පැරණි කවි ඇසුර නොමැතිව නව කවි මඟක් බිහි වෙන්නේ නෑ

 ඡායාරූපය:

පැරණි කවි ඇසුර නොමැතිව නව කවි මඟක් බිහි වෙන්නේ නෑ

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මේ වන විට කාව්‍ය සංග්‍රහ දහයක් එළිදක්වා තිබේ. ඒ, ‘පවුරු වළල්ල’, ‘එතෙර මෙතෙර කුරුටු’, ‘ඕඝ තරණය’, ‘අසල්වැසියෝ ගොළු වූහ’, ‘ජීවක වත’ (චම්පු කාව්‍ය), ‘අමාවිල දුටු පිපාසිතයා’, ‘සුත කවි’, ‘එතෙර කවි ඇසුර’, ‘ඇදුරිඳුගේ ආගමනය’ සහ ‘නිර්නාමික අමතා’ ආදියය. ඔහුගේ ‘ඕඝ තරණය’ කාව්‍ය කෘතිය 2006 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමි කරගැනීමට සමත් විය. මේ, සරසවි ප්‍රකාශනයක් ලෙස නොබෝදා එළිදුටු ඔහුගේ ‘විශෝධා’ කාව්‍ය සංග්‍රහය මූලික කරගෙන ඔහුගේ කාව්‍ය කලාව විමසන සම්මුඛ සාකච්ඡාවකි.

ඔබේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘විශෝධා’ යි. එය පදනම් වෙන්නේ බෞද්ධ සංකල්ප මතයි.

මම අවුරුදු හයක පමණ කාලයක් එංගලන්තයේ කල් ගත කරපු කෙනෙක්. හවායි, පෝලන්තය, ඉන්දියාව වගේ රටවලත් මම ඉඳලා තියෙනවා. ඒ වගේම මම යුරෝපයේ සංචාරය කරලා තියෙනවා. වෙනත් බොහෝ අයට වඩා මට ලේඛකයෝ මුණ ගැහිලා තියෙනවා. මම ඒ අයගේ විවිධාකාර ලිපි ලේඛන කියවලාත් තියෙනවා. මේ සියල්ලට අමතරව ත්‍රිපිටකය කියවගෙන කියවගෙන යනකොට මට හිතුණා කවි සූත්‍රය නේද නිර්මාණ සම්ප්‍රදායේ මුලාශ්‍රය කියලා. “චත්තාරො මෙ භික්ඛවෙ කවි කතමෙ” යනුවෙන් කවි සූත්‍රයේ කාව්‍ය ප්‍රභේද හතරක් ගැන සඳහන් කරනවා. ඒ හතර වෙන්නේ චින්තා කවි, සුත කවි, අත්ථ කවි සහ පටිභාන කවි කියන ඒවායි. මේ කවි වර්ග හතරයි, කවීන් වර්ග හතරයි හැර වෙනත් කවියක් හෝ කවියෙක් නෑ. ඉතින්, බුදුසමය කවි සමයක් නේද මේ උගන්නලා තියෙන්නේ? වෙන කිසිම ආගමක උගන්නලා නෑ ඕක. කෙනෙක් ඇහුවොත් මගෙන්, ඔබ කවිය පිළිබඳව දෙන නිර්වචනය කුමක්ද කියලා, බුදුන් වහන්සේ ඒක දීලා ඉවරයි කියලා මම කියනවා. ඒ නිසා මෑත කාලයේ මා රචනා කරන සියලු කවි නිර්මාණ බොහෝ දුරට පදනම් වන්නේ බුදුසමය මතයි.

කවියට විශේෂ කවි බසක් තිබිය යුතු යැයි ඔබ විශ්වාස කරනවාද?

කවියට විතරක් නෙවෙයි ආමන්ත්‍රණයකදි වුණත් වෙනම බසක් තියෙනවා. ඒ නිසා කවි බසක් කියලා දෙයක් තියෙනවා.

