ලංකාවේ ව්‍යාපාර නීති සංවර්ධනයට හා ආර්ථිකය සංවර්ධනය කළ චෙට්ටියාර්වරු

 ඡායාරූපය:

ලංකාවේ ව්‍යාපාර නීති සංවර්ධනයට හා ආර්ථිකය සංවර්ධනය කළ චෙට්ටියාර්වරු

චෙට්ටියාර්වරුන්, සෙට්ටි, චෙට්ටි හා සේති ආදී නම්වලින් මොවුන් හඳුන්වති. එහෙත් ලංකාවේ අපට නම් හෙට්ටිය. මොවුන් පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ මදුරෙයිවලට ආසන්නව පිහිටි චෙට්ටිනාද් ප්‍රදේශයෙනි. එහි ගම් 75ක් තිබේ. චෙට්ටියාර්වරුන් වාණිජ ජන කොටසක් ලෙස සාර්ථක වූයේ දහය සහ එකොළහ යන සියවස්වල බලයට පැමිණි චෝල අධිරාජ්‍යයේදී හා දහතුන් වන සියවසේ දී බලයට පැමිණි පාණ්ඩයන් යටතේදීය. මුදල් පොලියට දෙන්නන් ලෙස මොවුන් ඉතා ප්‍රකටව සිටියේය. එබැවින් වෙළෙන්දා යන අර්ථය ඇති වනික්කාර් යන නමින් මොවුන් හඳුන්වා ඇත. මොවුන් වාණිජ ජන කොටසක් බැවින් නගරබදව ජීවත් වීමට ප්‍රියතාවයක් දක්වයි. එම නිසා නගරබදව වාසය කිරීමට ප්‍රිය කරන යන අරුත ඇති නගරාතර් යන නමින්ද මොවුන්ව හදුන්වා තිබේ.

මෙම චෙට්ටියාර්වරුන්ව පසු කලෙක 'දකුණු ඉන්දියාවේ යුදෙව්වන්' ලෙස හදුන්වා ඇත. එසේ හදුන්වා ඇත්තේ මුදල් පොලියට දීම පාරම්පරික වෘත්තියක් කරගත් සමහර යුදෙව් ජන කොටස් නිසාවෙනි. මෙම හෙට්ටීන්ගේ ලංකාගමනය ගැන පැහැදිලිව සටහන් වන්නේ ලන්දේසි යුගයේදීය. එනම් ක්‍රි.ව. 1656 සිට ක්‍රි.ව. 1796 දක්වා කාලයන්වලදීය. එහෙත් ලන්දේසීන් තම වෙළඳ අධිකාරිය කිසිවෙකුටවත් පැවරුවේ නැත. එය ඔවුන් විසින්ම තබා ගත්තේය. මේ හේතුවෙන් ලන්දේසි යුගයේදී හෙට්ටීන්ට ලංකාවේදී සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැත. එහෙත් ඉංග්‍රීසීන්ගේ කාලයේදී ඔවුන් වෙළද ඒකාධිකාරිය තමන් සතුවම තබා නොගෙන නිදහස් වෙළදාමට ඉඩ ලබාදුන්හ. මෙයින් හෙට්ටීන් ප්‍රයෝජන ගත්තෝය. ඔවුන් ලංකාවට අමතරව බුරුමය, සිංගප්පූරුව, සුමාත්‍රා, වියට්නාමය, මුරුසිය හා දකුණු අප්‍රිකාව ආදී රටවල්වලට වෙළදාම උදෙසා සංක්‍රමණය විය.

හෙට්ටීන් ලංකාවට පැමිණීමට මූලික හේතුව වූයේ මුදල් ඉපයීමයි. ඒ සදහා ඔවුන් මුදල් පොලියට දීම, රන් භාණ්ඩ උකස් ගැනීම, සහල් රෙදිපිලි හා මුතු ආදිය මිලට ගැනීම කළේය. ලංකාවේ ප්‍රථම වාණිජ බැංකුව වූයේ ලංකා බැංකුවයි. එය 1841 වසරේදී ආරම්භ විය. එය ආරම්භ වීමට ප්‍රථම බැංකුවෙන් සිදුවිය යුතු ණය දෙන කටයුතු සිදු කළේ හෙට්ටීන් විසිනි. මේ නිසා ඔවුන්ව 'බැංකු වෙළෙන්දෝ' යන නමින් ද හැඳින්වීමට පටන් ගත්තේය. බැංකු ආරම්භය නිසා හෙට්ටීන්ගේ ව්‍යාපාර පසුබැස්සේ නැත. ඔවුන් ලාභ ඉපයීමේ අරමුණින් ඈත ගම්ෙවලට ද ගියේය. බැංකු කටයුතු නොදන්නා අයට අඩු පොලියට බැංකුවෙන් මුදල් රැගෙන වැඩි පොලියට ලබාදුන්නෝය.

හෙට්ටීන් මුදල් ණයට දුන්නේ රන් භාණ්ඩ, ඉඩම් හෝ වටිනා යමක් ඇපයට තබාගෙනයි. ණය ලබා ගත් පුද්ගලයාට තම ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට එම ඇපය හෙට්ටීන්ට හිමි වේ. එහෙයින් මෙසේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ බොහෝදෙනාගේ දේපළ හෙට්ටීන්ටම හිමි විය. හෙට්ටීන්ගෙන් ණය ලබාගෙන තම ව්‍යාපාර දියුණු කරගත් අයද බොහෝ වෙති. බැංකුව හා ජනතාව අතර අතරමැදියා ලෙස කටයුතු කරමින් අවධානමකට මුහුණදී ණය ලබාදී ලංකාවේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම නිසා 1934 වසරේදී හෙට්ටීන්ව ලංකා බැංකු කොමිසම විසින් අගය කිරීමක් කර තිබේ.

