කාර් එකේ 17දෙනෙක් ගිය කාලේ මතක සැඟැවුණු මහකුඩුගල හන්දිය

 ඡායාරූපය:

කාර් එකේ 17දෙනෙක් ගිය කාලේ මතක සැඟැවුණු මහකුඩුගල හන්දිය

කාලය බොහෝ වේගයෙන් අතීතයේ බොහෝ සුන්දර වූද කටුක වූද අත්දැකීම් වළලා දමමින් නික්ම ගොසිනි. ඒ අතීතය මෙනෙහි කළ හැකි පුද්ගලයින් පවා අද සොයා ගන්නටවත් නැති තරම්ය. තාක්ෂණික දියුණුවත් සමග මංමාවත් තැනි ගම් දනව් සංවර්ධනය වී තිබෙන්නේ බොහෝ මතකයන්ද වළලා දමමිනි. එකල වැසියන් තම අවශ්‍යතා සපුරා ගන්නටත්, තේ උගුරක පහස ලබා වෙහෙස නිවා ගන්නටත් පැමිණි හන්දි අද නැති තරම් වුවත් මහකුඩුගල සුන්දර ගම්පියසේ හන්දියේ ආරම්භයේ සිට අද දක්වාම මතකයන් සපිරි අතීතාවලෝකනයක් මේසේ දිග හරින්නට හැකි වන්නේ ඒ අතීතය දත් කිහිපදෙනෙකු නිසාය.

වත්ත සහ ගම

‘මහකුඩුගල’ යන නාමය, මහකුඩුගල වත්ත සහ මහකුඩුගල ගම යන දෙකටම පොදුය. එක්දහස් අටසිය පනස් ගණන්වලින් පසුව තේ කර්මාන්තයත් සමග මහකුඩුගල වත්ත ආරම්භ වන අතර එහි සිංහල හා දෙමළ ජනවර්ග දෙකම දායක විය. කලයාගේ අවෑමෙන් එක්දහස් නවසිය හැටදෙක- හැටතුන යන වකවානුවලදී එවකට සිටි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. ඇම්. හේරත් මහතාගේ මැදිහත් වීමෙන් මහකුඩුගල කොලණිය ආරම්භ විය. මහකුඩුගල අද එළවළු සහ අර්තාපල් වගාවට ප්‍රසිද්ධයක් උසුලයි. මහකුඩුගල ගම හා වත්ත සම්බන්ධ වන තැන සිව් මං හන්දියකි. එය මහකුඩුගල හන්දියයි. වත්තට මෙන්ම රාගල දෙසට දිවෙන ගම්සභා පාරත් නුවරඑළිය දෙසට හා හයිෆොරස්ට් දෙසට දිවෙන බස් මාර්ගයත් හමු වන්නේ මෙතැතැනදීය.

සුදත් සේනක පුංචිහේවා මහතා, මහකුඩුගල හන්දියේ ආදිතම පදිංචිකරුවාගේ වැඩිමහල් පුත්‍රයාය. වත්මන් හන්දියේ කදිම අතීත රූපයක් මවා පෙන්වීමට ඔහුට පුළුවන.

‘‘අපේ තාත්තා මාතර කොට්ටේගොඩ ඉදලා 1949දි විතර තමයි උඩරටට ඇවිත් තියෙන්නේ මුලදි මස්කෙළියේ ඉදලා පස්සේ හයිෆොරස්ට එකට ඇවිත් ඊට පස්සෙ තමයි මහකුඩුගලට ඇවිත් තියෙන්නේ.’’

‘‘තාත්තා 1964දී විතර පහළ මැද කඩේ හිටියා. එතකොට මෙතන තිබුණේ පොඩි ලදු කැලෑවක්. අයිනෙන් රාගලට යන ගම්සභා පාර තිබුණා. ඉස්සරහින් රාගල නුවරඑළිය බස් පාර තිබුණා. එතකොට වත්තට මිනිස්සු යන්නේ මෙතනින්. මේ හරියේ තිබුණා ලොකු සයිප්‍රස් ගහක්. එක යට ගලක් තියලා වත්තෙ අය පොඩි දෙවාලයක් හදාගෙන හිටියා. තාත්තා ඒ දෙවාලේ පාර එහා පැත්තෙන් හදලා මෙතන කඩ කාමර තුනක් හැදුවා කටු මැටි ගහලා. සිල්ලර බඩු කඩේ. තේ කඩෙත් එක්ක සැලුන් එකත් තිබුණා. ඒ 1965දී.

