භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් කද

 ඡායාරූපය:

භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් කද

වේදිකාවක් නැත

ප්‍රේක්ෂකයින් නැත

අත්පොළසන් නැත

එහෙත් සිටී එක් රසිකයෙක්!

කද නමින් හැදින්වෙන්නේ අඩි පහක් පමණ දික් වූ දණ්ඩක්, එහි දෙකොනෙහි බර එල්ලා මිනිසාගේ කරින් ඔසවාගෙන යෑමට තනා ගත් උපකරණයකි. වර්තමානය වන විට මෙසේ භාණ්ඩ ප්‍රවාහනය කලාතුරකින් දක්නට ඇති නමුත් අතීතයේ මෙම භාන්ඩ ප්‍රවාහන ක්‍රමය ඉතා සුලබ විය.

අතීතයේදී මනාලයා විසින් මනාලිය බැලීමට යන විට පෙට්ටිවල බහාලූ භාණ්ඩ රාශියක් සහිත කත්, ඒ සදහා වූ සේවකයන් විසින් ඔසවාගෙන ගොස් ඇත. ඒ නිසා මෙම කත් අරගෙන යෑම 'යෙලදා කද' ලෙසින් හැදින්වුණි.

බඩු පිරවූ කදක් බිම නොතබා සැතපුමක දුරක් ගෙන යාම පැරණි ගැමියන්ගේ සිරිත විය. 'හූ දෙකක්' නම් දුර ඇතිවූයේ මේ නිසා යැයි පවසයි. කඳක් බිම නොතබා සාමාන්‍ය මිනිසෙක්ට ගෙන යා හැකි උපරිම දුර වූයේ හූ දෙකක දුරකි. එනම් සැතපුමකි.

සමහර ප්‍රදේශවලදී මෙම දුර ප්‍රමාණය 'පිල්ලුමක්' යන්නෙන්ද හැදින්වේ. පිල්ලුමක් යන්නෙහි අර්ථය රෙදි ලිහීම වන බව පැවසේ. පිල්ලුමක් සදහා මෙම අර්ථය පැමිණීම තරමක් විවාදාත්මකය. කද දරාගෙන යන්නා තම රෙදි හැට්ට තද කර ගැනීම සදහා ගමනේ සමහර තැන් වලදී නවතියි. එහිදී මුල සිට තමන් ඇඳ සිටි රෙද්ද අඳින බවද ඒ සදහා ගතවන කාලය සැතපුමක දුරක් ගමන් කිරීමට සෑහෙන බවද පවසයි.

එකල යුධ සේනාවලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් ආදිය අගනුවර සිට උඩරට රාජධානියට ගෙන යන ලද්දේ කද මාර්ගයෙනි. මහනුවර යුගයේ දී 'කත්හාලී රාජකාරිය' නම් ක්‍රමයක් විය. රජුට ආදායම් ලැබුණු එක් ප්‍රධාන මාර්ගයක් වූයේ මේ කත් රාජකාරියයි. රාජ්‍යයේ පුරාවට තිබූ වී වපුරන ඉඩම් කත් මිනුමට අනුව ඒකකයන්ට බෙදා සියලුම කුඹුරු හිමියන් විසින් හාල් කද බැගින් රජුගේ භාණ්ඩාගාරයට ගෙවිය යුතු විය.

නිලධාරී රාජකාරිය පිණිස යන ගමන්වලදී ඔවුන්ගේ දිවා ආහාරපාන ආදිය භාජනවල බහා නොබිදෙන නොඉහිරෙන සේ බැඳ සේවකයන් විසින් එකල ගෙන ගියේ කද මගිනි.

කෝපි කර්මාන්තය ලංකාවේ ආරම්භ වූ අවධියේ දී කරත්ත සදහා අවශ්‍ය වූ ගොනුන් ප්‍රමාණය සපයා ගැනීමට නොහැකි වූ විට කද මගින් ඒවා ප්‍රවාහනය කර ඇත. බ්‍රිතාන්‍ය අවධියේ දී මාර්ග සංවර්ධනයක් ඇති වුවද ඒවා ඇති වූයේ වැවිලි කලාප වල හා වාණිජ කලාපවලය. එමනිසා හරිහැටි ගමනාගමන පහසුකම් නොතිබුනු අනුරාධපුර ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල වැසියන් 1800 ගණන්වල පවා කද මගින් භාණ්ඩ ප්‍රාවාහනය කිරීම සුලබ සිදුවීමක් විය.

[ඩියෝන් මිතිල ප්‍රනාන්දු]

මාතෘකා