වසර 22කට ෙපර ශ්‍රී ලංකාව ක්‍රිකට් ලොව දිග්විජය කළ කතාව

 ඡායාරූපය:

වසර 22කට ෙපර ශ්‍රී ලංකාව ක්‍රිකට් ලොව දිග්විජය කළ කතාව

මෙරට ඉතිහාසයේ 1996 වසර යනු කිසිදාක අමතක කළ නොහැකි වසරකි. ඒ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදා ක්‍රිකට් විජිතය දික්විජය කළ වසරයි. කෙලවරක් නැති කැපකිරීම්, බාධක, කම්කටොලු සහ අභියෝග මැද පැමිණි ගමන් මඟක කූඨප්‍රාප්තිය වූයේ ලෝක කුසලාන ජයග්‍රහණයයි. මේ එදා අවසන් මහා තරඟ ජයග්‍රහණය ගැන මීට කලකට පෙර 'චාමර ලක්ෂාන් කුමාර'එවක එම ජයග්‍රහණයේ නියමුවා වූ අර්ජූන රණතුංග සමඟ කළ සංවාදයකින් උපුටා ගත්තකි.

ඉන්දියාව සමඟ පැවති අවසන් පූර්ව තරගය ජයගත් ශ්‍රී ලංකා පිල පසු දිනම ලාහෝරය බලා පිටත් විය. පාකිස්තානයට පැමිණි ශ්‍රී ලංකා පිලට උණුසුම් පිළිගැනීමක් ගුවන් තොටුපළේ දී හිමි වූ අතර තම සාම්ප්‍රදායික ප්‍රතිවාදියා පැරද වූ අර්ජුන රණතුංගගේ කණ්ඩායමට ‘සින්දාබාද්’ යැයි හඬ නැගීමට විශාල පාකිස්තාන ක්‍රීඩාලෝලීහු පිරිසක් මගී පර්යන්තයට එකතු වී සිටියහ.
සන්ධ්‍යාවේ ලාහෝරයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුවීම්වලින් තොර විවේක දිනයක් හිමි වූ අතර ගමන් විඩාව තුළ එය අත්‍යවශ්‍ය වූවක්ම විය. ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල අතර වූ අනෙක් අවසන් පූර්ව තරගය එදින පැවති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තමන් නතරව සිටි හෝටලයට වී එම තරගය නැරඹූහ. අර්ජුන ද තම කාමරයේ තිබූ රූපවාහිනී යන්ත්‍රය සුසර කොට එම තරගය නැරඹූ අතර අවසන් මහා තරගයේ දී තම ප්‍රතිවාදීන් කවුරුන් වේද යන්න පිළිබඳව ඔහු දැඩි අවධානයෙන් යුතුව බලා සිටියේ ය. එම කණ්ඩායම් දෙකෙන් ඕනෑම කණ්ඩායමක් සමග අවසන් තරගයට ක්‍රීඩා කිරීමට අර්ජුන සැදී පැහැදී සිටියත් ඔහුගේ යටි හිත නම් බල කළේ ඔස්ට්‍රේලියාව සමග වන අවසන් තරගයකට ය. ඒ ඔවුන් සමග බේරා ගැනීමට ‘ගනුදෙනුවක්’ අර්ජුනට තිබූ බැවිනි. සුපැහැදිලිවම ශ්‍රී ලංකා පිල ඒවන විට ක්‍රීඩා කරමින් සිටි ආකාරය අනුව ඕනෑම කණ්ඩායමක් අබිබවාලිය හැකි මට්ටමේ සිටි අතර මේ තත්ත්වය කෙතරම් ද කියතොත් ලෝකයේ සුපිරිතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමකට පවා ශ්‍රී ලංකාව සමග තරග කිරීම පහසු කාර්යයක් නොවීය.
පසු දින සැන්දෑවේ ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කටයුතු කළ අතර පුහුණුවීම් අවසානයේ ක්‍රීඩකයන් නැවත හෝටලය බලා යද්දී මාක් ටේලර්ගේ ඔස්ට්‍රේලියානු පිල ද එහි පැමිණ සිටියේ ය. ඊළඟ දිනයේ පෙරවරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තම පුහුණුවීම් කටයුතු කළ අතර එදින සන්ධ්‍යා කාලයේ පුහුණුවීම් සඳහා ඔස්ට්‍රේලියානුවන්ට පැති විකට්ටු ලබා දී තිබුණි.
එදින පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබූ අතර කණ්ඩායමේ සියලු දෙනා ඊට සහභාගි වීමට නියමිතව සිටියහ. සෙසු සියලු දෙනාවම ඒ සඳහා සම්බන්ධ කළ අර්ජුන භෝජන සංග්‍රහයට යෑමට මත්තෙන් කිසිවෙකුට නොදන්වා දුලිප් සමග ‘හොර ගමනක්’ යන්නට තීරණය කළේ ය. ඒ ගඩාෆි ක්‍රීඩාංගණයට ය. තමන් එදින රාත්‍රියේ ක්‍රීඩාංගණයට පැමිණෙන බව අර්ජුන කල්තියා ක්‍රීඩාංගණය භාර නිලධාරියාට දන්වා තිබූ අතර විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රීඩාංගණයේ තත්ත්වය පරීක්ෂා කිරීම අර්ජුනගේ අරමුණ විය. මේ එතැන් සිට අර්ජුන කියන කතාවයි.
“අපි ක්‍රීඩාංගණයට එනකොට රෑ හතට හතමාරට විතර ඇති. අපි ආවාට පස්සේ ක්‍රීඩාංගණය භාර නිලධාරියා ක්‍රීඩාංගණයේම ලයිට් දැම්මා. විදුලි ආලෝකයට හරියට වහිනවා වගේ පින්න වැටෙනවා පැහැදිලිවම අපි දැක්කා. ඊළඟ දවසේ උදේ ප්‍රැක්ටිස් කරලා ඉවර වුණාට පස්සේ හවසත් අපිට පුහුණුවීම් කරන්න අවශ්‍යයි කියලා කිව්වාම ඒ අවසරය ලැබුණා. අපි හතරට විතර ප්‍රැක්ටිස් කරන්න ගියා. ඔස්ට්‍රේලියානු පිලත් පුහුණුවීම් සඳහා ඇවිත් හිටියා. ඒගොල්ලෝ ලයිට් දානවත් එක්කම හයමාරට විතර ප්‍රැක්ටිස් කරලා යන්න ගියා. අපි දිගටම පුහුණුවීම් කළා. ලයිට් දාලා පැය බාගයක් විතර යනකොට ලොකු පින්නක් වැටෙන බව අපිට පෙනුණා.” අර්ජුන අතීත ස්මරණයන් එකින් එක පිළිවෙළින් අප හමුවේ දිග හරී.
 අවසාන තරගය සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ විකට්ටු ඒ වන විට මුළුමනින්ම වසා තිබූ අතර ඒ අවට ප්‍රදේශය ක්‍රීඩකයන්ට තහනම් කලාපයක් වී තිබුණි. පුහුණුවීම් සියල්ල නිම කිරීමෙන් අනතුරුව යළි හෝටලය බලා යෑමට මත්තෙන් පින්නේ බලපෑම වඩාත් හොඳින් තහවුරු කර ගැනීම සඳහා පිටිය මැදට ගොස් බිම දිගේ පන්දුවක් එවන ලෙස උපුල් චන්දනට අර්ජුන උපදෙස් දුන්නේ ය. එම විධානය අනුව ක්‍රියාත්මක වූ උපුල් පිටිය මැදට ගොස් බිම දිගේ පන්දුවක් අර්ජුන ලා සිටි ස්ථානයට එවූ අතර රැකගන්නා විට එම පන්දුව බෙහෙවින් තෙතබරිත වී තිබුණි. පින්නේ බලපෑම කෙතරම් ද කියතොත් පන්දුව පැමිණි මාවත පැහැදිලිව දැකගත හැකි තරමට එය ප්‍රබල වී තිබුණි. ඔස්ට්‍රේලියාව සමග පමණක් නොව ‘පින්න’ සමග ද තමන්ට තරගයක් ඇති බව අර්ජුන තේරුම් ගත්තේ ය.
ඒ වන විට ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ ප්‍රධානියා වූ මොහොමඩ් බාෂිර්ව අර්ජුන දැන හඳුනන්නේ 1982 වසරේ මාර්තුවේ සිට ය. එම පාකිස්තාන සංචාරයේ දී දැනහඳුනා ගනිමින් දෙදෙනා අතර ගොඩනැගුණු මිත්‍රත්වය දිනෙන් දිනම වර්ධනය වූ අතර බාෂිර් පෞද්ගලිකව අර්ජුනගේ ක්‍රිකට් ෙශෙලියට හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බෙහෙවින් ප්‍රිය කළේ ය. අවසාන මහා තරගයේ දී ‘පින්නට’ කළ හැකි දේ පිළිබඳව දැන ගැනීමට බාෂිර්ට වඩා වෙනත් විශේෂඥයකු නොමැති බව අර්ජුනට ක්ෂණිකව මතක් විය. ඒ නිසාම යළි නවාතැන්‍පොළ බලා යාමට ප්‍රථම අර්ජුන බාෂිර්ව මුණ ගැසුණේ ය. වංගු නොගැසූ අර්ජුන කෙළින්ම කාරණයට බැස්සේ ය.
“මාර්තු, අප්‍රේල්වල මෙහේ දවල්ට රස්නේ වැඩියි. රෑට ඒ රස්නේ ශීතල වෙනවා. ඒ හින්දා රෑට පින්න වැඩියි. දෙවනුව පන්දු රැක්කොත් පන්දු රැකීම විතරක් ‍නෙවෙයි පන්දු යැවීමත් සෑහෙන්න අමාරු වේවි. ඒ නිසා ටොස් එක අරගෙන බය නැතුව ගහන්න.” බාෂිර් අර්ජුනට පවසුවේ ය.
මෙම ක්‍රීඩාංගණය පිළිබඳ වසර ගණනක අත්දැකීම් ඇති බාෂිර් ගෙන් ලද ඒ උපදෙස පහසුවෙන් ඉවතලිය හැකි එකක් නොවන බව අර්ජුනගේ ද විශ්වාසය විය. නමුත් දෙවනුව පන්දුවට පහර දී ලෝක කුසලාන අවසාන මහා තරගයක් ජයගත් කිසිදු කණ්ඩායමක් ද ඒ වන විට නොවීය. එය ද අර්ජුනගේ ඔළුවේ සෑහෙන දුරට වැඩ කළ මුත් ඉතිහාසය පසුපසම දිවීමේ අරමුණක් ශ්‍රී ලංකා නායකයාට නොවීය.
අවසාන මහා තරගය කියා අලුතින් උපාය සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පිලට නොවුණ අතර, තමන් ක්‍රීඩා කරමින් සිටි ආකාරයටම ක්‍රීඩා කිරීමට තීරණය විය. ඒ අනුව සනත් හා කළු ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස් කිරීම, අසංක උපරිම වේලාවක් කඩුල්‍ලේ රැඳී සිටීම, අරවින්ද හා අර්ජුන තමනට සුපුරුදු ආකාරයෙන් ක්‍රීඩා කිරීම, හෂාන් හා රොෂාන් අවස්ථාව ඉල්ලා සිටින පරිද්දෙන් ක්‍රීඩා කිරීම, ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරණ සැලැස්ම විය. පිතිහරඹයට අමතරව ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පන්දු යැවිය යුතු ආකාරය හා පන්දු යවන්නන් ස්ථානගත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද දීර්ඝ සාකච්ඡාවක් එදින සිදුවන ලදී. ඒ අනුව එක් එක් ඕස්ට්‍රේලියානු පිතිකරුවා වෙනුවෙන් වෙන වෙනම සැලසුම් සකස් කිරීම සිදු වුණි. නායක මාක් ටේලර් සතුව හොඳ ඩ්‍රයිව් පහරක් තිබුණ නිසාවෙන් නිසි ඉලක්කයට පන්දු එවමින් ඒවා ඔහුගේ සිරුර වෙතටම යොමු කිරීමටත්, ආරම්භයේ දී මැද ඉන්නට හා පිට ඉන්නට ඉහළින් යන කෙටි පන්දුවක් දෙකක් හැර මාක් වෝට කිසිදු පන්දුවක් මැද හෝ පා ඉන්න හරහා ලබා නොදීමටත් තීරණය විය. පුල් පහර හා ඩ්‍රයිව් පාර එල්ල කිරීමට විශේෂ දක්ෂතාවක් දැක්වූ රිකී ‍පොන්ටින්ට ඒ සඳහා අවස්ථාවක් ලබා නොදීමටත්, වේග පන්දු යවන්නන් හමුවේ හොඳින් ක්‍රීඩාකරන ස්ටුවට් ලෝව හා ඉයන් හීලිව දඟ පන්දු යවන්නන් උපයෝගී කර ගනිමින් මෙල්ල කිරීමත් ශ්‍රී ලංකා පි‍ලේ තරග සැලැස්මේ කොටසක් විය.
