ජීවිත අතෝරය තුළ එමීර් රටේ දූවිලි කන ශ්‍රී ලංකා මැදි දුර ධාවකයා

 ඡායාරූපය:

ජීවිත අතෝරය තුළ එමීර් රටේ දූවිලි කන ශ්‍රී ලංකා මැදි දුර ධාවකයා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඩුබායි නුවර අධිවේගයෙන් ඔබ මොබ යන  එමිරේට්ස් ටැක්සි සේවාවේ රියැදුරෙකු පිළිබඳ කතාව ක්‍රීඩාවේ අනාගතය හා ක්‍රීඩක අනාගතය කෙබඳු විය යුතුද යන්න අපට පවසන්නේය. මෙම ලිපිය අපි උපුටා දක්වන්නේ ඔහුගේ දේශපාලනය, පෞද්ගලික රුචි අරුචිකම් සම්බන්ධයෙන් නොව ක්‍රීඩකයන්ගේ අනාගතය සකස්විය යුත්තේ කෙසේදැයි පවසන්නට අවශ්‍ය වන හෙයිනි.

1991 තරම් ඈත සමයක මෙම ලිපියේ කතානායකයා වන ලලිත් ප්‍රසන්න ගලප්පත්තිට, ශ්‍රී ලංකා ක්‍රීඩා ජර්සියක් ත්‍යාග වශයෙන් හිමිවුණේය. ඔහු පාසල් යන සමයේ තමන්ට ලැබුණු මෙම අපූරු ත්‍යාගය මහත් ආඩම්බරයෙන් යුතුව දිනක් ක්‍රීඩාංගණයට ඇඳගෙන ආවේ එය සැබැවින්ම ගෞරවයක් වශයෙන් සැලකිය හැකි හෙයිනි. නාවලපිටිය යනු නුවරඑළියට ආසන්න කඳු රට බිමේ අතිශය සියුම් සීතලකින් හෙබි අලංකාර ප්‍රදේශයකි. පුස්සැල්ලාව, උඩු පුස්සැල්ලාව, නුවර එළිය ආසන්නයේ ඇති හෙයින්ද නිරන්තරයෙන්ම පාහේ ඇද හැලෙන මඳ වර්ෂාව හේතුවෙන්ද නාවලපිටියට ඇත්තේ පුදුමාකාර කාලගුණයකි. එහෙයින් ඔහු ශාරීරික යෝග්‍යතාව සඳහා ක්‍රීඩාංගණයට පැමිණෙද්දී මෙම ශ්‍රී ලංකා ජාතික වර්ණ හිමි ක්‍රීඩකයන් අඳිනු ලබන ජර්සියක් හැඳ පැමිණියේය. ‘කොහොමද මේ ජර්සිය අඳින්නෙ? මේක අඳින්න අවසරය තියෙන්නේ ජාතික වර්ණ දිනාගත්ත ක්‍රීඩයකුට. එහෙම නැතිව හැම මිනිහෙක්ටම මේක අඳින්න හැකියාවක් නැහැ’ අයෙක් ඔහුව පසෙකට කරමින් යම් තරවටුවක් ආකාරයෙන් සඳහනක් කළේය. එය ඔහුගේ සිතට තදින් කාවැදුණු සිදුවීමක් විය. ‘මමත් කොහොම හරි ජාතික වර්ණ ගන්නවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන්න කටයුතු කරනවා. එතකොට මටත් රටේ නම තියෙන ජර්සියක් අඳින්න පුළුවනි’ ඔහු තිර ලෙස සිතීය.

පළමුවෙන්ම නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය නියෝජනය කරමින් සිටියදී අපේ කතානායකගේ පළමු ජයග්‍රහණය වනුයේ රට හරහා දිවීමේ තරගාවලියකි. එය පැවැත්වුණේ ග්‍රාමීය මට්ටමෙනි. පසුව දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ කීපයක් අත්පත් කරගත් අතර ඉන් අනතුරුව ඔහු මීටර් 3000 බාධක දිවීමේ තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කරමින් එහි ලෝකඩ පදක්කමේ හිමිකරුවා බවට ඔහු පත්වුණේය. නෝර්බට් පෙරේරා යටතේ පුහුණුව ලබමින් සිට පසුව ජෑන්ස් දිසානායක මහතා යටතේ ඔහු පුහුණු කටයුතු හදාරන්නට විණි. එසේ පුහුණු කටයුතුවල නියැලෙද්දී පුහුණුකරුවා මෙම යොවුන් ක්‍රීඩකයා සතු ශක්‍යතාවන් හොඳින් හඳුනාගත්තේයැයි කිව හැක්කේය. එය මැදි දුර ධාවනය වෙනුවෙන් වඩාත් සමීප කළ හැකි බව හැඟුණු හෙයින් මීටර් 1500 හා 800 ඉසව් වෙනුවෙන් ඔහුව යොමුකරනු ලැබිණි. ජීවිතයේ වෙනස් කිරීම් සිදුවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඔහු මීටර් 1500 ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවමින් එහි ශූරතාවයට හිමිකම් කිව්වේ 1995 වසරේදීය. තරග නිමිකාලය දැක්වුණේ විනාඩි 3. 46.2ක් ලෙසය. එය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වූ තේරීම් තරගය විණි. එම වසරේ හා ඊළඟ වසරේ මැලේසියානු විවෘත මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් දිනාගැනීමට ඔහුට හැකියාව උදාවුණේය. එම වසරේම ඔහු ඉන්දුනීසියානු විවෘත මළල ක්‍රීඩා උළෙලේදීද රන් පදක්කමක් දිනාගනු ලැබිණි. මදුරාසියේ වූ දකුණු ආසියානු තරගාවලියේදී ඔහුට හිමිවුණේ ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමය. එදා මෙදාතුර ඔහු දිනාගත් ජාත්‍යන්තර පදක්කම් සංඛ්‍යාව 14 ඉක්මවනු ලබන්නේය. 2002 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් තරගාවලියට සහභාගිවීමට නියමිතව තිබියදී ආබාධයකට ලක්වුණේය. මේ වනවිට ඔහුගේ අනුග්‍රාහකයා බවට පත්ව තිබුණේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ධුරය දැරූ ලලිත් කොතලාවල මහතාය. ඔහු අපේ කතානායකයා පදක්කමක් දිනාගන්නා සෑම අවස්ථාවකදීම උපරිම ආකාරයෙන් ප්‍රතිලාභ හිමිකර දුන්නේ තව තවත් දක්ෂතා ඉහළ නංවා ගැනීමට දිරිදෙමිනි. ක්‍රීඩාව සිදුකරන සමයේ ඔහුට ගුවන් හමුදාවේ රැකියාව ලබාදෙනු ලැබිණි. 1993 සිට 1998 දක්වා කාල සීමාව තුළ ඔහු එහි කටයුතු කළේය. එහෙත් ආබාධයන්ට ලක්වීමෙන් අනතුරුව රැකියාවේ පැවැත්මක් නොලැබිණි. 

මැදි දුර පුහුණුකරුවා

ක්‍රීඩාව වෙනුවෙට ක්‍රීඩා පිටිය තෝරාගැනීමට ඔහු තීරණය කළේ ඒ අනුවය. පුහුණුව තමන්ට ලබාදීම වෙනුවට තමන් උගත් බොහෝ දේ යෞවනයන් වෙනුවෙන් බෙදාහදා දීම උදෙසා ඔහු පුහුණුවීම් කටයුතුවල නියැළුණේය. එහෙත් එලෙස කටයුතු කරනු වෙනුවෙන් ඔහුට රජයෙන් හිමිවුණේ රුපියල් විසිදහසක වැටුපක් පමණි. දරු පවුලක් සමඟ ජීවත්වන්නට රුපියල් විසිදහසක වැටුපක් ඔහුට ප්‍රමාණවත් වුණේ නැත. සියල්ල අතහැර, ක්‍රීඩාවට හා ක්‍රීඩා පිටියට ආයුබෝවන් කියා සහරාවේ ගිනියම් වැලි පොළොව වෙත ඔහු සේන්දුවූයේ අවන්හල් රැකියාවක රූම් බෝයි කෙනෙකු ලෙසය. සේවාදායක නවාතැන්කරුවන්ගේ සීනු හඬට ප්‍රතිචාර දක්වමින් ඔහු රැකියාව කළේය. වසරක පමණ කාලයක් එලෙස 2012 වසරේ රැකියාව කරන අතර ලැබෙන ආදායම වර්ධනය කරගනු පිණිස ඔහු වෘත්තීය කුලී රියැදුරකු වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ රැකියාවකට එළැඹුණේ දෙවැනි වසරේදීය. එය වැඩි පැය ගණනක්, වඩාත් ස්වාධීනව සිදුකළ හැකි රැකියාවක අපූර්වත්වය ඔහු වෙත රැගෙන ආවේය. එහෙයින් සියල්ල පසෙකලා එම රැකියාව සමඟ කටයුතු කිරීමට ඔහු හුරුවුණේ නැතැතිනි. දිනකට පැය පහළොවක කාලයක් වැය කරමින් සේවයේ නියැලෙන්නට ඔහු කටයුතු කරන්නේය. ඒ දුරු මව් බිම වෙසෙන තම දුව, පුතා හා බිරියගේ අනාගතය වෙනුවෙනි. ඒ ජීවිතයන්ගේ අනාගතය නිර්මාණය කිරීම ඔහු තමන් වෙත පවරාගෙන ඇත්තේ එලෙසිනි.

‘මට දැන් රුපියල් ලක්ෂයකට වඩා වැටුපක් ලැබෙනවා. පුහුණුකරුවෙකු වශයෙන් මට ලැබුණේ විසි දහසක් පමණයි. එයින් මට ජීවත්වෙන්න අසීරුවුණා. මම අකමැත්තෙන් වුණත් විදේශ ගතවුණේ ඒ නිසයි. දැන් මට මගේ ජීවිතය වඩාත් යහපත් වෙලා තිබෙනවා. මම ක්‍රීඩකයකු වුණේ කුලී රථ රියැදුරෙක් වෙන්න අපේක්ෂාවෙන් නොවෙයි. ඒත් මම දැන් කුලී රථ පදවන්නෙකු වෙලා. ඒක තමයි මගේ දෛවය’ ඔහු සඳහන් කර සිටී. 

‘ඇත්තම කියනවා නම් මම ඩුබායි ආවේ සංචාරක වීසා වලින්. එහෙම ආවාම මට රැකියාවක් සොයාගන්න හැකිවුණා. ඒ තමයි බෙල් බෝයි කෙනෙක් වශයෙන් කටයුතු කිරීම.  ඒ රැකියාවේ මම වසර දෙකක් කටයුතු කළා. ඇත්තටම කියනවා නම් මගේ ජීවිතය හරිම සරලයි. ඒ තුළ වැඩි සිහින කිසිවක් නැහැ. එහෙම සිහින වලට ඉඩකුත් නැහැ. මම ශ්‍රී ලංකාවේදී ගත්ත රුපියල් විසි දහසට සාපේක්ෂව  දැන් ලංකාවට රුපියල් ලක්ෂයක් යවනවා. ඒ ගැන මට සතුටුයි’ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

දිනක් මෙලෙස සිය රථය පදවමින් සිටියදී ශ්‍රී ලංකා පෙනුම ඇති සංචාරකයකු ඔහුගේ කුලී රථයට ගොඩවුණේය. එහිදී ඔහු අපේ කතානායකයාගෙන් ආගිය තොරතුරු විමසන්නට විය. 

‘නුඹ කොහේද?’ පළමුව සංචාරකයා විමසුවේය.

‘මම ශ්‍රී ලංකාවෙ. ඔබ කොහෙන්ද සර්’ ඔහු විමසුවේ වඩාත් කාරුණිකවය. 

‘මම ඉන්දියාවෙ. ඉන්දියාවෙ කේරළයේ’ ඔහු කීවේය.

‘එහෙනම්, පී.ටී. ඌෂා, ශයිනි විල්සන්ව ඔබ දන්නවා ඇති?’ අපේ කතානායකයා කීවේය

‘නැතුව. ඔවුන් ඊයේ දවසෙත් ප්‍රවෘත්තියක සිටියා. නමුත් මට ඔවුන්ව මුණගැහෙන්නනම් හැකියාවක් ලැබිලා නෑ. ඇයි ඔබ එහෙම ඇහුවෙ?’

‘මම ඒ ගොල්ලන්ගෙ මුල් කාලෙ ඉඳලම දන්නවා සර්. ඒ වගේම මම දන්නවා බහදූර් ප්‍රසාද් සිංව, එයා ඉන්දියාවෙ හිටපු මැදි දුර ධාවකයෙක්. එයා මගේ හොඳ යාළුවෙක්’

‘ඒ කොහොමද?  ඔබ ඔවුන් එක්ක කුලී ගමන් ගිහින් තියෙනවද?’

‘සර්. මමත් ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්. කාලයකට ඉස්සර ශ්‍රී ලංකාවේ මැදි දුර ධාවකයා වුණේ මමයි. ජාත්‍යන්තර රන්, රිදී පදක්කම් මමත් දිනලා තියෙනවා’

"ඔහු ප්‍රකාශ කළේය. එය සඳහන් කිරීමත් සමඟ ඇතිවුණේ නිහඬත්වයකි. අප දෙදෙනාටම ඇසුණේ එකම එක දෙයකි. ඒ රථයේ එන්ජිමේ පණ ගසන හඬය. මම ගමන් කරමින් සිටි ගමනත්, මම සංචාරක මගියකු යන්නත් මට අමතක වන්නට ඒ

මොහොත ප්‍රමාණවත් විය. මගේ අසුනට අනෙක් පස අසුණේ සිටියේ රටක ගෞරවයට පාත්‍රවූ මිනිසෙකි. මම ඔහුගෙන් එකම එක දෙයක් විමසූවෙමි. ‘ඔබ එහෙනං මෙහෙට වෙලා මොනවද කරන්නෙ?’ එය මගේ ප්‍රශ්නය විණි. එවිට ඔහු ලබාදුන් පිළිතුර ඉහත දැක්වූ දිගු කතාවේ දැක්වෙන පිළිතුරම විය." 

තමා ශ්‍රී ලංකාවට ආදරය කරන බවත්, ශ්‍රී ලංකාව යනු පාරාදීසයක් බවත් ඔහු සඳහන් කර තිබේ. මෙම ගමන් සගයා සිය සංචාරයෙන් අනතුරුව ලලිත් ප්‍රසන්න ගලපත්ති සම්බන්ධයෙන් විශේෂාංග ලිපියක් ලියුවේය. ඒ ලිපිය කාලිජ් ටයිම්ස් පුවත්පතේ පළවුණේය. එහි දැක්වුණේ ඒ සුන්දර ශ්‍රී ලංකාව ඇතැම් දේශපාලකයන් විසින් විනාශ කර දමන බවය. කාල් ලුවිස්ට ආදරය කරන මැදි දුර ධාවකයකු වශයෙන් රටක් දිනා දකුණු ආසියාවද තරණය කළ ඔහු අද සහරාවේ වැලි ඇට දිලිහෙන තරමට බලාපොරොත්තු පොදි බඳිමින් කුලී රථ සේවාවේ නියැලෙයි. තමන් සොයා එන, තමන් වෙත පැමිණ අත දිගුකරන සියලු මිනිසුන්ගේ ගමන් සගයා වන්නේ ඔහුය. ඔහුගේ අපූර්වතා, විභවතා සියල්ල සඟවාලන ආර්ථිකය ඔහුට හිමිකරදී ඇත්තේ ඩුබායි දේශයෙන් මෝටර් රථයක සුක්කානමකි. ඔහු ජීවිතයට දෙස් නොදෙමින් ලැබුණු අවස්ථාවෙන් උපරිමය ඉටු කරන්නට උත්සහ ගනිමින් සිටී. මේ කතාවෙන් අපට ඒත්තු යන සත්‍යයක් ඇත. එනම් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩකයන්ට හිමිවන්නේ අවසානයේ ත්‍රීරෝද රථය, එසේත් නැතහොත් ටැක්සි රථය පමණක්ද යන්නය. අප එසේ කියන්නේ මළල ක්‍රීඩා විෂයේ නොව මෙම තත්ත්වය පාපන්දු ක්‍රීඩා විෂයේ වැඩි වශයෙන් දැකගන්නට හැකියාවක් ඇති හෙයිනි. 

මාතෘකා