තේ කඩෙයි, සැලුන් එකයි

මට මතකයි ඒ කාලේ මෙතනින් රාගලට දවසකට පනහක් සීයක් විතර පයින් යනවා ඒ අයගෙන් 99% විතරම තේ එකක් බීලා යන්න, නැත්නම් බුලත් විටක් බීඩියක් සිගරට් එකක් අරගෙන යන්න තමයි එන්නේ. ඒ දවස්වල අපේ කඩේ තිබුණා කුඩ කම්බි ගහලා බුලත්විට තියන්ත හදපු රැක් එකක්. එකේ තට්ටු තුනක් තියෙනවා එක තට්ටුවකට විට විස්සක් විසි පහක් විතර දාන්න පුළුවන්. දවසකට තුන් හතර පාරක් ඒක පුරවන්න ඕනේ. එච්චරට විට විකිණෙනවා.

කඩල ගෝනියක් ගෙනාවම සතියකට ඒක මදි. අම්මා රෑට වැඩ ඉවර වුණාම, ගෙදර ලොකු තාචිචියක් තිබුණා. ඒකට වැලි දලා කඩල බදිනවා. අපේ ගෙදර තිබුණේ කඩෙත් එක්කම. ඉරිදට පඩි දවසට මෙතන හුස්මගන්න බැහැ. අපි පස්දෙනෙක් විතර කඩේ ඉන්නවා එ්ත් බඩු දීලා ඉවර කරන්න බැහැ. වත්තේ ඔක්කොම වගේ බඩු ගත්තේ අපේ කඩෙන්. පඩි දවසට රෑ දහය විතර වෙනකම් බඩු දෙන්න ඔනේ. 70 ගණන්වල අපේ කඩේ තිබුණ බඩුවල මුළු වටිනාකම රුපියල් තුන්දහස් ගාණක් තියලා තාත්තා පොතක ලියලා තිබුණා. දවසකට පාන් රාත්තල් සීයක් විතර විකුණනවා. ගොනපිටිය බස් එකේ උඩ දාගෙන ලැන්ටි සිල්වාගේ බෙකරියෙන් තමයි පාන් ගේන්නේ. දැන් වගේ මිනිස්සු ඉස්සර නෑ ගෙවල්වල යනකොට කෙක්, බිස්කට් අරගෙන යන්නේ නැහැ. පාන් රාත්තලක් තමයි අරගෙන යන්නේ.

ගෙදරට ඔනේ බඩුයි කඩේට ඔනේ බඩුයි පොළෙන්ම ගන්නවා. එවා හවසට ගෙන්නෙ බණ්ඩයියාගේ කාර්එකෙන්. මෙහෙ ඉදලා ගුරුතලාවට යන්න රුපිටල් විසි පහක් විතර තමයි කාර් එකට ගන්නේ. අපේ තාත්තා තමයි ගමට ඉස්සරලාම කාර් එකක් ගෙනාවේ. රුපියල් තිස්පන්දාහකට මොරිස් තවුසන් එකක්. පස්සේ අපි ලොරියක් අරගෙන කොළඹට එළවළු පැටෙව්වා. කුලිය රාත්තලට සත හතළිස් පහයි. අසූ ගණන්වලින් පස්සෙ මේ පැත්තේ මිනිස්සු එළවළු වවන්නත් අල වවන්නත් පටන් ගත්තා. එත් එක්කම තමයි මේ පැත්ත දියුණු වෙන්න පටන් ගත්තේ. ගමට ලයිට් අවා. ටෙලිෆෝන් අවා. දැන් පාරත් කාපට් වෙලා තියෙනවා. අපේ තේ කඩේ දැන් නැහැ. අම්මා නැති වුණාට පස්ස එක වහලා දැම්මා. දැන් සැලුන් එකත් නැහැ. ඒ වගේම තාත්තා ඉඩමෙන් කෑල්ලක් පූජා කරලා මේතන පිටිපස්සේ පන්සලක් හැදුවා. ඒ කරලා උණවටුනේ හාමුදුරු නමක් වැඩමවලා නතර කළා.

අලුත් පදිංචිකරුවෝ

අපට මුණගැසුණ මහකුඩුගල හන්දියේ අනෙක් අතීත සාක්ෂි කරුවා බී. ජී විමලසේන මහතාය. ‘‘අපි ඉස්සර හිටියේ රත්නගල. ටී. බී. ඇම්. හේරත් මහත්තයා අපිට අක්කර කාල ගානේ ඉඩම් දීලා මෙහේ පදිංචි කළා. මේ ගම පටන් ගත්තේ 62-63 වගේ කාලෙ. පවුල් තිහක් විතර තමයි මුලින් පදිංචි වුණේ. මෙතන ඒ දවස්වල හන්දියක් තිබුණේ නැහැ. පොඩි ලඳු කැලෑවක් තිබුණා. ලොකු සයිප්‍රස් ගහක් තිබුණා. එකේ යට දෙවාලයක් තිබුණා. ඒ දෙවාලේ අයින් කරලා අර පාර එහාපැත්තට ගෙනිහිල්ලා තමයි පුංචිහේවා මුදලාලි මෙතන කඩේ හැදුවේ.

ඒ කාලේ සත තිස්පහට මම මුදලාලි ගාව වැඩ කළා. කඩෙත් එක්ක සැලුන් එකයි තේ කඩෙයි දෙකම තිබුණා. කොණ්ඩේ කපන්න සත පහයි. අප්පච්චි කෙනෙකුයි පුතාලා දෙන්නෙකුයි තමා එතන වැඩ කළේ. එක පුතෙක් වෛද්‍යලිංගම්. අනෙක් පුතා සිවලංගම්. මුදලාලිට ඒ දවස්වල හරක් හිටියා. මම වල් කැපුවා, ඉඩමේ වැඩ කළා. අනිත් වෙලාවට කඩෙත් වැඩ කළා. පාන් කාලයි කිරි කාලයි සත පහළොවයි. එල කිරි තමයි දෙන්නේ. දැන් වගේ පිටි කිරි තිබුණේ නැහැ. ඒ දවස්වල මට පඩිය සත 35යි.

පඩි දවසට අපි පස්දෙනෙක් විතර බඩු දීලාත් දීගන්න බැහැ. රෑ දහය විතර වෙනකම් බඩු දෙන්න ඕනේ. 72දි මගේ පඩිය රුපියල් දෙකයි. ඒ දවස්වල අපි කොල්ලො කට්ටියම රාගලට පයින් යනවා චිත්‍රපටි බලන්න. සත 55යි. 6.30.ත් 9.30ත් බලලා තමයි පයින්ම ආපහු එන්නේ. පස්සේ කඩේ මුදලාලි ලොරියක් ගෙනාවා. අපි මෙතන හන්දියේ එළවළු කිරුවා. තංගයියා උනාබිර්, මහින්ද මුදලාලි තමයි එළවළු ගත්තේ කොළඹට එළවළු පටවනකොට අටිටිය ගහනවා රම්බොඩ බිම්ගේ ගෑවෙන නො ගෑවෙන තරමට උසට. මෙතනින් රෑ 8ට ගියාම පාන්දර හතර වෙනකොට කොළඹට යනවා. පහුවෙනකොට පිරිමියෙකුට දවසට පඩිය රුපියල් පහක් වුණා. දැන් පඩිය රුපියල් දාහයි.

එක දවසක් මම රෑ ගෙදර ගහින් උදේ හන්දියට එනකොට කඩයක් ගෙනත් තියලා. ඒ කියන්නේ උඩහදි ලෑලිවලින් කඩේ හදලා උස්සගෙන ඇවිත් මෙතන පහළින් තියලා. එහෙම තමයි හන්දියට දෙවෙනි කඩේ ආවේ. මට මතකයි පන්සල හැදුවට පස්සේ පෙරහැරෙන් බුදු පිළිමය වැඩමකෙරෙව්වේ අපේ තාත්තා. එක පොඩි බුදු පිළිමයක් ඔළුවේ තියාගෙන ගම වටේ පෙරහැරෙන් ගෙනහින් තමයි තැන්පත් කළේ... දැන් ඉතින් ඉස්සර තිබුණ තේ කඩෙත් සැලුන් එකත් මෙතන නැහැ. හන්දිය විතරක් තියෙනවා. ඉස්සර වගේ හවසට මිනිස්සුත් නැහැ.’’

