කාසී නැතිව වීසි ‍ෙවන සර්කස් ජීවිත

 ඡායාරූපය:

කාසී නැතිව වීසි ‍ෙවන සර්කස් ජීවිත

මේ ලෝකේ හරිම පුදුම තැනක්. එහෙම වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු එකින් එක හාරවුස්සලා බලනකොට එක්තරා තැනක නතර වෙන්න පුළුවන්. මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්න කොයි තරම් නම් දේවල් කරනවාද? ජීවත් වෙන්න පනං දෙක තුනක් හම්බ කරන්න මොන තරම් කැප කිරීම් කරනවා ද? සමහර විට ඒ කැප කිරීම් කරන්නේ ජීවිතයෙන් වෙන්නත් පුළුවන්. මතුපිටින් බලන ලෝකයට වඩා ඇතුලතින් ඇස් දෙක ඇරලා බැලුවොත් අපිට එහෙම මිනිස්සු ඕනේ තරම් හම්බ වෙනවා.

මිනිස්සු ජීවත් වෙන්න එක එක දේවල් කරන අතරේ ජීවිත අවදානමක් අරගෙන ඒකෙන් බඩ වියත රැක ගන්න හරි හම්බ කරන කොටසකුත් ඉන්නවා. ඒ තරම් අටුවා ටීකා ඕනේ නැහැ. මේ කියන්නේ සර්කස් ශිල්පීන් ගැන. ජීවත් වෙන්න ජීවිත අවදානමක් ගන්න, ජීවිතේ අවදානමත් එක්ක ගත කරන මිනිස්සු කොටසක් තමයි සර්කස් ශිල්පීන් කියන්නේ. ඒ නිසා කවුරුත් දන්න කවුරුත් කැමති අවදානමත් එක්ක ජීවත් වෙන සර්කස් ශිල්පීන් ගැන වංහුං හොයලා බලන්න අපි තීරණය කළා.

සර්කස් කියපු ගමන්ම ලොකු කුඩා හැමෝටම මතක් වෙන්නේ විශාල සර්කස් කූඩාරම තුළ සංදර්ශන පවත් වන වෛවාරණ ඇඳුමින් සැරසුණු පිරිස. ත්‍රාසය, භීතිය හා කුතුහලය මේ ඔක්කොමත් එක්ක නරඹන්නාගේ ලොමු දැහැ ගන්වමින් ඔවුන් තමන්ගේ ශිල්ප දක්වනවා. ලංකාවට සර්කස් මුලින්ම එන්නේ චීනයෙන් සහ රුසියාවෙන්. ලංකාවේ පනහ හැට දශකවල තිබුණු ජනප්‍රිය විනෝදාත්මක අංගයන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි වන්නේ සර්කස් සංදර්ශනවලට. සර්කස් පැසිපියා, චීන සර්කස්, විජය සර්කස් ආදී නොයෙකුත් නම්වලින් හැඳින්වූ සර්කස් කණ්ඩායම් එකල බහුල වූවාට වර්තමානයේ සර්කස් කණ්ඩායම් පවතින්නේ ඉතා අතලොස්සක්.

ඒ අතරින් අපිට හරි අපූරු පුද්ගලයෙක් මුණ ගැහුණා. ඔහු නමින් දයානන්ද ප්‍රීතිලාල්. ඒත් ඔහුව සර්කස් කණ්ඩායමේ හැමෝම හඳුනන්නේ 'ලාල්' නමින්. කුඩා කලයේ සිට සර්කස් කණ්ඩායමක සේවයේ නිරතව වර්තමානයේ තමන්ගේම කියලා කණ්ඩායමක් නිර්මාණය කරගෙන 'සකුරා සර්කස්' නමින් සර්කස් සංදර්ශන පවත්වමින් ගමින් ගමට යන දයානන්ද මහත්මයා ඔහුගේ කතාව අපිට කිව්වේ මෙහෙම.

"මම සර්කස් කරන්න පටන් ගත්තේ අවුරුදු 14න් විතර. දැන් අවුරුදු 35ක් මම සර්කස් කරනවා. මගේ ගම සීදුව. අපේ ගමට සර්කස් කණ්ඩායමක් ආවා 'සර්කස් ඔෆ් ද මූන්' කියලා. ඇත්තටම ඒක 1988 ඔස්කාර් සම්මාන ගත්ත චිත්‍රපටියක්. එකේ රඟපෑවේ ලංකාවෙයි හංගේරියාවෙයි සර්කස් ශිල්පීන්. එයාලා ඒ චිත්‍රපටියේ රඟපාලා ලංකාවට ආවට පස්සේ මුලින්ම තිබුණු සංදර්ශනේ අපේ ගමේ තිබුණේ. ඒක බලන්න ගියාම මට ආසාවක් ඇති වුණා. ඊටපස්සේ මම ඒ අයගේ කණ්ඩායමට ගියා. "

සර්කස් කියන්නේ අපි හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. සර්කස් කියන්නේ එක්තරා ආකාරයක ක්‍රීඩාවක්. අවශ්‍ය වුණු පමණින් සර්කස් කාටවත් හදාරන්න බැහැ. ඒකටම වෙන් වුණු එක්තරා සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා දයානන්ද මහත්මයාගෙන් සර්කස් හදාරන ක්‍රමවේදය ගැන විමසුවා.

"සර්කස් ඉගෙන ගන්න කලින් මට කාලයක් සර්කස් එකේ වැඩ කරන්න සිද්ධ වුණා. සර්කස් එකේ ගේට්ටුවේ වැඩ කළා, ටිකට් කැඩුවා, කුස්සියේ වැඩ කළා, සෙල්ලම් බඩු හයි කරන තැන වැඩ කළා. පිටින් ආපු අයට සර්කස් උගන්නන්නේ නැහැ. ඉස්සර ඉඳන් කරපු පාරම්පරික අයට විතරයි මේක ඉගැන්නුවේ. ඒත් මම රෑට රෑට කණ්ඩායමේ කට්ටිය නිදාගත්තාම හොරෙන් තනියම පුරුදු වුණා. ඊටපස්සේ එයාලා දැනගත්තා මට සර්කස් කරන්න පුළුවන් කියලා. එතනින් පස්සේ තමයි මට සාස්තරේ කියලා දුන්නේ."

ඕනෑම රැකියාවක් තුල උප සංස්කෘතියක් තියෙනවා. සර්කස්වලටත් ආවේනික වුණු උප සංස්කෘතියක් තියෙනවා. ඒක ඔවුන් හදාගෙන තියෙන්නේ සර්කස් ශිල්පයේ පැවැත්ම හා අනාගතය ගැන ගන්න තීරණ අනුව. දයානන්ද මහතා කියූ ආකාරයට සර්කස් කණ්ඩායමක් තුළ සර්කස් ශිල්පියෙක් හැටියට පුහුණු කරන්න කලින් ඔහුගේ හෝ ඇයගේ චර්යාව අධ්‍යනය කරනවා. සර්කස් සඳහා තියෙන ඇල්ම, ආදරය, සර්කස් කලාව ඉදිරියට ගෙන යන්න පුළුවන්ද බැරිද යන වග මේ සියල්ලම අධ්‍යනය කරලයි සර්කස් ශිල්පියෙක් ලෙස පුහුණු කිරීම් ආරම්භ වෙන්නේ. හොඳ සර්කස් ශිල්පියෙක් වෙන්න නම් වසර 10ක්වත් පුරුදු පුහුණු වීම් වෙන්න ඕනේලු.

සර්කස් කියන්නේ කලාවක්. ඒක හැමෝටම කරන්න බැහැ. ඒකට යම් කෙනෙකු සතුව ප්‍රගුණ කරපු ගුණාංග පවතිනවා. දයානන්ද මහත්මයා ඒ ගැන අපිට කිව්වේ මේ විදිහට.

"සර්කස් කරන්න හැමෝමට බැහැ. ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. සර්කස් කියන්නේ අවදානමක් එක්ක කරන ක්‍රීඩාවක්. ඒ අවදානම ගන්න හිතේ ධෛර්යයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ ශිල්පය ගැන මනා අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕනේ. "

මේ මිනිසුන් රැකියාව කරන්නේ තමන්ගේ ජීවිතමය අවදානම් කරගෙන. සර්කස් සංදර්ශනයක් වඩ වඩාත් උද්‍යෝගිමත් වෙන්නේ සර්කස් ශිල්පීන් දක්වන ශිල්ප ක්‍රමවල තියෙන අවදානමේ ඉහල යාමේ සම්භාවිතාවය අනුව. ඒ නිසාම ජීවිතය පරදුවට තියලා විවිධ අවදානම් සහගත ක්‍රියාකාරකම් සිදු කරනවා. මේ ජීවිත අවදානම ගැන දයානන්ද මහත්මයාගෙන් අහන්නත් අපි අමතක කළේ නැහැ.

"සර්කස් කියන්නේ ඉතින් කොහොම කළත් අමාරු වැඩක්. අවදානම ගන්න බලාගෙනම තමයි හැමෝම සර්කස් කරන්නේ. ඕනෙම සර්කස් ශිල්පියෙක් එක වතාවක් හරි වැටිලා තියෙනවා. මමත් තනි ඔන්චිල්ලාවෙන් වැටිලා මාස තුනක් හතරක් එකතැන ඉඳලා තියෙනවා. ඒත් සර්කස් ශිල්පියෝ වැටුණා කියලා පහුබහින්නේ නැහැ. ආයිමත් නැගිටිනවා. "

ඉස්සර සර්කස් කියන්නේ හොඳට ලාභ ලබන ව්‍යාපාරයක්. නමුත් වර්ථමානයේ අනෙකුත් විනෝදාත්මක අංගත් එක්ක සර්කස් හැමෝටම අමතක වෙලා. සර්කස් සංදර්ශනවලින් ලබන මූල්‍යමය වටිනාකම් ගැන දයානන්ද මහත්මයා අපිට මේ වගේ කතාවක් කිව්වේ.

"මට මුලින්ම සර්කස් එකෙන් ලැබුණේ දවසකට රුපියල් 10යි. දැන් අපි අපේ ශිල්පීන්ට ඊට වඩා ගෙවනවා. දවසකට එයාලට රුපියල් 2500ක් අපි දෙනවා. ටිකට් එකක් රු. 100 - 150 දෙන්නේ. ඒකෙන් ආණ්ඩුවට 25%ක් විනෝද බද්ධ ගෙවලා, ලයිට්වලටයි වතුරවලටයි, ඉඩමටයි ගෙව්වාම අපිට අතට එන්නේ සොච්චමයි. වෙසක් පොසොන් කාලෙ තමයි අපේ සීසන් කාලේ. ඒ කාලෙට ටිකක් වැඩියෙන් හම්බු කරන්න පුළුවන්. සර්කස් එකක් ගමක අඩුම ගාණේ දවස් 15කට වැඩිය තියෙනවා. සීසන් කාලේට නං සතියයි අපි ඉන්නේ. "

ඒ ඔවුන්ගේ ජීවිතවල හැටිය. ජීවිත අවදානමක් ගෙන අන් අයව විනෝදයෙන් තියන්න ආණ්ඩුවටත් බදු ගෙවන්නට ඔවුන්ට සිද්ධ වෙලා ඉවරයි. දයානන්ද මහත්මයාගේ ඒ වචනවලින්ම වත්මන් සර්කස් කලාවේ ඛේදවාචකය ඔබට වැටහෙනවා ඇති. ඒ නිසාම සර්කස් කලාව මේ වන විට මූහුණ දෙන අභියෝග ගැන ඔහුගෙන් විමසන්න තීරණය කළා.

"සර්කස් එකක් ගමකට ගෙනියන එක තමයි අපිට තියෙන ලොකුම ගැටළුව. ඒකට පළාත් සභාවෙන්, පොලීසියෙන්, රාජ්‍ය ආයතනවලින් අවසර ගන්න ඕනේ. ඒකට ලොකු රස්තියාදුවක් වෙන්න ඕනේ. ඒ විතරක් නම් කමක් නැහැ. ඒ නිලධාරීන්ට සන්තෝසම් දෙන්නත් වෙනවා අපිට. ඒ විතරක් නෙමෙයි. ඡන්දයක් තියෙන කාලෙට ඡන්ද කොමසාරිස්ගේන අවදර ගන්න ඕනේ. ඔක්කොම ටික ලෑස්ති කරගෙන ගමකට සර්කස් එක ගෙනාවාම ගමේ චණ්ඩි අපිට සද්දේ දාන්න එනවා. සමහර මිනිස්සු අපි දිහා බලන්නේ වපර ඇහෙන්. හැමෝගෙන්ම අවලාද අපහාස අහගෙන තමයි අපි මේක කරන්නේ. "

සර්කස් සංදර්ශන බලා සිත් සතන් පිනවනවා තරම් ඒ සංදර්ශන පවත්වන එක ලේසි පහසු නැහැ. අභියෝග ගොන්නකට මුහුණ දෙමින් ඔවුන් නරඹන්නන්ට ත්‍රාසය, භීතිය, සතුට ලබාදෙනවා. දයානන්ද මහතා කියූ ආකාරයකට කිසිදු රජයකින් ඔවුන්ට කිසිදු සහනයක් හෝ රක්ෂණයක් මේ වන තෙක් ලබාදීලා නැහැ.

කොහොම වුණත් සර්කස් කියන්නේ ටිකෙන් ටික හැමෝගෙම මතකයෙන් ගිලිහිලා යන විනෝදාත්මක අංගයක්. තාක්ෂණික ලෝකයේ සියල්ලම ඩිජිටල්කරණය වෙමින් පවතින යුගයක ඒ ඔස්සේ වින්දනාත්මක මාධ්‍යන් බිහිවෙමින් පවතින යුගයක සර්කස් ලොකු කුඩා කාගෙත් මතකයෙන් ඉවත් වෙමින් යනවා. ඒ ගැන දයානන්ද මහත්මයා කතා කළේ බොහොම කනගාටුවෙන්.

"දැන් හැමෝටම සර්කස් බලන උනන්දුව අඩුවෙලා. ඒ නිසා හොඳ සර්කස් ශිල්පීන් සර්කස් අතඇරලා යනවා. ඒක අපිට ලොකු පාඩුවක්. දැන් ඉන්න තරුණ ළමයින්ටත් මේක ඉගෙන ගන්න උවමනාවක් නැහැ. මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. එයාලා මේ සාස්තරේ ගැන ඒ තරම් උනන්දුවක් නැහැ. ඒ හැරත් දැන් ඉන්න ළමයින්ට මේක ඉගෙන ගන්න තරම් හොඳ මානසික මට්ටමක් නැහැ. එයාලට තරුණකම තිබ්බට මේවා කරන්න ජවයක් හිතේ හයියක් නැහැ. "

ජීවිතයම සර්කස් එකක් කරගෙන සිටින වර්තමාන තාරුණ්‍ය ගැන දයානන්ද කියන්නේ ඒ වගේ කතාවක්. ඒ කතාව සියයට සියයක් ඇත්ත. විසිරුණු මානසිම මට්ටම් සහිත තාරුණ්‍යක් සිටින කීබෝඩ් එකෙන් බැඳීම් හඳාගන්න තාරුණ්‍යක් ඉන්න ලංකාව වගේ රටක සර්කස් ඉගෙන ගන්නට තාරුණ්‍යයේ උනන්දුව අල්පයි.

සර්කස් කියන්නේ ගැහැණු පිරිමි කාටත් පොදු කලාවක්. බහුතරයක් පුරුෂ පක්ෂය නියෝජනය කළත් ඕනෑම සර්කස් කණ්ඩායමක කාන්තාවන් දෙදෙනෙකු හෝ අවම වශයෙන් ඉන්නවා. සකුරා සර්කස් කණ්ඩායමේත් සියලු වැඩකටයුතුවලට සහය වෙන සර්කස් ශිල්පිනියක් ඉන්නවා. ඇය නමින් විමලා රංජනි. නමුත් ඇයව හැමෝම දන්නේ 'රාණි' කියන නමින්. දයානන්ද මහත්මයාගේ බිරිඳ වන ඇගෙන් සර්කස් කලාව ගැන අදහස් විමසන්නත් අපි අමතක කළේ නැහැ.

"මම සර්කස් කරන්න ආවේ අවුරුදු පහෙන්. මගේ අම්මා තාත්තා නැහැ. පොඩි කාලේ ඉඳන්ම මගේ ජීවිතේ වුණේ සර්කස් කණ්ඩායම. ගෑනු මේවා කරන්න බය වුණාට මම පොඩි කාලේ ඉඳන් ආස කළේ සර්කස් කරන්න. 'ලාල්' ව මුණගැහෙන්නෙත් මට මේ සර්කස් නිසා තමයි. දැන් මට දරුවෝ‍ දෙන්නෙකුත් ඉන්නවා. ඒත් මම තාමත් සර්කස් කරනවා. "

දිවා රෑ නොබලා මිනිසුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන ඔවුන්ගේ කතාව එසේය. සර්කස් යනු ඔවුන්ගේ ජීවිතයමය. බලා සැනසෙන අපට වඩා ඔවුන්ට කියන්නට කතා බොහෝය. දයානන්දලා රාණිලා වගේ ජීවිත අවදානමත් එක්ක ජීවිතය ගැට ගහන හැමෝටම පොදුය. සර්කස් කලාවෙන් ජීවත් වීමේ කලාව ප්‍රගුණ කරන ඔවුන්ගේ ජීවිතය සුවිසල් සර්කස් කූඩාරමෙන් එහා ලෝකයට දිව යන්නේ නැත. ඔවුන්ගේ ලෝකය සැදී ඇත්තේ එතනය. සියල්ලන්ගේම ගැරහුම් රැවුම් මැද, ජීවිත අවදානම මැද ඔවුන් දහසක් නෙත් සතන් සතුටෙන් ත්‍රසයෙන් ප්‍රීතියෙන් නහවනවා ඇති.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා