අාකාස හීන

 ඡායාරූපය:

අාකාස හීන

 ඔබට ආදේශක නැත්තේ නැත

“නාසිසස් 'තෙස්පියේ'නම් නගරයේ ජීවත් වූ ඉතා ලස්සන තරුණයෙක්ය. එක් තරුණයෙක් ඔහු හා ප්‍රේමයෙන් පසුවිය. නාසිසස් ඔහුට අකමැති විය. කෙතරම් අකමැති වී ද යත් නාසිසස් ඔහුට කඩුවක් තෑගි වශයෙන් යැවීය. තරුණයා නාසිසස්ගේ ගෙය ඉදිරිපිට කඩුවෙන් ඇනගෙන මියගියේය. තරුණයාගේ ශාපය නාසිසස් වෙත පතිත විය. දිනක් නාසිසස් දිය කඩිත්තක දුටු සිය ඡායාව කෙරෙහි ආලයෙන් බැඳුනේය. ආලයෙන් උමතු වූ නාසිසස් කර කියාගත හැකි කිසිවක් නොමැතිව දිවි නසා ගත්තේය.”

ග්‍රීක දේව පුරාණයේ එන නාසිසස් කතා පුවත මෙසේ ලුහුවෙන් සටහන් කරන්නේ සමර විජේසිංහයන් ය. සිය සේදී ගිය පාට නම් කෙටිකතා පොතෙහි. ස්වරූපරාගය හා දෝංකාරය නම් කථාවෙහි අගට ලා. අතිරේක සටහනක් ලෙස. වසර දෙදහස් නවයේ දී.

(මෙතැනින් එහාට මෙම සටහන ලියන්නට පෙර ඔබට බාධා කිරීමක් කරන්නට ඇවැසි ය. බාධාවක් විය හැක්කක් පැහැදිළි කරලීම වෙනුවෙන්. ඒ මෙහි නාසිසස්ට පෙම් බඳින්නේ තරුණයකු බව සටහන් වීම මුද්‍රණ දෝශයක් නොවන බව ය.)

නාසිසස්. දේව කථාවේ චරිතයක් වීමෙන් නොනැවතී මනෝවිද්‍යාව තුළට ද පැමිණියේ ය. 'නාසිසස්මය පෞරුෂත්ව ආබාධය 'ලෙසින් නම් ලබා.

“නාසිසස්මය පෞරුෂත්ව ආබාධය යනු දීර්ඝ කාලයක් තිස්සේ අතිශයෝක්තියට නංවාගත් ස්වාභිමානය මෙන්ම සංවේදන හීනත්වය ද නිරන්තර ප්‍රශංසා අපේක්ෂාවෙන් හැසිරීම ද

හේතුවෙන් ඇතිවන්නා වූ පෞරුෂත්ව ආබාධයකි.”

මේ ඇමෙරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කෙරුණු “ Diagnostic and statistical manual of mental disorders” නම් පොතෙහි නාසිසස්මය පෞරුෂත්ව ආබාධය ගැන හඳුන්වා දෙන්නේ එසේය.

මේ සංකල්පයම බුදුන්වහන්සේ 'මානය' නම් ක්ලේෂයෙහිලා දේශනා කළ සේක. වඩා විස්තීර්ණ ලෙස. තුන්වැදෑරුම් මානයන්හි සෙය්‍යයමාන කොටසෙහිලා.

බුදුදහම අනුව මානය එහෙම පිටින්ම නැතිවන්නේ මාර්ග ඵල ලැබූ විටදීය. අප කිසිවෙකුත් එවැන්නකට එළැඹී නැති හෙයින් අප සියල්ලෝම සෙය්‍යයමානක්ලේෂය දරන්නෙමු. අඩු වැඩි වශයෙන්. කාලයෙහිද අවකාශයෙහිද විවිධ තැන්වල. අනෙකුන් පහත් කර සලකමින්. තමන් විසින් තමන්වම උසස් කර ගනිමින්. වහසි බෙණෙමින්. ප්‍රසිද්ධියේ හෝ තමාවම අමතමින් හෝ. තමාම සනසා ගනිමින්. යළි යළිත් උඩඟු වෙමින්. ජීවත්වීමේදී ද රැකියාවේදී ද රාජ්‍යයත්වයේදී ද මාධ්‍යකරණයේදී ද නොවෙනස්ව.

ඔබද මාද ඇතුලත් අප සමාජයම අඩු වැඩි වශයෙන් නාසිසස්මය පෞරුෂත්ව ආබාධයෙන් පෙළෙන්නෙමු. එයින් සැනසෙන්නෙමු. එය නඩත්තු කරගැනීම සඳහා අනේක උත්සාහයන් දරන්නෙමු. එය බිඳෙන තැන බිඳීයන්නෙමු. නැතහොත් කෝපාවිශ්ඨව පොලා පනින්නෙමු.

ජීවත් වීමේදී ද රැකියාවේදී ද රාජ්‍යයත්වයේදී ද මාධ්‍යකරණයේදී ද නොවෙනස්ව.

එසේ වෙසෙමින් අනෙකුන් බියගන්වන්නෙමු. ඒ බිය හේතුවෙන් අනෙකා දක්වන ප්‍රතිචාරය ආදරය ලෙසද මිත්‍රත්වය ලෙසද බාරගන්නෙමු. අපගේ සාර්ථකත්වය යැයි උදම් වන්නෙමු.

තමාට ආදේශකයක් නැතැයි තමාම තනා ගත් විශ්වාසයක අතරමං වන්නෙමු. එහෙයින්ම හිතුවක්කාර වන්නෙමු. අන්තනෝමතිකව කටයුතු කරන්නෙමු. අනෙකා පෙලන්නෙමු.

එසේ නොවන උන්ද ඉඳහිට හෝ සිටිති. එසේත් නැති නම් ඇතැමුන් ඉඳහිට හෝ එසේ නොවෙති. එවැන්නවුන් එවන් අවස්ථාවලදී ආදරය බෙදති. අනෙකාට ගරු කරති. තමාගේ කාර්යය නිහඬව ඉටුකරති. ඉඩක් ලද විටක හෝ. සැමවිටම නොවුණත්. ආදරයද විශ්වාසයද ඇතිවන්නේ එවන් මිනිස් හැසිරීම්වලින් පමණි.

[අනිල් ෙහ්රත්]


රසවතිය

නව සඳ

අගනිනි අත්සලව් මේ ගී පොහොන්නෙක්නැතිද

නව බග් ලසන්ද් දුට් මිනිසක්හු නොවජන්නෙයි

මේ රාමලාන් සමයයි. ඉස්ලාමික බැතිමතා සිය වාර්ෂික උපවාසයේ යෙදෙන්නේ රාමලාන් සමයේ යි. ඔහු උපවාසයේ යෙදෙමින් අතිරික්ත ධනය හෝ ඉතුරුම් දුගියාට දන්දෙති. නව වන මසෙහි නව සඳ සමඟ ඇරඹෙන රාමලාන් උපවාසය ඊ ළඟ නව සඳෙන් අවසන් වෙයි. ඉහත උපුටා දක්වා ඇති සීගිරි ගීය අනුව නව සඳ දුටු අයෙක් එය නොවැඳ නොසිටියි.

ඉස්ලාමයේ ගුප්ත-භක්ති විශ්වාස ධාරාව ‘සුෆි’ ලෙස සැළකෙන නමුත්, සුෆි හු ආරම්භය සොයාගත නොහැකි පුරාණ අධ්‍යාත්මික නිදහස් වාදී නිකායක් ලෙස හැඳින්වේ. ඉද්‍රිස් ෂාහ ගේ ‘සුෆි වරු’පොතට පෙරවදනක් සපයන පෝල් ග්‍රීනව්ස් සඳහන් කරන අන්දමට ‘සුෆි’ ඉස්ලාම් නිකායක් ලෙස පොදුවේ හඳුනාගන්නා නමුත් ඕනෑම ලබ්ධියක සුෆි මූලයන් හමුවිය හැකිය. අලි-එල්-හුජ්විරි නම් සුෆි ලේඛකයා ලියා ඇති අන්දමට ‘සුෆි ජනයාගේ හඬ ඇසූ විට ‘ආමීන්’ යයි පිළිවදන් නොදෙන්නා දෙවියන් අභිමුවේ අනවධානයෙන් පසු වූවෙකු බවට සටහන් වනු ඇති බව වක්තෘ මුහම්මද් (ඔහුගේ නමට සාමය උදාවේවා!) පවසා ඇත.’ එතුමෝ සුෆි ක්‍රමය අනුයමින් සිය අනුගාමිකයින්ට සියලු ‘ග්‍රන්ථධූරීන්’

(all People of a Book) ට ගරු කිරීමට අණ කර ඇත. ග්‍රන්ථධූරීන් අතරට පාර්සි වරුන්ගේ ලබ්ධිය වන සොරො ඇස්ත්‍රියානු ධර්මය ද අන්තර්ගත කර ඇත. එනම් වර්තමානයේ යුද්ධයෙන් සුන්බුන් බවට පත්ව ඇති සිරියාවේ, එවක පැවති සියලු ආගමික භක්තීන් කෙරේ ගරු කිරීමයි.

සුෆි චින්තාවන්ගේ පුළුල්තම ප්‍රකාශකයන් වන්නේ ‘මහා ගුරු’ කවියන්ය. ඔවුන් ගුප්ත අලංකාරික ඔස්සේ ගැඹුරු දහමක් ප්‍රකාශ කිරීමට උත්සාහ ගත්හ. එනයින් ඔවුහු මහායාන බෞද්ධයට සමාන වෙති. ඕම් මණි පද්මේ හුම් ! සජ්ජායනා කරන මහායානිකයා ගුප්ත අරුතින් ‘මහා ශුන්‍යතාව’ ගැන මෙනෙහි කරයි. නිසාම් නම් පර්සියානු සුෆිවරයා අනුව, ‘කවියා ගේ දිව යට නිධන් ගබඩා කර ඇත.’ සිරියාවේ අලෙප්පෝ නගරයේ වූ ඉස්ලාමික දේවයුක්ති අධිකරණයට කැඳවූ ‘සුෆිඉබ්න්-එල්-අරාබි’ එහිදී පවසන්නේ ඔවුන්ගේ කාව්‍යමය රූපකයන්‘දේව ප්‍රේමය විසින් මිනිසා පරිපූර්ණත්වයට පැමිණවීම’ පිළිබඳ සාක්ෂි දෙන බවයි. තව දුරටත් පැවසෙන අන්දමට අරාබි නිසොල්ලාසයේ අරාබි නම විසින් අදහස් කෙරෙන්නේ එය‘සියලු වාර්තාවන්ගේ මව’ බවයි. ඔවුනට අනුව අරාබි නිසොල්ලාසය කතන්දර පොතක් නොවෙන අතර එය ගුප්ත බසින් පරිපූර්ණ මිනිසා පිළිබඳ කරන ලද ලේඛනයකි.

බෞද්ධ සංකල්පයක් අනුව සිව් මහා ගංගා ජලය මුහුදට එක්වූ පසුව ඒ මුහුදු ජලය ලෙස පමණක් හැඳින්විය හැකිය. හකීම් සනායි ලියා ඇති අන්දමට ‘ඔබ සාගරයට පැමිණි පසු ගලා ආ ගංගාව ගැන කතා කර පලක් නැත.’ මෙබඳු අලංකාරික හා උපමා බහුල සුෆි සම්ප්‍රදායේ ලෝ ප්‍රකට උමතු දාර්ශනිකයා වන්නේ නස්රුද්දීන් ආචාරීන් ය. ඔහු ගේ හෝ ඔහු වටා ගෙතී ඇති කතාවන් ගේ අරුත තමන් රිසි ගැඹුරකින් විමසා බැලීමට අසන්නාට හැකිය. නැවතත් ඉද්‍රිස් ෂාහ පවසන්නේ සුෆි ප්‍රකාශනයන් එදිනෙදා සම්ප්‍රලාපයක සිට විශ්වීය අරුතක් දක්වා වන සමස්ත අවකාශය අරක්ගන්නා බවයි. සියලු සුෆිවරුන් මෙන්ම මුල්ලා නස්රුද්දීන් ද චරිතගත කළ නොහැකිය. එමගින් තිලෝපා, මාර්පා වැනි මහායානික ගුරුවරුන්ගේ ඇති ‘ගුප්ත වන්නේද-ගුප්ත නොවන්නේද’ වන අමූර්ත ස්වභාවය ප්‍රක්ෂේපණය වෙයි. ඒ කෙසේද යත් දියෙහි ගිලෙන්න නියමිත ව්‍යාකරණ ඇදුරාට තමන් දන්නා සියලු ව්‍යාකරණයට වඩා දනී පනි ගසා හෝ පිහිනීමට හැකිවීම ඒ මොහොතේ වැදගත් වන ආකාරයෙනි.