ලොකු කංකානිලා

කාලයත් සමග බොහෝ කරුණු යටපත්ව යද්දී, මුත්තයියා සින්නයියා පත්මනාදන් මහතා සතුව සියවසකටත් එයා ලිඛිත සාක්ෂි තිබේ. ‘‘අපේ පරමපරාවෙ අය තමයි වත්තේ ලොකු කන්කානිලා. එක අපේ සීයාගේ තාත්තගේ ඉදලා මම වෙනකම්ම එහෙමයි. අපේ සීයා 1825දි තමයි ඉපදිලා තියෙන්නේ. මම දන්නේ නැහැ මහකුඩුගලවත්ත කොයිකාලේ පටන් ගත්තද කියලා. හැබැයි 1891දි අපි ඉන්න මේ ගෙදර අපේ සීයට සුද්දො ලියලා දීපු ලියවිල්ල මං ගාව තියෙනවා. දැන් මේ අපි ඉන්න ගෙදර තමයි ඉස්සර වත්තේ බංගලාව. ෆැක්ටරිය තිබුණේ පහළ. පස්සේ බංගලාවයි ෆැක්ටරියයි අලුතින් හදලා සුද්දො එකට ගියාට පස්සේ තමයි අපිට මේ ගේ දීලා තියෙන්නේ. මේ ළගදි මට කෝල් එකක් අවා සුද්දෙක්ගෙන්. එයාලා අපේ පුතාටත් කතා කළා. ඒ තමයි ඉස්සර මේ වත්ත අයිති සුද්දාගේ දුව. ඒ අය ලංකාවට ආව වෙලාවේ මෙහේ විස්තර හොයලා එතන අපේ ඥාතියෙක් ඉදලා මගේ නොම්මරේ දීලා. පස්සේ ඒ අය අපේ ගෙදරත් අවා. ඒ නෝනගේ නම වින්ඩි පොටර්. ඒ අය ඉස්සර ගත්ත පොටෝ එකකුත් මට දීලා ගියා. එකේ අපේ තාත්තාත් ඉන්නවා.

අපේ ගමයි වත්තයි එකට තිබුණට මුලින්ම තිබුණේ මහකුඩුගල වත්ත විතරයි. ඒ දවස්වල හන්දියට පහළින් කඩ තුන හතරක් තිබුණා. කම්මලක් තිබුණා. දැන් හන්දිය තියෙන තැන රිසිවේශන් එක තිබුණේ. පස්සේ පුංචිහේවා මුදලාලි මෙතන කඩයක් දැම්මා මට මතකයි එතන තිබුණ සැලුන් එකට මම යනවා කොණ්ඩේ කපන්න. ඔය පුංචිහෙවා මුදලාලියි වත්තේ හිටිය උක්කුරාළයි තමයි මුල් වුණේ ගම හදන්න. ඔය මහතුන්ලගේ විපුලෙලාගේ කට්ටිය විතරක් ටික දෙනෙක් ගමේ හිටියා. ඉස්සර මිනිස්සු රාගල යන්නේ මේ හන්දිය ළගින් තියෙන ගම්සභා පාරෙන්. 65න් පස්සේ විතර තමයි කාර් ආවේ. කාර් එකේ රාගලට යන්න පොඩි ළමයෙකුට සත විස්සයි. ලොකු එක්කෙනෙකුට සත හතළිහයි කාර් එක ඇතුළෙ අට දෙනෙක් දානවා. ඩිකිය ඇරලා එකෙත් මිනිස්සු කීපදෙනෙක් දානවා. තව දොරවල් ඇරලා දෙපැත්තෙ හිටගෙනත් එනවා. කොහොමහරි කාර් එකේ 17ක් විතර එනවා.

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා