වැඩිහිටි ජනගහන අර්බුධය සහ ඉලක්කගත සංවර්ධනය

 ඡායාරූපය:

වැඩිහිටි ජනගහන අර්බුධය සහ ඉලක්කගත සංවර්ධනය

දිගින් දිගටම මාධ්‍ය මගින් අසරණ වූ වැඩිහිටියන් යනුවෙන් තේමා පාඨ රැගත් පුවත් වඩාත් අනකම්පා සහගතව පළවීම මේ දිනවල දැකිය හැකි සුලබ තත්වයකි. මහ මග දමා ගිය වැඩිහිටියන්, නිවසක තනිකොට දැමූ වැඩිහිටියන් පිළිබඳව අනුකම්පා සහගත පුවත්, ජනප්‍රිය රැල්ලක් බවට පත්ව ඇත. එහි නියම අර්ථය අවබෝධ කර නොගත් අමුතු අනුකම්පා සහගත ස්වරුපයක හැඩයෙන් පලක් නොවේ. එය දිගු කාලිනව අවබෝධ කරගත යුතු, මගහැර යා  නොහැකි මුහුණ දිය යුතුම ගැටලුවකි.
සංවර්ධනය සාක්ෂාත් කරගැනීම වූ කලී ඉලක්කම්ගත සාධනයක් ලෙස ඵලදායී නොවන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් මෙම තත්වය තවදුරටත් පවත්වාගෙන යාමට ආසියාතික රටවල් දක්වන උනන්දුවෙහි අඩුවක් නොවේ. එසේ වුවද බටහිර යුරෝපය තුළ මානව තත්ව සහ සංඛ්‍යාන දත්ත රටා ගණනය කිරීම මඟින් ස්වකීය අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට පෙළඹී තිබේ.
මෙරට තුළ අවසන් වරට සිදුකරනු ලැබු ජන හා සංඛ්‍යාලේඛන ඇගයීම සිදුවූයේ 2012වර්ෂයේදීය. 203,504,39ක ජනගහණයක් වෙසෙන අප රට තුළ වර්තමානය වන විට මෙම තත්වය සීග්‍ර වර්ධනයක් අත්පත් කරගෙන සිටී. රට වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් දක්වනු ලබන ජනගහණය සහ ළමා ජනගහණය මෙන්ම වැඩිහිටි ජනගහනය මෙම තත්වය තුළ වෙන් වශයෙන් හඳුනාගත හැකිය. වැඩ කරන වයසේ ජනගහණය 62.4%ක්ද, ළමා ජනගහණය 25.2%ද, වැඩිහිටි ජනගහණය 12.4%ක්ද ලෙසින් මෙය සංඛ්‍යා වශයෙන් හඳුනාගත හැකිය. වැඩිහිටි ජනගහණය වඩාත් වර්ධනය වන තත්වයකට ලක්ව ඇති අතර සංඛ්‍යාලේඛන විශේෂඥයින් පෙන්වා දෙන අන්දමට ඉදිරි වසර 20 - 25 කාලය තුළ මෙම තත්වයට මුහුණදීම සඳහා නිසි ක්‍රමවේද සකස් නොකළහොත් ඌණ සංවර්ධනයක ප්‍රතිලාභ රටට හිමිවන බවයි. එබැවින් ප්‍රශ්නය නිසි ඇගයීමට ලක් කළ යුතු අතර සංවර්ධන ඉලක්ක සැකසීමෙහි දී වැඩිහිටි ජනගහණය සක්‍රීය ලෙස රටේ සංවර්ධනයට දායක කරගත යුතු ආකාරය පිළිබඳව විශේෂ එකතාවකට ලක්කළ යුතුය.
