තාත්තා...

 ඡායාරූපය:

තාත්තා...

තක්සලාවක් විවෘත වෙද්දී සිපිරි ගෙවල් සියයක දොරවල් වලට මුද්‍රා තැබෙනවා කියන කියමන අදටත් පැරණි නැහැ. ඒ වගේම දහසක් නෙත් පාදන, ඒ නෙත් දහසට ජීවිතයේ පුරුෂාර්ථ කියා දෙන නූතන දිසාපාමොක්වරුන්ද හිඟ නැහැ. ඔවුන් තවමත් අනාගත පරපුරට ජීවය පුරවනවා.

ඔහු ගයාන්. ගයාන් ඉගෙන ගන්න පන්තියට රෝහණ සර් උගන් වන්නේ බුද්ධ ධර්මය. පංතියේ එක් කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට ඇවිදගෙන ගිහින් කාගෙන් ඇහුවත් ගයාන් කාටද ආදරයෙන් සැලකුවේ කියාලා කිසි කෙනෙකු ගේ දෙතොලක් හෙළවෙන්නේම නැහැ. “මම ඔය ළමයා ඉන්න පංතිය ළඟින් යන්නවත් කැමති නැහැ.” ඒක සරත් සර්ගේ කැමැත්ත. “ඒත් සර්, අපිට කවදාකවත් ඔය ළමයා හිත් රිදෙන දෙයක් කරලා නැහැ.” මදාරා මැඩම්ගේ කතාව ජයන්තා මැඩම් අනුමත කළා. “ඒ කියන්නේ මේ ළමයා අකමැති අපිට.” ආපහු සරත් සර් හේතු හොයනවා. මේ හැම දෙයක්ම රෝහණ සර්ට හොඳ ආරංචි.

පාසල ඉස්සරහ තියෙන කන්දෙන් අඩක්ම මීදුමෙන් වැහිලා. ඒ කොටසේ මොනවාද තියෙන්නේ කියලා කාටවත් පැහැදිලි නැහැ. ගයාන් ඒ දිහා නොසෙල් වී බලාන ඉන්නවා. ඒ ඇස් අර කන්ද වගේ මහා කතාවක් හිත ඇතුළේ හංගා ගෙන.

ගයාන්ගේ ඇඟේ නිකමට හරි හැප්පෙන කෙනෙක් හරියට බොක්සින් ක්‍රීඩා වළලලක් මැද හිටගත් කෙනෙකුට සමානයි. ඒත් එක්වරම කෙනෙක් මේ කේන්තිකාර උරහිසේ හැප්පෙනවා. අත් මිට තදින් මොළවා ගත්ත ගයාන් හැරිලා බැළුවේ ප්‍රතිවාදියාට පහර දෙන්න. “සොරි පුතා. මම වෙන කල්පනාවක ආවේ.” ඒ ඇස් කතා කරනවා. අත මිට දිග හැරෙනවා. ඒත් හෙමින්. ඒ දවස වෙනදාට වඩා හෙමින් ගෙවිලා ගිය බව රෝහණ සර්ට දැනෙන්න ඇති. පහුවදාත් කන්ද දිහා බලාන ඉන්න ගයාන්ගේ උරහිස රෝහණ සර්ගේ නොසැලකිල්ල නිසා ගැටෙනවා. ඒ උරහිසම නොවන බව දන්නේ සර් විතරමයි. හදවත වැලඳගන්න පෙරාතුව ගැටෙන වග ගයාන් දන්නේ නැහැ. “පුතා යමු කැන්ටිම පැත්තට. අපි ප්ලේන් ටී එකක් බොමු.” “ මට ඕනේ නැහැ......සර් යන්න.” “ වරෙන් පුතා... මම කැමැත්තෙන්නේ අරන් දෙන්නේ...” ඒ දයාබර ආරාධනාව රළු මතුපිට දීප්තිය නැගෙනතුරු පිරිමදිනවා. මොහොතකින් දෙන්නා ආපනශාලාවේ දෙපැත්තක තේ බොනවා.

පහුවදා ගයාන්ගේ පුරුදු ගමන් අන්තය වෙන අන්ධකාර කොරිඩෝව කෙළවර හොයගෙන සර් යනවා. ළෙන්ගතු ස්පර්ශයක් ගයාන්ගේ උරහිස මත්තේ ආරාධනාවක්. “ පුතා මම පිට්ටනිය පැත්තට යනවා. යමු මාත් එක්ක.” පිට්ටනිය කෙළවර තණ බිස්සේ පළමුවෙන්ම වාඩි උනේ සර්. “දරුවා මම අඹ ගෙඩියක් ගෙනාවා. බලන්නකෝ... මට මේක රැහැ ගන්න පිහියක් ගේන්න අමතක වුණානේ.” මේ පසුතැවිල්ල අසල ගයාන් උනන්දුයි. “ ආ සර් මං ගාව පිහියක් තියනවා.” කලිසම් සාක්කුව නවාතැන කර ගත්ත උල් පිහියක් සර් අතට ඉක්මනින් එන්නේ සර්ගේ හිතට කාලෙක ඉඳන් දැණුන විදිහටමයි. අඹ ගෙඩිය තීරු තීරු වෙන් වෙනවා. “ ආ... මේ අඹ කෑල්ල කන්ඩ.” අන්තිමට ආපහු පිහිය ගයාන් අතට ලැබෙනවා.

පහුවදා හදිසියෙන් පන්තියට ආපු සර් මල් පැළ කප්පාදු කරන්න පිහිය ගයාන්ගෙන් ඉල්ලා ගෙන ගියත් ආපහු ගයාන්ගේ පුරුදු අයිතියට නතු වෙන්නේ දවස් හතරකට පස්සේ. ඒත් එක්කම සර්ගෙන් ප්‍රශ්නයක්. “ගයාන් පුතා ඔයාට මොකට ද පිහියක්....?” “සර් ඒක නම් මගෙන් අහන්න එපා.” “නෑ...නෑ ...දරුවෝ මට කියන්න.” පිහිය කතාවක් හොයාගෙන හිත පළුදු කරනවා.

“ සර්, මගේ උප්පැන්නේ තාත්තෙක්ගේ නමක් නැහැ.ඒත් තාත්තෙක් ඉන්නවා. අම්මා මාව මේ ඉස්කෝලෙට බාර දෙද්දී ඒ මනුස්සයා මාරුවක් හදාගෙන එහා ඉස්කෝලෙට ගිහින්. එයා අදටත් මේ ඉස්සරහා පාරෙන් තමයි උදේ හවා ඉස්කෝලෙට යන්නේ. මම හැමදාම බලාගෙන ඉන්නේ උන්දෑට තාත්තෙක්ගේ වගකීම මතක් කරලා දෙන්න...” කන්ද දිහාවෙන් එක පාරටම හමාගෙන ආපු හුළඟ නිසා ගයාන්ගේ කර පටිය වේගයෙන් ලෙළ දෙන්න වුණා.

“අනේ දරුවෝ, ඉස්සල්ලාම මට කියපන්කෝ... පිහි කෑල්ලකට පුළුවන්ද වගකීම් ගැන කියලා දෙන්න...? මගේ උප්පැන්නේ තාත්තාගේ නම තියනවා. මගේ උත්සාහයෙන් මෙතැනට ආවේ. ඒ ඇර උන්දෑ මම වෙනුවෙන් කියලා කිසි දෙයක් කළේ නැහැ අමුතුවෙන්.” තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් මුසාවක් කිව්වත් රෝහණ සර් දහස් වාරයක් තාත්තාගේ දෙපතුල් අල්ලලා හිතින් සමාව ගත්තා. “ පුතා, මම උඹගේ තාත්තා කියලා හිතන්න බැරි ද...? එහෙම හිතලා ඔය තරහා නිවෙන තුරු මට බැනපන්.” එදා ඉඳන් ගයාන් පාසලෙන් ඉවත් වෙලා යනතුරු රෝහණ සර් එයාගේ හොඳම මිතුරා වුණා.

රෝහණ සර් කතාව කියලා අවසන් කරද්දී ගයාන් හමුදා නිලදරුවෙක්. ඒ විතරක් නොවෙයි, දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය තාත්තා කෙනෙක්. යන එන ගමන් දවසක ගයාන් රෝහණ සර්ව මුණ ගැහෙන්න ආවා. ඒ ඇවිත් අඹ මල්ලක් ගෙනත් දීලා යන්න ගියා.. ඒ අඹ ගෙඩියක් රැහැ ගන්න එදා ගයාන් ඈතට විසික් කළ පිහිය හොයා ගන්න රෝහණ සර්ට අදටත් බැරි වෙලා. ඒත් ඒ බැරි වීම ගැන සර් සිහිපත් කරද්දී සතුටක සිනහවක් මුව පුරාම ඇඳිලා තිබුණා.

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?