ජාත්‍යන්තරය දිනූ ශ්‍රී ලාංකික සූපවේදියා

 ඡායාරූපය:

ජාත්‍යන්තරය දිනූ ශ්‍රී ලාංකික සූපවේදියා

හිල්ටන් යනු ලෝ ප්‍රකට සන්නාමයකි. ජාත්‍යන්තර ප්‍රමිතියේ සත්කාර, ප්‍රණීත ආහාර සහ අධි සුඛෝපභෝගී පහසුකම් යනු හිල්ටන් නාමය සමඟ නිරන්තරයෙන් සිහියන නැංවෙන කාරණාය. හිල්ටන් ව්‍යාපාර ජාලය මේ වන විට ලෝ පුරා රටවල් 105ක 5200කට අධික ස්ථාන වල සිය විශිෂ්ඨත්වයේ සන්නාමය දරා සිටියි. ලොව සුප්‍රකට සන්නාම 14ක් ඔස්සේ තම සිය වටිනා අමුත්තන්/ගණුදෙනුකරුවන් වෙත ජාත්‍යන්තර ප්‍රමිතිය අභිබවන සේවාවන් සැපයීම, හිල්ටන් සමූහයේ අරමුණයි.
වසර 100ක පමණ ඉතිහාසයක් ඇති හිල්ටන් සමූහයේ මේ වන විට සේවය කරන කණ්ඩායමේ සාමාජිකයන් ගණන 380 000ක් පමණ වේ. ඒ අතුරින් හිල්ටන් තුළින් සේවාව බලාපොරොත්තු වන අමුත්තන් වෙත තම සීමාවෙන් ඔබ්බට ගොස් හෘදයාංගම සේවාවක් සපයන, තම සහෝදර සේවක මඬුල්ලේ සුබසාධනය සහ ඔවුන්ගේ වෘත්තිමය භාවය ප්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ඨ කර්තව්‍යක් සිදු කරන කණ්ඩායම් සාමාජිකයන් තෝරා ඔවුන් ඇගයීමට හිල්ටන් සමූහය 2009 වසර සිට කටයුතු කරයි.


2017 වසරේ විශිෂ්ඨ සේවාව වෙනුවෙන් පිරිනැමෙන CEO ලයිට් ඇන්ඩ් වොර්ම්ත්   (Light and warmth) සම්මානය ලැබීමට කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරන අමිල බොතේජු සමත් වී ඇත. ඔහු එම සම්මානය ලැබූ එකම ශ්‍රී ලාංකික සූපවේදියාද වේ.
අමිල දැනට කොළඹ හිල්ටන් හෝටලයේ ශ්‍රී ලාංකීය ආහාර අංශයේ සූපවේදියා ලෙස කටයුතු කරයි. ඊට අමතරව හිල්ටන් හෝටලයේ 'කරි ලීෆ් අවන්හලෙහි' ප්‍රධාන සූපවේදීයා වන්නේද ඔහුයි.
හිල්ටන් හෝටල් ජාලයට අයත් ලොව පුර සේවා ස්ථානවල සේවය කරන කණ්ඩායම් සමාජිකයන් අතුරින් ඉදිරිපත් වූ දහසකට අධික නාමයෝජනා අතුරින් සම්මානය ලැබීමට සමත් වූ 12 දෙනාගෙන් කෙනෙකු බවට පත් වූ ෙමම ශ්‍රී ලාංකික තරුණයාගෙන් ඔහුගේ වෘත්තීය ගමන් මඟ පිළිබඳව අපි විමසා සිටියෙමු.


'මම පාසලෙන් ඉවත් වෙලා මුලින්ම රස්සාවට ආවේ කොළඹ හිල්ටන් හෝටලයට. ඒ දැනට අවුරුදු 21කට කලින්. මම මුලින්ම හිල්ටන් සේවයට බැඳුනේ 'කිචන් හෙල්පර්' (මුළුතැන්ගේ සහායකයෙකු) කෙනෙක් විදිහට. හෝටලයේ දෙපාර්තමේන්තු ගණනාවක සේවය කරලා තියනවා. දැන් කොළඹ හිල්ටන් හෝටලයේ ශ්‍රී ලාංකික ආහාර අංශයේ ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරන්නේ මම.'
වසර 21ක් පුරාවට කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කර ඇති අත්දැකීම් ඇසුරෙන් එම ආයතනයේ කණ්ඩායම් සාමාජිකයන් තුළ ආයතනය ගැන තිබෙන ආකල්ප පිළිබඳද අමිලගෙන් විමසීමට අපි අමතක නොකළෙමු.
'අපි හැමෝම මෙතැන වැඩ කරන්නේ අපේ තැනක වැඩ කරනවා කියන හැඟීෙමන්. කණ්ඩායමේ හැම දෙනාම අතරේ තියෙන්නේ ලොකු සහයෝගයක්. එකිනෙකාට වැඩ කටයුතු වලදී සහය වීමට අපි පුරුදු වෙලා තියනවා. අපේ වටිනාම අරමුණ තමා අපේ අමුත්තන්ව සතුටට පත් කිරීම. කණ්ඩායම් සාමාජිකයන්ගේ තියෙන්නේ බොහොම ධනාත්මක ආකල්ප. හැමෝම අමුත්තන්ගේ සතුට සහ ආයතනයේ දියුණුව ගැන හිතනවා.

ඒ ආකල්පයට හේතුව වෙන්නෙත් අපේ ආයතනය අපට දක්වන විශේෂ සැලකිල්ල. ඒ ඔස්සේ තමා අපේ ආකල්ප වර්ධනය වෙලා තියෙන්නේ'හිල්ටන් සමූහයෙන් ලද දහසකට අධික නාමයෝජනා අතුරින් අමිල බොතේජු 2017 CEO "ලයිට් ඇන්ඩ් වොර්ම්ත්" සම්මානය දිනා ගැනීමට විශේෂිත හේතුවක් ඇතිවා විය යුතුය. ලෝකය පුරා සියලු කණ්ඩායම් සාමාජිකයන්ගෙන් 12 දෙනෙකු පමණක් එම සම්මානය ලැබීමට සුදුසුකම් ලැබුවේ නම් ඒ සියලුම දෙනා විශිෂ්ටයන් අතර විශිෂ්ටයන් විය යුතුමය. අමිල බොතේජු එම විශිෂ්ටත්වයට පත් වූයේ කෙලෙසකදැයි විමසා බැලීමට අපි උත්සුක වුෙණමු.


'කොළඹ හිල්ටන්' කණ්ඩායමේ සාමාජිකයෙකු විදිහට හෝටලයට පැමිණෙන අමුත්තන් සතුටට පත් කිරීම තමා මගෙත් ඉහළම අභිප්‍රාය. ඒ වෙනුවෙන් අපි 'ගෙස්ට් කමිටි' (අමුත්තන්ගෙ කමිටුව) පිහිටුවා තියෙනවා. ඒ හරහා අපි අමුත්තන් වෙනුවෙන් විවිධ වූ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. සංස්කෘතික උත්සව, විවිධ වූ ආහාර මූලික කර ගත් උත්සව, අමුත්තන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂිත වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව මම මූලික වෙලා 'යන්ග් කලිනරි මයින්ඩ්'(young culinary mind) කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කළා. සූපවේදියෙකු ලෙස මගේ රාජකාරිවලට අමතරව මම දෙපාර්තමේන්තු පුහුණුකරුවෙකු විදිහටත් වැඩ කරනවා'
අමුත්තන්ගේ සුව පහසුව සහ සතුට ගැන පමණක් නොවේ, සහෝදර හිල්ටන් සාමාජිකයන්ගේ සුබ සාධානය වෙනුවෙන්ද අමිල සිදු කරන වැඩ කොටස සැබැවින්ම අමිලය.


'අපේ තියනවා 'බ්ලූ එනර්ජි කමිටි' (Blue energy commitee) කියලා කමිටුවක්. ඒ හරහා කණ්ඩායම් සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරනවා. දැනට මම ඒ කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. සාමාජිකයන්ගේ විතරක් නෙමේ, සාමාජිකයන්ගේ දරු දැරියන් සතුටු කිරීමට විවිධ වූ වැඩසටහන් අපි සංවිධානය කරනවා. ඒ වගේම ස්වභාවික ආපදා අවස්ථාවලදී ඒවායින් හානියට පත් අපේ සාමාජිකයන්ගේ නිවෙස් පිළිසකර කරන්න, නැවත යථා තත්වයට පත්වෙන්න අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන්නත් මම පෞද්ගලිකවම මැදිහත් වෙලා කටයුතු කළා. ඒ වගේම අපි ආයතනික සමාජ වගකීමක් (Corporate social responsibility) විදිහට රත්මලානේ පිහිටි දෘශ්‍යාබාධිත දරුවන්ගේ පාසලේ වැඩසටහන් ක්‍රියාත්මක කළා.'
අමිල බොතේජු, තමන්ට සේවා ස්ථානයෙන් පැවරුණු එදිනෙදා රාජකාරී වලට අමතරව තමන්ගේ රට ජාත්‍යන්තරව ප්‍රවර්ධනය වෙනුවෙන්ද විශාල වැඩ කොටසක් සිදු කර ඇත. අනන්‍ය වූ සංස්කෘතියක් සහ අති අලංකෘත වූ ස්වභාව සෞන්දර්යයක් සහිත ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය කෙරෙහි ආර්ථිකයේ වැඩි බලාපොරොත්තු තබාගෙන සිටින රාජ්‍යයකි.


ශ්‍රී ලාංකීය ආහාර, ජාත්‍යන්තරව තුළ ප්‍රවර්ධනය කිරීම එලෙස වැඩි විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් ඒ හරහා රටට වැඩි විදෙස් විනිමයක් උපයා ගැනීමටත් මහඟු අවස්ථාවක් උදා කරන බව අවිවාදිතය.
අමිල බොතේජු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය වගකීම ඉටු කරමින් 2017 වසරේදී ශ්‍රී ලාංකීය ආහාර වර්ග ප්‍රවර්ධනය සඳහා පෝලන්තයේදීත්, 2018 වසරේ තුර්කියේදීත්,  ආහාර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. රට වෙනුවෙන් සිය ආයතනික වගකීම මැනවින් වටහා ගත් කොළඹ හිල්ටන් හෝටලය මෙම ප්‍රවර්ධන වැඩ සටහන් සඳහා අමිල අැතුළු පිරිසට අනුග්‍රාහකත්වය දක්වා ඇත.


2017 වසරේ හිල්ටන් CEO ලයිට් ඇන්ඩ් වොර්ම්ත් සම්මානය සමඟ ඒ සඳහා හිමි වන ඇමෙරිකානු ඩොලර් 10 000ක මූල්‍ය ත්‍යාගය අමිල බොතේජු නම් වූ අවංක ශ්‍රී ලාංකිකයාට, කොළඹ හිල්ටන් සේවක කණ්ඩායමේ ප්‍රෞඪ සාමාජිකයාට ඉදිරි දිනකදී පැවැත්වෙන අභිමානවත් උත්සවයකදී පිරිනැමීමට නියමිතය.
අමිලටත්, කොළඹ හිල්ටන් හෝටලයටත් 'රැස' සුබ පැතුම් පිරිනමන්නේ මේ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය පිළිබඳ ඔවුන් ජාත්‍යන්තරයට ගෙනයන ධනාත්මක පණිවිඩය නිසාමය. එය නිසැකවම ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනකටත් වඩා අගයක් එකතු කරනු නොඅනුමානය.

මාතෘකා