තරග සැලසුම් උපාය උපක්‍රම ඒ ආකාරයට තීරණය කිරීමෙන් අනතුරුව කාසියේ වාසිය හිමිකරගතහොත් කළ යුතු දෑ සම්බන්ධව සංවාදයක් මතු වූ අතර අරවින්ද හා ඩේව් වට්මෝර් සිටියේ පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු ය යන ස්ථාවරයේ ය. අවසාන මහා තරගයක දී අනිවාර්යෙන්ම එල්ල විය හැකි පීඩනය මඟහරවා ගනිමින් වඩාත් හොඳින් එවිට ක්‍රීඩාවට අවතීර්ණ විය හැකි බව ඔවුන් දෙදෙනාගේම මතය විය.
අර්ජුන මෙම ක්‍රීඩාංගණය පිළිබඳව තමන් කළ නිරීක්ෂණයන් හා ක්‍රීඩාංගණය භාර මොහොමඩ් බාෂිම්ගෙන් ලද උපදෙස් පිළිබඳව කණ්ඩායම දැනුවත් කළේ එයින් අනතුරුවය. “අපි ඒ අයව, මුලින් දාමු.” අර්ජුන එලෙස පවසද්දී දුලිප් හිස සැලුවේ ය. තනිකරම පාහේ සිංහල භාෂාවෙන් සිදුවුන කණ්ඩායම සාකච්ඡාව ඩේව් වට්මෝර්ට පරිවර්තනය කරලීමේ රාජකාරිය පැවරී තිබුණේ, රොෂාන්ට හා හෂාන්ටය. කොළඹ දී ජන්මලාභය ලැබූ වට්මෝර් ඉපිද කෙටි කලකින්ම ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වී තිබූ අතර ‘96 ලෝක කුසලාන තරගාවලිය වන විට ඔහු ශ්‍රී ලංකා පිල හා එක් වී වැඩිකලක් ගත වී නොතිබුණි. ඒ නිසාවෙන්ම සිංහල බස, තේරුම් ගැනීම ඔහුට මුලදි ගැටලුවක් වී තිබුණි. අර්ජුනගේ යෝජනාවෙහි හරය රොෂාන්ගෙන් දැන ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීම වඩාත් සුදුසු බව වට්මෝර් ද පිළි ගත්තේ ය.
පෙරදින රාත්‍රියේ ධාරාණිපාත වර්ෂාවක් පතිත වුවත්, දහවල වන විට ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ හැකි මට්ටමට ගෙන ඒමට මොහොමඩ් බාෂීර් ප්‍රමුඛ ගඩාෆි ක්‍රීඩාංගණයේ සේවකයෝ සමත් වූහ. හතරේ සීමාව ආසන්න කලාපය තද ගතියක් දක්නට ලැබුණත්, එදින ක්‍රීඩාව සඳහා සකසා තිබූ විකට්ටුව පන්දුවට පහර දීමට උචිත මන්දගාමී එකක් බව තණතිල්ල පරීක්ෂා කිරීමේ දී අර්ජුනට එක එල්‍ලේ පෙනී ගියේ ය.
මෙය ලාහෝරයේ පවත්වන ප්‍රථම දිවා රාත්‍රී තරගය වූ නිසාවෙන්ම රාත්‍රි කාලයේ දී පන්දුව හොඳින් දෝලනය වෙතැයි යන විශ්වාසයක්ද ක්‍රීඩා ලෝලීන් අතර පමණක් නොව ක්‍රීඩාව පිළිබඳ විශාරද දැනුමක් සහිත විචාරකයන් අතර ද විය. පෙර පුහුණුවීම් කටයුතු අවසාන කිරීමෙන් අනතුරුව කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව එළඹුන අතර ඒ සඳහා පිටත්වීමට අර්ජුන සැරසුණේ ය.
 කාසියේ වාසිය උරගා බැලීමට පිටිය මැදට යත්දී අර්ජුනට හිටපු පකිස්තාන නායක ඉම්රාන් ඛාන්ව මුණගැසුණේ ය. වර්ල්ඩ් ටෙල් ආයතනය හා ජාත්‍යන්තර තරග විස්තර විචාරයට එක්ව සිටි ඉම්රාන්ට එම ආයතනය වෙනුවෙන් තණතිල්ල වාර්තාව ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ රාජකාරිය පැවරී තිබුණි.
ඉම්රාන්ට අර්ජුනව මුණ ගැසුනේ තම තණතිලි වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නැවත මාධ්‍ය කුටියට පැමිණෙමින් සිටියදී ය. ක්‍රිකට් පිටියේදී අනන්තවත් එකිනෙකා හා තරග වැදී ඇති මුත් ක්‍රීඩකයන් ලෙස අර්ජුන හා ඉම්රාන් අතර එතරම් තද මිත්‍රත්වයක් නොවීය. දෙදෙනා අතර බහින්බස් වීම් කිහිපයක් ද පිටිය තුළ සිදුව තිබුණ මුත් ඒ සියල්ල අමතක කරමින් අර්ජුනව දුටු වහාම ඉම්රාන් නැවතුණේ ය.
“අර්ජුන, ටොස් එක දිනුවොත් ඔයා මුලින්ම ගහන්න. මේක හොඳ විකට් එකක්. දෙසිය හැත්තෑවක්, දෙසිය අසූවක් ගැහුවොත් දිනන්න පුළුවන්.”
ඉම්රාන් එසේ පැවසුවාට කාසියේ වාසිය හිමිකරගතහොත් කළ යුතු දේ ඒ වන විටත් අර්ජුන තීරණය කර තිබුණි. නමුත් පාකිස්තාන ක්‍රිකට් ක්‍ෂේත්‍රය පිළිබඳ ඇසූ පිරූ දැනුමක් ඇති ඉම්රාන් වැන්නකුගේ ප්‍රකාශයක් පහසුවෙන් ඉවත දැමිය හැකි මට්ටමක් ද නොවීය.
“මේ මිනිහා අන්තිමට තිබුණු වර්ල්ඩ් කප් එක දිනලා දීපු නායකයා, ඒ එක්කම පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව ගැන හැමෝටම වඩා වැඩි අත්දැකීම් එයාට තියෙනවා. ටොස් එක දිනුවොත් එයා බැට් කරන්න කියනවා. මම දැන් මොකද කරන්නේ” ඉම්රාන් ගේ අවවාදය අර්ජුනට එලෙස බරක් වන්නට විය.
අවසාන මහා තරගය නැරඹීම සඳහා තිස්දහසකට අධික ක්‍රීඩා ලෝලීහු පිරිසක් ගඩාෆි ක්‍රීඩාංගණයට එක් රැස්ව සිටි අතර  එයින් සියයට 99ක්ම පැමිණ සිටියේ ශ්‍රී ලංකා පිල දිරිගැන්වීමටය. ශ්‍රී ලංකාව තමන්ගේ කලාපීය රටක් වීමත්, ක්‍රිකට් පිටියේදී ඔස්ට්‍රේලියාව නිරතුරුවම පාහේ පාකිස්තානයට කළ මදිපුංචිකමුත් නිසා ප්‍රේක්ෂක සහයෝගය හිමි වුණේ ඉන්දු උපමහද්වීප කණ්ඩායමටය. මේ සුවිසල් ප්‍රේක්ෂක සහයෝගය නිසාම තමන්ගේ රටේ ක්‍රීඩා කරනවා වැනි හැඟීමක් අර්ජුනලාට දැනුණේය. කාසියේ වාසිය උරගා බැලීමේදී කාසිය කැරකී වැටුණේ අර්ජුන ඉල්ලූ ආකාරයටමය. ඉම්රාන්ගේ උපදේශය මැද වුවත් තම මුල් තීරණය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නායකයා කල්පනා කළේය. ඔහු පළමුව ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට කැඳවීය.
අර්ජුනගේ එම තීරණය දැන ගැනීමත් සමග තරග විස්තර ප්‍රචාරයට එක්ව සිටි ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් එය පතුරු ගහන්නට පටන් ගත්තේය. සමහරු කෙතරම් හදිසි වුවාදැයි කියතොත් ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ස්ථිරව දිනන බව පැවසීමට තරම් කලබල වී තිබුණි. ලෝක කුසලානය අවසාන මහා තරගයකදී දෙවැනුව පන්දුවට පහර දුන් කණ්ඩායමක් කිසිදා ජය නොගෙන තිබූ තත්ත්වයක් තුළ සහතිකවම එය අවදානම් සහගත තීරණයක් වුවත් අවදානම සමග කෙරෙන මේ සටනට අර්ජුන හැමවිටම කැමැත්තක් දැක්වීය.
“මේක අපේ ජීවිතයේ වැදගත් තරගයක්. අපි කිසිම බුරුලක් නොදී තදට මේ තරගය ගහමු. අපිට මේ මැච් එක දිනන්න පුළුවන්.” කණ්ඩායම රැගෙන ක්‍රීඩා පිටියට බැසීමට මත්තෙන් අර්ජුන පැවසුවේය.
 ක්‍රීඩා පිටියට අවතීර්ණ වීමට සැරසෙද්දී ක්‍රීඩාංගණයේ හතරේ සීමාව අසල සිටි ආබාධිත නරඹන්නකු තමන්ට අත දිගු කිරීමට උත්සාහ ගන්නවා අර්ජුන දුටුවේය. ඔහු දුටු වහාම අර්ජුනගේ හිත වෙනස් විය. ක්‍රීඩාංගණය වෙත තැබූ ඉදිරි පියවර වෙනස් කර අර්ජුන ආපසු ආබාධිත නරඹන්නා සිටි දෙසට හැරුණේය. සාමාන්‍යයෙන් මේ සා වැදගත් අවස්ථාවක ඉදිරියට තැබූ පියවර වෙනස් කර ආපසු හැරීම අසුබ කාරණයක්, නොකළ යුතු දෙයක් ලෙස සැලකෙන මුත් ඉහත කී ආබාධිත නරඹන්නා දුටු වහාම අර්ජුනගේ තද හිත මොළොක් විය. තමන් අසලට පැමිණි ශ්‍රී ලංකා නායකයාගේ දෑත අල්ලා ගත් ආබාධිත නරඹන්නා “ශ්‍රී ලංකා සින්දාබාද්” කියමින් අර්ජුනට සුබ පැතුවේය. ගඩාෆි ක්‍රීඩාංගණයේ තරග නැරඹීමට විශේෂ වරප්‍රසාදයක් සහිත මෙම පුද්ගලයා අංගවිකල තැනැත්තකු වූ අතර අර්ජුන මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ තරග කිහිපයක්ම ඔහු මීට පෙර නරඹා තිබුණි.
වේගපන්දු යවන්නන් දෙදෙනකු සමගින් අවසාන මහ තරගයට එක්වූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පළමුව පන්දු යැවීම ආරම්භ කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහය. චමින්ද වාස් අනෙක් අන්තයෙන් නව පන්දුව අතට ගත්තේය. විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ඇති තම සූදානම පෙන්නුම් කරමින් මාක් ටේලර් හා මාක් වෝ යන ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා රිසි සේ ලකුණු රැස් කිරීමට උත්සාහ කළ මුත් මුළු ලකුණු සංඛ්‍යාව 36ක් වෙද්දී මාක් වෝ දවා ගැනීමට වාස් සමත් විය. පා ඉන්න හා මැද ඉන්න දෙසින් පන්දු යවමින් ෆ්ලික් කිරීමකට මාක් වෝ ‍පොලඹවා ගැනීමට වාස් සමත්වුන අතර ස්ක්වෙයාර් ලෙග්හි සිටි සනත් ජයසූරිය වෝ එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස සුරැකිව රැක ගත්තේය. ඒ වන විට ශතක තුනක් ලබා ගනිමින් විල්ස් ලෝක කුසලාන තරගාවලියේ හොඳම පිතිකරුවා වී සිටි මාක් වෝ ඉක්මනින්ම දවා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා පිලට වාසියක් වූයේ ඔහු දඟපන්දු යවන්නන් හමුවේ සෑහෙන ඉහළ විශ්වාසයක් සහිතව ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිතිකරුවා වූ බැවිනි.