සියලු සුෆි වරුන් අප මහා ගුරු (මවුලානා)ලෙස හඳුන්වන ජලාලුද්දීන් රුමි කවියා සුෆි ‘චක්රා ධාර්විෂ්’නිකායේ සමාරම්භකයා වෙයි. ඉන්දීය හා පකිස්තානු සුෆි සංගීතයේ මුඛ්‍යතම ගේය පද සම්පාදකයා ලෙස සැළකෙන්නේ ඔහුය. ඛයියාම්, අමීර්ඛුශ්රු, හෆිස්ආදීන් සෙසු ගායනීය සුෆි කවියෝ වෙති. රුමි ගේ ජනප්‍රිය කියමනකට අනුව මනුෂ්‍ය වර්ගයා මුලදී සියල්ල වෙත වැඳ වැටේ,- එය තවත් මිනිසෙක්, ගැහැනියක්, මුදල්, ළමයි, පෘථුවිය, ගල්, ගස්විය හැකිය. ඉන්පසුව මිනිසා දෙවියන් වඳින කෙනෙකු බවට පත් වේ. ඔහු තවත් ප්‍රගතියට ගමන් කරත්ම, මිනිසා, ‘මම දෙවියන් වඳිමි’ හෝ ‘මම දෙවියන් නොවඳිමි’ හෝ නොකියයි. සුෆි මග අනුව මිනිසා යනු පුර්ව නිගමනයන්ගේ හා අධිනිශ්චයන්ගේ ගොණු කිරීමකි. එලෙස ගොණු කිරීම අතාර්කික (සම්යවක් දෘෂ්ටික නොවෙන) බව සුෆි අදහසයි.

මරණයේ පුළුල් මිටියාවත

මම තබමි එක පයක් පුළුල් මිටියාවතෙහි

මරණයේ, අසීමිත විසල් බව

නගයි හඬ හිස්කමක

මටදැනුණු කිසිත් නැත

ඒ මොහොත විසින් දුන්

උමතු පුදුමය මිසක

-රුමි- (රුමි සමග 365 දිනක් -ජුනි 15 කවිය)

ඊද් මුබාරක්!

[හෂිත අබේවර්ධන]


අතුරු පාර

 

චීන ජාතිකයො අපි වගේ නෙමෙයි..

රාජකාරි කටයුත්තකට චීනයට ආපු අතරතුර ඉතාම සුන්දර ගුයිලින් නගරයේ දවස් දෙකක කෙටි සංචාරකට ඉඩ ලැබුණා. චීනයේ දකුණට වෙන්න තියන ගුයිලින් නගරය එහි ඇති දහස් ගණන් හුණුගල් පර්වත නිසා ලෝක පූජිතයි. චීන චිත්‍රවල අපිට දැකලා පුරුදු පොලොවෙන් එක පාරටම මතු වුණා වගේ පේන මහා ප්‍රපාතාකාර කඳු සහ Pink blossom river (රෝස පැහැති පොහොට්ටු ගඟ තියෙන්නෙත් ගුයිලින් නගරයෙ. වසර මිලියන ගණනකට කලින් චීනයේ ගුයිලින් නගරය තියන ප්‍රදේශය මුහුදෙන් යටවෙලා තිබිලා තියනවා. භූ තැටි තෙරපීමකින් එකවරම මුහුදෙන් මතුවෙච්ච නිසා තද හුණුගල් සහිත මේ දහස් ගණන් කඳු බිහිවුණා කියලා තමා කියන්නෙ. මේ කඳුවල විශාල හුණුගල් ගුහා තියනවා. ගුයිලින් නගරයෙන් තරමක් ඈතින් තියන Silver cave ( රිදීගුහාව ) තමා ඒ අතරින් වඩාත්ම ලෝක පූජිත. හුණුගල් ගුහාවක් කීවම මීටර් තිහ හතලිහක් ඇවිදලා ආපහු එන්න බලාගෙන ගිය මම මේ ගුහාවෙ විශාලත්වයෙන් ගොඩක් පුදුමයට පත්වුණා. ඒක වංකගිරියක්. අතුරු මාර්ග මහ ගොඩක් එක්ක පොළොව මට්ටමෙන් ඉහළට සහ පහළට දෝනා විහිදුනු සංකීර්ණ ගුහා පද්ධතියක්.

