දූවිලි ගොඩෙත් රත්තරන් සොයන හෙට්ටි වීදියේ රන්කරුවෝ

 ඡායාරූපය:

දූවිලි ගොඩෙත් රත්තරන් සොයන හෙට්ටි වීදියේ රන්කරුවෝ

හෙට්ටි වීදියේ හෙවත් ලෝකුරු වීදියේ ආරම්භය සිදු වුණේ ඉන්දියාවේ සිට වතු වගාව සඳහා පැමිණි විශ්ව කුලයට අයත් දමිළ ජාතිකයින් කිහිප දෙනෙකු නිසයි. ඔවුන් කළේ අද හෙට්ටි වීදිය ලෙස අද ප්‍රසිද්ධ මේ වීදියේ රත්තරං වැඩපොළවල් කිහිපයක් ඇරඹීමයි.  
චෙට්ටිවරුන් අප රටේ ජීවත් වන අනන්‍ය ජන කොට්ඨාශයක් විදිහට මුලින්ම පිළිගැනීමට ලක් වුණේ 1814 අවුරුද්දේ ඉංග්‍රීසීන් සිදු කළ පළමු ජන සංගණනයේදීයි. මේ නීතිමය පිළිගැනීම 1871 අවුරුද්දේ ජන සංගණනය දක්වාම පැවතුණා. එහෙත් ඉන් පසු ඔවුන් සිංහල, දෙමළ හෝ බර්ගර් ජාතිකයින්ගේම කොටසක් විදිහටයි සැලකුණේ.  
චෙට්ටිලා මේ විදිහට අවුරුදු 100කටත් වැඩි කාලයක් අනන්‍යතාවක් නැති ජන කොට්ඨාසයක් විදිහට ජීවත් වුණා. මේ තත්ත්වයට වෙනසක් කරන්නට සමත් වුණේ ශ්‍රී ලංකා චෙට්ටි සංගමයේ මහ ලේකම් ෂර්ලි පුල්ලේ තිසේරා මහතායි. ඔහු 1984 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ නියෝජිත තනතුරක් ලැබීමත් එක්ක චෙට්ටිවරුන්ට නැවත අනන්‍ය ජන කොට්ඨාශයක් ලෙස පිළිගැනීමක් හිමි වුණා. ඒ අනුව 2001 අවුරුද්දේ පැවැත්වුණු ජන සංගණනයේ ඉඳලා චෙට්ටිවරුන් අනන්‍ය ජන කොට්ඨාශයක් විදිහට ගණනය කෙරිලා තිෙබනවා.  
චෙට්ටිවරුන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාමත් මුල් තැනක් අරගෙන කටයුතු කරලා තිෙබනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි දේශීය සිවිල් සේවකයා බවට පත් වුණු සයිමන් කාසි චිට්ටි (Simon Casie Chitty) මහතා මුල් කාලීන චෙට්ටි දේශපාලකයන් අතර මුල් තැනක් ගන්නවා. අපේ රටේ ව්‍යවස්ථාදායක සභාවට ඔහු පත් වුණේ 1845 අවුරුද්දෙදීයි.   
ඉතින් මෙසේ ව්‍යාපාරික ප්‍රජාවක් විදිහට ආරම්භ වුණු චෙට්ටිවරුන් අද දක්වා අපේ ජන සමාජයේ වැදගත් තනතුරු රැසක් හිමි කරගෙන ඉන්නවා. අනෙක් ජන කොට්ඨාශ එක්ක සිදු වූ ආවාහ විවාහ වැනි දේ නිසා ඔවුන්ගේ අනන්‍යතාව යම්තාක් අද බොඳ වී ගොස් ඇතත් ඔවුන් අදටත් ශ්‍රී ලංකාවේ නීතියෙන් පිළිගත්, අනන්‍ය ජන කොට්ඨාශයක්. හෙට්ටි වීදිය මුල්කොටගෙන ජීවත් වෙන්නේ එහෙම ව්‍යාපාරික ජන කොටසක්.   
හෙට්ටි වීදියේ ඉතිහාසය සහ එහි ආරම්භය ගැන එහි රන්බඩු නිපදවන වැඩපළ හිමිකරුවෙකු වන සුබ්බයියා ආචාරි ත්‍යාගරාජා මහතා සමඟ කතා කළා. ඔහුගේ මතකයට අනුව හෙට්ටි වීදියේ ඉතිහාසය 1895 යුගය දක්වා දිව යනවා. ඉංග්‍රීසි පාලන සමයේදී ආරම්භ කරන ලද වතු වගාව සඳහා ඉන්දියාවෙන් ගෙන්වන ලද දමිළ මිනිසුන් කොට්ඨාසයක්, මෙරට පැවති රත්තරං ඉල්ලුම අවබෝධ කරගෙන 1895 වසරේ දී ගම්පොළ ප්‍රදේශයේ රන් භාණ්ඩ නිපදවන වැඩපොළක් ආරම්භ කර තිබෙනවා. ගම්පොළින් පටන් ගත් එම ව්‍යාපාරයේ සාර්ථකත්වයත් සමඟ ඔවුන් කොළඹට පැමිණ තිෙබනවා.  
“මගේ සීයා 1895 වර්ෂයේදී වතු වගාව සඳහා ඉන්දියාවේ සිට ලංකාවට ආවා. එයා එක්ක තව එකොළොස් දෙනෙකුත් ඇවිත් තියෙනවා. සීයාගේ නම පට්ටකන්න ආචාරියා. එයාගේ මල්ලී ලෙච්ට්මන් ආචාරියා. ඒ කාලේ ලංකාව පාලනය කළ සුද්දන්ට වතුවල වැඩ කරන්න මිනිස්සු ඕන වුණා. ඒ නිසා ඉන්දියාවෙන් දමිළ ජනතාව ලංකාවට ගෙන්වලා තියෙනවා. ඒ අයට වැටුපක් විදිහට ගෙව්වේ ගිණි කියලා රත්තරංවලින් හදපු මුදල් ඒකකයක්. අවුරුදු පහෙන් පහට ඔවුන් ඉන්දියාට ගිහින් එනවා. එහෙම ගියපු අවස්ථාවක ඉන්දියාවේ ලොකු ආහාර හිඟයක් ඇතිවෙලා. ඒ නිසා අපේ සීයලා ලංකාවේ ස්ථීර පදිංචියට ඇවිත්. ඒ කාලේ සුද්දෝ ගාව රත්තරං තිබුණු නිසා සීයාට අවුරුදු 18ක් විතර වෙනකොට රත්තරං බිස්නස් එක ගැන හිත ගිහින්. ඒ විදිහට තමයි ගම්පොළ මුල්ම වැඩපොළ පටන්ගත්තේ."
“කෙසේ හෝ 1895 අවුරුද්දේ ඉඳන් 1900 අවුරුද්ද වෙනකම් ගම්පොළ වැඩකරලා 1900 දී විතර කොළඹ චෙක්කු ස්ට්‍රීට්වලට ආවා. දැන් නම් කියන්නේ ශ්‍රී කදිරේසන් වීදිය කියලා. මීට අවුරුදු 25කට කලින් තමයි ඒ නම මාරු කළේ. චෙක්කු ස්ට්‍රීට් ඒකට අල්ලපු පාර තමයි හෙට්ටි වීදිය තියෙන්නේ. ඒ කාලේ හෙට්ටි වීදියේ හිටියේ චෙට්ටියාර් කියන පුද්ගලයින්. ඒ අය සල්ලි ණයට දෙන ප්‍රයිවට් බැංකු වගේ හුඟක් ප්‍රසිද්ධයි. චෙට්ටි වීදිය තමයි පස්සේ හෙට්ටි වීදිය කියලා හැදුණේ කියලා අපේ සීයා මට කියලා තියෙනවා.
“හෙට්ටි වීදියේ මුල්ම රත්තරං කඩේ අයිති වෙලා තිබුණේ මගේ අම්මාගේ තාත්තාට. එයාගේ නම ත්‍යාගරාජා පත්තර් ආචාරි. ඒ කාලේ රත්තරං වැඩපොළවල් ලොකුවට තිබිලා නැහැ. 1940න් පස්සේ බිස්නස් වැඩි වෙනකොට ටිකෙන් ටික කඩ ඇති වුණා. මං මේ බිස්නස් එක බාර ගත්තේ 1960දී. ඒ කාලේ පවුමක් රුපියල් 80යි.”  
ඒ විදිහට ආරම්භ වුණ හෙට්ටිවීදිය අද වෙනකොට රත්තරං අතින් ඉහළ නමක් දරා සිටින වීදියක් ලෙස හඳුන්වන්න පුළුවන්. දමිළ ජනතාවගේ ආචාරි කුලය සේම සිංහල ජනතාවගේ නවන්දන්න කුලයත් හෙට්ටි වීදියේ රන්බඩු කර්මාන්තයේ හොඳ නමක් දරා තිබෙනවා. රන් ආභරණ සෑදීම, විකිණීම සේම රන් ආභරණ සෑදීමට ගන්නා යන්ත්‍ර සූත්‍ර විකුණන කඩ පවා හෙට්ටි වීදියේ තිබෙනවා. හෙට්ටි වීදිය නිසා මිනිස්සු රත්තරනින් හැඩ වුණත්, ඒ රත්තරං හැඩ කරන මිනිසුන්ගේ ජීවිතවල අපට නොපෙනෙන සහ අප නොදත් ලොකු කතාවක් තිබෙනවා. රන්, රිදී වැනි වටිනා ලෝහ උණු කරන ඒ මිනිස්සුන්ගේ ජීවිත පවතින්නේ දැඩි අවදානමක.  
සෙල්සියස් අංශක 2700ක් තරම් අධික උෂ්ණත්වයක් යටතේ උණුවන රත්තරං අාභරණ මුළුමනින්ම වාගේ නිපදවන්නේ මිනිස් ශ්‍රමයෙන්. ඔවුන් යන්ත්‍ර සූත්‍ර භාවිත කරන්නේ අල්ප වශයෙන්. හෙට්ටි වීදියේ රන්බඩු නිපදවන මිනිසුන් හා කළ සංවාදයේදී ඔවුන්ගේ ජීවිතවල පවතින කටුක බව අපට වටහා ගන්න පුළුවන් වුණා.  
“මහත්තයෝ, මම අවුරුදු 40ක විතර ඉඳන් මේ රස්සාවේ ඉන්නේ. නුවර කලාපුරේ හිටපු වයසක අයගෙන් තමයි මේ කලාව ඉගෙන ගත්තේ. අපි පරම්පරාවෙන්ම ලෝකුරු හදන අය. මම දැන් රිදීවලින් සමරු ඵලක හදනවා. මේ හැම දෙයක්ම කරන්නේ අතින් කටු සටහනක් ඇඳගෙන මමම හදාගත්ත කටුවලින්. මේ රස්සාවේ ලොකු රිස්ක් එකක් තියෙනවා. එක පාරක් රිදී උණු කරන්න ගිහින් අතට වැටිලා මස් පවා ගැලවුණා. තව වතාවක් රිදී තලන මිටියට ඇඟිල්ල අහු වුණා. දැනුත් මේ මැෂින් එකට අත අහු වුණා. මේවා දැන් අපේ අත්වලට හොඳට පුරුදුයි.”  
ඒ, හෙට්ටි වීදියේ ලෝකුරු කර්මාන්තයේ යෙදී සිටින දයානන්ද රාජමන්ත්‍රී මහතා. වසර 40ක සිට ඔහු තමන්ගේ ජීවිකාව ලෙස පරම්පරාවෙන් ලැබුණු වෘත්තියේ නියැලෙනවා. අප ඔහු සමඟ කතාකරන විටත් ඔහුගේ අතේ ඇඟිලි තිබුණේ තැලී ඉදිමිලා. මිනිසුන්ගේ ගෙල හැඩ කරන රන්මාලයේ සත්‍ය කතාව එයයි. කොතරම් කරදර මධ්‍යයේ මේ කර්මාන්තයේ නියැලුණත් ඔවුන් දිරි ගන්වන්න කිසිවකුත් නොමැති බව ඔවුන් සංවේගයෙන් පවසනවා.  
“මේ රැකියාව හොඳයි මහත්තයෝ. ඒත් අපිට අත දෙන්න කවුරුත් නැහැ. රජයෙන් නම් කිසිම උදව්වක් නැහැ. අපේ ළමයි කැමතිත් නැහැ මේ රස්සාව ඉගෙන ගන්න. ඒ අය ලොකු ලොකු ජොබ් හොයාගෙන යනවා. ඒත් මේ වගේ හොඳ කලාවක් නැති වෙනවා කියන එක ගැන මට දුකයි. ඒ වගේම තමයි දැන් ඩුබායි, ඉන්දියා වගේ රටවල ඉඳලා ලංකාවට රත්තරං ගේනවා. තව ඉන්දියාවේ, බොම්බාය, කල්කටාවලින් රන් භාණ්ඩ නිපදවන අය 4000ක් විතර ලංකාවට ඇවිල්ලා. ඒ අය නිසා අපිට වැඩ නැති වුණා. ලංකාවේ දක්‍ෂ වැඩකරුවෝ හිටියත් දැන් ඒ අය ත්‍රීවිල් හයර් කරනවා. මේ කර්මාන්තයක් කඩා වැටෙනවා කියන්නේ රටට ලොකු පාඩුවක්.”  
රාජමන්ත්‍රීලා වගේ තවත් බොහේ දෙනෙක් අද හෙට්ටි විදියේ රන්බඩු නිපදවන්නේ ඔවුන් කීවා වගේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින්. මේ රැකියාවේ තිබෙන තවත් භයානකකමක් තමයි රත්තරං උණු කිරීමට භාවිත කරන සමහර රසායන ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකර වීම. මේ සම්බන්ධයෙන් ලෝකුරු කර්මාන්තයේ නියැලෙන බන්දුපාල මහතා අප සමඟ අදහස් දැක්වූයේ මෙෙස්ය.
“මට මේ රස්සාව ඉගැන්නුවේ තාත්තා. ඉස්සර නම් රත්තරං උණු කරන්නේ කොවේ දාලා. ඒත් දැන් දූවිලි මිශ්‍ර වෙලා තිබෙන රත්තරං උණු කරන්න නයිට්‍රික් ඇසිට් දානවා. සමහරු රසදියත් යොදා ගන්නවා. ඒත් ඒවා මිනිස්සුන්ගේ ඇඟට හොඳ නැහැ. මම දන්න සමහර රන් ආභරණ හදන හොඳ වැඩකාරයෝ අවුරුදු ෙද ෙකන් තුෙනන් වගේ පිළිකා හැදිලා මැරුණා. ඒකට හේතු වුණේ රත්තරං උණු කරන්න ගන්න කෙමිකල් ඇඟට ගිහින්. ඒ කෙමිකල්වල සයිනයිඩ්  තියෙනවාලු.”  
රත්තරං තිබෙනකම් හෙට්ටි වීදියේ කිසිම පුද්ගලයෙකුගේ අත මිට හිඟ වෙන්නේ නම් නැහැ. හෙට්ටි වීදියේ පාර අතුගෑවත් දවසට රුපියල් 2000ක් 3000ක් හොයාගන්න එක අමාරු දෙයක් නොවේ. ඒකට හේතුව අතුගෑමම නොවෙයි. අතුගාන දූවිලිවලින් රත්තරං කුඩු හමු වීම. රන්භාණ්ඩ නිපදවන, විකුණන සේම රන්භාණ්ඩ නිපදවීමට අවශ්‍ය ආයුධ විකුණන පිරිසුත්, දූවිලි සහ කාණු සුද්ධ කර මුදල් සොයන පිරිසුත් හෙට්ටි වීදියේ ඉන්නවා. ඔවුන් සෑම දිනකම උදේ පාන්දර හෙට්ටි වීදියේ සියලුම කාණු සහ පාරවල් පිරිසිදු කර එහි ඇති අපද්‍රව්‍ය සෝදා උණු කර රත්තරං සොයනවා.
මිනිසුන්ගේ ගෙල හැඩ කරන රන්මාලයේ ඇති සුන්දරත්වය ඔවුන්ගේ ජීවිතවල දක්නට නැහැ. කෙතරම් කටුක දිවි පෙවෙතක් ගෙව්වත් මියයන තුරුම ඔවුන් ලෝකුරු කර්මාන්තයේ නියැලෙන්නේ එය ව්‍යාපාරයකට වඩා කලාවක් ලෙස ඔවුන් අදහන නිසාය.  

ඡායා [මාලන් කරුණාරත්න]

මාතෘකා