 මාක් වෝ ව එලෙස ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැව්වත් ඊළඟ ඔස්ට්‍රේලියානු පිතිකරුවාව දවා ගැනීමට ශ්‍රී ලංකා පිලට තරගයේ 27 වන පන්දු වාරය තෙක් ඉවසීමට සිදුව තිබුණි. ටේලර් හා ‍පොන්ටින් යන දෙදෙනාම තමන්ට අවශ්‍ය ආකාරයට ලකුණු පුවරුව වේගයෙන් කරකවන්නට වූ අතර ඔවුන් පන්දුවට පහර දෙමින් සිටි ආකාරය අනුව ලකුණු 300 කට වඩා වැඩි ඉලක්කයක් පසුපස හඹායෑමට රණතුංගගේ පිලට සිදුවන බව පෙනෙන්නට තිබුණි. ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනා එලෙස ස්ථාවරව පහර දෙද්දී පවා තම හිස කෙළින් තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වීම විශේෂත්වයක් විය. ටේලර් හා ‍පොන්ටින් වැරදි පහරක් එල්ල කරන තුරු ඔව්හු ඉවසිලිවන්තව බලා සිටියහ. ඒ ගැන අර්ජුන කියන කතාවයි මේ.
“ඒ දෙන්නා බැට් කරද්දී මම බය වුණේ නැහැ. දඟ පන්දු යවන්නන්ගෙන් මේ මැච් එක වෙනස් වෙනවා කියන අදහස හැමවිටම මගේ ඔළුවේ තිබුණා. ඒ එක්කම මුරලි හා ධර්මසේන එක දිගට යොදා ගන්නේ නැතිව අරවින්ද හා ජයසූරියවත් පන්දු යැවීමට මම කැඳෙව්වා. ඒ දෙන්නා හොඳට ගහගෙන යන වේලාවේ මුරලිව පාවිච්චි කරලා විකට් ආවේ නැත්නම් තවත් පීඩනයක් අපිට එල්ල වෙනවා. ඒ වගේ වේලාවක අරා වගේ කෙනෙක් විකට් එකක් ගත්තොත් ඒක අපිට බෝනස් එකක් වෙනවාය කියලා මම හිතුවා.” අර්ජුන පවසයි.
අර්ජුන අපේක්ෂා කළ ආකාරයටම අරවින්ද ඒ දේ කළේය. යාර කිහිපයක් දිවයමින් ජයසූරිය රැකගත් විශිෂ්ට උඩ පන්දුව ආධාරයෙන් ටේලර් දවාලූ අරවින්ද තවත් ලකුණු 15ක් ඇතුළත ‍පොන්ටින්ගේ කඩුල්ලට ද වග කිවේය. හොඳින් පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන් දෙදෙනා එක ළඟ දැවී යාමත් සමග පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා දෙමින් ෂේන් වෝන්ව පිටියට එවීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කළ මුත් මුරලිගේ පන්දුවකට කළු සිදු කළ අතිවිශිෂ්ට ස්ටම්ප් කිරීමක් සමගින් ඔහු ද ඉක්මනින්ම දැවී ගියේය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා ලෙස ස්ටිව් වෝ සැලකුණු මුත් ධර්මසේන හරහා ඔහුගේ ඉනිම කෙටි කිරීමට අර්ජුන සමත් විය. ලකුණු 205කට කඩුලු 7ක් බිඳ වැටී තිබියදී පිටියේ එක් වූ මයිකල් බෙවන් හා ‍පෝල් රයිෆල් කඩා වැටෙන ඔස්ට්‍රේලියානු ඉනිමට මුක්කුවක් ගැසීමට උත්සාහ කළ මුත් ඒ වන විට පෙරහැර බොහෝ දුර ගමන් කර තිබුණි.
 ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කෙතරම් හොඳින් තම රාජකාරිය ඉටු කළා ද කියතොත් තරගයේ 24 වන පන්දු වාරයේ සිට 49 වන පන්දු වාරය තෙක්ම ඔවුන් ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලබා දුන්නේ එකම එක් හතරේ පහරක් පමණි. තමනට නියමිත පන්දුවාර 50 තුළදී ඔස්ට්‍රේලියානුවන් කඩුලු හතක් දැවී ලබා ගත්තේ ලකුණු 241ක් බැවින් ශ්‍රී ලංකා පිලට හිමිව තිබූ ඉලක්කය ලකුණු 242ක් විය. ඉඳහිට පන්දු යවන අරවින්ද සාර්ථකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ අතර ඔහු පන්දුවාර නවයක් යවමින් 42කට කඩුලු 3ක් බිඳ හෙළා තිබුණි. සෙසු සෑම දඟ පන්දු යවන්නකුම පාහේ තම වගකීම අකුරටම ඉෂ්ට කළ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සිව්දෙනා ඔස්ට්‍රේලියානු ඉනිම තුළ පන්දුවාර 37ක් යවා තිබුණි. ලකුණු 241කට ඔස්ට්‍රේලියානු පිල සීමා කර නැවත ක්‍රීඩාගාරයට පිය මනිද්දී අර්ජුන තුළ පැවතියේ තෘප්තිමත් හැඟීමකි.
“අන්තිම බෝ‍ලේ ඇල්ලුවේ මම. බෝලෙත් අරගෙන අත්පුඩි ගහමින් ක්‍රීඩාගාරයට ආපසු යද්දී මේ ගාණ ගහන්න පුළුවන්ය කියන විශ්වාසය මට 100ක්ම තිබුණා. අනිවාර්යයෙන්ම පින්න ආවට පස්සේ විකට් එක මීටත් වඩා බැටින්වලට හොඳ වෙනවාය කියලා වගේම එතකොට පන්දුව ග්‍රහණය කිරීම හා පන්දු රැකීමත් අපහසු වෙනවාය කියලා ලොකු විශ්වාසයකුත් මට තිබුණා. කොහොම වුණත් ඒ අය ගහගෙන ගිය විදිහට 300ක් විතර එළවන්න වෙයි කියලා මුලදී හිතුණා. නමුත් මැද හරියේදී විකට් යද්දී 270ක් වගේ ගාණකට නවත්වා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම ටාගට් එක කියලා මට හිතුණා. නමුත් මේ ගාණට නවත්වන්න පුළුවන් වීම තුළ ලොකු පිම්මක් පැන්නා කියලත් හිතුණා.”
ශ්‍රී ලංකා පිලට ලැබි තිබූ ඉලක්කය පහසු එකක් වුවත් මුළු ලකුණු සංඛ්‍යාව 23ක් පමණ වෙද්දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔස්ට්‍රේලියානු පිල සමත් විය. ග්‍ලේන් මැග්‍රාත්ගේ පන්දු විසි කිරීමක් තුළ පුනරූපන දර්ශන සෑහෙන ගණනාවක් නරඹා තෙවැනි විනිසුරුවරයා ජයසූරිය දැවී ගිය බවට තීරණය කළ අතර පුල් පහරකට උත්සාහ කළ කළු ස්ක්වෙයාර් ලෙග්හි පන්දු රකිමින් සිටි බෙවන්ට උඩ පන්දුවක් දී දැවී ගියේය. එලෙස ඉනිමේ හයවෙනි පන්දුවාරය වනවිට ශ්‍රී ලංකා පිලට තම ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අහිමි වී තිබුණත් මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් පන්දුවට පහර දුන් ආකාරය අනුව බාධාවකින් තොරව තරගය ජයගත හැකිය යන විශ්වාසය අර්ජුනට තිබුණේය. අරවින්ද හා අසංක ටික වේලාවක් කඩුල්‍ලේ රැඳී සිටිය ෙහාත් මේ තත්ත්වය ක්ෂණයකින් වෙනස් වන බවට දැඩි විශ්වාසයක් ශ්‍රී ලංකා නායකයාට විය.
 අවසාන පූර්ව තරගයේදී පෑ පිතිහරඹය මෙම තරගයටත් ඒ ලෙසින්ම ගෙනෙන බවට ඉඟි කරමින් අරවින්ද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඕන් ඩ්‍රයිව් පහරක් හරහා ලකුණු තුනක් ලබා ගත්තේය. ඩිෙමියන් ෆ්ලෙමින්ගේ පන්දුවකට ස්ක්වෙයාර් ලෙග් කලාපයෙන් ගැසූ අලංකාර හතරේ පහරත් සමගින් හතරේ පහර එල්ල කිරීම ඇරඹූ අරවින්ද පන්දුවාර කිහිපයක් ඇතුළත එවැනි පහර ගණනාවක් එල්ල කළේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරමිනි. අරවින්ද හොඳින් පන්දුවට පහර දෙත්ම ගුරුසිංහගේ ආත්ම විශ්වාසය ද ඉහළ ගිය අතර වෙනදා තට්ටු දැමීමට වැඩි ප්‍රියතාවක් දක්වන ගුරුසිංහ ද එදින නිරායාසයෙන්ම පහරවල් කරා ඇදී ගියේය. ඔස්ට්‍රේලියානු පි‍ලේ මායාකාර දඟපන්දු යවන්නා වන ෂේන් වෝන්ගේ එක් ඕවරයකදී දැවැන්ත හයේ පහරක් හා හතරේ පහක් එල්ල කළ ගුරා වෝන්ගේ ආත්ම විශ්වාසය කීතු කීතු කර දැම්මේය. ශ්‍රී ලංකා ඉනිමේ පහලොස් වැනි පන්දුවාරය පැමිණෙත්ම ‘පින්නෙහි’ බලපෑම දැඩිව දැකගත හැකිවූ අතර අසංක ලබා දුන් රැකගත හැකි මට්ටමේ උඩ පන්දු ගණනාවක්ම ඔස්ට්‍රේලියානුවන් වෙතින් ගිලිහී ගියේය. පන්දු යවන්නන්ට පන්දුව ග්‍රහණය කිරීම සෑහෙන දුෂ්කර වූ අතර ෂේන් වෝන් රෙදි කැබැල්ලකින් පන්දුව පිස දමන ආකාරය රූපවාහිනී කැමරා කාචයන්ට නිරතුරුවම අසුවෙන ලදී. කාසියේ වාසිය දිනා ගනිමින් ඔස්ට්‍රේලියානු පිල පන්දුවට පහර දීමට කැඳවීමට අර්ජුන ගත් තීරණය මුලදී දැඩිව විවේචනය කළ තරග විස්තර විචාරකයන්ට එම තීරණය කෙතරම් ඥානාන්විත එකක්දැයි වැටහුණේ ඉන් අනතුරුවය.
ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන් විසින් උඩ පන්දු කිහිපයක් අත්හැරීමෙන් ලද වාසිය දිගටම පවත්වා ගෙන යෑමට ‘ගුරා’ ට නොහැකි වුණ අතර ලකුණු 65ක් ලබා සිටියදී වේගවත් පහරක් ගැසීමට උත්සාහ කළ ඔහු රයිෆල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. නමුත් ගුරුසිංහ මේ තරගය ඇතුළු සමස්ත තරගාවලියේදී ප්‍රදර්ශනය කළ පිතිහරඹය කණ්ඩායමේ ජයග්‍රහණයට අතිශයින්ම තීරණාත්මක වූ බව අර්ජුනගේ අදහසය. “හුඟ දෙනෙක් අරවින්ද හා ජයසූරිය ගැන කතා කරනවා. නමුත් අපි අමාරුවේ වැටුණු තීරණාත්මක අවස්ථා කිහිපයකදීම අසංක හොඳ ඉනිම කිහිපයක්ම ක්‍රීඩා කළා. ෆයිනල් එකේදී ගහපු ලකුණු 65ත් ඒ වගේ හොඳ ඉනිමක්. කඩුලු වැටුණාහම එයා එක පැත්තක් අල්ලගෙන හොඳට බැට් කළා. අවසන් තරගයේදී ගුරා ගහපු විදිහෙන් අරවින්දට තිබුණු පීඩනයත් නැති වුණා.
බැරි වෙලාවත් අසංක ඉක්මනින්ම අවුට් වුණා නම් මටයි අරවින්දටයි අවදානමක් එකත් ගන්න අමාරුයි. ඇත්තටම මේ මුළු තරගාවලිය පුරාම අසංක එයාගේ ජොබ් එක හරියට කළා.” තම සගයා ගැන අර්ජුන එලෙස සඳහන් කරයි.
අසංකගේ දැවී යාමෙන් අනතුරුව අර්ජුන ක්‍රීඩා පිටියට පැමිණියේය. ඒ වන විට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 94ක් පමණි. ඒ සඳහා අවශ්‍ය තරමට පන්දුවාර ඉතුරුව තිබුණි. අර්ජුන පන්දුවට පහර දීමට පැමිණ තම ඉන්න විනිසුරුවාගෙන් ලබා ගැනීමටත් පෙර අරවින්ද ඔහු අසලට පැමිණියේය. “අර්ජු, අපි දෙන්නා මේක ඉවර කරමු. අනිත් අයට මේක තියන්න නරකයි. ඔයා දන්නවානේ ෆයිනල් එකක පීඩනය.” අරවින්ද තම නායකයාට එසේ පැවසුවේය. අරවින්දගේ ඒ වදන් අර්ජුන වෙත දැඩි අධිෂ්ඨානයක් රැගෙන ආවේය.
“අරවින්දට මේ මැච් එක තදින්ම ඔළුවට වැදිලා කියලා ඒ වෙලාවේ මට තේරුණා. හරි නම් එයා මට කියන්න කලින් මමයි ඒක එයාට කිව යුත්තේ. මම ලොකු පහරකට උත්සාහ කළ හැම වෙ‍ලේම එයා ළඟට ඇවිත් පරිස්සම් වෙන්න කියලා කිව්වා. අඩුම තරමින් අපි දෙන්නා ඕවර 45ක් වෙනකම්වත් සිටිය යුතුයි කියලා අරා කිව්වා. ඒ වගේ ටාගට් එකක් අපිට තිබුණා.”
අර්ජුන කඩුල්ලට පැමිණිමත් සමග අරවින්ද වැඩි වැඩියෙන් ලකුණු රැස් කිරීමට උත්සුක වූ මුත් ශ්‍රී ලංකා නායකයා ද ක්‍රමයෙන් පහරවල් කරා යන්නට විය. අර්ජුන පැමිණීමත් සමග මාක් ටේලර් පන්දු යැවීමට ෂේන් වෝන් කැඳෙව්වේය. වෝන් පන්දු යැවීමට පැමිණෙන විට ජයග්‍රහනය සඳහා පන්දුවට ලකුණ බැගින් ශ්‍රී ලංකා පිල ලබා ගත යුතු වූ අතර රණතුංග කෝප ගන්වමින් ඔහු වැරදි පහරකට යොමු කර ගැනීම ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නාගේ අරමුණ විය. ෂේන් වෝන් හා අර්ජුන ක්‍රිකට් පිටියේ දී දැඩි ප්‍රතිවාදීන් වූ අතර දෙදෙනා අතර බහින්බස් වීමේ අවස්ථා කිහිපයක්ම පෙර පැවති ආන්දෝලනාත්මක ඔස්ට්‍රේලියානු සංචාරය තුළදී සිදුව තිබුණි. වෝන් පන්දු යැවීමට පැමිණීමත් සමග ඒ සියල්ල එකින් එක අර්ජුනගේ මතකයට එන්නට විය. තම දීර්ඝ කාලීන තරග දිවිය තුළදී පා දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට හැමවිටම ප්‍රියතාවක් දැක්වූ අර්ජුන වෝන්ට කිසිදු බුරුලක් නොදෙමින් පහර කිහිපයක් එල්ල කිරීමට තීරණය කළේය.
“මම ඕවරයක් විතර මිනිහට ගහන්න බලන්නම්.” අර්ජුන තම උපනායකයාට කීවේය. අරවින්දට පැවසූ ආකාරයටම වෝන්ව මෙල්ල කිරීම අර්ජුන භාර ගත්තේය. දැවැන්ත හයේ පහරක් හා හතරේ පහරක් වෝන්ගේ එක් පන්දු වාරයක දී එල්ල කළ අර්ජුන වෝන්ගේ රැස් බැස්සුවේය. අර්ජුන ක්‍රීඩා පිටිය තුළ එක් අන්තයකින් එලෙස ස්ථාවර වෙද්දී අනෙක් පසින් ඉතාම හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අරවින්ද තම ශතකය කරා පැමිණියේය. එය ලෝක කුසලාන අවසාන මහ තරගයකදී වාර්තා වුණු තෙවැනි ශතකය වූ අතර ඔහුට පෙර එවැනි දක්ෂතාවක් පෙන්වා තිබුණේ ක්ලයිව් ලොයිඩ් සහ විවියන් රිචඩ්ස් පමණි. “ලෝක කුසලාන අවසාන මහා තරගයක 100ක් ගහනවාය කියන්නේ ලෙහෙසි වැඩක් ‍නෙවෙයි. නමුත් අරවින්ද ඒක කළා. ඒක සුපිරි ඉනිමක්.” අරවින්දගේ ඉනිමට අර්ජුන වටිනාකමක් දෙනුයේ ඒ ලෙසටය.
අරවින්ද ඉලක්කම් තුනේ ලකුණු සංඛ්‍යාවට පිවිසෙද්දී ශ්‍රී ලංකා පිලට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු විස්සකට වඩා අඩු ගණනකි. ඒ සඳහා ඇති තරම් පන්දු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පිල සතු වුණු අතර ජයග්‍රහණය පිළිබඳව තිබූ එකම ගැටලුව වූයේ කාලවේලාව පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ගණන එක දක්වා අඩු වූ පසු ෙදෙවෝපගත ලෙස ජයග්‍රාහී ලකුණ රැස්කිරීමේ අවස්ථාව අර්ජුනට හිමි වුණේය. “ඒක ස්වයංක්‍රියව සිද්ධ වුණ දෙයක්. 46 වැනි ඕවරය ඉවර වෙද්දී අපිට පසුගිය ගොඩාක් දේවල් සිහි වුණා. ‍‍‍ජ්‍යෙෂ්ඨයන් විදිහට අපිට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්න මතක් වුණා. විශේෂයෙන්ම ෆයිනල් එකක් ඉවර කරන්න අවස්ථාව හිමිවීම ලොකු ලැබිමක්.” අර්ජුන කියයි.
