අසූ වසරකට පෙර වැනසුණු ගස් ගැන වැලපෙන සියවසක් පැරණි හදවත... | ඇස පාදන රැස


අසූ වසරකට පෙර වැනසුණු ගස් ගැන වැලපෙන සියවසක් පැරණි හදවත...

 ඡායාරූපය:

අසූ වසරකට පෙර වැනසුණු ගස් ගැන වැලපෙන සියවසක් පැරණි හදවත...

බෝවල උක්කුමැණිකා

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට

මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට

ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට

මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

"පුතේ මට තවමත් ලස්සනට කවි කියන්න පුළුවන් නේද?"

කහඳව ආරච්චිගේ උක්කුමැණිකා මාතාව සිය ජීවිත කතාව ආරම්භ කළේ කොයි කවුරුත් දන්නා ගැමි කවියකින් මටද ප්‍රශ්නාර්ථයක්ද එක් කරමිනි. ඇත්තෙන්ම ඇය ලස්සනට ගායනා කළාය. ඒත් ඒ කවිය හද පාරවනසුලු බැවින්දෝ ඇගේ ගායනයෙහිද ශෝකී ස්වරයක් තැවරී තිබිණි. ඇයට ඒ කවියම කියන්නට සිතුණේ ඇයි?

මේ වන විට සිය ජීවන මඟෙහි එකසිය එක්වන කඩඉම පසු කර සිටින ඇය උපත ලබා ඇත්තේ 1917 වර්ෂයේ ජනවාරි මස පළමු වැනි දිනයි. අලව්ව බෝවල, නවතල්වත්ත ග්‍රාමයේ පදිංචිව සිටින උක්කුමැණිකා මාතාව ජීවත් වන්නේ සිය හැට හැවිරිදි දියණිය හා මිනිපිරිය සමගය. ‘රැස‘ දිගාසිරි චාරිකාවේදී මෙතෙක් හමුවූ සියවස් සපිරූවන් සියලු දෙනා අතරින් ඉතා දුෂ්කර මෙන්ම දුක්බර ජීවිතයක් ගතකරන්නී ඇය බව මට නොලියා සිටිය නොහැකිය. ඇගේ දියණිය මව බලාගැනීමේ රාජකාරියට පූර්ණ කාලීනව කැප වී සිටින අතර ඔවුන් තිදෙනාගේම දිවි රැකෙන්නේ, මිනිබිරිය ඇගලුම් කාර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් උපයන සොච්චම් වැටුපෙනි.

උක්කුමැණිකා ජීවත් වන නිවස සොයා ගැනීම සදහා පැය කීපයක් ගත් විණි. ඒ උක්කුමැණිකා පිළිබදව ගම්වැසියන් නොදැන සිටි නිසාය. ඇතැම් තැනකදී "එහෙම කෙනෙක් හිටියා දැන් නම් නැහැ" යැයිද තවත් තැනකදී "මේ ගමේ එහෙම කෙනෙක් හිටියෙම නැහැ" යනුවෙන්ද පිළිතුරු ලැබිණි. ප්‍රදේශයේ තැපැල් කාර්යාලයද උක්කු මැණිකා පිළිබදව නොදැන සිටි අතර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම මේ ගැටලුවට ප්‍රධාන විණි.

"කොයි මොහොතේ මේ ගේ කඩා ගෙන වැටෙයිද දන්නේ නැහැ." උක්කුමැණිකා දුක්ගැනවිල්ලක ස්වරූපයෙන් පැවසුවාය. ඇය කියන්නේ සත්‍යයකි. වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් නිවස ඉතා අබල දුබල වී තිබේ. උක්කුමැණිකා සිය කුඩා අවදියට මා රැගෙන ගියේ සිය මවගේ මරණය පිළිබදව මතකය අවදි කරමිනි.

කුඩා අවදිය

''මම තමයි පවුලේ වැඩිමලා. මට බාල පස් දෙනෙක් හිටියා. බාල නංගි ලැබෙද්දී තමයි අම්මා නැති වුණේ. එතකොට මට වයස අවුරුදු දොළහක් විතර ඇති. මම තමයි නංගිලා මල්ලිලා ඔක්කොම බලා ගත්තේ. මොන ගැටලු තිබුණත් තාත්තා මගේ අධ්‍යාපන ගමන නතර කරන්න උත්සාහ කළේ නැහැ. මම වෑවල ඉස්කෝලෙ පහේ පන්තියට වෙනකල් ගියා. ඒ දවස්වල මට හොදට ඉගෙන ගන්න පුළුවන්. මම පන්තියේ හිටපු දක්ෂයෙක්. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ගුරුවරියක් වෙන්න. මට අට සමත් වෙන්න පුළුවන් කම තිබුණා නම් ගුරුපත්වීමක් ගන්න තිබුණා.

මගේ අවාසනාවට මට අවුරුදු පහළොවේදී වගේ තාත්තත් මැරුණා. ඊට පස්සේ අපි හිටියේ නැන්දලා මාමලා ළඟ තමයි. මගේ අධ්‍යාපන ගමන ඒ නිසා නැවතුණා. මගේ අධ්‍යාපනයට ගොඩක් බලපෑවේ අම්මා තාත්තගේ මරණ. අම්මා නැති වුණාට ලැබුණු නංගි හිටියනේ. ඒකත් බලපෑවා. පවුලේ වැඩිමලා විදිහට මම එදා ඒ යුතුකම් සියල්ල කළා."

විවාහය

"ඒ දවස්වල මේ පැත්තේ වනාන්තර තිබුණේ. මේ වනාන්තරවල ගස් කපන්න පිට ප්‍රදේශවලින් කට්ටිය ඇවිල්ලා මෙහෙ කඳවුරු ගහගෙන හිටියා. බලපිටියේ ඉඳලා ආපු ඇල්බියස් අප්පුහාමි මට මුණ ගැහෙන්නේ ඒ විදිහටයි. මුල ඉඳලම ගස් කපන එකට මගේ කැමැත්තක් තිබුණේ නැහැ නමුත් බාප්පලාගේ බලකිරීම නිසා මම ඇල්බියස් අප්පුහාමි එක්ක දීග ගියා. එතකොට මට වයස 17ක් විතර ඇති. ඇල්බියස් අප්පුහාමිගේ වයස 41යි. ඒ දවස්වල අද වගේ මැෂින් තිබුණෙ නැහැ. ගහක් කපන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. නමුත් ඇල්බියස් අප්පුහාමි ගස් කැපුවේ සුරුස්‌ ගාලා ... මුළු ගමම ඇල්බියස් අප්පුහාමිට බයයි. මම දිග ගිය දවසේ ඉඳලම කිව්වේ ගස් කැපිල්ල නතර කරන්න කියලයි.අපි දීග ගිහින් අවුරුදු කීපයක් යනකම් දරුවෝ හිටියේ නැහැ. මම කිව්වා දරුවෝ නැති වෙන්නත් මේ ගස් කපන එක හේතුවක් වෙන්න ඇති කියලා. "

වාර්තාවක්

"දීග ගිහින් අවුරුදු හතකට විතර පස්සේ මට පළමු දරුව ලැබුණා. ඒ තමයි රංමැණිකා. එයාට දැන් අවුරුදු හැත්තෑපහක් වෙනවා. ඊට පස්සේ ලැබුණු දරුවන් තුන්දෙනෙක් පිට පිටම මැරුණා. හතරවෙනියා චන්ද්‍රසේන, පස්වෙනියා සාමාවතී. හයවෙනියා පියසේන. මේ සියලු දෙනා ජීවතුන් අතර ඉන්නවා. සිරිපාල හා ගුණසේන කියන දෙන්නා මියපරලොව ගිහින්.

මාව දැන් බලා කියා ගන්නේ සේනාවතී කියන මේ දුව තමයි. මගේ එක පුතෙකුට මේ වෙනකොට අවුරුදු පනස් නවයක් වෙනවා. අවුරුදු 17 කින් මං එයාව දැකල නැහැ. මට දුක ඒ ගැන තමා. මම දරුවෝ හදපු හැටි දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි. මොකද බාල කොල්ලා බඩට ඇවිත් ටික දොහකින් ඇල්බියස් අප්පුහාමි මියැදුණා. අංශභාගේ හැදිලා තමයි ළමයින්ගේ තාත්තා මියෑදුණේ. මාස ගණනක් ගොඩක් දුක් වින්දා. හරියට ගහක් කපලා බිම දානවා වගේ ඇද වැටුණු මනුස්සය ආයේ කෙළින් කර ගන්න බැරිව ගියා. හිතා ගන්න පුළුවන් නේ එතකොට තත්ත්වය මොකද්ද කියලා. දරුවෝ අටදෙනෙකුත් එක්ක මම තනි වුණා . මට සිද්ද වුණා දරුවෝ ජීවත් කරවන්න පැය විසිහතරෙන් පැය විස්සක් විතර වැඩ කරන්න. මම හිතන්නේ ලෝකයේ මම වගේ දුක් විඳපු අම්මා කෙනෙක් තව නැතිව ඇති. අවුරුදු සීයක් මේ වගේ දුක් විඳපු, තවමත් විදින අම්මා කවුද කියලා හොයලා බැලුවොත් ඒ මමයි. වෙන කවුරුත් නෙමෙයි." උක්කුමැණිකා පැවසුවේ වේදනාවෙනි.

අල වර්ග

මගේ මතකයේ හැටියට, මගේ ජීවිත කාලේ බරපතළ ආහාර හිඟ දෙකකට මම මුහුණ දීලා තියනවා. මට කාල වකවානු හරියට මතක නැහැ මගේ මුල් කාලේ වාගේම වුරුදු තිහකට හතළිහකට ඉස්සරලත් රටේ මේ තත්වය ඇති වුණා. ඒ දවස්වල අපි කැලේට රිංගලා එක එක අල වර්ග ගෙනල්ලා තම්බලා කෑවා. ගෝනල, දෑබල, ජා වල , කූකුළල, රටල, කටුවල, මේ අල වර්ග අද තියනවද මන්දා. ඒ වගේම් දෙල්, කොස් තම්බලා කෑවා. අපි කෙසෙල් අලත් තම්බලා කොටලා කාලා තියනවා.

මේ වගේ දුක් විඳලා තමයි අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. කවදාවත් කාටවත් කරදරයක් වෙලා නැහැ . හැබැයි මම එදත් කියනවා අදත් කියනවා අල්ලගෙන කන්න තියන වළ ඉහාගන කන වැඩක් තමයි අපේ දරුවන්ගේ තාත්තා කළේ. ගහක් කපනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. එදා ඒ විදිහට වනාන්තර එළි පෙහෙළි කරපු නිසා තමයි අද මේ විදිහට වැස්ස නැති වෙලා තියෙන්නේ. ඊයේ පෙරේදා මට ඇති වුණ ලොකුම දුක තමයි මේ ඉස්සරහා තිබුණු කොහොඹ ගහ කපපු ඒක. මේ ගහට අවුරුදු හතළිහකට වැඩියි. මොනවා කරන්නද? මම ඇදෙන් වැටුණ නිසා බෙහෙත් ගන්නනේ මේ ගහ කපන්න සිද්දවුණේ .

ආධාර

පැය දෙකකට ආසන්න කාලයක් නිහඩව සිටි, උක්කුමැණිකාගේ දියණිය වන සේනාවතී මහත්මිය එතැනදී නිහඬතාව බින්දාය.

"අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අම්ම තනියෙන් දාලා මට රස්සාවකට යන්නත් බැහැ. සහෝදරයන්ට කියලා දෙන්න වැඩි දෙයකුත් නැහැ. මේ ගරා වැටෙන්න යන ගෙදර අපිට ඉන්න වෙලා තියනවා.

මම නම් දැක්කේ නැහැ. ගමේ අය තමයි කිව්වේ ගිය පාර අයවැයෙන් අවුරුදු සියය පැනපු අයට ආණ්ඩුවෙන් රුපියල් පන්දාහක් දෙනවා කියල. හැබැයි අපිට නම් මේ දක්වා ඒක ලැබුණේ නැහැ. ඒක ලැබෙනවා නම් ඇත්තටම අපිට යන්තම් වත් කාලා ඉන්න පුළුවන්... අම්මට ලෙඩ මුකුත් නැති වුණාට ඇඳෙන් වැටිලා කකුල කැඩිලා ඉන්නේ. ඒකට බෙහෙත් කළෙත් කොහොඹ ගහක් විකුණලයි."

"මට දැන් දැන් හිතෙනවා මම ජීවත් වුණා වැඩිද කියලා." උක්කු මැණිකා මාතාව සිය දියණියගේ කතාව නිම වීමටත් පෙර එසේ පැවසුවාය.

"අනෙක් කරණය මම අවුරුදු සීයක් කාටවත් අත නොපා ජීවත් වුණා. මම කැමති නැහැ ආණ්ඩුවටවත් අත පාන්න. ඉතුරු ටිකත් ඔහෙ ගෙවුණදෙන්. මොකද පුතා හිතන්නෙ?

ඇත්තෙන්ම මට කිසිවක් හිතාගත නොහැකි විය. ඇගේ අභිමානය බලවතුන් ලැජ්ජාවට පත්කරනසුලු නොවේද?

[ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න]

මාතෘකා