නොතැලෙන ලෙස මල් අමුණන මාලාකාර ජීවිත

 ඡායාරූපය:

නොතැලෙන ලෙස මල් අමුණන මාලාකාර ජීවිත

අතීතයේ පටන් කෝවිල් ආශ්‍රිතව විවිධාකාර වර්ණයන්ගෙන් උත්සවශ්‍රීයෙන් සමරන දේව පූජා සඳහා බැතිමතුන්ට අවශ්‍ය කළමණා ගැනීමට වෙළඳසැල් දකින්නට ලැබුණි. මේ අතරින් දෙවියන් පුදනුවස් 'මල් ගොතන ඇත්තන්' ද සිටියි. පැරැණි ග්‍රන්ථයන්හී සඳහන් වන පරිදි මොවුන් මාලාකාරයන් එසේත් නැත්නම් මාලාකාර ඇත්තන් ලෙස හඳුන්වයි. 
දෙවියන් වෙනුවෙන් මල් ගොතනා මාලාකාර ඇත්තන් පිළිබඳව ජනකතාවලින් ද සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් ද නිරතුරුව කතාබහට ලක් වී ඇත. ඉන්දියාවේ වෛදික යුගයන්හී සිට පැවත එන දේව වන්දනය හා සබැඳි භක්ති පූර්වක ජීවනෝපායක් වන මල් මාලා ගොතන ඇත්තන්ගේ භූමිකාව ඉතා ප්‍රචලිතය. 
බහුවාර්ගික රටක් වන ශ්‍රී ලංකාවේද දමිල භක්තිකයන්ට වෙන්වූ දේවාල ආශ්‍රිතව මේ මාලාකාර ඇත්තන් සුලභ දසුනකි. මල්මාලා ගොතා අලෙවි කොට තම දවස සරි කරගන්නා මේ මාලාකරුවන්ගේ වගතුග හාරවුස්සන්නට තීරණය කළෙමු. 
අඟහරුවාදා සහ සිකුරාදා යනු දෙවියන්ගේ දවස් වේ. එයට හේතුව වන්නේ කෙම්මුර දවස් හෙවත් දේව පූජා පැවැත්වෙන්නේ මේ දිනයන්හීදීය. ඒ නිසාම මේ මාලාකාර ඇත්තන් සොයා කෙම්මුර දවසකම අපි කොළඹ වැල්ලවත්ත ආසන්නයේ හැව්ලොක්ස් මංසන්ධියට මඳකට පෙර හමුවන මයුරාපති කෝවිල් පරිශ්‍රයට ගියෙමු. 
මයුරාපති කෝවිලට යන්නට සැකසුණු මඟ දෙපස ඇති වෙළඳසැල්වලින් වම්පසට වන්නට පිහිටි වෙළඳසැල් සියල්ලම පාහේ වෙන් වී ඇත්තේ මාලාකාර ඇත්තන් වෙනුවෙන් ය. නේක වර්ණයන්ගෙන් අලංකාර වූ මල්මාලා රැසක් ඉස්සරහින් එල්ලා වැටෙමින් තිබෙන මේ කුඩා වෙළඳසැල් පිටුපසින් නොනවත්වා යන්ත්‍ර හා සමානව ක්‍රියා කරන පිරිමි අත් රාශියක් එහි යන විටම දැකගන්නට ලැබුණි. ඔවුන්ගේ ක්‍රියාව නතර වන්නේ මල් මාලා මිලට ගැනීමට පැමිණෙන බැතිමතුන්ට ඒවා අලෙවි කිරීම සඳහා පමනි. 
පිච්ච මල් මාලා තොගයක් එල්ලා වැටෙමින් තියෙන කඩයක ඉදිරිපස තහඩුවේ පිච්ච මල් මාලා ගොතන තැනැත්තෙකි. ඔහු නමින් රජිනි සුදාකරන්. තමන්ගේ ගම වුණු නුවරඑළිය අතහැරලා සුදාකරන් කොළඹට එන්නේ දෙවියන්ට මල් ගොතන්න හිතාගෙන. වසර 14ක පටන් සුදාකරන් මේ මාලාකාර වෘත්තියේ යෙදෙන්නේ. උදේ පාන්දරම තමන්ගේ වැඩ පටන් ගන්න සුදාකරන් නොනවත්වා ගොතන මල්මාලා ගැන මල්මාලා ගොතන ගමන්ම කතා කරන්න පටන්ගත්තා. 
" මේ මල් ලංකාවේ හැම පැත්තකින්ම අපිට එනවා. නුවරඑළිය, මාතලේ, බදුල්ල, දියතලාවෙන් තමයි අපිට මල් එන්නෙ. සමහර මල් මේ අහල පහලිනුත් අපි හොයාගන්නවා. අපි හැමදාම උදේ ඉඳන් හැන්දෑ වෙනකන් මල් ගොතනවා. ඒත් වැඩියෙන්ම බිස්නස් වැඩි වෙන්නෙ දේවාලේ උත්සවේ දවස්වලට තමයි. පෙරහැර දවස්වලටත් බිස්නස් හොඳයි. අපි රු.100 ඉඳන් මල්මාලා විකුණනවා. මල් අඩුවෙන් හම්බෙන දවස්වලට ගාණ පොඩ්ඩක් වැඩි වෙනවා. ඊ තණ මාලයක් අපි දෙන්නෙ රු. 50ට. ඉද්ද වැලක් රු. 100යි. එක එක ගණන්වලට මල් මාලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසකට රු.3000ක් විතර අපි ගන්නවා. " 
කොහොම වුණන් මේ සියල්ලම ඔවුන් කරන්නේ තමන්ගේ බඩ වියත රැක ගන්න. මේ වෘත්තියේ විශේෂත්වය වෙන්නෙ මේ අය දෙවියන් පුදන්න, දෙවියන්ට පැහැදුම්පත් කරන්නයි මේ සියල්ලම කරන්නේ. 
සුදාකරන්ට සමු දීපු අපි ඊට මඳක් එහායින් තියෙන වෙළඳසැලකට ගියෙමු. මඳක් තලතුනා රුවක් නොනවත්වා මාලා ගොතන අයුරු ඈතදීම අපිට දැකගන්නට ලැබුණි. ඔහු නමින් සත්‍යශීලන්. තමන්ගේ නොවන වෙළඳසැලක දවසේ පඩියට මල්ගොතන සත්‍යශීලන් අපිට කිව්වේ හරි පුදුම කතාවක්. 
" නෝනා...මේ කෝවිල දෙමල කෝවිල වුණාට දෙමල අය විතරක් නෙමෙයි සිංහල අයත් මේ කෝවිලට එනවා. මේක කාලි මෑණි කෝවිල නිසා සිංහල අය තමයි වැඩියෙන් එන්නෙ. ඒ නිසා සිංහල මිනිස්සුන්ගෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. මිනිස්සු එදා ඉඳන්ම ආගම් ලොකු කරගෙන රණ්ඩු වෙන්න හදනවා නෝනා. මිනිස්සු මැරෙනවා... හරිම දුකයි අපිට ඒවා දකිද්දි. අපිට ආගම් වැඩක් නැහැ අපිට ඕනේ මිනිස්සු. දෙවියො හැමෝම දිහා බලාගෙන ඉන්නෙ. " 
ගිරිය පුප්පගෙන ආගම ජාතිය ලොකු කරගෙන කෑගහන ආගම්වාදීන්ට ජාතිවාදීන්ට මඳක් නතර වෙලා හිතන්න දෙයක් සත්‍යශීලන් අපිත් එක්ක කිව්වේ. කොළඹ ප්‍රදේශය නියෝජනය කරන දමිල සාමාජිකයන්ට අමතරව බහුතර බෞද්ධ බැතුමතුන් ද මයුරාපති කෝවිලට එන්නෙ ආගම් බේදයකින් තොරව දෙවියන් වැද පුදා ගැනීමේ අභිප්‍රායෙන් ය. එසේ එන බැතිමතුන් සියල්ලම පාහේ මල්මාලයක් මිලට ගන්නට මේ මාලාකාර ඇත්තන් වෙත නොවරදවාම එයි. 
මයුරාපති කෝවිලට යන මාර්ගයේ වම්පස ඇති මල් ගොතා අලෙවි කරන වෙළඳසැල්වල බහුතරය නියෝජනය කරන්නේ පුරුෂ පක්ෂයයි. ඒ අතරින් එක්තරා වෙළඳසැලක ඉදිරිපස කාන්තාවක් මල් ගොතනා අයුරු දැකගන්නට ලැබුණි. ඇය රාජමානික්‍ය සංගීතා. සංගීතා සමඟ ද අප මඳක් දොඩමළු වූයෙමු. 
" කොහොම ද අක්කේ මෙහෙම මල් ගොතන්නේ?" 
" මේ බලන්නකෝ. මල් එකින් එක තියල අනිත් නූලෙන් ගැට ගහලා තමයි මේක කරන්නේ. මේකට ලොකු ඉවසීමක් ඕනේ. " 
" වේගයෙන් මල් මාලයක් ගොතන්න කොච්චර කල් පුරුදු වෙන්න ඕනේ ද? " 
" ඒකටනන් ටික කාලයක් යනවා නෝනා. ඒකට වුවමනාව තියෙන්න ඕනේ. අත හුරු වුණාට පස්සේ ගොතන එක අමාරු නැහැ. " 
"මේ මල්වැල්වලින් වැඩියෙන්ම විකිනෙන්නේ මොනවා ද?" 
" මේක කාලි මෑණි කෝවිලනේ. ඒ නිසා රතු මල්වැල් තමයි කට්ටිය අරන් යන්නේ. පිච්ච වැලුත් ගොඩක් විකිනෙනවා. ඒවා පන්සලේ බෝධියට ගැට ගහන්නේ කට්ටිය ඇවිත් අරන් යනවා. පත්තිනිමෑණිට තමයි මේ කහපාට මල්මාලා. ඒවත් ටිකක් වැඩියෙන් විකිනෙනවා. " 
"එතකොට මේ ඊතණ වැල් පූජා කරන්නේ කාට ද" 
"ඊතණ පූජා කරන්නේ ගණදෙවියන්ට. " 
ව්‍යාපාර කියන්නේ ලාභ වගේම පාඩුත් විඳදරා ගන්න සිද්ධ වෙන වෘත්තියකට. මල් ගොතන කාර්යය ජීවනෝපාය කරගත් මේ මිනිසුන්ටත් ලාභ සේම පාඩු විඳදරා ගැනීමට සිදු වනවා. හැටන්වල සිට කොළඹට විත් මල් ගොතන ශ්‍රී දනන් අපිට කිව්වේ මේ වගේ කතාවක්. 
" හදිස්සියෙවත් මේ මල් විකිනුනේ නැත්තං ඉතින් පාඩුව අපිට තමයි. මේ සමහර මල් ගන්න ගොඩක් සල්ලි වියදම් කරන්න වෙනවා. ඒත් මේවා ගොඩක් කල් තියාගන්න අමාරුයි. වතුර ඉහලා උපරිම දවස් දෙකක් තියාගන්න පුළුවන්. ඊටපස්සේ පර වෙනවා. කරන්න දෙයක් නෑ. එතකොට මේ ඔක්කොම විසි කරනවා. මේ ටකරං මඩුව අස්සේ තමයි අපේ දවස ගෙවෙන්නේ. මේ රස්සාවෙන් ජීවත් වෙන පවුල් සෑහෙන්න ඉන්නවා. සීසන් කාලෙට බිස්නස් හොඳයි. නැත්නම් අමාරුවෙන් තමයි ඇඳගෙන යන්න වෙන්නෙ." 
දෙවියන් පේන මානේ ඉඳන් මල් ගොතන මේ මිනිසුන්ගේ ජීවිත මල් තරම් සුන්දර නැත. සුමට නැත. අලංකාර නැත. දෙවියන් සිටිය ද ඔවුන්ගේ දරුවන්ගේ බඩ පිරෙන්නේ නැත. බැතිමතුන් නොඑන්නේ නම් දෙවියන් ද දේව විමානෙන් පහලට බසින්නේ නැත. මාලාකාර ඇත්තන්ගේ කුසගිනි පුරවන්නට උන් වහන්සේලාට අවැසි නැත. එහෙත් උන්වහන්සේලා වඳින්නට එන බැතිමතුන් නිසා මේ මාලාකාර ඇත්තෝ තමන්ගේ ජීවිතය ගැටගහ ගනිති. 
දෙවියන් පේන මානයේ සිට දේවාලය ඉදිරිපස වෙලදසැලක මල් ගොතන තැනැත්තන් දෙදෙනෙකි. එතනින් එක් අයෙකුව ඔහු කරමින් සිටි කාර්යයෙන් නිදහස් කරගෙන සල්ලාපයක යෙදුණේ අනිත් සියල්ලන්ටම වඩා ඔහුට වෙනස් කතාවක් කියන්නට ඇතැයි සිතමින් ය. ඔහු නමින් ආරුමුගම් කමලදාසන්. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන කමලදාසන් වසර දොලහක් තිස්සේ දෙවියන් වඳින්නට එන මිනිසුන්ට මල් ගොතා අලෙවි කරයි. 
" මගෙන් වැඩිපුරම මල් ගන්නේ දෙවියන් වඳින්න. කොණ්ඩේ ගහන්නත් කට්ටිය මල් අරගෙන යනවා. කොන්ඩේ ගහන්න මල් ගෙනියන්න ආපු කෙනෙක්වම තමයි මම බැඳලාත් ඉන්නේ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මේ රස්සාවෙන් තමයි මගේ පවුල ජීවත් වෙන්නෙ. අපි උදේ පාන්දරම මල් ගොතන්න පටන් ගන්නවා. හත අට වෙද්දි මල් ගොතලා ඉවරයි. ඕඩර් ආපු දවසටනම් ටිකක් සල්ලි වැඩියෙන් හොයනවා. පිරිත් මණ්ඩප, පූජාවල්, මඟුල් ගෙවල්වලට අපිට ඕඩර් එනවා. " කමලදාස තමන්ගේ ආත්ම කථනය නොනවත්වා කියාගෙන ගියා. 
කමලදාසලා, ශ්‍රීදනන්ලා, සංගීතලා, සත්‍යශීලන්ලා, සුදාකරන්ලා වැනි සියගණනින් වූ මාලාකාර ඇත්තන්ගේ ජීවිතය මෙවැනි ය. ඒ ජීවිතවල කතා එකිනෙකට වෙනස්ය. සමහරුන්ගේ ජීවිතවල සහකාරුවා සහකාරිය සොයා ගෙන ඇත්තේ ද ඒ මේ මාලාකාර වෘත්තිය නිසාවෙන් ය. ඔවුන්ට මේ වෘත්තියත් සමඟ සබැඳුණු මතක බොහොම ය. සමහර යාළුකම් බැඳී ඇත්තේද මල් මාලා සමඟය. එපමණක් නොව මේ ජීවිතවලට විඳින්නට සිදුවන ලාභ පාඩු බොහොම ය. ඒ සියල්ලමත් සමඟම ඔවුන් දෙවියන් වෙනුවෙන් මල් මාලා ගොතන්නේ ය. 
කෙතරම් වෙහෙසී දිවා රෑ නොබලා දෙවියන් වෙනුවෙන් මල්මාලා ගෙතුවද මේ මිනිසුන් දෙස දෙවියන් එක් වරක් හෝ දෑස් හෙලන්නට තරම් දෙවියන් කරුණාවන්ත වී ඇතිද යන්න ගැටළුවකි. දෙවියන් වඳින්නට පෙළගැහෙන දස දහස් ගණනක් බැතුමතුන්ට දේවාභරණ ලෙස මහමඟ සිට මල් ගොතන මේ මාලාකාර ඇත්තන් බැතිමතුන්ට විකුණන මල්වැල්වලින් ගන්නා පනං හතරෙන් බඩගින්දර නිවා ගනිමින් දරු පවුලත් රකිමින් කාෂ්ටක හිරු එළියෙන් කැකෑරෙන ටකටන් මඩු යට දහසක් වූ දුක්ක දෝමනස්සයන් මැඳ හිනැහෙමින් යන්ත්‍ර මෙන් ක්‍රියාකරන අත්වලින් මල් එකින් එක නූලට අමුනනවා මෙන් අදත් හෙටත් ජීවිතය හොයනවා ඇත. 

මාතෘකා