළට වී ඔහු වයන තාලවලින් සැනසෙන බොහෝ දෙනකුව ජයතිස්ස නොදකී. ඒ රසින් දෙසවන් පිනන හුඟ දෙනකුට ද එය එසේමය. එහෙත් ඒ මියුරු සරින් කුල්මත්වන හුඟ දෙනකු තමන් සොයාගෙන විත් ඊට තුති පුදන බවත් ජයතිස්ස පවසයි.

අලුයමින්ම වස් දඬුව අත දරන මේ වයෝවෘද්ධ ආරක්ෂක නිලධාරියා කෙරෙහි අවධානයෙන් යොමු කරන පිරිස් අතර ශ්‍රී ලංකාවේ ඉහළම පෙලේ දේශපාලනඥයන් ද සිටින බවත් ඒ හුඟ දෙනකු අලුයමින්ම ජයතිස්සට සුළු හෝ සුබපැතුමක් ද එක්කරන බව මේ බටනලා වාදකයා සිහිකරන්නේ හද පිරි සතුටිනි. බොහෝ විට තනිව ඇවිදින මං තීරුවේ එහා මෙහා යන එකිනෙකාගෙන් වැඩි දෙනකු ජයතිස්සට හිතැත්තෝය.

ඒ හුඟ දෙනකු මුදලින් උදව් පදව් කරන්නාක් සේම ඔවුනොවුන්ගේ විශේෂ උත්සවවලටත් ජයතිස්සගේ බටනළා නාදය එක් කරගන්නට පුරුදුව සිටින බව අපේ වාදකයා සිහිකරන්නේ ආඩම්බරයෙන්. ඉතින් අන්තිමේදී අප ඔහුට සමුදිය යුතු වාරය එළැඹිණ. එවිට අප ඔහුගෙන් අනාගත අපේක්ෂා පිළිබඳ අසා බැලීමු. එවිට ඔහුට කියන්නට තරම් විශේෂ කාරණයක් නොවීය. එහෙත් ඔහුට අත් වුණු ඉරණම ඔහුගේ පුතුට අත් නොවේ නම් එය සතුටට කරුණක් බව ජයතිස්ස කීය, ගීත ගායනයට දක්ෂකම් පෙන්වන ජයතිස්සගේ පුතු ද හෝටල් සේවකයකු වශයෙන් සේවය කරන බව සිහිකළ ජයතිස්ස තරමක් කණගාටු විය. ඒ ජීවිත කාලය තුළදීම තම දක්ෂතා සැඟව ගිය මේ සමාජයේම පුතුගේ හැකියාවද යටපත් වනු ඇතැයි සිතමිනි.

[නුවන් මහේෂ් ]

මාතෘකා