අර්ජුන ජයග්‍රාහී ලකුණු රැස් කිරීමට සැරසෙද්දී ක්‍රීඩා පිටියෙන් පිටත සිටි ලංකා ක්‍රීඩකයෝ තවත් තරගයකට සැරසෙමින් සිටියහ. ඒ සමරු සිහිවටන ලෙස කඩුලු ඉන්නක් ගලවා ගැනීම වෙනුවෙන් වූ ධාවන තරගයටය. හතරේ සීමාව ආසන්නයේ සිටි ඔවුන් බලා සිටියේ අර්ජුන ජයග්‍රාහී ලකුණ එල්ල කරන තෙක්ය. මැග්‍රාත් එවූ හතළිස් හත්වැනි පන්දු වාරයේ දෙවැනි පන්දුව තර්ඩ් මෑන් කලාපය දෙසට ‘ග්ලයිඩ්’ කිරීමත් සමග ශ්‍රී ලංකා පි‍ලේ ජයග්‍රහණය සනිටුහන් වුණු අතර ඒ සමග ක්‍රියාත්මක වූ අර්ජුන තමන්ගේ අන්තයෙහි වූ කඩුලු ඉනිවලින් දෙකක් ගලවා ගත් අතර අරවින් ද ඒ දේම තමන්ගේ අන්තයෙහි වූ කඩුලු ඉනිවලට කළේය. සිහිවටන ලෙස කඩුලු ඉනි ගලවා ගැත් සැණින් අරවින්ද හා අර්ජුන පිටිය මැද දී එකිනෙකා සිප වැලඳ ගත්හ. හතරේ සීමාව අසල සිට සිහිවටනයක් ලෙස කඩුල්ලක් ගලවා ගැනීම වෙනුවෙන් වූ ධාවනයේදී ගුරුසිංහට තැනක් ලැබූ අතර ඔහු කැමරා සවි කර තිබූ කඩුලු ඉන්න ගලවා ගැනීමට සමත් විය. අර්ජුනගේ මතකය නිවැරදි නම් මුරලි ද සිහිවටනයක් ලෙස කඩුල්ලක් ගලවා ගත්තේය. නැවත ක්‍රීඩාංගණය වෙත එන අතර තම අත වූ කඩුලු ඉනි දෙකෙන් එකක් අර්ජුන රොෂාන් මහනාමට දුන්නේය.
“මහා, මේ ඉන්න අයිති ඔයාටයි” අර්ජුන කීවේය. ඒ ලෙසටම අරවින්ද තමන් අත වූ කඩුලු ඉනිවලින් එකක් හෂාන් අත තැබිය. ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස මෙම ජයග්‍රහණයට රොෂාන් හා හෂාන්ගෙන් ලැබුණු සම්මාදම පිළිබඳ හොඳ වටිනාකමක් අර්ජුනට සේම අරවින්දටත් තිබුණි.
 ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන දෙමින් තරගය නිම වෙද්දී අරවින්ද නොදැවී ලකුණු 107ක් ලබා සිටි අතර අර්ජුන රැස් කර තිබූ ලකුණු ගණන 47ක් විය. අරවින්දගේ ඒ සුපිරි ඉනිම පන්දු 124කදී පැමිණි අතර හොඳින් කල්යල් බලා එල්ල කරන ලද හතරේ පහර 13ක් ඊට අන්තර්ගතව තිබුණි. කිසිදු ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකුට සාර්ථකත්වයක් පෙන්විය නොහැකි වූ අතර මේ තරගයේදී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අතරින් දරුණු ලෙස බැට කෑවේ ෂේන් වෝන්ය. ඔහුගේ පන්දුවාර 10 තුළදී ලකුණු 58ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූහ. සමරු සිහිවටන රැගෙන තරගය නිම කර ශ්‍රී ලංකා පිල තම විවේකාගාරයට පිවිසෙද්දී විශාල පිරිසක් ඒ අසලට එක් රැස්ව සිටි අතර ඔවුන් නැගූ ජයඝෝෂා හඬින් ඒ අවට ගිගුම් දෙන්නට විය. ක්‍රීඩකයන්ගේ පවුල්වල සමීපතමයන් සේම ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පැමිණි සිටි මැති ඇමැතිවරුන් ද ඒ අතර සිටි බව අර්ජුනට මතකය.
තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවය පාකිස්තාන අග්‍රාමාත්‍ය බෙනාසීර් භූතෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අර්ජුන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කතාවක් සිදු කළේය. අවසාන මහා තරගය පුරාවට තම කණ්ඩායම දිරිගැන්වූ පාකිස්තාන ක්‍රීඩා ලෝලීන්ට ඔහු තම කෘතවේදීත්වය පළ කරද්දී ක්‍රීඩාංගණයේ සිටි හැම කෙනෙක්ම පාහේ අත්පුඩි ගසමින් ඊට තම සතුට පළ කරන්නට වූහ. බලා‍පොරොත්තු වූ ආකාරයටම අවසාන මහා තරගයේදී සෑම අංශයකින්ම ඉහළම දක්ෂතා දැක්වූ අරවින්දට තරගයේ වීරයා සම්මානය හිමි විය.
සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගයක් අවසානයේ ජයකුසලාන පිරිනමද්දී ඒ අවට කලාපය සීමිත පිරිසකට පමණක් සීමා වන මුත් ගඩාෆි ක්‍රීඩාංගණයේ එදා ජය සංකේත පිරිනමද්දී ඒ අසලට විශාල අනාරාධිත අමුත්තන් පිරිසක් එක් රැස්ව සිටියහ. ඒ නිසාම අතිශය කලබලකාරී තත්ත්වයක් එහි පැවති අතර මේ කලබලය කෙතරම් ද කියතොත් අර්ජුන අත වූ විශේෂ ත්‍යාගයක් ලෙසින් ලැබුණු රුපියල් මිලියන 6.5ක චෙක්පත ද ඔහුගේ අතින් ගිලිහිණි. නැවත එය සොයාගත නොහැකි වූ තැන අවසානයේ එම චෙක්පත අවලංගු කර අලුත් චෙක්පතක් නිකුත් කිරීමට සංවිධායකවරුන්ට සිදුවුණි. ඒ අවස්ථාවේ පැවැති තෙරපීම නිසා හෂාන් තිලකරත්නගේ රන් දම්වැලක් ද නැති වුණ බව පසුව දැන ගන්නට ලැබුණි. නමුත් ලෝක කුසලාන ජයග්‍රහණ උණුසුම තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඒවා ඒ තරම් විශාල සිදුවීම් නොවීය.

 

 

මාතෘකා