"මා කුඩා කල නිතර ඇසූ පැරණි කියමනක් නම් හෙට්ටියාගේ වචනය ඔහුගේ පොරොන්දු පත්‍රය තරමටම විශ්වාසදායී බවයි" යනුවෙන් ආර්.එල්. බ්‍රෝහියර් විසින් තම කෘතියෙහි සටහන් කරයි. එනම් හෙට්ටීන් වෙළඳාම කරන්නේ විශ්වාසය මතයි. කවුරුන් හෝ තමන්ට රුපියලක් වංචා කළහොත් ලක්ෂයක් වුවද වියදම් කර නඩු කියා තමන්ට සාධාරණය ඉටු කරගැනීමට හෙට්ටීන් පෙළඹේ. මෙවැනි නඩු බොහොමයක් ලංකාවේ තිබුණු අතර එම නඩු ලංකාවේ වාණිජ නීති සංවර්ධනයට බොහෝ රුකුලක් විය.

හෙට්ටීන් තම දරුවන්ට මෙම ව්‍යාපාරය උගන්වන්නේ දාහතර හා පහළොව යන වයස්වලදීය. කිසිම විටෙක පියා විසින් පුතාට ව්‍යාපාර කටයුතු උගන්වන්නේ නැත. ඒ සදහා පුතාව වෙනත් අයෙකු වෙත යොමු කරවයි. අවුරුදු තුනක හතරක වැනි පලපුරුද්දක් ලැබුණු පසු ඔහුට පියාගේ ව්‍යාපාරයේ තනතුරක් හිමි වේ. එය ලොකු තනතුරක් නොවේ. පියාගේම ව්‍යාපාරයේ සේවකයෙකු යටතේ ඇති තනතුරකි. මේ නිසා පුතාට තම පියාගේ ව්‍යාපාර නිසා උද්ධච්ඡ කමක් ඇති වන්නේ නැත. ටික කලක් ගත වූ පසු පියා විසින් පුතාට මුදල් ලබාදේ. ඒ ඔහුටම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. මුල් කාලයේදී පියා තම පුතුගේ ව්‍යාපාර කටයුතු ගැන සොයා බැලුවත් එය ක්‍රමක්‍රමයෙන් අඩු කරයි.

හෙට්ටීන් හට කෙතරම් මුදල් තිබුණත් ඔවුන්ගේ අනවශ්‍ය වියදම් කිසිවක් නැත. ඔවුන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කරයි. මේ නිසා සමාජයේදී ලෝභ තැනැත්තන්ට හෙට්ටියා යන වදන ව්‍යවහාර වෙයි. හෙට්ටීන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කළද ආගමික කටයුතු සදහා කිසිදු පැකිලීමකින් තොරව මුදල් වියදම් කරයි. මොවුන් කෝවිල් බොහොමයක් ඉදිකර තිබේ. කොළඹ හෙට්ටි වීදියේ පරණ කදිරේෂන් කෝවිල, නව කදිරේෂන් කෝවිල හා බම්බලපිටිය කෝවිල උදාහරණ කිහිපයකි. බටහිර ජාතීන් ලංකාව යටත් කරගත් පසු මෙහි මිනිසුන් ආගම් වෙනස් කළද එකදු හෙට්ටියෙක්වත් තම ආගම වෙනස් කළේ නැත. ඔවුන් දැඩි ශිව භක්තිකයන් විය. හෙට්ටීන් කොළඹට පැමිණ වරාය ආසන්නයේ වාසස්ථාන ලබාගත්තේය. මෙම පෙදෙස් හෙට්ටි වීදිය ලෙස හැදින්වේ. හෙට්ටි වීදියේ තිබූ බොහෝ ගොඩනැගිලි හා ඉඩම් අයත්ව තිබුනේ හෙට්ටීන් හටයි. වර්තමානයේදී මෙයින් බොහොමයක් වෙනත් අය හට අයිතිව තිබුණද අදටත් සමහර ගොඩනැගිලිවල අයිතිය හෙට්ටීන් විසින් ඉදිකළ කෝවිල් සතුව පවතියි.

1948 අංක 18 දරණ ඉන්දු පාකිස්තාන පුරවැසි පනත යටතේ ලංකාවේ රැඳී සිටි බොහෝ විදේශිකයින් ලංකාවේ පුරවැසිකම ලබාගත්තද හෙට්ටීන් ඒ සඳහා උනන්දු වූයේ නැත. මේ නිසා එක්දාස් නමසිය පනහ දශකයෙන් පසු ඔවුන් තම මව්බිම කරා යන්නට විය.

පන්දහසකට අධික හෙට්ටීන් පිරිසක් සිටි ලංකාවේ වර්තමානය වන විට සිටින්නේ පවුල් පහක් පමණි. ලංකාවේ ව්‍යාපාර නීති සංවර්ධනයට හා එකල ආර්ථික සංවර්ධනයට කළ සේවය නිසා අප ඔවුන්ට ස්තූතිවන්ත වන අතර ඔවුන් ලංකාවෙන් පිටවන විට ඔවුන් සතුව ඇති අතිවිශාල වස්තු සම්භාරය ද ලංකාවෙන් පිටවූ බව අමතක නොකළ යුතුය.

[ඩියෝන් මිතිල ප්‍රනාන්දු]

මාතෘකා