පාතාලයේ අතට නොයා මුහුදේ ගිලෙන වෙඩි නොවදින රථ

 ඡායාරූපය:

පාතාලයේ අතට නොයා මුහුදේ ගිලෙන වෙඩි නොවදින රථ

පාතාලය පසුගිය මාස දෙකට මහමගදී ඝාතන පහළොවක් සිදු කර තිබේ. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා එල්ටීටීඊය අතර යුද්ධය අවසන් කර වසර අටක් සපුරමින් තිබෙන මොහොතක භීතියට පත් වන්නට තරම් ඉහත කාරණය ප්‍රමාණවත්ය. මාස දෙකකට ඝාතන පහළොවක් සිදු කර පාතාලය බරපතල වටපිටාවක් නිමවමින් තිබියදී පෙරේදා (26) වෙඩි නොවදින වාහන 08කුත් යුද සමයේදී එල්ටීටීඊයට අයත්ව තිබූ ප්‍රවාහන නෞකාවකුත් මුහුදේ ගිල්වනු ලැබිණි. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.   


ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන රාජ්‍ය නායකයිනුත් හිටපු ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් එල්ටීටීඊයේ හිටපු සන්නද්ධ නායක කරුණා අම්මාන් හා රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් විසින් භාවිත කරනු ලැබූ වෙඩි නොවදින වාහනද ඒ අතර විය. ගිල්වනු ලැබූ නෞකාවේ මුල් හිමිකරුවා බව පැවසෙන්නේ යුද්ධය අවසන් වීමෙන් අනතුරුව එල්ටීටීඊයේ නායකයා බව කී කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ය. ඒවා ශ්‍රී ලංකාවේ බටහිර මුහුදේ මීගමුව ප්‍රදේශයේ මීටර් 50ත් 100ත් අතර දුරකින් පිහිටි ගැඹුරු මුහුදේ ගිල්වනු ලැබුවේ තවත් වාහන 17ක් අනාගතයේදී මුහුදේ ගිල්වීමට නියමිතව තිබියදීය.   


වෙඩි නොවදින මිල අධික වාහනයක් ශ්‍රී ලංකාව තුළ ගැඹුරු මුහුදේ ගිල්වීම පිළිබඳව ආසන්න වශයෙන් වාර්තා වන්නේ මීට වසර 08කට පෙර 2010 වර්ෂයේදීය. ඒ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට අයත් බව කියන බීඑම්ඩබ්ලිව් සෙවන් (BMW 07) වර්ගයේ වෙඩි නොවදින මෝටර් රථයයි. ඉන් වසර ගණනක් ඉක්බිති යුද සමයේ භාවිත කළ මෝටර් රථ හා ජීප් රථ 08ක් මුහුදේ ගිල්වීම හේතුවෙන් පෙරේදා පුවත ලාංකිකයින්ට අලුත් අත්දැකීමක් වන්නේය.   
ජනාධිපති කාර්යාලයේ තීරණයක් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ලද උපදෙස් පරිදි අදාළ වෙඩි නොවදින මෝටර් රථ, ජීප් රථ හා ප්‍රවාහන නෞකාව ගිල්වීම සඳහා සූදානම් කළේය.  


සමුද්‍රය යනු සමස්ත ලෝකයේම පැවැත්ම වෙනුවෙන් සුරැකිය යුතු අති විශාල ස්වභාවික සම්පත් අතරින් එක් අංගයකි. ඒ ලෝකයේ බොහෝ ස්ථානවල සිදු වන මුහුදු ඛාදනය, මුහුද ගොඩගැලීම, සුනාමි යනාදී බරපතල ව්‍යසන සිදු වීමේ අවදානමෙන් බැහැර වනු පිණිසත් අයිස් කඳු දිය වීමෙන් සිදු වන හානියට මුහුණ දීමේ තත්ත්වයත් හේතුවෙනි. දූපතක් වන ශ්‍රී ලංකාවට එහිදී සමුද්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ විශාල වගකීමක් තිබෙන්නේය. ඒ අනුව වෙඩි නොවදින වාහන හා ආයුධ ප්‍රවාහන නෞකාව මුහුදේ ගිල්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත්තේ අදාළ වගකීම පිළිබඳව ඇති මනා අවබෝධය සමඟය.   
"මේ සඳහා අපිට උපදෙස් ලැබුණේ ජනාධිපති කාර්යාලය ගත් තීරණයක් අනුව. උපදෙස් ලැබුණ ගමන් අපි අදාළ වාහන ඒ සඳහා සූදානම් කළා. වාහන 25ක් මුහුදේ ගිල්වීමට අපට උපදෙස් ලැබුණා. ඉන් තව 17ක් ගිල්වීමට නියමිතයි. සාමාන්‍යයෙන් වාහනයක් කිසියම් ජලාශයක ගිලෙනවා නම් හෝ ගිල්වනවා නම් පළමු හානිය සිදු වන්නේ වාහනයේ තෙල්වලින්. ඒ නිසා අපි නෞකාව වගේම සියලු වාහනවල තෙල් ඉවත් කළා. තව ඒවායේ තිබුණ රේඩාර්, ජීපීඑස් යනාදී හානිකර උපකරණ ඉවත් කළා. අනතුරුව ඒවා මුහුදේ ගිල්වීමට පෙර සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගත්තා. ඒ අනුවයි අපි වාහනත් නෞකාවත් ගිල්වීමට පියවර ගත්තේ." නාවික හමුදාවේ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක කේ. කේ. සී. උදයංග 'රැස' හමුවේ අනාවරණ කළේය.   


කේ. පී.ට අයත් බව කියන 'වෙලින් ඒ522' (A522) - ආයුද ප්‍රවාහන නෞකාව නාවික හමුදාව භාරයට පත් වන්නේ 2008ට ආසන්න වකවානුවේදීය. ඒ ත්‍රිකුණාමලයේ ආරුගම්බේ මුහුදු ප්‍රදේශයේ තිබියදීය. අනතුරුව එය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් වශයෙන් නෞකාව හමුදාවේ භාවිතයට ගැනිණි. 'වෙලින් ඒ522' නාවික හමුදාව භාවිතයෙන් ඉවත් කරනු ලැබීමත් සමඟ එය යකඩ වශයෙන් අලෙවි කිරීමට කීපවරක් ටෙන්ඩර් කැඳවිණි. පසුගිය කාලයේදී ඒ සඳහා හිමිව තිබුණේ අඩු ලංසුවකි. එම ලංසුවල වටිනාකම නැව යකඩ වශයෙන් වෙන් කිරීමේදී ගන්නා පිරිවැයට වඩා බෙහෙවින් අඩු බව හඳුනා ගැනීමත් සමඟ නෞකාව මුහුදේ ගිල්වීමට නාවික හමුදාව තීරණ ගත්තේය. මුහුදට හානිකර කොටස් ගලවා ඉවත් කර, රංගල පිහිටි යුද හමුදා කඳවුරේ සිට මීගමුව මුහුදු තීරණයට තවත් නෞකාවකින් නැවෙන් ඇදගෙන එන්නේ ඒ අනුවය. නෞකාව ගිල්වනු ලැබුවේ එහි ඇති හිල් යළි විවෘත කර එයට ජලය පෙරෙන්නට කටයුතු සැලසීමෙනි.   
ලෝකයේ භාවිතයට නොගන්නා නෞකා සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කිහිපයකි. නැව් ප්‍රතිසංස්කරණය කිරීම, වෙනත් කටයුත්තක් සඳහා වෙනස් කර භාවිතයට ගැනීම, පරිත්‍යාග කිරීම, අලෙවි කිරීම, කොතැනක හෝ ගබඩා කර තැබීම හා ජලාශයක ගිල්වීම එම ක්‍රම වේ.  


පාතාලය මැදිහත් වීමෙන් සිදු වූ අපරාධ පසුගිය මාස 02ට පහළොවක් වශයෙන් වාර්තා කෙරිණි. ඉන් පැහැදිලි වන්නේ ලංකාවේ පාතාලය කෙරෙන් තවමත් සැලකිය යුතු බලපෑමක් ජන ජීවිතයට එල්ල වන බවය. වෙඩි නොවදින මෝටර් රථ හා ජීප් රථ වෙන්දේසි කිරීමේ හැකියාව තිබෙද්දී ඒවාද මුහුදේ ගිල්වීමට රජය තීරණ ගන්නේ පාතාල හා අපරාධ කල්ලිවල අනිසි බලපෑම හේතුවෙනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු පාතාල නායකයින් අතට කිසිදු ආකාරයකින් අදාළ රථ හිමි වීමට ඇති ඉඩ කඩ ඇහිරීමට රජය වාහන ගිල්වීමට තීරණය ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.   
වෙලින් ඒ522 නෞකාව ගිල්වීමෙන් ඒ තුළ විශාල වශයෙන් කොරල්පර බිහි වීමට හා ජලජ ජීවීන් ගැවසීමට කටයුතු සැලසෙන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ කිමිදුම් කටයුතුවල නිරත වන දේශීය සහ විදේශීය සංචාරකයින්ට කිමිදුම් කටයුතුවලට අවස්ථා සැලසීමට හැකි වනු ඇති බව නාවික හමුදාව අපේක්ෂා කරයි. එය රටේ සංචාරක ව්‍යාපාරයට මහත් රැකුලක් වනු ඇති බවට තමන් අනුමාන කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය.   


ලෝකයේ නෞකා මුහුදේ ගිල්වීම සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට ප්‍රථම බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ඉන්දියාව වැනි රටවල්ද නෞකා මුහුදේ ගිල්වීමට පියවර ගත්තේය.   
ලංකාවේ වෙරළාසන්නව මුහුදුබත් වෙමින් ගිලී ගිය නැව් ගණන සංඛ්‍යාත්මකව දෙසීය ඉක්මවා තිබේ. නමුත්, ගිලී ගිය බවට හඳුනා ගත් සියලු නෞකා මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. මුහුදේ ගිල්වනු ලැබූ නෞකා හැරෙන්නට මුහුදුබත් වෙමින් මුහුදේ ගිලී ගිය නෞකා අතරින් ගල්කිස්ස මුහුදේදී ගිලුණු පර්සියස් 1917 නම් නෞකාව ප්‍රමුඛය.   
මුහුදුබත් වූ නෞකා සොයා යන කිමිදුම්කරුවන්ගේ පාරාදීසය වශයෙන් හැඳින්වෙන්නේ කොළඹ මුහුදු ප්‍රදේශයයි. තවද ශ්‍රී ලංකාවට අයත් මුහුදේ නටබුන් බවට පත් වෙමින් මුහුදුබත් වූ ආකර්ෂණීයම නෞකාව වශයෙන් වන්නේ 'තැප්‍රොබේන් නෝත් රෙක්' නැවය.   


දෙවන ලෝක යුද්ධය යනු ලොව පැවති දරුණුතම යුද්ධය වන්නා සේම එම වකවානුවේදී මුහුදුබත් වූ යානා අතරින් 1942 වසරේ අප්‍රේල් 09වැනිදා එච්එම්එස් හර්මිස් ගුවන් යානා වාහකය එවකට ශ්‍රී ලංකාවේ මඩකලපු වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදුබත් විය. ජපානයෙන් ලංකාවට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානියට පත් වූ ලොව ප්‍රථම ගුවන්යානා වාහකය වන එච්එම්එස් හර්මිස් ලොව ප්‍රසිද්ධම ස්ථානවලින් එකක් වශයෙන් ප්‍රකටය. කිමිඳුම්කරුවන් බෙහෙවින් නැරඹීමට බලාපොරොත්තු වන ලොව ඇති මනස්කාන්තම ස්ථාන සියයටද එච් එම් එස් හර්මිස් මුහුදුබත් වූ ස්ථානය ඇතුළත්ය.  


පාතාලය හා අපරාධ කල්ලිවලට රුකුල් දෙන හේතූන් මුහුදේ ගිල්වීමට රජය මේ මොහොතේ ගෙන ඇති තීරණය හේතුසහගතය. තවත් රථ 17ක් ඉදිරියේදී මුහුදේ ගිල්වීමට නියමිතය. ඒ සඳහා නිශ්චිත දිනයක් තවමත් යොදා නැති මුත් රථවල වටිනාකම නොසලකා අපරාධවලට ඇති ඉඩ කඩ ඇහිරිය යුතුය. මූල්‍ය වටිනාකමට වඩා සමාජයට ඇති වටිනාකම තවදුරටත් විමසීම වඩාත් ගරු කටයුතුය. රජය ගෙන ඇත්තේ එවන් එක් පියවරකි. එවැනි තවත් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන්නන්ගෙන් කිසිසේත්ම රටර හිඟයක් නොමැත්තේය. 

මාතෘකා