ලෝකයම නැරඹූ ලංකාවේ හැදූ චිත්‍රපට

 ඡායාරූපය:

ලෝකයම නැරඹූ ලංකාවේ හැදූ චිත්‍රපට

යුරෝපීයන් සහ ඇතැම් ඇමරිකානුවන් ශ්‍රී ලංකාව හඳුන්වනුයේ ආසියාවේ ස්විස්ටර්ලන්තය ලෙසය. ඒ නිසාම අප රට යටත් විජිතයක්ව තිබියදී පවා විදේශිකයින් මෙරටට පැමිණ ඔවුනගේ සිනමා නිර්මාණ රූපගත කර ඇතත් ඒවා ඉතිහාසගතව ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

1957 වසරේදී ලෝක ප්‍රකට සිනමාකරු ඩේවිඩි ලීන් මෙරටට පැමිණ රූ ගත කළ “ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” නම් එංගලන්ත-ඇමරිකා හවුල් නිෂ්පාදනය මෙරට සිනමා ලෝලීන්ගේ මතකයේ හොඳින් රැඳී ඇත. පියරේ බෝලේ නම් නවකතාකරුවෙකුගේ එනමින් යුත් නවකතාව මෙම සිනමාපටය සඳහා කතාවස්තුව බවට පත් කරගෙන තිබූ අතර එහි තිරනාටකය කාල් ෆෝමන් සහ මයිකල් විල්සන් විසින් රචනා කර තිබුණි. විලියම් හෝල්ඩන්, ජැක් හවිකින්, ඇලෙක්ස් ගයිනස් ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රඟපෑහ.

මෙහි නිෂ්පාදන කණ්ඩායමට එකල සිනමා සහය කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටි, පසුකලෙක මෙරට ජනප්‍රියම සිනමා නළුවෙකු වූ ගාමිණි ෆොන්සේකාද අයත්ව සිටියහ. දෙවන ලෝක මහා යුද්ධයේදී සිදුවූ කතාවක් ඇතුළත් මෙහි තායිලන්තයේ ක්වායි ගඟ හරහා වැටී ඇති පාලමක් මතින් ගමන් කළ දුම්රියක් පිපිරීමකට ලක්ව දියට කඩා වැටෙන දර්ශනය රූ ගත කරනු ලැබුවේ කිතුල්ගල කැලණි ගඟ හරහා කෘත්‍රිමව ඉඳි කරනු ලැබු පාලමක් මතදීය. එහි නටබුන් අද දවසේද කිතුල්ගල ප්‍රදේශයේදී දක්නට තිබේ.

එසේම 1954 වසරේදී “බීචි කොමිබර්” නමින් යුත් විකට සිනමාපටයක් මියුරියල් බොක්ස් නම් අධ්‍යක්ෂවරයෙකු ශ්‍රී ලංකාවේදී රූ ගත කර ඇති බව වාර්තා වේ. සිඩ්නි බොක්ස් සහ විලියම් මැක්කොලිටි නිෂ්පාදය කළ මෙම සිනමාපටය “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” තරමට ජනප්‍රිය නොවු නිසා මෙම සිනමා සිත්තම පිළිබඳව දන්නෝ විරලය. එසේම ලෝක ප්‍රකට සිනමා නිළි එලිසබෙත් ටේලර් රඟපෑ සිනමාපටයක් 1954 වසරේදී මෙරට රූප ගත කර ඇති බව වාර්තා වුවද, ඇතැම් සිනමා විචාරකයින් පවා එළිසබෙත් ටේලර් රඟපා ඇති සිනමා පටයක් අප දිවයිනේ රූප ගත කර ඇති බව නොදන්නා බව අප කළ විමසුමකදී අනාවරණය විය.

