ගොවිපළක් ආරම්භ කරමින් ජීවිතය ජයගත් අපේ කාලයේ උපාධිධාරියෙක්

 ඡායාරූපය:

ගොවිපළක් ආරම්භ කරමින් ජීවිතය ජයගත් අපේ කාලයේ උපාධිධාරියෙක්

ඔහු උපන්නේ තංගල්ල පළතුඩුව ගමේ. ඔහුගේ මුල්ම පාසල වූයේ තංගල්ල පළතුඩුව විද්‍යාලය. එම පාසලෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඉන් පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගැනීමට වීරකැටිය රාජපක්ෂ මැදි විදුහලට ඇතුළත් වන වූ ඔහු එහිදී උසස් පෙළ කෘෂි විද්‍යා විෂය ධාරාව හදාරා ඉන් පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයට වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා ඇතුළත් වුණා.

2002 වර්ෂයේදී කෘෂිකර්ම විශේෂවේදී උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් මේ උපාධිධාරියා රජයේ රැකියාවක් ලැබෙනතුරු නිවසට වී නිකරුණේ කාලය ගත කළේ නැහැ. වැඩ වර්ජන කරන්නට පාරට බැස්සේද නැහැ. රජයේ රැකියාවක් ලබාගැනීම සදහා දේශපාලකයින් සොයා ඔහුන් පාර පස්සේද ගියේත් නෑ.

ඔහුගේ ඉගෙනගත් දැනුම උපයෝගී කර ගනිමින් ඔහු තමන්ගේම කියා ස්වයං රැකියාවක් ආරම්භ කර ගනිමින් තම ජීවන ගමන් මග සැපවත් කරගන්නට අදිටන් කර ගත්තේය. අද වන විට ඔහුගේ අදිටන මල්ඵල ගැන්වී ඇත. දැනට හතලිස්පස් වන වියේ පසුවන තංගල්ල පළතුඩුවේ පදිංචි ඔහු නමින් කේ.එච්.මහින්ද ය.

රජයේ රැකියා සොයමින් නිකරුණේ කාලය ගත කරමින් සිටින සියලුමදෙනාට මේ උපාධිධාරියගේ කතාව තුළ සිතන්නට යමක් ඉතුරුව තිබේ. ඒ ඔහුගේ නොපසුබට උත්සාහය තුළ කරන ලද කැප කිරීම තුළින් ඔහු ලබාගත් ජයග්‍රහණයේ කතාවයි.

රජයේ රැකියාවක් ලැබෙනතුරු බලා හිටියෙ නැහැ

‘’ඇත්තටම මම රජයේ රැකියා ලැබෙනතුරු බල බලා හිටියේ නෑ. මම උපාධියක් ගත්ත නිසා රජයේ රැකියාවකටම යන්න ඕනම කියලා මගේ හිතේ අදහසක් තිබුණෙත් නැහැ. විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් ගමන්ම මම මුලින්ම රැකියාවක් විදියට කළේ කුකුල් මස් තොග වශයෙන් අරගෙන ගිහිල්ලා වෙළදසැල්වලට බෙදා හැරීම. එහෙම ඒ කටයුතු කරගෙන යන අතරතුරේ මම විවාහ වුණා. ඉන් පස්සේ මගේ බිරිඳ මේ ව්‍යාපාරය කරගෙන යෑමට අකැමැති වුණා. ඇය කිව්වේ ඒක පව්කාර වැඩක් කියලා.

මගේ බිරිඳ කළේ රජයේ රැකියාවක්. ඒ නිසා ඇයට පත්වීම ලැබුණේ බණ්ඩාරවෙල ප්‍රදේශයට. ඒ නිසා මටත් එයත් එක්ක ඒ පළාතේ පදිංචියට යන්න වුණා. ඉන්පස්සෙ මම බන්ඩාර‍වෙළ බෙරගල ප්‍රදේශයේ වර්ග අඩි 6000ක පමණ පොලිතීන් ගෘහ දෙකක බෙල්පෙපර් හා සලාද පිපිඤ්ඤා වගාව සාර්ථකව අවුරුද්දක් පමණ කරගෙන යාමට හැකියාව ලැබුණා.’’

දැඩි සුළඟක් හමා යාම නිසා ලක්ෂ 50 කට අධික පාඩුවක් සිදුවුණා

‘’මගේ තියෙන අවාසනාවකට ඔහොම ඉන්න අවස්ථාවක දැඩි සුළං තත්වයක හේතුව නිසා මගේ මේ වගාවන් හා ගෘහ දෙකම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. ඒ නිසා මට රුපියල් ලක්ෂ 50කට අධික පාඩුවක් ලබන්න සිද්ධ වුණා. මේ මුදල් හොයා ගත්තෙත් මම ඉතාමත්ම අමාරුවෙන්. ඒ කියන්නේ අපේ ගෙදර පාවිච්චි කරපු පරන කාරෙක විකුණන්න සිද්ධ වුණා. ගෙදර තිබුණු බිරිදගේ රත්රන් බඩු ටික විකිණුවා. ඊට අමතරව ළඟ තිබුණු සල්ලිත් දාලා තමයි මේ ව්‍යාපාරය කරන්න පටන්ගත්තෙ. ඒත් එක පාරටම මේ ඇති වූ විනාශය නිසා මම ඉතා අසරණ තත්වයකට පත්වුණා. මේ නිසා මම මාස හයක කාලසීමාවක් විතර කරන්න දෙයක් නැතිව මොනවා කරනවද කියලා කල්පනා කරමින් හිටියේ.’’

ගමේ ඇවිත් වඩු මඩුවක කුළියට වැඩ කළා

‘’පස්සෙ ආපසු ගමට ඇවිත් මම වඩු මඩුවක කුළියට වැඩ කරන්න ගියා. හැබැයි මට ඒ සදහා හොඳ පුහුණුවක් තිබුණෙ නැහැ. මම වැඩ දන්න දන්න විදියට කෙරුවා. ඒකට මට කුළියක් ගෙව්වා. එතකොට මම නැවතිලා හිටියෙ අපේ අක්කගෙ ගෙදර. ඔහොම ඉන්නකොට ඒ අක්කගෙ පුතා ගෙනාපු පත්තරේක මම දැක්කා දැන්වීමක් දාලා තියෙනවා පේර පැල විකුනන්න දඹුල්ල පැත්තේ තැනක තියෙනවා කියලා. ඒකත් එක්කම මට හොඳ අදහසක් ආවා. මම ඉගෙන ගත්ත දේත් එක්ක පේර වගාවක් තංගල්ල පැත්තෙත් කරන්න පුළුවන් කියලා. පේර වගාවෙන් අස්වැන්න මුළු අවුරුද්ද පුරාම ලබාගන්න පුළුවන්කමක් තියෙන බවත් මම දැනගෙන හිටියා.

ඊට පස්සෙ මට ආපු ලොකුම ගැටළුව තමයි මේ ටික කරගන්න මුදල් නොමැතිකම. පස්සෙ මට මතක් වුණා මගේ දෙමවුපියන්ගේ උරුමයෙන් ලැබිච්ච අක්කරයක පමණ ඉඩමෙ තියෙන කොහොඹ ගස් ටික ගැන. මම ඒ ටික ගන්න කිව්වා මගෙ අක්කගෙ පුතාට. එතන ගස් 54ක් තිබුණා. ඒකෙන් මට රුපියල් දෙලක්ෂ පනස්දාහක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කොහොඹ ගස් ටික කපපු අක්කරයෙම තමයි මම පේර පැළ ගෙනල්ලා හිටෙව්වෙ. අක්කරයකට පේර පැළ 400ක් පමණ යනවා. පැල ගෙනල්ලා හිටවලා මාස දෙකක් තුනක් යනකොට මල් පිපෙන්න පටන් ගත්තා. ඒක දැකලා මට ඇති වුණේ පුදුම සතුටක්. මට ඒ තුළින් ලොකු ශක්තියක් ආවා මේ වගාව ඉදිරියටම කරගෙන යන්න ඕන කියලා.’’

නැවතත් උත්සාහය නිසා අතමිට සරු කරගන්න පුළුවන් වුණා

‘’පැළ හිටවලා මාස 5කට පමණ පසුව පේර වගාවෙන් පළමු අස්වැන්නගන්න හැකි වුණා. ඒ අස්වැන්න කොළඹ මැනිං මාකට් එකට තමයි මම මුලින්ම අරන් ගියේ. ඒ විකිණීම තුළින් මගේ මහන්සියේ ප්‍රතිඵල මට ලැබුණ. මෙහෙම අවුරුදු එකහමාරක් විතර කරගෙන යනකොට මේ පේර ගස්වල හොඳ වර්ධනයක් දුටුවා. ඊට පස්සේ මට හිතුණා මගේ ආදායම තවත් වැඩි කරගන්න මේ පේර ගස් මව් ශාක විදියට තියාගෙන පැල තවානක් ආරම්භ කරන්න ඕන කියලා.

දැන් මම මාස හයකට විතර ඉස්සෙල්ලා ඒ පැල තවානත් ආරම්භ කෙරුවා. දැන් ඒකේ මේ වෙන කොට මව් ශාකවලින් මුල් අද්දවා සකස්කර ගත් පේර පැළ දහ දාහක විතර පැල තවානක් තියෙනවා. දැනටමත් පැල දාහක් විතර මම අලෙවි කරලා තියෙනවා. කිලෝ පේර පැලයක් මම දෙන්නෙ රුපියල් සීයක මුදලකට. හැබැයි මම මුලින්ම පැල ගත්තේ මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලා පැළයක් රුපියල් 200 කට.’’

අලුත් අලුත් දේවල් ගැන සිත යොමු කළා

‘’පේර පැළවල පරතරය අඩි දහයෙන් දහයට තියෙන නිසා පැල හතරක් අතරට ගස්ලබු ගහකුත් දැම්මොත් හොදයි කියලා මට හිතුණා. දැන් මගේ පේර වගාව අතරතුර ගස්ලබු වගාවකුත් දාලා තියෙනවා. ඒ තුළිනුත් දැන් මට හොඳ ආදායමක් ලබාගන්න හැකියාවක් ලැබිලා තියෙනවා.

මේ අතරතුරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බටඅත ගොවිපලේ බීජ සහතික කිරීමේ සේවය හරහා මම වැඩිදුර උපදෙස් ලබාගත්තා. ඒ දැනුමත් උපදෙස් එක්ක මට හිතුණා තවත් අලුත් දෙයක් කරන්න ඕන කියලා. ඒ අනුව මම බද්ධ අඹ පැල නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ග්‍රාහක පැල ලබා ගැනීම සඳහා කටයුතු කළා. දැන් මේ වෙද්දි අඹ ඇට විසිපන්දාහක් පමණ පැල තවානක් දාලා ඒ පැල පැකට්වලට ගනිමින් පවතිනවා.

මම මේ වැඩේ පටන් ගත්තේ දැන් මාස එකහමාරකට දෙකකට විතර ඉස්සර වෙලා ඉඳලා. එතකොට අඹ වාරෙ ඉවර වෙලා. මට ඇති වුණු ලොකුම ගැටලුව තමයි අඹ ඇට හොයා ගන්නෙ කොහොමද කියන එක. මම මුලින් පැලකල අඹ ඇට විසිපන්දාහ හොයාගන්න මම සෑහෙන තරම් කරදර දුක්වින්දා. මේ කිට්ටුව කොතැනකවත් තිබුණේ නැහැ මිලදී ගන්න. හැබැයි මම උත්සාහය අත්හැරියේ නම් නෑ. පස්සෙ මට කොළඹ ගම්පහ වැනි ඈත දුර ප්‍රදේශවලින් තමයි අඹ ඇට සොයාගැනීමට හැකියාව ලැබුණෙ.’’

හැම ගැටළුවකටම නිර්භයවම මුහුණ දුන්නා

‘’නමුත් ඊට පස්සෙ මට ආපු ලොකුම ගැටළුව තමයි මේ ගේන අඹ ඇටවල වටේ තියන පොතු සුද්ද කරන්න දන්න කියන අය මේ පළාතේ හිටියේ නැති එක. පස්සේ ගෙන ආපු අඹ ඇට ආපහු ගෙනියන්න සිද්ධ වුණා වැල්ලවාය ප්‍රදේශයට. ඒ ගෙනිහිල්ලා අඹ ඇටයක් රුපියලක මුදලකට සුද්ද කරල තමයි ආපහු මෙහාට ගෙන ආවේ. මේවා ප්‍රවාහනය කරන්න මට මගේ කියලා වාහනයක් තිබුණේ නෑ. මග යන බස්වල දමාගෙන ගිහිල්ලා තමයි මං වැඩ කෙරුවේ. සමහර වෙලාවට මේ අඹ ඇට ගෝනි බස්රථවලට පටවන්න ගිහිල්ලා බැණුම් අහපු අවස්ථා අනන්තවත් තියෙනවා. කොතරම් කරදර බාධක ආවත් මම මගේ උත්සාහය අතඇරියේ නෑ. දැන් මගේ මේ ගොවිපලේ පස්දෙනෙකුට රැකියා අවස්ථා ලබාදී තිබෙනවා.’’

මේ සඳහා රජයේ අවධානය යොමු වෙනවා නම් හොඳයි

‘’දැනට මට තිබෙන ලොකුම ගැටලුව තමයි අඹ බද්ධය සදහා අවශ්‍ය වන ටොම්ජේසි ප්‍රභේදයේ අනුජ (අතු රිකිලි ) ලබා ගැනීමට තැනක් නොමැති වීම. ඒ වගේම කියන්න ඕන මම මේ මුල් අද්දවා පැල කර ඇති පේර පැළ මිලදී ගැනීම සඳහා රජය මැදිහත් වීමක් සිදුකර හෝ ක්‍රමවේදයක් සකස් කර දෙනවා නම් එය අපට ලොකු ශක්තියක් වෙනවා.’’

අද මම හොඳ ආදායමක් ලබා ගන්නවා

‘’මම මගේ උපාධිය ගැන හිත හිතා රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් හිටියා නම් සමහර විට මම තාමත් හරි හැටි ආදායමක් නොමැතිව නිකරුණේ කාලය ගත කරමින් ඉන්නට තිබුණා. ඒ වගේම තමයි හැම දේටම උත්සාහවන්ත වෙන්න ඕන. ලොකු කැප කිරීමක් අධිෂ්ඨානශීලි බවක් තියෙන්න ඕන. මුලදිම මම පටන් අරන් ලොකු ගමනක් යන්න හදන වෙලාවෙම මට දරා ගන්න බැරි තරමට ලොකු අලාභයක් වුණා. ඒ තද සුළඟක් ඇවිත් මගේ මුළු වගාවම හානි වූ අවස්ථාවෙ. එදා මම මානසිකව කඩා වැටිල උත්සාහ නොකර හිටිය නම් අද මට මේ තත්වයෙන් යහපත් ජීවිතයක් ගත කරන්න වෙන්නෙ නැහැ. එදා ඒ තුළින් මම නැවතත් නැගී සිටීම තමයි මගේ ජීවිතයෙ හැරවුම් ලක්ෂය වුණේ. අද වෙනකොට මගේ මේ ගොවිපළෙන් මට හොඳ ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි මේ ගොවිපල තවදුරටත් දියුණු කරගෙන ඉදිරියටම ගෙන යෑම.

අවසාන වශයෙන් මෙම කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා මට උදව් උපකාර කළ අය ගැන මතක් කරන්න ඕන, හුංගම බටඅතගොවිපලේ බීජ සහතික කිරීමේ ස්ථාන භාර නිලධාරී ටී.පී.වීරසේකර එම ගොවිපළේ කෘෂිකර්ම උපදේශක කේ.ඒ.චමින්ද යන මහත්වරුනුත් තංගල්ල කෘෂිකර්ම උපදේශක උදේශ් මහත්මයත් ආදරෙන් සිහිපත් කරන්න ඕන.’’

සටහන හා ඡායා [නුවන් ජයසේකර]

මාතෘකා