අවදානමට පෙර සූදානම

 ඡායාරූපය:

අවදානමට පෙර සූදානම

ස්වභාවික ව්‍යසන, ආපදා කළමනාකරණය සහ ශ්‍රී ලාංකික අපි

නීතීඥ සුපුන් රෂින්ද ජයවර්ධන

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්ය‍යෙන් අනූන රටකි. ලොව අනිත් රටවල වැසියන් මුහුණ දෙන අධික සීතල හෝ උණුසුම සහිත දේශගුණයන්ට මුහුණ දීමට අපට සිදුවන්නේ නැත. ගිනි කඳු පිපිරීම්, භූමි කම්පා මෙන්ම ප්‍ර‍චණ්ඩ සුලිකුණාටු ද අපි අත් නොවිඳින්නට තරම් වාසනාවන්ත වෙමු.

එහෙත් පසුගිය දශක දෙකක් තුළ කලින් කලට ඇතිවන ගංවතුර, නායයෑම්, නියඟය වැනි ස්වභාවික විපත්වලට මුහුණ දීමට රටක් ලෙස අපට සිදුව තිබේ. වසර 1976 සිට 2003 දක්වා වාර්ෂික ස්වභාවික ආපදා සිදුවීම් සංඛ්‍යාව පැවතියේ 60ක තරම් අඩු අගයකි. ඉතා විශාල ලෙස 2006 වසරේදී මෙම අගය වර්ධනය වූ අතර එතැන් සිට අද දක්වාම එහි අඩුවක් දක්නට නැත. මිනිසුන් ලෙස අපට ස්වභාව ධර්මය පාලනය කර නොහැකිය. එහෙත් ස්වභාවික ආපදාවන්ට කලින්ම සූදානම් වීමටත්, පසු විපත් අවම කිරීමටත්, නිසි යාන්ත්‍ර‍ණයන් සකස් කිරීම ඔස්සේ අපට හැකියාව පවතී. දිස්ත්‍රික්ක 15කට අයත් පවුල් 18000කට අධික සංඛ්‍යාවක් ගංවතුර ආපදාවෙන් පීඩා විඳින අතරතුර සකස් කෙරෙන මෙම ලිපිය, වර්තමාන ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ කෙරෙන විමසා බැලීමකි.

ආපදා කළමනාකරණය පිණිසම වෙන් වූ ආයතනයක්

වසර 2004 දෙසැම්බර් මස 26 වන දින වාර්තාගත ඉතිහාසය තුළ විශාලතම ස්වභාවික ඛේදවාචකයට රටක් ලෙස අපට මුහුණදීමට සිදුවිය. ඒ 40000කට අධික නෑදෑ හිතවතුන් ප්‍ර‍මාණයක් සදහටම අපෙන් වෙන් කළ සුනාමි ව්‍යසනයයි. විනාශ වූ යටිතල පහසුකම් ගොඩනැගීම, අවතැන් වූවන්ට රැකවරණය සැලැස්වීම ඇතුළු දහසකුත් එකක් ප්‍ර‍ශ්න සහ අභියෝගවලට මුහුණදෙන අතර ආපදා කළමනාකරණය අතින් මූලික අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කිරීමට රජයට සිදුවිය.

(I) ස්වභාවික විපත් හැකිතාක් කලින් හඳුනා ගැනීමට අවශ්‍ය අනතුරු හැඟවීම් පද්ධතියක් ස්ථාපනය කිරීමත්,

(II) ආපදාවන් හීදී පසු විපත් අවම කරමින් ඒවා හැකිතාක් සුමට ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය යාන්ත්‍ර‍ණයක් නිර්මාණය කිරීමත්ය.

