අපජලය බොන මිනිස්සු

 ඡායාරූපය:

අපජලය බොන මිනිස්සු

පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාගේ සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. කෙසේ වෙතත්, විද්‍යාඥයින් නිගමනය කර ඇති ආකාරයට 2025 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට පිරිසිදු ජලය හිඟවීමේ ගැටලුවට මුහුණ දීමට සිදුවේ. 2030 වසර වන විට, ලොව දියුණු වෙමින් පවතින රටවල, ජල සැපයුමට වඩා ඉල්ලුම සියයට 50කින් පමණ වැඩිවන බවද ඔවුහු වැඩිදුරටත් දක්වති.  
ලෝකය තුළ තත්ත්වය එසේ වන විට ශ්‍රී ලංකාවද මේ වන විට දැවැන්ත ජල අර්බුදයකට මුහුණ දී සිටී. ශ්‍රී ලංකාවේ භූමියෙන් 2/3ක්ම වියළි කලාපයට අයත් වේ. පිරිසුදු පානීය ජලය ලබාගැනීම සඳහා වියලි කලාපයේ ජනතාව මහත් දුෂ්කරතාවලට මුහුණ පා සිටිති. මෙරට සමස්ත ජනගහනයෙන් ජලනල මාර්ගයෙන්, ජලය ලබාගන්නා ප්‍රතිශතය 30% ඉක්ම නොයන අතර සෙසු ජනයා ළිං, නළළිං, ඇළදොළ, වාරි ඇළ, වැව්, වර්ෂා ජලය රැස් කිරීමේ ටැංකි හා ග්‍රාමීය ප්‍රජාමූල (CBOS) ජල යෝජනා මඟින් ජලය ලබාගනිති. එසේම මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතිවලට හානි සිදුවීමෙන් පවතින සීමාසහිත ජල සංචිතයද දූෂණයට ලක්වීම නිසා, වර්තමානය වනවිට ජන ජීවිතයේ පැවැත්මටද විශාල තර්ජනයක් එල්ල වී ඇත. එහි දැවැන්ත අර්බුදය මේ වන විට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව අත්විදිමින් සිටී.  
ඊයේ (14) මෙරට ජාතික පුවත්පතක වූ ප්‍රවෘත්තියක සඳහන් වුයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව භාවිත කරන පානීය ජලයට සියයට 100ක්ම අසූචි මිශ්‍ර වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසූ බවයි. එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වූයේ රජයේ රස පරික්ෂක දෙපාර්තුමේන්තුව විසින් ජල මූලාශ්‍ර 15ක් ඔස්සේ සිදුකරන ලද පරීක්ෂාවකදී නුවර එළිය නගරයට ජලය සපයන, නගර සභාවේ ජල මූලාශ්‍රවලට සියයට 100ක්ම අසූචි මිශ්‍රවී ඇති බවයි. මේ නිසා නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවට උදරාබාධ ඇතිවීම වැනි වසංගත රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව වෛද්‍ය සේනක තලගල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.  
මේ සම්බන්ධයෙන් රැස පුවත්පත නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය. “නුවරඑළිය කියන්නේ විදේශීය සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ප්‍රදේශයක්. ඒ වගේම වතු ජනතාවත් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. වතු ආශ්‍රිතව විධිමත් මළ ප්‍රවාහන පද්තිධයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ හේතු තමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල ප්‍රවාහන පද්ධතිය අපිරිසිදු වෙන්න බලපාල තිබෙන්නේ. විශේෂයෙන් අප්‍රේල් උත්සව මාසයේදී මේ ප්‍රවණතාව වැඩියි. නුවරඑළියට ජලය ලබාදෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකක් ති‍ෙබනවා. ඉන් එක මූලාශ්‍රයක් තමයි ජල සම්පාදන මණ්ඩලය. අනෙක් මූලාශ්‍රය තමයි නුවරඑළිය මහනගර සභාව විසින් ප්‍රජා ජල මූලාශ්‍ර මඟින් ලබාදෙන ජලය. මේ මූලාශ්‍ර දෙකෙන් අසූචි මිශ්‍ර ජලය පවතින්නේ නගර සභාවෙන් ලබාදෙන ප්‍රජා ජල මූලාශ්‍ර මඟින් ලබාගන්නා ජලයේ. මේක රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ කිහිපයකින්ම සනාථ කරලා තිබෙනවා. 2016 වර්ෂයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය දර්ශක දත්ත අනුව නුවරඑළිය කියන්නේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව සෞඛ්‍ය අතින් පහළම සිටින දිස්ත්‍රික්කයක්. මේක ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව විසින්ම පහදලා තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.  
2012 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව මධ්‍යම පළාත තුළ සියයට 12.6ක ජනගහනයක් පවතී. එය දෙවැනි වන්නේ බස්නාහිර පළාතටය. එසේම 2012 වර්ෂය වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ 711,644ක් හෙවත් සියයට 3.5ක ජන ව්‍යාප්තියක් පවතී. එම ජනගහනයෙන් වතු ආශ්‍රිතව 380,580ක් හෙවත් සියයට 53.5ක ජනගහනයක් ජීවත් වෙති. ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුව විසින් 2016 වර්ෂයේදී නිකුත් කරන ලද සෞඛ්‍ය දර්ශක වර්තාවට අනුව වතු ආශ්‍රිතව නොදන්නා මූලාශ්‍ර (Unimproved source) ආශ්‍රයෙන් ජලය ලබා ගන්නා ප්‍රමාණය සියයට 55.9කි. එය නාගරික, ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රමාණයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා අතර එම අගයෙන් සියයට 52.7ක්ම ගංගා, වැව්, ජලාශ්‍ර වැනි මූලාශ්‍ර ඔස්සේ ජලය පරිභෝජනය සඳහා ලබා ගනී. එසේම වතු ආශ්‍රිතව නල ජලය පරිභෝජනය කරනා ප්‍රතිශතය සියයට 19.7කි. ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘති හරහා සියයට 11.3ක් ජලය ලබා ගනී. මෙම දත්ත ඔස්සේද වතු ආශ්‍රිත ජනතාව අවිධිමත් ජල මූලාශ්‍ර ඔස්සේ යැපෙන බව සනාථ වේ. එසේම වතු ජනගහනයට සාපේක්ෂව මූලික යටිතල පහසුකම්, විශේෂයෙන් වැසිකිලි පහසුකම්වල අවම බවක් දක්නට ලැබේ. එක් ලැයිම් නිවසක පවුල් කිහිපයක් ජීවත් වීමත්, ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති වීමත් නිසා ඔවුන් තම ශරීර කෘත්‍ය අවශ්‍යතාව සපුරා ගන්නේ වෙනත් අවිධිමත් ක්‍රම මඟින්. ඒ ක්‍රම හරහා මධ්‍යම කඳුකරයෙන් පැනනඟින් පිරිසිදු පානීය ජල මූලාශ්‍ර අපවිත්‍රවීමක් සිදුවන බව පරිසරවේදීහු සඳහන් කරති.  
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල සම්පාදක මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු තරිඳු නිරෝෂන් මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ නුවරඑළිය ජල සම්පාදන මණ්ඩලය මඟින් සපයන ජලය සියයට 100ක්ම පිරිසිදු බවත්, නුවරඑළිය නගර සීමාවෙන් එපිට පිහිටි ප්‍රදේශයන්ගෙන් සියයට 40කට පමණ ජලය සපයන බවත්ය. එසේම නගරය තුළ ජලය සපයන්නේ නුවරඑළිය නගර සභාවේ මූලිකත්වයෙන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.  
මේ සම්බන්ධයෙන් නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස් කේ. එම්. එච්. ඩබ්ලිව් බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජලයේ අසූචි සියයට 100ක් පවතින ප්‍රවෘත්තිය අසත්‍යයක් බවත් යම් තරමකින් අසූචි මිශ්‍රවී ඇති බවට වසර කිහිපයක සිට අනාවරණය වී ඇති බවත්ය. “නුවරඑළිය නගරසභාව ජලය ලබාගන්නේ කඳුකර ආශ්‍රිත ජල මූලාශ්‍රවලින්. කඳුකර ආශ්‍රිතව වතු ජනතාව ජීවත්වන නිසා ඔවුන්ගේ අවිධිමත් මළපහ පද්ධති මේ ජල මූලාශ්‍රවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ පිරිපහදු ක්‍රමවල අඩුපාඩු රාශියත් තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ වගේ ක්ලෝරීන් මිශ්‍ර කරන්නේ නැහැ. ඒ වගේම ජලය ලබාගන්නා නළ පද්ධතිය පැරණි එකක් නිසා ඒවා තුළින් අපද්‍රවය, ජලයට කාන්දු වෙන්න පුළුවන්. ඒත් මේ වසර අවසන් වෙනකොට අපිට නව ජල පිරිපහදු පද්ධතියක් ජපාන රජයෙන් ලැබෙනවා. ඒක ලැබුණම මේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්න පුළුවන්.” යැයි ඔහු පැවසීය.  
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ ගැටලුව පැවතුණේ අද ඊයේ නොවන බවත් මීට මාස කිහිපයකට පෙරත්, ජලය තුළ අසූචි මිශ්‍රවී ඇති බව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකින් අනාවරණය වූ බවත්ය. “මීට මාස කිහිපයකට පෙර පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු අවස්ථාවේදී සියලු නිළධාරීන් දැනුවත් කළා මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්න කියලා. ඒත් නැවතත් ජලයේ අසූචි මිශ්‍රවෙලා තියෙනවා කියලා ඔප්පු වෙලා නම් ඔවුන් තාම මුකුත් කරලා නැති වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් නැවතත් මම අදාළ නිළධාරීන් දැනුවත් කරන්නම්.” යැයි හෙතෙම පැවසීය.  