ඒක ඇතුළෙ අපි කිලෝමීටර දෙකක් වගේ දුරක් ඇවිදින්න ඇති. අතුරු මාර්ග නැතුවයි ඒ දුර. ඒ හුණුගල් දිලිසෙන සුළුයි. ඒක රිදීමය දිස්නයක්. ඒ නිසයි ඒ ගුහාව රිදී ගුහාව කියලා හඳුන්වන්නෙ. ගුහාවෙ සමහර තැන්වල මීටර් සිය ගණන් ගැඹුරු ප්‍රපාත තියෙනවා. ගුහාවෙ මුදුන සමහර තැන්වලදි අපේ ඔළුවට යාන්තමට උඩින් තිබුණත් තවත් සමහර තැන්වලදි මීටර් සීයක් විතර විතර ඉහළින් තියෙන්නෙ. ගුහාව ටිකක් සීතලයි. නිතරම එල්ලෙනෙ හුණුගල් නෙරුම් වලින් වතුර බිඳු වෑස්සෙනවා. ඒ හුණුගල් නෙරුම් තවමත් වැවෙමින් තියෙන්නෙ. අළුතෙන් වැවෙන කොටස් දීප්තිමත් රිදී පාටයි. ඉතාම සීතල වතුර තියෙන නොගැඹුරු පොකුණුත් තැනින් තැන මුණගැහෙනවා. නිශ්චල ඒ වතුර උඩ සංකීරණ මෝස්තර තියෙන ගුහා බිත්තිවල හෙවණැළි ඒ විදියටම පේන්නෙ හරිම විචිත්‍රවත්ව. සමහර වෙලාවට ඇත්ත බිත්තිය කෝකද හෙවණැල්ල කෝකද කියලා හොයාගන්න බැරි තරම්. හුණුගල් ඛාදනය සහ වැවීම නිසා ඉතාම සංකීරණ ජ්‍යාමිතික මෝස්තර සහ හැඩතල මතුවෙනවා. සමහර හැඩතල ජ්‍යාමිතික නැහැ. නිදහස් අතකින් ඇඳපු චිත්‍ර වගේ. වනාන්තර වගේ පේන බිත්ති, එහෙමත් නැත්නම් අපි දන්න කෙනෙකුගෙ මුණක් වගේ පේන තැන් මේ ගුහාවෙ දුලබ නැහැ.

නිරන්තරයෙන් දහස් ගණන් සංචාරකයො එන නිසාදෝ එකම එක වවුලෙක් හැර වෙනත් සත්තු අපි දැක්කෙ නැහැ. ඒත් සීත සෘතුවෙදි සර්පයො සහ සමහර ක්ෂීරපායී සත්තු හැංගිලා ඉන්න මේ වගේ ගුහා පාවිච්චි කරන බව මගෙ චීන මිත්‍රයා කිව්වා.ඒ වගේම දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි චීන්නු දහස් ගණන් මේ ගුහාවල හැංගිලා ජීවිත බේරගෙන තියනවා. ගුහාවෙ මම අකමැති වෙච්චි කාරණාව තමයි විවිධ වර්ණයේ විදුලි එළි වලින් ගුහා බිත්ති ආලෝකමත් කරලා තිබුණු එක. සුදු ආලෝකය විතරක් තිබුණා නම් පෙනෙන ස්වාභාවික ලස්සන වෙනුවට මොකද්දෝ තොරොම්බල් ගතියක් පාට පාට එළි නිසා ලැබුණෙ. ගුහාවෙ තැන තැන චීන අරුමෝසම් බඩු විකුණන තැන්. කොළ ඉබ්බො පෙන්නලා, හුණුගල් සහ ජේඩ් ගල් වලින් හදපු විසිතුරු නිර්මාණ විකුණල සල්ලි ගන්න මිනිස්සු හිටියා.

චීන ජාතිකයො විතරක් නෙමෙයි විදේශිකයොත් සෑහෙන ප්‍රමාණයක් ඒ ගුහාව බලන්න අපි ඉන්න වෙලේ ඇවිත් හිටියා. ගුහාව ඇතුළෙ ආරක්ෂාව උපරිමයෙන් සලසලා තිබුණා විතරක් නෙමෙයි ඔවුන්ගෙ සේවයත් හරිම විනීතයි. ඒ වගේම ගුහාව නරඹනවට අමතරව චීන නිෂ්පාදන තියෙන කඩ ගණනාවක් අනිවාර්යෙන් පහුකරගෙනයි අපිට ආපහු එන්න ලැබෙන්නෙ. චීනය මෙච්චර ආර්ථික වර්ධන වේගයක් අත්කරගෙන තියෙන්නෙ වෙළදාමෙ දක්ෂකම නිසා. එයාලා හරිම සූර වෙළෙන්ඳො.

[ඉසුරු චාමර සෝමවීර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?