විලියමි ඩයටරි අධ්‍යක්ෂණය කළ මෙහි ටේලර් සමඟ ඩානා ඇන්ඩෘස්, පීටර් ප්‍රින්චි, ඒබ්‍රහම් සොෆියා යන රංගන ශිල්පින් රංගනයෙන් දායකව සිටි ” එලිෆන්ට් වෝක්” නම් බටහිර සිනමාපටයද ලොව අසීමිතව ජනප්‍රියව තිබි ඇති බවට වාර්තා වේ. ”නෙවර් ෆෝ ෆිව් ” නමින් 1959 දී ශ්‍රී ලංකාවේදී තවත් ඇමරිකානු සිනමාපටයක් රූ ගත කර ඇති අතර එහි ඉතිරි දර්ශන තවත් ආසියානු රටවල් දෙකක් වූ තායිලන්තයේ සහ බුරුමයේදී රූප ගත කර ඇත. මෙය ජෝන් ස්ටර්ග් අධ්‍යක්ෂණය කර ඇති අතර එය නිෂ්පාදනය කර ඇත්තේ එඩ්මන්ඩ් ග්‍රේන්ජර් නම් ඇමරිකන් ජාතිකයින් දෙදෙනා විසිනි. මිලාන් කෝෆ්මන් ලියු තිරනාටකයට අනුව නිපැයු මෙම සිනමාපටයේ ෆ්‍රෑන්ක් සිනෙට්රා, ජිනා ලොලොබ්‍රින්ග්ඩා, පීටර් ලෝෆෝඩ්, ස්ටේවි මැක්කුයින් යන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායකව සිට ඇත. දෙවන ලෝක යුද සමයේ මිත්‍ර හමුදා සහ ජපන් හමුදා අතර යුද බිමේ සිදුවූ කතාවක් මෙයට තේමා වී තිබිණි.

1973 දී මෙරට බටහිර සිනමා පටයක් නිර්මාණය වූයේ ලෙස්ටර් ජේමිස් පීරීස් මහතාගේ අධ්‍යක්ෂණයෙනි. ඒ ”සීගිරි කාශ්‍යප” කතාව ඇසුරින් නිපැයූ “ගෝඩි කිං” සිනමාපටයයි. මෙහි එවකට එංගලන්තයේ වේදිකා රංගනයේ යෙදී සිටි රංගන ශිල්පියෙක් වූ බෙන් කිංස්ලි කාශ්‍යප රජුගේ චරිතය රඟපෑවේය. ඒ බෙන් කිංස්ලිම පසුකලෙක හොලිවුඩ් සිනමා නිර්මාණයක් වූ ” ගාන්ධි” සිනමාපටයේ රඟපා හොඳම නළුවා ලෙස ඔස්කාර් සමිමානයට පාත්‍ර විය. එහෙත් පසුගියදා ලෙසටර් ජේමිස් පීරිස් මහතා මියගිය මොහොතේ ඔහුගේ චරිතාපාදනය ලියු කිසිවෙකු විසින් බෙන් කිංස්ලි නම් ”ගාන්ධි“ සිනමාපටයේ රඟපෑ නලුවා ”ගෝඩි කිං“ චිත්‍රපටයේ ලෙස්ටර් ජේමිස් පීරීස් මහතා යටතේ රංගනයේ යෙදුනු බවක් සටහන් කර තිබුණේ නැත.

එසේම ලෝක ප්‍රකට ස්ටීවන් ස්පීල්බර්ග් ලංකාවට පැමිණ මෙහි සිට සිනමා නිර්මාණයක් රූ ගත කර ඇති බව බොහෝ දෙනා නොදනිති. එහෙත් ලෝක ප්‍රකට ඇමරිකානු සිනමා නිර්මාණ ශිල්පි ස්ටීවන් ස්පීල්බර්ග් මෙරටට පැමිණ ”ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඩූම්“ නම් සිනමා නිර්මාණය කර තිබේ. හැරිසන් ෆෝඩ්, කේට් කැප්ෂෙව් සමඟ අම්රිෂ් පූරි, රොෂේන් සෙත් නම් ඉන්දීය රංග ශිල්පීන් සමඟ රංගන ශිල්පීන් රැසක් රංගයේ යෙදුණු මෙහි කතාවට වස්තු වූයේ කල්කටාවේ අපරාධයක් මුල් කර ගත් කතාවකි.

මෙයට අමතරව බටහිර සිනමාවේ රංගන ශිල්පීන් වූ ටෝනි කැන්ඩෝල්, බ්‍රැඩ් හැරිස් සමඟ ශ්‍රී ලංකාෙව් එච් ඩී කුලතුංග සහ ආනන්ද ජයරත්න ඇතුලු ශිල්පීන් රංගනයේ යෙදුන සිනමාපටයක් ”ත්‍රී යෙලෝ කැට්ස්“ නමින් නිපැයු අතර එය මෙහි ”කහ බළල්ලු“ නමින් සිංහල භාෂාවෙන් හඬ කවා මෙරට නිෂ්පාදනය කෙරිණි. ඒ අතර 1986 මවුන්ට් බැට්න් සාමිවරයා දෙවන ලෝක මහා යුද්ධයේදී මුහුණපාන සිදුවීම් ඇසුරින් ”ලෝර්ඩ් මවුන්ට් බැටින් ලාස්ට් වික්ටරි “ නමින්ද, 2003 වසරේදි ”මදර් තෙරේසා ඔෆ් කල්කටා” නමින්ද නොබෙල් ත්‍යාගලාභි තෙරේසා මවිතුමියගේ ජීවන කතාව මෙහි නිපදවුණි. එහි පොලිස් ප්‍රධානියෙකුගේ චරිතයක් ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වූ රවීන්ද්‍ර රන්දෙනිය රඟපානු ලැබූ අතර, නිමල් පල්ලේවත්ත, සොමී රත්නායක ආදි රංග ශිල්පීන්ද එහි චරිත කිහිපයකට සම්බන්ධ වී ඇත.

අසූව දශකයෙන් පසුව මෙරට ජාත්‍යන්තර සිනමාපට රූපගත කිරීමට පැමිණීමේදී එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමෙන් “ද ෆිල්මිස් ලොකේෂන් සර්විසස්“ ආයතනය මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාදීමට දායක වීමෙන් මෙරට ආර්ථිකයට සිදු කළේ අමිල සේවයකි. එහි අධිපති චන්ද්‍රන් රත්නම් මහතා සිංහල සිනමා නිර්මාණ කිහිපයක්ද ජාතියට තිළිණ කළේය. ඔහු නිර්මාණය කළ නවතම ආන්දෝලානාත්මක සිනමා නිර්මාණය වන ”මැතිවි පීරිස් ජීවිත කතාව” ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

උතුරේ තිස් වසරක යුද්ධය අප සිනමාකරුවනට තේමාවන් රැසක් සපයා දුන්නද, ඔවුන් ඉන් සිනමා නිර්මාණ කළ බවක් නොපෙනේ. ජාතිවාදය දේව ධර්මය සේ සලකන අපගේ ඇතැම් ඊනියා දේශප්‍රේමය වැළඳ ගත් පුහු දේශපාලකයින් ” සුළඟ එනු පිණිස” නිර්මාණය කළ විමුක්ති ජයසුන්දර දඬකඳේ සිරකිරීමට ගත් උත්සාහය දැකීමෙන් පසුව අප සිනමා නිර්මාණකරුවන් මන්දෝත්සාහී තත්වයට පත්වූ ආකාරයක් දක්නට තිබේ. එහෙත් එය එසේ විය යුතු නැත.

වර්තමානයේ සිංහල සිනමාවේ පැවැත්ම යමෙකු අපේක්ෂා කරන්නේ නම් අප ලෝකයටම අලෙවි කළ හැකි සිනමා නිර්මාණ වෙත යොමු විය යුතුය. දේශපාලන සිනමාවක් මෙයට වඩා පුලුල් අයුරින් පාට පක්ෂ බේදයෙන් තොරව නිර්මාණය කළ යුතුය. හොඳ සිනමාකරුවෙකුට සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාව අළලා ලෝක වෙළඳපළ ඉලක්ක කර පහසුවෙන් අඩු පිරිවැයකින් සිනමා නිර්මාණයක් කළ හැකිය. කළ යුත්තේ විදේශිය සිනමාකරුවන් මෙරටට පැමිණ රූගත කරන අයුරු බලා සිටීම නොව ඔවුන් හා තරඟයකට යොමු කළ හැකි සිනමා නිර්මාණය කර ඒවා ලොවට දායාද කිරීමය

[චලන ගුණවර්ණ]

මාතෘකා