ශ්‍රී ලංකාව ජලය හිඟ රටක් නොවේ. එහෙත් ජනගහන වර්ධනය හා ජල මූලාශ්‍ර දුෂණය වීම හේතුවෙන් හා වරින්වර සිදු වන පාරිසරික වෙනස්වීම් හා අනපේක්ෂිත නියං කාලගුණ තත්ත්වයන් මත පිරිසුදු ජලය හිඟ වීම සිදුවිය හැකිය. මීට අමතරව අපතේ යන ජලය සහ අපවිත්‍ර ජලය නැවත පිරිපහදු කොට ප්‍රයෝජනයට නැවත ගත හැකි පරිදි ගංගාවලට මුදාහැරීමේ සැලැස්මක් ජල සම්පාදන මණ්ඩලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. එමඟින් ජල ප්‍රශ්නයට යම් මට්ටමකින් හෝ විසඳුමක් ලබා දීමට හැකි වන අතර, පරිසර හානිය වැළැක්වීමටත් රටේ සෞඛ්‍ය තත්ත්වයට එල්ල වන විශාල තර්ජන හා හානිය අවම කිරීමටත් හැකි වේ. මේ ව්‍යාපෘතිය යටතේ මහනුවර, කුරුණෑගල සහ කතරගම යන දිස්ත්‍රික්ක තුන නියෝජනය වන පරිදි අපජල කළමනාකරණ ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වුවත් නුවරඑළිය නගරයේ තත්ත්වය තාමත් එසේමය.  
මීට අමතරව මෙම අපජලය සහ පාසැල් තුළ නිසි වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීම නිසා පාසැල් සිසුන්ද දැඩි දුෂ්කරතා රාශියකට මුහුණ පා තිබේ. මෙහි බලපෑම වැඩිම සිසුන්වියන්ට වේ. මේ හේතුවෙන් උදරාබාධ, වකුගඩු රෝගාබාධ වැනි කල්පවතින රෝගාබාධයන්ට පාසැල් සිසුන් ගොදුරු වීමේ අවදානම වැඩිවී තිබේ. එසේ වුවත් මධ්‍යම පළාත් සභාව විසින් 2016 වර්ෂයේ පළාත් පාලනය උදෙසා රුපියල් මිලියන 246ක් වෙන්කර ඇති අතර එහි එක් සේවාවක් ලෙස පොදු වැසිකිළි පද්ධතිය අලුත්වැඩියාව හා නඩත්තු කිරීම ඇතුළත් වේ. එසේම ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 50ක්ද වැයකර තිබේ.   
සෑම වර්ෂයකම පළාත් සභාවට ඉදිරිපත් කරන අයවැයෙන් පළාත සංවර්ධනය කිරීමට රුපියල් මිලියන ගණනක් වෙන් කළත් නුවරඑළියේ ජනතාවට බීමට සිදුවී ඇත්තේ අසූචි මිශ්‍රවී ඇති ජලයයි. යම් අයෙකුට සිතෙන්න පුළුවන් මේ ගැටලුව පවතින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් බව. නමුත් සියලු ගංගා ආරම්භ වන්නේ මධ්‍යම කඳුකරය ආශ්‍රයෙන් බව අමතක නොකළ යුතුය. ඒ නිසා මේ ගැටලුව පොදු මහත් ජනතාවටද එක සමානව විඳීමට සිදුවේ. අවසාන වශයෙන් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා 2017 වර්ෂයේ මධ්‍යම පළාත් සභාවේ අයවැය කතාව සිදු කරමින් පැවසූ එක් වාක්‍යකින් මේ කතාව අවසන් කරමි.  
“සෞඛ්‍ය, අධ්‍යාපනය, පානීය ජලය හා සනීපාරක්ෂක කටයුතු, විදුලිබලය වැනි ක්ෂේත්‍රවලින්  සෙසු පලාත්වලට සාපේක්ෂව මධ්‍යම පළාත වඩාත් ඉදිරියෙන් සිටිනවා.”  
මධ්‍යම පළාතේ තත්ත්වය මෙසේ නම් සෙසු පළාත්වල තත්ත්වය ගැන සිතාගත හැකිය. ඒ නිසා ජනතාව වශයෙන් මේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට අවශ්‍ය කාලය එළඹී තිබේ. එසේ නොවුවහොත් ඉදිරි වසර 50 තුළ දැවැන්ත පිරිසිදු ජල හිඟයකට මුහුණ දෙන එක වැළැක්වීමට සක්‍රයාටවත් නොහැකිය.

මාතෘකා