සිය පින් සිරින් සරු

දෙතිස් ලකුණෙන් විසිතුරු

කෙළෙසුන් කෙරෙන් දුරු

වදිම් මුනි උතුමන් තිලෝගුරු

ඔය ටිකම, “ශත පුණ්‍ය ධර්මයන්ගේ බලෙන්ද, තෙදිස් පුරුෂ ලක්ෂණයන්ගේ බලයෙන්ද...” යනාදී වශයෙන් සංස්කෘත මිශ්‍ර කරලා කිව්වොත් හදවතට දැනෙන්නෙ නෑ. ඒ නිසා කවියා මුදු වදන් භාවිතයට හුරු වෙන්න ඕනෙ. ඕක අපට හුරු කරලා දෙන අපේ පැරණි කවියෝ දෙන්නා වෙන්නේ වෑත්තෑවේ හාමුදුරුවොයි, ශ්‍රී රාහුල හාමුදුරුවොයි. ඒ දෙන්නා තරම් ඕක ප්‍රගුණ කරපු වෙනත් කෙනෙක් නෑ. කවිය අන්තිමේදී ගීතයක් වෙනවා. කවිය චින්තාවලියක් වෙනවා. පරාක්‍රම කොඩිතුවක්කු ඔය වැඩේ වටහාගෙන තියෙනවා. ඒ නිසා ඔහු කවියා ඉක්මවා චින්තකයා වෙලා. ඔහුගේ හඬ බොහෝ දුරට ඇහෙනවා. ඒක ඈත අතීතයෙන් රැව් දී නැගෙන හඬක් වගේ. නමුත් දැන් දැන් පුවත්පත්වල පළ වෙන්නේ ‘සින්තටික්’ හෙවත් කෘත්‍රීම කවියි. ඒවා එක එක නාමයන්ගෙන් හඳුන්වනවා. සැකෙවි කවි, සංක්ෂිප්ත කවි හෝ කිසිම අර්ථයක් නැතුව නිසඳැස් කවි කියලා ඒවාට කියනවා. ඒවා එක එක ගුරුකුලවලට අයිතියි කියලාත් කියනවා.

ඔහොම ගිහිල්ලා දැන් අපිට පේනවා අපි හතරමං හන්දියකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැනෙනවා ආපසු සොයාගෙන යා යුතු ගමනක් තියෙන බව. මේ ගමන නොගොස් කවි බස හොයාගන්න බෑ. මහගම සේකර එහෙම ගිය කෙනෙක්. ඔහු වෑයම් කළා නව කවි බසක් හදන්න. ගුණදාස අමරසේකරත් එහෙම වෑයම් කළා. ඔවුන් බොහෝ දුරට සාර්ථක වූ බව පේනවා. උදාහරණ වශයෙන් ඔවුන්ගේ පොත් දෙකක් ගන්න පුළුවන්. එකක් සේකරගේ ‘නොමියෙමි’. අනෙක් එක අමරසේකරගේ ‘අමල්බිසෝ’ . ඊට පස්සේ ආපු හුඟ දෙනෙක් අනුකාරක කවීන් බවට පත් වුණා. ඔවුන් තම ගුරුවරයා කරගත්තේ සමකාලීන අය ලියන කවියි. ඒ නිසා පොඩි ඇබැද්දියක් වුණා. කිසිම රටක පැරණි යහපත් කවීන්ගේ ඇසුර නැතුව නව කවි මඟක් බිහි වෙන්නේ නෑ. නිදර්ශනයක් ගත්ත හැකි ඇමෙරිකාවෙන්. වෝල්ට් විට්මන් කෙනෙක් නොවන්නට එමිලි ඩිකින්සන් කෙනෙක් බිහි වෙන්නේ නෑ. එමිලි ඩිකින්සන් කවි දහස් ගණන් ලියපු කිවිඳියක්. නමුත් ඈ වහල් කරගත්තේ, ඇගේ ගුරු තැන්හි තබාගත්තේ වෝල්ට් විට්මන් කවියාව. වෝල්ට් විට්මන් කවියා තමන්ගේ ගුරු තැන්හි තබාගත්තේ ජෝන් මිල්ටන් කවියාව. ලංකාවේ උදාහරණ ගන්නවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර තමන්ගේ නිර්මාණ මූලාශ්‍ර කරගත්තේ ජාතක පොත, ජනශ්‍රැතිය, බුදුසමය. මාර්ටින් වික්‍රමසිංහත් එහෙමයි කළේ. අපේ සාර්ථකම නිර්මාණ ශිල්පියෝ ඒ දෙදෙනායි. ඔවුන්ගේ නවකතා දෙකක් ගන්න පුළුවන්. එකක් සරච්චන්ද්‍ර මහතාගේ ‘විලාසිනියකගේ ප්‍රේමය’, අනෙක මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘විරාගය’. මේ දෙකම බුදුසමයේ ශික්ෂණයෙන් ගොඩනැගුණු කතා.

ඔබ රචනා කළ ‘ඕඝ තරණය’, ‘අමාවිල දුටු පිපාසිතයා’ සහ ‘සුත කවි’ වැනි කෘති ඔස්සේ ඔබ කවිය බුදුදහම පදනම් කරගත් දාර්ශනික තලයක් වෙත ගෙන යෑමට උත්සාහ ගන්නා බවක් පෙනෙනවා?

ඒකට හේතු තියෙනවා. මෙතෙක් මම නොදුටු ප්‍රාචීනවාදී හරයක් (Oriental Value) එහෙම නැත්නම් ප්‍රාචීනවාදී සාරධර්මයක් කවියෙන් මට පේන්න පටන්ගෙන තියෙනවා. ඒ එක්කම මට පෙනිලා තියෙනවා සමකාලීන චින්තනය විශ්ලේෂණය කරන්න ඒක හොඳ මාර්ගයක්ය කියලා. කලාංග තුනක් තියෙනවනේ. චිත්‍ර ශිල්පය, සංගීතය සහ කවිය. මේ තුන තමයි අපේ යටි හිත විශ්ලේෂණය කරන මාර්ග තුන. නවකතාවේ ඒක නැහැයි කියලා මම කියන්නෙ නෑ. හොඳ කවියෙකුගේ කවියක්, ගීතයක් අරන් විශ්ලේෂණය කෙරුවොත් පෙනෙන්නේ ඔහු සාමාන්‍යයෙන් කියන පද හතරක් නෙවෙයි. ඊට වඩා වෙනස්, ප්‍රචාරය ඉක්ම වූ යටිතලයක් එතැන තියෙනවා. ගහගන්නේ, බැණගන්නේ නැතුව කියන ප්‍රකාශන ක්‍රමයක් තියෙනවා. මම ඔබට ආදරෙයි කියනවට වඩා වෙනස් මාර්ගයක් තියෙනවා. මගේ කල්පනාවේ හැටියට මෙන්න මේකයි කවියේ සුවිශේෂ ගුණාංගය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන (2006) ලැබූ ඔබේ ‘ඕඝ තරණය’ කෘතිය සම්මාන ලැබීමට තරම් නොවන බව අදටත් ඇතැමුන් කියනවා?

‘ඕඝ තරණය’ මම කිසි දාක සම්මාන ලැබෙයි කියලා හිතපු පොතක් නෙවෙයි. මම හිතන්නෙ මම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනෙ ‘ඕඝ තරණය’ විවේචනය කරපු අයට.

‘ඕඝ තරණය’ කමකට නැහැයි කියලා කෙනෙක් කිව්වා නම් මට ඇහුණෙ නෑ ඇයි ඒ කමකට නැත්තෙ කිව්වේ කියලා. හැබැයි ‘ඕඝ තරණය’ හොඳයි කියාපු මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා ඔහුගේ ආස්ථානය හරියට පැහැදිලි කරලා දුන්නා. ඔහු බොහොම බරපතළ පඬිවරයෙක්. එතකොට වෛද්‍යවරයෙක් වන සෙනරත් තෙන්නකෝන්, එතෙර රටවල්වල හිටපු අය වගේ තවත් ඇතැම් අය කිව්වා මෙන්න මිනිහෙක් අලුත් කවි මඟක් හදන්න හදනවා, එයාට ආභාෂය ලැබිලා තියෙන්නේ බොහෝ දුරට ප්‍රාචීනවාදී සම්ප්‍රදායෙන්, ඔහු අතරමං වෙච්ච මිනිහෙක් කියලා. මේ කථකයා හෙවත් මම, ඒ කියන්නේ කතුවරයා අතරමං වෙච්ච මිනිහෙක්. ඒ අතරමං වෙච්ච මිනිහාගේ විඥානයයි මේ කවිවල තියෙන්නේ. ඔහු ඕඝයක් තරණය කරන්න හදනවා. බුදුන් වහන්සේ තරණය කෙරුවට මට බැහැ කියලායි ඔහු කියන්නේ. ඔබ වහන්සේ නම් මේක ජයගත්තා. මට බැහැ. ඒ නිසා මම අසරණයි ස්වාමීනී කියලා ඔහු කියනවා. ඉතින් මේක හොඳ නැද්ද? බෝ මළුවට ගිහිල්ලා භාවනා කරන මිනිහෙක් ළඟට නළඟනක් ඇවිල්ලා ඔහුව ආකර්ෂණය කරගන්න හදනවා. ඒක හොඳ නැද්ද? හොඳ නැහැයි කියලා කියන්න බැහැනෙ. හොඳයිනෙ. එතකොට මේ මනුස්සයාගේ ආස්ථානය පැහැදිලි කරගන්න සිද්ධ වෙන්නේ ඔහු තුළ තියෙන අධිෂ්ඨානශීලීභාවයෙන් නේද? එතකොට මෙන්න ඉන්නවා ඒ වගේ මිනිහෙක්. මෙයා තමයි සමතා, මෙයා තමයි ජගතා. ඒ පොතේ තියෙන්නේ අන්න ඒ වගේ අදහස්.

සාහිත්‍ය සම්මාන ගැන ඔබේ අදහස කුමක්ද?

සම්මානවලින් නිර්මාණ දියුණු කරන්න බැහැ. මොන බොරුද? ඒ කරන්නෙත් ඔය නිකං තවත් රැකියාවක්නේ. සම්මාන තෝරලා දෙන්න ඔය පොත් කියවනවාට ගාණක් හම්බ වෙනවා. ඒ මණ්ඩලවල ඉන්නවාට ගාණක් හම්බ වෙනවා. ඕවා අපට අනුමත කරන්න බෑ.

එයින් අදහස් වන්නේ සාහිත්‍ය සම්මාන වැදගත් නැති බවද?

සාහිත්‍ය සම්මාන වැදගත්. හැබෑවටම හොඳ හේතු පාඨ දක්වලා විශිෂ්ට ගණයේ පොතකට දෙනවා නම් සම්මාන වැදගත්. හැබැයි දැන් විශිෂ්ට ගණයේ පොත් තෝරනවාය කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ. මට අවංකව හිතෙනවා ඒවා විශිෂ්ට ගණයේ පොත් නෙවෙයි කියලා. ඔය සම්මාන දිනපු පොත් මම කියෙව්වා. ඒ පොත්වලට නම් එහෙම කියන එක හොඳ නෑ. සම්මාන දීලා තියෙන ඔය සමහර නවකතා අන්තර්ජාතික මිනුමකින් ගත්තොත්, පරිවර්තනය එහෙම කෙරුවොත් ඒවට කියයි ‘රබිෂ්’ නැත්නම් කුණු කන්දල් කියලා. ඒ වචනය ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ වැඩකට නැති කුණු කන්දල් කියන එකටනෙ. මම නං ඇත්තටම මගේ කෘතියක් ආරක්ෂා කරගන්නවා. මම ලියපු ‘දඟර තරප්පුව’ නවකතාව හොඳ නෑ කියලා කවුරු හරි මට බණිනවා කියමුකෝ. මට බැන්නට මම තරහ වෙන්නේ නෑ. ‘දඟර තරප්පුව’ හොඳ පොතක්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත්, මම කියනවා ඒක නරක පොතක්ය කියලා. ඒ, මට පොත ආරක්ෂා කරගන්න ඕනෙ නිසා. ඒක මම ලිව්වා. ලියලා ඉවරයි. ඒකට සම්මාන දෙන්න කියලා මම කවදාවත් කාටවත් කියලා නෑ. ඔය ස්වර්ණ පුස්තකයට නිර්දේශ වුණාට ඒක නිර්දේශිත කෘතියක් කියලා මම පොතට දාන්නෙත් නෑ. එහෙම දාන්න ඕනෙත් නැහැ.

ඔබේ අලුත් සාහිත්‍ය නිර්මාණ කටයුතු මොනවාද?

මා රචනා කළ ‘මුදු දිය දහරක්’ කෘතිය මෑතකදී පළ වුණා. එය ප්‍රකාශයට පත් කළේ දයාවංශ ජයකොඩි මහතායි. ඉදිරියේදී ගොඩගේ සමාගමෙන් ‘අතැඹුල’ නමින් මගේ අලුත් කෘතියක් පළ වීමට නියමිතයි. එය එක්තරා පුවත්පතක හැම සඳුදා දවසකම පළ කළ තීරු රචනා එකතුවක්. එයට අමතරව මේ වන විට සරසවි පොත් ප්‍රකාශකයෝ මගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘විශෝධා’ නමින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

බටහිර සාහිත්‍ය නිර්මාණ සම්ප්‍රදායන් ගැන ඔබේ අදහස කුමක්ද?

බටහිර සාහිත්‍යය සහ ඒ සම්ප්‍රදායන් නිතර ඇසුරු කරන කෙනෙක් හැටියට ඒවායේ විශාල වැදගත්කමක් තියෙනවා කියලා මම හිතනවා. බටහිර සාහිත්‍යය ඇසුරු කිරීමෙන් මාත් විශාල පෝෂණයක් ලැබුවා. මම ඉංග්‍රීසි උගතෙක්නෙ. හුඟ දෙනෙක් හිතන්නෙ සිංහලට වඩා මට ඉංග්‍රීසි පුළුවන් කියලයි. කාරණේත් ඇත්ත තමයි. අපට ඉංග්‍රීසි උගන්වපු අපේ ගුරුතුමන්ලා අපට මොන තරම් පෙළඹවීමක් කෙරුවද කිව්වොත් අපි ඉංග්‍රීසි ශාස්ත්‍රීය විදියට හැදෑරුවනෙ. මට කඩපාඩමින් රොබට් ෆ්‍රොස්ට්ගේ කවි කියවන්න පුළුවන්. ජෝන් මිල්ටන්, ඩබ්ලිව්. බී. යේට්ස්, එමිලි ඩිකින්සන්, ඩබ්ලිව්. එච්. ඕඩ්න්, ටී. එස්. එලියට් වගේ කවිකිවිඳියන්ගේ කවි කටපාඩමින් කියන්න මට පුළුවන්. හැබැයි ඔවුන්ගේ නිර්මාණවලින් අපේ බොහෝ අය නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ කියලයි මම නම් හිතන්නෙ. ආපහු හැරිලා බලනකොට අපි නතර වෙච්ච තැනක් තියෙනවා. එහෙත් ඒ නිර්මාණකරුවන් දිගටම දුර ගමනක් ගියා. ඔවුන් ලෝකයේ විවිධ චින්තන ධාරාවන්ගේ ආලෝකය ලබාගත්තා. පෙරදිග චින්තනයෙන් පවා ඔවුන් බොහෝ දේ ලබාගත්තා. ටී. එස්. එලියට් තමන්ගේ කවි කෙත පෝෂණය කරගත්තෙ උපනිෂද් කියවලා. මම හිතන විදියට නම් ජෝන් මිල්ටන් පවා බයිබලය බරපතළ විදියට කියෙව්වා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා