හැත්තෑ පස් වසරක් වලව්වක මෙහෙවර කළ මුතුමැණිකා දර මඩුවකින් හමුවෙයි

 ඡායාරූපය:

හැත්තෑ පස් වසරක් වලව්වක මෙහෙවර කළ මුතුමැණිකා දර මඩුවකින් හමුවෙයි

ඒ දිනය ඊයේය. ස්ථානය මාවනැල්ල රජයේ රෝහලයි, වාට්ටු අංකය අටය. එහි කොනකට වන්නට පිහිටි ඇඳක මලානිකව වැතිර සිටියේ වියපත් කාන්තාවකි. ඇඳේ එහා මෙහා පෙරලෙනු හැර මේ රෝගියා කෙරෙන් පෙනෙන වෙනත් විශේෂයක් නැත. විදුලි පංකාවේ සුළඟින් ඒ මේ අත සෙළවෙන ඇය වැතිර සිටි ඇඳට ඉහළින් වූ ඇද හිසපත හැරෙන්නට ඇයගේ තනි නොතනියට ද පණ ගැහෙන කෙනෙක් නැති සැටියකි. ඇය එතරම්ම නිහඬය. එහෙත් මේ රෝගිනිය සම්බන්ධයෙන් ඇසෙන්නට වූයේ නම් හද කකියවන කතාවක්මය.

ඒ අනුව ඇය අවුරුදු හතේ පටන් වියපත් වනතුරුම මොල්ලිගොඩම පිහිටි වළව්වක බැල මෙහෙවර කළ තැනැත්තියකි. දැන් ඇයගේ වයස අවුරුදු හැත්තෑ පහකි. එදා මෙදා තුර මේ අසරණිය ඉටු කොට තිබුණු එකම කටයුත්ත වන්නේ අනුන්ට බැල මෙහෙවර කිරීමය. මුලින්ම මේ වළව්වේ හිමිකරු බව කියන ඉඩම් හිමි වැවිලිකරුට සහ ඔහුගේ බිරියටය. ඉනික්බිතිව ඔවුන්ගේ දරු තිදෙනාටය. ඒ සියල්ලන්ට උයා පිහා දී ඔවුන්ගේ කැත කුණු සෝදා පිරිසුදු කරදීමට අපේ කතානායිකාවගේ ජීවිතයම ගෙවිණ. එහෙයින් ඇයට අනුන්ගේ ආදරයක් හිමිවුණු ළමා කාලයක් නොවීය. ඊටම ඈදුණු සුන්දර පාසල් කාලය ද මේ වළව්වේ පින්වතුන් ඇයගෙන් උදුරාගෙන ඇති බවක් පොලීසිය සේම ගැමියන් ද කියන්නක්ය.

එතැනින් එහාටත් ඇයගේ මනුස්ස ජීවිතයට උරුම තරුණ කාලය ද මේ වළව්කාර උත්තමයන්ට බැල මෙහෙවර කිරීම පිණිසම මේ අහිංසකාව කැපකළ බවටත් මොල්ලිගොඩ ගමේ ගැමියන් හුඟ දෙනකු ජීවමාන සාක්ෂිකරුවන්ව සිටිනවාය. තරුණ ජීවිතයෙන් පසු මැදිවියේදීත් එකම වළව්වක එකම හාම්පුතෛකුගේ මුළු සනුහරයටම බැල මෙහෙවර කරනු මිසෙක ඇය ඉටු කරගත් තමන්ගේ කියා දෙයක් නම් නැත. ඒ තරමටම මනුස්සයකුට නොව සතකුටවත් හිමි තරමේ අයිතිවාසිකමක් මුතුමැණිකාට නම් ලැබී නැත්තේය. එහෙත් ඇයගේ හාම්පුතුන් නම් ඉඩම් හිමි වැවිලිකරුවන්ය. මාවනැල්ලේ මොල්ලිගොඩ පදිංචි සත් ගුණවත් ශ්‍රද්ධාවන්තයින්ය. ඔවුන් පදිංචි වළව්ව ඉදිරිපිටම ඇත්තේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාවකි. ඉඳින් මේ සියල්ල සිදුවන්නේ ඒ බුදු පිළිම වහන්සේට පිටුපා ඉදිව තිබෙන මන්දිරයේය.

ගම්මු හුඟ දෙනකු වළව්වේ ඇත්තන් ඇයව කෙසේ හැඳින්වූයේ දැයි කියන්නට දන්නේ නැත. සිරකාරියක නැතිනම් වහලියක ලෙසින් අත් පා වාරු නැතිවන තුරු ඇය වළව්වට කැඹුරූ වග නම් ගම්මු නිතිපතා දුටුවෝය. ඒ නමුත් ඇය නමින් මුතු මැණිකා බවත් කුරුණෑගල පැත්තෙන් කුඩා කලම මේ වලව්වේ ඇත්තන් ඇයව කැඳවාගෙන විත් තිබෙන බවත් මේ තැනැත්තිය වළව්වේ ඇත්තන්ට දුරින් නෑකම් කියන්නියක් වගත් ගම්මුන්ගෙන් අසන්නට ලැබෙන්නේය. ඒ දරුවකු වාගේ හදා වඩා ගන්නා බවට වන පොරොන්දු ඇතිවය. එහෙත් ඇය විසූ වළව්වේ හිමිකරුවන් ඒ පොරොන්දුව ඉටු කළ වගක් නම් ඇය වියපත්වන තුරුම කෙරී නැතැයි මුතු මැණිකා පිළිබඳ දුක්බරව කතාකරන කවුරුත් කියන්නකි. ඒ කොහොම නමුත් මුතු මැණිකා රෝහලට ගෙන ආවේ පොලීසියයි. පොලීසිය ඇයව සොයාගෙන තිබුණේ ද ගමෙන්ම ලැබුණු ඔත්තුවකිනි. ඒ මාවනැල්ලේ මොල්ලිගොඩ පිහිටි ඇය විසූ වළව්වේ බලු කූඩුව ලෙස ද පාවිච්චි කළ ඉඩේ මේ මනුස්ස පරාණය ඔත්පලව වැතිර සිටින ආරංචියටය. වළව්වේ දර මඩුව ලෙස යොදාගෙන තිබෙන්නේද ඇය විසූ නවාතැනමය. කොහොමටත් පොලීසියට හිත රිදවන සිද්ධි හා බැදුණු විමර්ශනවල අඩුවක් නැත. එහෙත් මුතු මැණිකාගේ දුක්බර ජීවිතය දුටු පොලිස් නිලධාරින්ගේ සහ නිලධාරිණියන්ගේ නෙත් කෙවෙනි ද කඳුළින් තෙත් වූ බව පොලීසිය කියන්නේය.

පොලීසිය මුතු මැණිකා පිළිබඳ සැළ වී ඇය විසූ වළව්වට ඇතුළු වූ විට දකින්නේ කැඩුණු බිඳුණු බඩු මුට්ටු ගොන්නකි. ඒවා ගාල් කොට තිබුණේ තෙමුණු දිරූ ලෑලි මඩුවකය. මේ වළව්ව පිටුපසට වන්නට වූ මඩුවේම පසෙක වළව්වේ බල්ලාගේ බලු කූඩුව තිබේ. ඒ හැරෙන්නට මහ වැසිවලින් බේරෙන්නට සහ රෑට නිදන්නට අහල පහළ වල් බල්ලන්ද දිව එන්නේ වළව්වේ දර මඩුව ලෙස ද යොදාගත් මෙතැනටමය. දූවිලි ගැසුණු ඒ මඩුව ඊයේ පෙරේදා වනතුරුම මුතු මැණිකාගේ නවාතැන වී ඇත්තේය. ඇය බලු බළලු කැළ සමඟ මේ ඉඩේම කොනක වකුටුව නිදා ගත්තාය. ඇඳුම් කැඩුම් දෙක තුන ද එල්ලාගෙන එහි විසුවාය. පරණ චීත්තයකින් සහ හැට්ටයකින් විළි වසාගන්නා ඇයට ඇයගේම කියා කියන්නට යමක් වූයේ නම් ඒ ඇය නිදන පැදුර අසල නිතරම තිබෙන මළ බැඳී ගිය බෙලෙක් පිඟාන සහ කෝප්පයයි. ඒ බඳුන්වලට ද දින ගණනාවකින්ම හරිහමන් කෑමක් බීමක් වැටී නැති බව මාවනැල්ල පොලිසියෙන් ඇසේ. එතරම්ම හාමතින් රෝහලට ගෙනා මුතුමැණිකාගේ ඔත්පළකම පළවා හරින්නට තවමත් ආහාර පානවලට පමණක් නොව බේත්හේත්වලටත් නුපුළුවන්ව ඇත්තේය.

මුතුමැණිකාව ඒ අපාගත ජීවිතයෙන් මුදවා ගෙනවිත් පොලීසියේම මැදිහත් වීමෙන් රෝහලේ ගිලන් ඇඳ මත ඔසවා තැබූ විට ඇය කී දෙයකින් දොස්තරලා ඇතුළු සියල්ලන්ම පුදුමයට පත්වූහ. ඒ මුතු මැණිකාගේ කෙඳුරුමක් හේතුවෙනි. ඇය පවසා තිබුණේ අවුරුදු හැත්තෑ පහක් වනතෙක්ම මෙහෙවර කළ වළව්වේදී නම් ඇයට ඇඳක නිදා ගැනීමට වරමක් හිමි නොවූ බවය. දැරිවියක, තරුණියක වශයෙන්ද මුතු මැණිකා දශක හතකට වැඩි කාලයක් ඇයගේ දිවිය ගෙවා තිබෙන්නේ වලව්වේ අහුමුලුවලය. ඒ මිසෙක කාන්තාවක වශයෙන් ඇයට ඇයගේම කියා කාමරයක්වත් මේ සද්දන්ත වළව්වෙන් ලැබී නැත්තේය. පොලීසිය සොයාගන්නා විටත් ඇය වැටී වැතිරී සිට ඇත්තේ ඉරී ගිය පැඳුරු කඩමාල්ලකය. හාම්පුතුන්ගේ අකාරුණිකමේ මහත මුතු මැණිකා එවේලේ පොලීසියට ඒත්තු ගන්වා තිබුණේ ඊට දෙසතියකට පමණ පෙරද ඇයට මේ වළව්වේ ලොකු හාමිනේ බව කියන හාම්පුතාගේ බිරිය කොණ්ඩයෙන් ඇද අමානුෂිකව පහර දුන් බවත් කියමිනි.

මේ වළව්වට මෙහෙවර කළ මුතු මැණිකාගේ තත්ත්වයයි. එහෙත් මහලු ඇය දිරා ගිය මඩුවක වැතිරෙද්දී විශ්‍රාමික ගුරුවරියක බව කියන වළව්වේ හාම්පුතාගේ නැන්දැම්මා මේ වළව්ව ඇතුළත කාමරයක සැප පහසුකම් විඳිමින් ප්‍රතිකාර ලබද්දී මුතුමැණිකා මෙසේ අසරණව විසීම පොලිස් නිලධාරින් වශයෙන් රාජකාරි ජීවිතයේදී ලද අමතක නොවන අත්දැකීමක් බවත් එම විමර්ශන නිලධාරිහු ඊයේ අපට කීහ.

මේ දැනට හෙළිව තිබෙන වගතුගය. මුතු මැණිකාගෙන් වැඩිදුර කට උත්තර ගන්නට බලාගෙන පොලීසියත් නිතර ඇයගේ ලෙඩ ඇඳ වටා ගැවසේ. එහෙත් තවම එතරම් සුවයක් ඇයට නොමැති බව වෛද්‍ය නිර්දේශය වී ඇත්තේය. ඉඳින් මුතු මැණිකාගේ දෑතින් දැඩිකළ මේ සැකකාර වළව්වේ මහ ඇත්තන්ගේ දරුවන් ද අද මවුපියවරු වී ඇතැයි ද අසන්නට ලැබේ. ඒ ඇතැමෙක් රටටම දහම් දෙසන රූපවාහිනී නාළිකාවක ඉහළ තනතුරක් දැරීමත් ගම්මුන්ගේ නිතර කතා බහට ලක්ව ඇත්තෙකි. ඒ අතින් බැලූ විට මුතු මැණිකා ඇයගේ ජීවිතය කැපකොට ඇතිදැඩි කළ සහ බැල මෙහෙවර කළ සියල්ලන්ම දැන් වියපත් ඇය වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු නොවන්නේදැයි හුඟ දෙනකු විමසන පැනයකි. එහෙත් යම් හෙයකින් එය ඉටු නොවුණ ද සමාජයෙන් මුතු මැණිකා වෙනුවෙන් ඉටුවිය යුතු සමාජ වගකීම්වලින් මිදෙනු නොහැකිවනු ඇත. එහෙත් සැකකාර පාර්ශ්වය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර තමන් මුතුමැණිකාට හොඳින් සැලකූ බවත් කියති.

[නුවන් මහේෂ් ජයවික්‍රම] [මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර]

මාතෘකා