ඊද් අල් ෆිත්ර් උත්සවය

 ඡායාරූපය:

ඊද් අල් ෆිත්ර් උත්සවය

ඊද්-අල්-ෆිතර් යනු මුස්ලිම්වරුන් විසින් උතුම්වු රමලාන් මාසයේ උපවාස ශීලය අවසන් කරමින් ෂව්වාල් මාසයේ පලමු වන දිනයේ කරන්නාවු සැමරුමයි.මෙම දිනයේ අළුයම නැමදුමට පසුව දිය නෑමෙන් පසු අළුත් ඇඳුම්වලින් සැරසී ඊද් නැමදුම සඳහා මුස්ලිම්වරුන් ගමේ මස්ජිදය හෝ එළිමහන් ස්ථානයක් කරා යති.එහිදී සාමුහිකව ඊද් නැමදුමෙහි යෙදෙන මුස්ලිම්වරුන් එය අවසන්වු පසු සිය මියගිය දෙමාපියන් ඥාතින් හිතමිතුරන්ගේ සොහොන් බිම් කරා ගොස් විශේෂ ප්‍රාර්ථනාවල යෙදිමෙන් පසු නිවසට පැමිණ ඥාති හිත මිතුරන් සමග සතුට බෙදා හදා ගනිමින් ඊද් සැමරුමහි සතුට සමරති. ඉන්පසුව තම වැඩිහිටියන් සහ ඥාතීන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් සමග සතුට බෙදාහදා ගනිමින් ඔවුන්ටද විශේෂයෙන් සුභපැතිමද සිදුකර නිවසට පැමිණ පවුලේ සමාජිකයින් සියලුමදෙනා සමඟ සම්ප්‍රදායිකව දිවා අහාරය ගැනිම සිදුකරයි.

 

රමසාන් උපවාසයේ සිදුවූ අඩුපාඩු ඉවත්කර සම්පූර්ණ පවිත්‍ර කර ගැනීමට "සකතුල් ෆිත්රා" නම් දුප්පත් අසල්වැසියන්ට ධන්‍ය ලබාදිම හැඳින්විය හැක. රමලාන් මස ආරම්භයේදීම ෆිත්රා දිය හැකිය. නමුත් ෂවිවාල් මස පළමු දින ඊදුල් ෆිත්ර් සලාතය සඳහා මස්ජිදයට යාමට පෙර එය දීම විශේෂිත වන්නේය. ෆිත්රා දීම අප රටේ නම් සහල්වලින් සිදුකළ හැකිය. පවුලේ සියලු දෙනා වෙනුවෙන් සහ මෙහෙකාර, තම පාලනයට වූ සියලු දෙනා වෙනුවෙන් එක් අයෙකුට පුරවා සහල් සේරු 2ක් හෝ කපා සේරු දෙකහමාරක් දිය යුතුය. එය ඔබේ ඥාතීන්, අසල්වැසියන් හෝ දිළිඳු අප වෙත පරිත්‍යාග කිරීම උතුම් බව සඳහන් වේ. පරිත්‍යාග කිරීමේ මාසයේ නිමාව සටහන් වන ඊදුල් ෆිත්රා දිනය අසල්වාසින් හා එක්ව සහයෝගයෙන් හා සහජීවනයෙන් යුතුව සැමරීම ඉතා වැදගත්ය.

ඒ අසල්වාසින්ට සැලකිම සම්බන්ධව මුහම්මද් නබිතුමා ද උනන්දුවෙන් යුතුව සිය වගකීම් ඉටුකළ බැවිනි. එතුමාගේ එක් බිරියක් වූ ආයිෂා (රලි) තුමිය මගින් ඉදිරිපත් වූ වැකියක් මේ උතුම් දිනයේ අසල්වාසීන් වෙනුවෙන් සටහන් කළ යුතුය. “ෆාතිමා ඔබ ආහාර පිසින විට ව්‍යංජනයට ජලය වැඩිපුර එක් කරන්න. එයින් කොටසක් අසල්වැසියන්ටත් දෙන්න. එය ස්වල්පයක් වුවද කමක් නැත.” මුහම්මද් නබිතුමාණෝ එසේ ආයිෂා රලි තුමියට පැවසූ බව වැදගත් සිද්ධියක් සහීහුල් බුහාරි හදීස් ග්‍රන්ථයේ සඳහන් වේ.

“ගෙවල් හතළිහක් උතුරෙන් ද

ගෙවල් හතළිහක් දකුණෙන් ද

ගෙවල් හතළිහක් නැඟෙනහිරෙන් ද

ගෙවල් හතළිහක් බස්නාහිරෙන්ද වසන්නෝ

ඔබගේ අසල්වාසීන්ය.”

මෙයද නබි තුමා විසින් අසල්වාසින් සම්බන්ධව පැවසු වැදගත් නබි වදනකි.නබි තුමාගේ ඉගැන්විම් අනුව කටයුතු කිරිම මුස්ලිම් ජනතාවගේ යුතුකම සහ වගකිමකි. ඊද්-අල්-ෆිත්ර් දිනය ලොව පුරා මුස්ලිම් ජනතාව ප්‍රිතියෙන් සාමයෙන් සතුටින් සමරන මෙම අවස්ථාවට බහුතර ලාංකික මුස්ලිම්වරුන් සිය බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි සහොදර ජනතාවද මෙම උත්සවය වෙනුවෙන් එක්කරගනි.මුස්ලිම් නිවස්වල මෙම උත්සව දිනය වෙනුවෙන් සාම්ප්‍රදායිකව සකස්වන ප්‍රණිතවු ආහාරපාන අතර බුරියානි සහ වටලප්පන් අතුරුපස ඉන් විශේෂවේ. අසල්වාසින්ට ද ඒවා බෙදා හදාගෙන අනුභවය කිරිම යහපත් ක්‍රියාවකි.

ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට සාමය සතුටපිරි උණුසුම් සුභපැතුම් “ඊද් මුබාරක්”

[ෆර්හාන් නිසාම්දින්] (ඊද් දිනය වෙනුවෙනි)

මාතෘකා