උක්ත ගැටලු විසඳාලමින් 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත එවක රජය විසින් හඳුන්වා දුන් අතර, ජාතික ආපදා කළමනාකරණ කවුන්සලය සහ එහි ක්‍රියාකාරී ආයතනය ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංස්ථාපනය කිරීම ඒ අනුව සිදුවිය. මින් ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය ආපදා අවදානම අවම කිරීම සහ පසු ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉහළ දේශපාලනික අවධානය ලබාගැනීමේ අරමුණින් පිහිටවූ අතර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, ආපදා කළමනාකරණයට සම්බන්ධ විෂයයන් අයත් කැබිනට් අමාත්‍යවරු මෙන්ම සෑම පළාත් සභාවකම ප්‍රධාන අමාත්‍යවරු මෙහි සාමාජිකයෝ වෙති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ආයතනික ක්‍රියාවලිය බාහිර සහ අභ්‍යන්තර ලෙස කොටස් දෙකකි. ඉන් අභ්‍යන්තර ක්‍රියාවලිය අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් යටතේ වෙන වෙනමම පාලනයවන අංශ 5කින් ද බාහිර යාන්ත්‍රණය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලින් ද සමන්විතය. සියලුම ප්‍රාදේශීය මට්ටමේ ආපදා කළමනාකරණ කටයුතු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මඟින් පාලනය වේ.

ඊට අමතරව රජයේ අනෙකුත් සියලුම ආයතන හා එක්ව පූර්ව ආපදා අවදානම් අවම කිරීම, ආපදා සඳහා කඩිනම් සහන සැපයීම මෙන්ම යලි ගොඩනැගීමේ ක්‍රියාවලීන්ට තාක්ෂණික සහ කළමනාකරණ සහයෝගය ලබා දීම ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි කාර්යය භාරයන්ය.

න්‍යායාත්මක ලෝකයෙන් ඔබ්බට

ඉහත යාන්ත්‍ර‍ණය ස්ථාපනය කර මේ වන විට වසර 12ක කාලයක් ගතවී ඇති බැවින් අප රටේ ආපදා කළමනාකරණය සම්බන්ධව පසු විපරමක යෙදීම වඩාත් කාලෝචිතය. අතිමහත් වියදමක් කොට මුහුදු තීරය අවට සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු පද්ධතියක් ස්ථාපනය කිරීමට අප සමත් වුවද ඉදිකිරීම් සඳහා වෙරලාසන්න ඉඩම් තව දුරටත් අත්පත් කරගැනීමත් ඒ හේතුවෙන් වෙරළාශ්‍රිතව කඩොලාන පද්ධති විනාශ වීමත් පාලනය කිරීමට අප අසමත්ව තිබේ. පවුල් 137000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් කරමින් වසර 2003 දී සිදුවූ මහා ගංවතුර සහ නායයෑම් අවසානයේ දිගු කාලීන මෙන්ම කෙටි කාලීන සැලසුම් ඔස්සේ ගංවතුරට මුහුණ දිය යුතු බව යෝජනා කෙරිණි. එහි දී පාරිසරික සංවේදී ඉඩම් පරිහරණය, මිනිසුන් පදිංචි කරවීම සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති වලදී සැලසුමකට අනුව කටයුතු කිරීම දිගුකාලීන සැලසුම් විය. කෙටි කාලීනව නවීන උපකරණවලින් සන්නද්ධ සහන කණ්ඩායම් ස්ථානගත කිරීමත් ඒවා මනාව කළමනාකරණය කිරීමටත් යෝජනා කෙරිණි. එහෙත් වසර 13ක ඇවෑමෙන් පසුගිය වසරේ අප්‍රේල් මස ඇති වූ ගංවතුර අවස්ථාවේ දී ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණය යලිත් පිළිබිඹු කළ දියාරු ක්‍රියාකලාපය පිළිබඳ මහජන පැමිණිලි අපට කියා පාන්නේ මෙම යාන්ත්‍ර‍ණයන් බොහෝ අවස්ථාවල නීතියට සීමාවී ඇති බවයි.

ආපදා කළමනාකරණයේ දී අදාළ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොවීමේ දුර්වලතාව ප්‍ර‍බලව ඉස්මතු වූ අවස්ථාවක් ලෙස කොස්ලන්ද හල්දුම්මුල්ල නායයෑමෙන් සිදුවූ ව්‍යසනය පෙන්වා දිය හැකිය. එහි දී වසර 2012 සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සමඟ එක්ව නායයෑමේ අවදානම් පාලනයට කටයුතු යොදමින් සිටි අතර අධි අවදානම් කලාපවලින් ඉවත් වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනතුරු ඇඟවීමේ නිවේදනද නිකුත් කර තිබිණි. එහෙත් ජනතාව යලි පදිංචි කරවීමට හෝ ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීමට කිසිඳු වැඩපිළිවෙලක් නොවීය. ප්‍ර‍තිඵලය වූයේ වසර 2014 ඔක්තෝබර් මස 29 වන දින සිදුවූ නායයෑමෙන් පුද්ගල ජීවිත 400කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වීමයි. ආපදාව සිදු වී වසර 3ක් ගතවී ඇතත් ඉන් අවතැන් වූවන්ගේ ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දීමට අප අසමත්ව සිටී. මින් තහවුරු වන්නේ පස්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධවද අප උගත යුතු බොහෝ දේ ඇති බවයි.

ලොව වටා තොරතුරු බිඳක්

වර්තමානයේ ලොව වඩාත් සාර්ථක ආපදා කළමනාකරණ යාන්ත්‍රණයන් සහිත රටවල් අතර ජපානයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. වසර 1961 දී එරටට හඳුන්වා දුන් ආපදා වැලැක්වීමේ මූලධර්ම පනත (Disaster Countermeasures Basic Act) හි 1 වගන්තිය දක්වන්නේ රටේ භූමියත්, මහජනතාවත් ඔවුන්ගේ දේපලත් ආරක්ෂා කිරීම රටේ ප්‍ර‍මුඛතම ජාතික අවශ්‍යතාවය බවයි. අප රටේ මෙන් ජපානය තුළ මෙය වචනයට සීමා වී නැති අතර ජාතික, ප්‍රාදේශීය හා නාගරික යන ස්ථර 3කින් යුත් යාන්ත්‍ර‍ණයක් ඔස්සේ ඔවුන් සිය ආපදා කළමනාකරණ කටයුතු මෙහෙයවනු ලබයි. ඒ අනුව, සහන සේවකයන් පුහුණු කිරීම, කල් ඇතිව ආපදා හඳුනා ගත හැකි තාක්ෂණික මෙවලම් වැඩි දියුණු කිරීම මෙන්ම තොරතුරු පද්ධති නවීකරණය කිරීම ආපදා නොමැති කාලවල දී ජපානය සිදුකරනු ලබයි. රට මුහුණ දී ඇති ආපදා මට්ටම අනුව ක්‍රියාත්මක වන නීති පද්ධති කිහිපයක් ජපානය තුළ ඇති අතර ඒවා ක්‍රියාත්මකවන කාලය තුළ අනෙකුත් නීති පූර්ණ හෝ අර්ධ වශයෙන් අකර්මන්‍ය වේ. එතුළින් මුලු රටම ආපදා සූදානමක තබන අතර කිසිඳු බාධාවකින් තොරව ක්‍රියා කිරීමේ බලය ද නිලධාරීන්ට ලබාදෙයි.

නිසි ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණයක් උදෙසා

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ අධ්‍යයනයේ දී පෙනී යන මූලිකම කරුණ වන්නේ අප ආපදාවන්ට මුහුණදීම කෙරෙහි සැලකිලිමත්වන තරමටම ඒවා වලක්වා ගැනීමට අවධානය යොමු කර නොමැති බවයි. යළිත් ඇතිවිය හැකි සුනාමි ව්‍යසනයකට හෝ වෙරළ ඛාදනයට සාර්ථකව මුහුන දීමට නම් වෙරළේ සිට නිශ්චිත දුරකින් ගොඩනැගිලි ඉදි කිරීමත් කඩොලාන පරිසර පද්ධති රැක ගැනීමත් අත්‍යාවශ්‍යය. එමෙන්ම අපට ගංවතුර අවදානම අවම කර ගත හැක්කේ අනවසර වැලි ගොඩදැමීම් සහ ගං ඉවුරෙහි සිදුකරන අනවසර ඉදිකිරීම් පාලනය කළ හොත් පමණි. අවිදිමත් ඉඩම් භාවිතය, කෘෂිකර්මය සඳහා කඳුකරයේ ඉඩම් එළි පෙහෙළි කිරීම ආදිය මධ්‍යම කඳුකරයේ නාය යාම්වලට ප්‍ර‍ධාන හේතුවක් වී ඇති නිසා ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

ඊට අමතරව පසු ආපදා හානීන් අවම කිරීමට අදාල රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා නිරන්තරෙයන් යාවත්කාලීනවන පරිගණක ගත තොරතුරු පද්ධතියක් ස්ථාපනය කළ යුතුය. සියලුම සහනාධාර බෙදාහැරීම්, සහන සේවකයන් ස්ථානගත කිරීම් මෙන්ම අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂක හමුදා යෙදවීම් ද ජාතික සැලසුමකට අනුව සිදුවිය යුතු අතර ඒ සඳහා දැනට ක්‍රියාත්මක වන 2005 අංක 13 දරන ජාතික ආපදා කළමනාකරණ පනත සහ 2013 ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍ර‍තිපත්තිය සංශෝධනය කර ඉන්දියාවේ දක්නට ලැබෙන ආකාරයේ හදිසි ආපදා පාලන මධ්‍යස්ථානයක් (Emergency Control Room) ස්ථාපිත කිරීම මෙරටට ජාතික අවශ්‍යතාවයකි. මේ සියල්ලටත් වඩා වැදගත් වන්නේ ඉහත කී කුමන ජාතික ප්‍ර‍තිපත්තියක් වුව ද ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන පක්ෂවල හෝ පුද්ගල කණ්ඩායම්වල බලපෑම් අනුව වෙනස්වන්නට ඉඩ නොදීමයි. එසේ දේශපාලන උවමනා එපාකම් මත අපගේ ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණය හැසිරෙන්නට ඉඩ හරිනතාක් එකී යාන්ත්‍ර‍ණයන් නීතියට පමණක් සීමා වීම නොවැලැක්විය හැක්කකි.

ආපදාවකදී කළ යුත්තේ කුමක්ද?

ආපදාවට පෙර...

ඔබ වාසය කරන නිවස, පාසල, රාජකාරී ස්ථානය හා නිතර යන එන ස්ථාන ගංවතුර / නායයෑම් ඇතිවීමට අවදානමක් ඇත්දැයි සොයා බලන්න.

නිවෙසින් පිටත ආරක්ෂිත ස්ථානයක් හඳුනාගන්න.

ඉවත්වන මාර්ගය හඳුනාගන්න.

පුද්ගලයින් ඉවත් කිරීම සඳහා සැලසුම් සූදානම් කරගන්න.

අවදානම් සහිත ගස් / අතු ඇතිනම් ඉවත් කරගන්න.

ඔබගේ ප්‍රදේශයේ අවහිර වී ඇති ඇළ මාර්ග ඇත්නම් ඒවා සුද්ද පවිත්‍ර කරගන්න.

ගස් කඩා වැටීම් / ඇලවීම හෝ පස්කඳු කඩා වැටීම, පහළ සිට ඉහළට බිත්ති ඉරිතැළීම, පොළොවේ ඇතිවන ඉරිතැලීම් හෝ අසාමාන්‍ය ශබ්ද වැනි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව විමසිලිමත් වන්න.

ප්‍රථමාධාර පහසුකම් සූදානම් කරන්න.

ආපදා මල්ල සූදානම් කරගන්න.

ආපදා පිළිබඳ අනතුරු ඇඟවීමකදී.....

කාළගුණය ගැන අවධානයෙන් සිටින්න.

හදිසි තත්ත්වය පිළිබඳ තොරතුරු හා පූර්ව දැනුම්දීම් පණිවිඩවලට සවන් දෙන්න.

ගුවන්විදුලියට හෝ රූපවාහිනියට සවන් දෙන්න.

කටකතා සහ වැරදි තොරතුරු තහවුරු කරගැනීමට 117ට ඇමතුමක් දෙන්න.

අධික වර්ෂාපතනයක් පවතින අවස්ථාවල රාත්‍රී කාලයේදී අවධානයෙන් ආරක්ෂාකාරී ස්ථානයකට ගමන් කිරීමට සූදානමින් සිටින්න. ආහාර, පානීය ජලය, ගෘහ උපකරණ සහ වාහන ජල ගැලීමට හසුවන මට්ටමට වඩා ඉහළ උස් තැනක තබන්න.

රසායනික ද්‍රව්‍ය, තීන්ත, තෙල් වර්ග ආදී අනතුරුදායක ද්‍රව්‍ය ආරක්ෂාකාරී ස්ථානයක තබන්න.

SMS සමාජ මාධ්‍ය විකාශන යන්ත්‍ර, සීනු හඬ සහ සයිරන් නලා වැනි ප්‍රජාවට අනතුරු ඇඟවීමේ ක්‍රම ගැන සෝදිසියෙන් සිටින්න.

ආපදා අවස්ථාවේදී.....

සන්සුන්ව සිටින්න.

ප්‍රධාන විදුලිය, ජල සහ ගෑස් සැපයුම් නිෂ්ක්‍රීය කරන්න.

ඔබගේ නිවස තර්ජනයට ලක්ව තිබේනම්, ප්‍රදේශයේ හඳුනාගත් ආරක්ෂක ස්ථානය කරා යන්න.

හදිසි ආපදා මල්ලද රැගෙන යන්න.

ගංවතුරෙහි ක්‍රීඩා කිරීම හෝ පිහිනීම නොකරන්න.

ගංවතුරට හසුවූ ආහාර හෝ පිළුණු ආහාර අනුභව නොකරන්න.

ගංවතුර බීමට, වෙනත් භාවිතයන්ට නොගන්න.

ඔබට අලුත් ජලය ලබා දෙනතුරු වැසි ජලය එකතු කරගන්න.

බීමට පෙර ජලය උණු කරගන්න.

ඇවිදීමේදී පාවහන් පළඳින්න.

වියළි ස්ථාන කරා ගොස් සිටිය හැකි විෂ සහිත සතුන්ගෙන් ප්‍රවේශම් වන්න.

ජල ගැල්මට ගොදුරුවූවන් ගළවා ගැනීමට උපකාර කරන්න.

ජලයේ ඇවිදීමේදී ජල මට්ටම ගැන දැනුවත් වන්න.

ළමා, වැඩිහිටි, ගැබිණි මව්වරු සහ විශේෂිත අවධානයට ලක් කළයුතු අය පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න.

ආපදාවෙන් පසු.....

ආරක්ෂිත බව දැන්වූ පසු පමණක් ආපසු නිවසට යන්න.

ඔබගේ නිවස හා අවට පරිසරය පිරිසිදු කොට විෂබීජහරණය කරන්න.

ජල ගැලීම් ඇති වූ ප්‍රදේශ නැරඹීමට නොයන්න.

ළිං ජලය හෝ ජලාපවහනය ආරක්ෂිත බව දන්වන තුරු ජලය උණුකර පානය කරන්න.

ආපදා මල්ල ළඟින්ම තබාගන්න.

අනවශ්‍ය ලෙස ජංගම දුරකථන භාවිතයෙන් වළකින්න.

117 අමතා ආපදා අවධානම පහව ගොස් ඇති බව තහවුරු කර ජනතාව දැනුවත් කරන්න.

සහන සේවා....

සුරක්ෂිත කඳවුරකදී හෝ වෙනත් ස්ථානයක සිටින අවතැන් පිරිස් වෙත ආහාර, පානීය ජලය වැනි අවශ්‍යතා සපයා ගැනීමේදී ආපදා සහන සේවා නිලධාරීන් මඟින් සම්බන්ධීකරණය කරනු ඇත.

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද "අාපදාවට ෙපර සූදානම" පත්‍රිකාව අැසුෙරනි.

ආපදා අවස්ථාවේදී විමසිල්ලෙන් සිටීම වැදගත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ෙෙවද්‍ය අනිල් ජාසිංහ

[නදී මාණික්කගේ]

ආපදා තත්වයත් සමඟ සාමාන්‍ය ස්වභාවය වන්නේ වසංගත රෝග පැතිරීමයි. එවැනි තත්වයන්ට ජනතාව මුහුණ දිය යුතු ආකාරය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ රැසට මෙසේ අදහස් දැක්වීය.

ගංවතුර තත්ත්වය ඇතිවීමත් සමඟ සිදුවීමට ඉඩ ඇති දියේ ගිලීම්, තුවාල සිදුවීම්, අපවිත්‍ර ජලය නිසා ඇතිවන ආසාදන ආදිය අවම කිරීම සඳහා ගංවතුර ඇතිවීමට ඉඩ ඇති ප්‍රදේශවල මිනිසුන් ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

ගංවතුරෙන් ඉවත්වීම හැකිතරම් ඉක්මනින් කළ යුතුයි. ඉවත්වීම තමයි මූලිකම දේ. අපිට කලින් අත්දැකීම් තියෙනවා. තමන්ගේ බඩු බාහිරාදිය රැකගන්න එම නිවස අත්නොහැර හිටි ගංවතුරට කොටු වුණු මිනිස්සු ගැන.

සමහර අය ගංවතුර බලන්න යන්නේ ආසාවට. තවත් අය ආධාර ලබාදීමට යනවා වෙන්න පුළුවන්. දියේ ගිලීම්, තුවාල වීම් ආදිය ඒ නිසා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ගංවතුරට යටවූ ප්‍රදේශවල ඇවිදින එක සුදුසු නැහැ. වීදුරු කටු හෝ වෙනත් ද්‍රව්‍යවලට සම කැපී එම ස්ථානවලින් විවිධ විෂබීජ සහ ආසාදන ඇතුළු වෙන්න පුළුවන්.

ගංවතුර සමඟ ඇතිවන මී උණ වැනි රෝග වැළැක්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක ‍ෙවනවාද?

ලංකාවේ හැමතැනම මී උණ නැහැ. මී උණ පවතින ප්‍රදේශ අපි හඳුනගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය, සෙසු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවට ඩොක්සිසයික්ලින් වැනි ඖෂධ ලබාදීම සිදුකරනවා.

ගංවතුර තත්ත්වය පහව යෑමෙන් පසු පැතිරීමට වඩාත් ඉඩ ඇති වසංගත රෝගී තත්ත්ව මොනවද?

ප්‍රධාන වශයෙන් ඇතිවන රෝගී තත්ත්වය වෙන්නේ පාචනය. අපවිත්‍ර ජලය භාවිතය තමයි ප්‍රධානම හේතුව. විශේෂයෙන් ආහාර මාර්ගය ආශ්‍රිත ලෙඩරෝගවලට වැඩි වශයෙන් ගොදුරුවීම සිදුවෙනවා. මීට අමතරව දද, කුෂ්ඨ, දහදිය බිබිලි ආදී සමේ රෝගී තත්වයන්ද ඇතිවෙන්න පුළුවන්.

එවැනි අවස්ථාවකට මහජනතාව සූදානම් විය යුත්තේ කෙසේද?

ගංවතුර පහව ගිය වහාම තමන්ගේ නිවෙස්වල සහ පොදු ළිං ආදිය ඉසීම අනිවාර්යයි. ඒ වගේම ඒ සියලු ජල මූලාශ්‍ර ක්ලෝරිනීකරණය කළ යුතුයි. ගම්බද ජනතාව මෙය නොදන්නවා විය හැකියි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වෙනුවෙන් සහාය වෙනවා.

පසුගිය වර්ෂය වැඩිම ඩෙංගු රෝගී ව්‍යාප්තියක් තිබුණු වර්ෂය ලෙස වාර්තා වුණා. ගංවතුර සමඟ මේ වසරේදීත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමට සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද?

ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්නේ ගංවතුර පහව යෑමත් එක්ක. මේ සඳහා වැඩිම වගකීම තියෙන්නේ මහජනතාවට. පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතාම අඩුයි. සංඛ්‍යලේඛන සටහන්වලට අනුව අපිට ඩෙංගු රෝගය සියයට හැත්තෑවකින් (70%) අවම කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. අපි හැම මාසයකම දිස්ත්‍රික්ක ගණනාවක මේ සඳහා නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ සඳහා රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, පොලිසිය ආදී ආයතන සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එකතු වී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සිදුකළා.

මේ ව්‍යසනයත් එක්ක කුඩා ළමුන් ලෙඩරෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩියි නේද?

ඔව්. කුඩා ළමුන් සඳහා ශ්වසන ආබාධ ඇතිවීම වැඩිවශයෙන් සිදුවෙන්න පුළුවන්. ළමා ඇදුම තත්ත්වය සීතල සහ පින්න එක්ක ඇතිවෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඇතිවුණහොත් වහාම ප්‍රතිකාරවලට යෑම අවශ්‍යයි. හේතුව ළමා ඇදුම තත්ත්වය ඉක්මනින් උත්සන්න වෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම උණ රෝගය සහ සමේ රෝගී තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය දෙයක්. මේ සඳහා ළමුන් සැමවිටම පිරිසිදුව හා උණුසුම්ව තබා ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි මහලු අයටත් ශීතල දේශගුණය සමඟ ශරීරය දුර්වල වෙන්න පුළුවන්. කඳවුරුවල ජීවත්වන අය පිළිබඳ විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.

අවතැන් කඳවුරුවල ආහාර ලබා දීමෙදි ආහාරවල ප්‍රමිතිය පිළිබඳ ගැටළු මතුවෙනවා නේද?

අවතැන් කඳවුරුවලදි ගන්නා ආහාර නිසා ලෙඩරෝග ව්‍යසනයත් ඒ පසුපසම එන්න පුළුවන්. මෙම ආහාර පිළිබඳ ප්‍රමිතියක් තිබිය යුතුමයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක අහඹු ලෙස පරික්ෂණ සිදුකරනවා. ඒ වගේම මෙවැනි කඳවුරුවල වැසිකිලි පහසුකම් ඇතිකළ යුතුයි.

ප්‍රජාමූල සංවිධාන සහ පුද්ගලික ආයතන වසංගත තත්වයන් මැඩපැවැත්වීමට අවතීර්ණ විය යුත්තේ කෙසේද?

ඔවුන් පවතින ක්‍රමවේදය සමඟ එකතුවිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශය, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ළඟම පිහිටි රෝහල් සමඟ කළ යුතු කාර්යයන් සාකච්ඡා කිරීම කළ යුතුයි.

මෙවන් ආපදා තත්ත්වයකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යංශයට තියෙනවද?

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එකතුවී දෛනික ආපදා තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම සිදුකරනවා. ඒ වගේම දිවයින පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු මගින් බලපෑමට ලක්වූ ප්‍රදේශ පිළිබඳ දිනපතා විමර්ශනය කරනවා.

මාතෘකා