1981 වර්ෂය වන විට මෙරට වයස 60 නොඅඩු වැඩිහිටි ජනගහනය 6.6% ප්‍රතිශතාත්මක අගයක් ගෙන ඇති අතර එය 2012 වර්ෂය වන විට 12.4% අගයක් ගැනීම දෙගුණයකට ආසන්න වර්ධනයකි. ජනගහණය වර්ධනයවීමත් සමඟින් මෙවැනි තත්වයන් ඇතිවීම වළක්වාලිය නොහැකි වූවත්, ඉන් රටේ සංවර්ධනයට ලැබෙන දායකත්වය ඇගයීමට ලක් කරනු ලැබීම වටිනේය. මෙහිදී වඩාත් අර්බුදකාරී තත්වය නිර්මාණය වී ඇත්තේ 1981 වර්ෂයේ මෙරට 15–59 වයස්හි පසුවන ජනගහනයේ වර්ධනය 58.25 % පසුවීම මෙන්ම එය 2012 වන විටත් 62.4% වැනි අල්ප වර්ධනයකට සීමා වීමත්ය. වයස 15ට අඩු ප්‍රජා වර්ධනය 1981 වර්ෂය වන විට 35.2% අගයක් ගන්නා අතර, 2012 වන විට එම තත්වය 10%ක අගයකින් පහළ බැස ඇති අතර 25.2% ලෙස වාර්තා වේ. මෙවැනි තත්වයක් තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකට කවරාකාරයෙන් බලපෑම් ඇති කරනවාද යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එබැවින් වර්ධනය වන ජන අනුපාතයට සාපේක්ෂව එහි ප්‍රතිලාභය රටේ සංවර්ධනයට නොමසුරුව බැර විය යුතුවේ. එසේත් නොමැතිව බහුතර ජනගහන අනුපාතය වැඩිහිටි වූ පමණින් සිදුවන ඌණ සංවර්ධනයෙන් කිසිලෙසකින් හෝ ගැලවීමට රටක් වශයෙන් අපට නුපුළුවන.
මෙය රාජ්‍ය තාන්ත්‍රීය මට්ටමින් තීරණය කළ යුතු තත්වයකි. නිදහස ලැබූ දින සිට මේ මොහොත දක්වාම ජනගහණය ක්‍රමිකව වර්ධනයවීමත් සමඟ ගතවූ ආණ්ඩු ස්වකීය තීරණ අතරට වැඩිහිටි ජනගහනයේ ශ්‍රම ඵලදායීතාව නිසි ලෙස ලබාගැනීම පිළිබඳව නිසි අවධානයක නොසිටි බව සඳහන් කළ යුතුය.
ශ්‍රි ලංකාවේ පළමු ජන සංගණනය පවත්වා ඇත්තේ 1871 වසරේදීය. එම සං ගණනයේ දී වාර්තා වූ ජන ගහනය මිලියන 2.4කි. පළමු ජන සංගණනයෙන් වසර 141කට පසු, 2012 වසරේදී පැවති ජන හා නිවාස සංගණනයේ දී වැඩිහිටි ජනගහනය පමණක් මිලියන 2.5ක් බවට වාර්තා වේ. 1964 වසරේ මෙරට වැඩිහිටි ජනගහණය 366,154 ක්ව පැවති අතර 2012 වන විට එම තත්වය 2,520573 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම වැඩිහිටි ජනගහනය තුළ ගොඩනැගුණු ශ්‍රම විපුලත්වයද, වැඩිවියත් සමඟ ප්‍රයෝජනයට නොගෙන අපතේ හැරීම සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවල් කෙරේ සුභදායී නොවේ. යුරෝපය තුළ පමණක් නොව, නැගෙනහිර ආසියාවේ, ජපානය, චීනය වැනි රටවල් මෙම වර්ධනය වන වැඩිහිටි ජනගහනයට කඩිනම් පිළිතුරු සොයාගෙන තිබේ. විවිධ විශේෂිත තෝරාගත් වෘත්තීන් එහිදී ප්‍රමුඛ වන අතර, උදාහරණයක් වශයෙන් රියදුරු සේවය, නාගරික කෘෂිකර්මාන්ත, ස්වයං ව්‍යාපාර, පුස්තකාල සේවා නඩත්තුව, ළමා රැඳවුම් මධ්‍යස්ථාන සේවාවන්, ස්වර්ණාභරණ වෙළඳාම වැනි විශේෂිත වෘත්තීන් ඇතැම්විට අ.වු. 50 ට ඉහළ පුරවැසියන් සඳහා පමණක් සීමා කොට ඇත.
අප තවදුරටත් තීරණ සකසනුයේ වැඩිහිටි ජනගහනයේ සුරක්ෂිතතාව හෝ රැකවරණය පිළිබඳව පමණක් වීම මෙම වර්ධනය වන වැඩිහිටි ජනගහන අර්බුදයට විසඳුමක් නොවේ. එබැවින් යැපෙන්නන් නොවන වැඩිහිටි ප්‍රජාවකගේ අවශ්‍යතාව මේ මොහොතේ රටට අවශ්‍යව ඇත. ජනගහණය අතින් වර්ධිත දිස්ත්‍රික්ක රැසක වැඩිහිටි ජනගහන ප්‍රතිශතය 10%ක් ඉක්මවන බව ජන හා සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙයි. කොළඹ දිස්ත්‍රික්කය13.6%ක්ද, ගම්පහ 12.8%ක්ද, මහනුවර 18.5%, ගාල්ල 14.7%ක්ද, සහ මාතර දිස්ත්‍රික්කය14.8%ක්ද, ආදී වශයෙන් වැඩිහිටි ජනගහනය පොදුවේ වර්ධනය වී තිබේ. මෙරට වැඩිහිටි ජනගහනයෙන් පුරුෂ 44.3%ක් හා ස්ත්‍රීන් 55.7%ක්ද වශයෙන් පවතින අතර, ඒ අතරින් වැන්දඹු 20.9%ක් බවත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. වයස අ.වු. 60–74 සීමාවෙහි පසුවන්නන් 78%ක් ලෙසින්ද, 75 සහ ඊට වැඩි 22%ක් ලෙසද ඒ අතර පවතී. ආර්ථික ක්‍රියාකාරි වශයෙන් 25.2%ක් බව සංඛ්‍යා ලේඛන වාර්තා කරයි.
මෙම ආර්ථික ක්‍රියාකාරින් වශයෙන් ගැනෙන කොට්ඨාසය තුළට විශ්‍රාමිකව කල්ගත කරනු ලබන, එහෙත් ගොවිතැන සමඟ දිවිගෙවන වැඩිහිටි ප්‍රජාව අඩංගු වන්නේදැයි සැක සහිතය. නාගරික ජනගහණය බහුතරය විවේකී සුවයෙන් කල් ගෙවූවද ප්‍රායෝගිකව නාගරික වැඩිහිටි ජනගහනය තවමත් ගොවිතැන් කර්මාන්තය තුළ යෙදෙමින් මෙරට නිෂ්පාදන ආර්ථිකයට දිරිදෙයි. තරුණ පිරිස් කෘෂිකර්මාන්ත සේවාවන්ගෙන් ඈත්වීමත් ඊට සාපේක්ෂව පාරම්පාරිකව කෘෂිකර්මාන්තය සමඟ කල් ගෙවන වැඩිහිටි පිරිස් බොහොමයක්  අප ග්‍රාමීය සමාජය තුළ හඳුනා ගත හැක. වී ගොවිතැන, එළවළු බෝග වගාව ඇතමුන්ගේ ජනප්‍රිය ජීවනෝපාය මාර්ගයවේ. වැඩිහිටි සුරක්ෂිතතාව වඩාත් ප්‍රායෝගිකව, නම්‍යශීලීව ක්‍රියාත්මක කිරීමට මෙම ග්‍රාමීය පරිසරයට දායකත්වය දැක්විය හැකිය. වැඩිහිටි ප්‍රවර්ධන හෝ සුරක්ෂිතතා නිලධාරීන්ගේ නිසි ප්‍රතිපත්තිමය දායකත්වය ලබාගත යුත්තේ ආකල්පමය වශයෙන් වෙනස් වූ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වන වැඩිහිටි පිරිසක් මෙරටට හඳුන්වා දීමටයි. සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙන ආකාරයට 1981 වර්ෂයේදී මෙරට පුරවැසියන් 09 දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙකු වේ. එමෙන්ම 2012 වර්ෂය වන විට පුරවැසියන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු වැඩිහිටියෙකු වේ. මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමෙන් 2041 වර්ෂය වන විට පුරවැසියන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු වැඩිහිටියෙකු වීම වළක්වාලිය නොහේ. මෙම තත්වයට දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍ය නොවන අතර, මේ මොහොතේ පටන් පුළුල් ක්‍රියාවලියක වැඩසටහනක් අවශ්‍යව පවතී. එමඟින් ඉදිරියේදී සංවර්ධිත ලක්ෂයන් සපුරා ගැනීම පිණිස වැඩිහිටි ප්‍රජාව බලගැන්වී තිබීම වටිනේය.
වැඩකරන වයසේ සහ වැඩ කළ හැකි වයසේ නිසි වයස් සීමාව පැහැදිලිව හඳුනාගත යුතු අතර, එය ඵලදායීව යොදාගත යුතුය. ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂිකය තුළ ගත කරනු ලබන සීමාව තවදුරටත් වර්ධනය විය යුතුය. ආර්ථික අභිවෘද්ධිය හා සමාජීය අභිවෘද්ධිය ගොඩනංවාලීමේ අවශ්‍යතාව ඉන් ඉස්මතු වේ. එක්සත් ජාතීන්ගේ නිර්වචනයට අනුව යම් ජනගහනයක් ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂිකයට හිමිකම් කියනු ලබන්නේ අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ ප්‍රතිශතය සමස්ත ජන සංඛ්‍යාවෙන් 30%කට අඩුවෙන් වාර්තාවන සහ අවුරුදු 60 සහ ඊට ඉහළ වියපත් වූවන්ගේ ප්‍රතිශතය 15%කට අඩුවෙන් පවතින විටදීය. එහිදී සංවර්ධනය වූ රටවල් සිය රටේ වියපත් වූවන්ගේ සීමාව අවුරුදු 65ක් දක්වා නිර්ණය කරනු ලබන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් එය වයස අවුරුදු 60 දක්වා සීමා කොට ඇත. වැඩ කළ හැකි වයස් කාණ්ඩයන් විශ්‍රාමිකයන් ලෙස වර නැගීමේ හානිය අපටද අනුපිළිවෙළින් උරුම වී තිබේ. කෘෂිකර්මාන්තයේ වාසිය පවා අප අත හැර දමා ඇත. නමුත් හොංකොං, දකුණු කොරියාව ජපානය, මැලේසියාව, තායිලන්තය හා චීනය වැනි කාර්මික රටවල් පමණක් නොව ආසන්නයේ ඇති ඉන්දියාව පවා සිය වැඩිහිටි ජනගහනයේ ශ්‍රමය භුක්ති විඳිමින් සිටී.
දැනුම හා අත්දැකීම් හි පරිණත භාවය ලබන අතලොස්සක් වූ වෘතීන් අතරට තව තවත් එක් විය යුතු වෘත්තීන් පවතී. අධ්‍යාපනික විශ්‍රාමික ඉම, නීතීය එහිදී කැපී පෙනුණත්, මූල්‍ය, සේවා අංශයන් හා වාණිජ අංශයන්හි විශ්‍රාමික ඉම ඉහළ යා යුතුය. පොදුවේ විශ්‍රාමික වයස ඉහළ නැංවිය යුතුය. එමෙන්ම ආයෝජනය, වෘත්තීන්හි ශ්‍රමිකතාව ඵලදායීව හසුරුවාලීම, ඉතුරුම වැනි යටිතල සංකල්ප වෙත දැඩි අවධානය යොමු විය යුතුය. එවැනි තත්වයන් බැහැර කොට හුදෙක් තරුණ ජනගහණය හෝ ළමයින්ගේ අධ්‍යාපනික සාධකය හෝ දියුණු තියුණු කළද, වැඩිවන ජනගහනයේ බලපෑමෙන් මිදීමට අපට නොහැක. තරුණ පිරිස් වෙත ඉදිරි මුල්‍ය ආයෝජන සහ අවදානාත්මක තත්ත්වය අවබෝධ කරදීම සිදුවිය යුත්තකි. එළඹෙන ඉදිරි වසර 25 කාලය තුළ වත්මන් තරුණ ප්‍රජාව වැඩිහිටි ජන ගහණයට එකතු විම සිදුවේ. මුහුණ දිය යුතු සහ මගහැරිය නොහැකි තත්වය වටහා ගත යුතුය. සැබෑ අර්බුදය යථෝක්ථ පරිදි අවධාරණයට ගත හැකි වුවහොත් ජනගහණයේ එකී වයස් කාණ්ඩයන්හි නිසි ඵල විපුලතාව උපුටා ගැනීමට රටක් ලෙස අපට හැකියාව පවති.

 

[සහන් හේවා ගමගේ]

මාතෘකා