සැපටත් දුකටත් සිනාසෙන බිංගිරියේ කිරිමැණිකා

 ඡායාරූපය:

සැපටත් දුකටත් සිනාසෙන බිංගිරියේ කිරිමැණිකා

 වයස අවුරුදු 105යි

 දෙමාපියෝත් සියවස පසු කළ අය

 දරුවන් අට දෙනයි, ලොකු දුවට 85යි

ඕනෑම ජීවිතයක් සැප දුක් දෙකෙහි සංකලනයකි. එහෙත් ඒ එකම අනුපාතයකට නොවේ. ඇය අසීරුම තැනින් කතාව පටන් ගත්තේ ඇගේ ජීවිතයේ මේ පංගු බෙදීම සාධාරණව සිදු වී නැති බවට ඉඟි කරමිනි.

"දරුවෝ අට දෙනයි, අපි දෙන්නයි ඔක්කොම පවුලේ දහදෙනයි, රජයෙන් දුන්නේ සතියටම හාල් සේරුවයි. කැඳ ටිකක් හදා ගන්නත් මදි. මේ වගේ කාල වකවානුවක් පහු කරලා තමයි මම අද මේ තැනට ඇවිල්ල තියෙන්නේ."

ඇය බිංගිරිය විරපොකුණේ පහළ කරඹ ග්‍රාමයේ පදිංචි, අධිකාරී මුදියන්සේලාගේ කිරිමැණිකා ය. ඇගේ උපන් ගම බිංගිරිය පානවැවයි. ඇය මෙන්ම ඇගේ දරු මුනුපුරන්ද පවසන පරිදි මේ වන විට ඇගේ වයස අවුරුදු 105කි. ඒ බව තහවුරු කරන ලිඛිත සාක්ෂි කිසිවක් ඉතිරි වී නැත. එහෙත් එය සැකයකින් තොරව තහවුරු කළ හැකි සාක්ෂි තිබේ.

"මම විවාහ වෙද්දී මගේ වයස අවුරුදු විස්සයි. මගේ ලොකු දුවට දැන් වයස 85යි. මගේ මහත්තයා මැරුණේ වයස අවුරුදු 92 දී. දැන් එයා නැති වෙලත් අවුරුදු 23ක් වෙනවා." කිරිමැණිකා මාතාව පවසයි.

බාල කාලේ

කිරිමැණිකා මාතාව, පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඇයට බාල සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකි. ඒ.එම් උක්කු බණ්ඩා හා එච්.එම් ඩිංගිරි මැණිකා ඇයගේ මව්පිය දෙපළයි. උක්කු බණ්ඩා ජීවිකාව සරි කරගෙන ඇත්තේ ගොවිතැනෙනි. කිරිමැණිකා මාතාව කුඩා කල සිට ඉගෙනීමට දක්ෂතාවයක් දැක්වුවත් ඇයට ඉගෙනීමේ අවස්ථාව අහිමිව ඇත්තේ ඇය නොසිතු අයුරිනි. මීට වසර අනූ හතකට පෙර සිදු වූ ඒ අමිහිරි සිදුවීම ඇගේ මතකයේ තවමත් පවතී.

"මේ සිද්ධිය වෙද්දී මට අවුරුදු අටක් විතර ඇති. ඒ දවස්වල අද වගේ පෙර පාසල් තිබුණේ නැහැ. ඉස්කෝලේ පන්ති පටන් ගත්තේ හෝඩියෙන්. මම ගියේ බෝවත්තේ ඉස්කෝලෙට. මම හෝඩිය සමත් වෙලා එකේ පන්තියට යන්න හිටියේ. අප්පොච්ච්යි, අම්මයි දෙන්නම ඇවිල්ල කිව්වා, 'ලොකු කෙලී, උඹ ආයේ ඉස්කෝලේ නොගියට කමක් නැහැ' කියලා.

මට දුකයි. නමුත් ඒ දවස්වල අද වගේ නෙවෙයි, දෙමාපියන් කිව්වොත් ආයේ දරුවන්ට කිසි කතාවක් නැහැ. දෙමාපියෝ කියපු දේ දරුවෝ අකුරටම කළා. එත් මම ඇහුව අම්මගෙන්, මම ගෙදර ඉදලා මොනවාද කරන්නේ කියලා ගෑනු ළමයෙක් වුණාම ඉගන ගන්න ඕනෑ මුලින්ම, උයන පිහන ඒවා කියල අම්මා එතකොට කිව්වා. අම්මා එහෙම කිව්වම මට ආයේ ඉස්කෝලේ යන්න ඕනෑ කියල කියන්න බැහැ. නංගිලා මල්ලිලා ඉස්කෝලේ යද්දී මට ලොකු දුකකුත් ඇති වුණා. නමුත් මම අම්මට උදව් වෙලා, ගෙදරට වෙලා හිටියා.

තරුණ අවධිය

මගේ තරුණ කාලේ මම ගොඩක් කළේ මට පහළ නංගිලා මල්ලිලා බලා ගන්න එක. ඒ වගේම ගොවිතැන් කළා. ගෙදර වැඩ හැම එකක්ම කළා. වයස අවුරුදු දහ හතේ වගේ ඉඳල මට කසාදයක් හොයන්න දෙමාපියන් දෙන්නා මහන්සි ගත්තා. නමුත් මගේ ඉරණම්කාරයා ලැබුණේ මට අවුරුදු විස්සේදී තමයි. එයා අපේම පෙළපතේ කෙනෙක්. නම අධිකාරී මුදියන්සේලාගේ මිතුරු හාමි. ඒ වෙද්දී ඒයා මට වඩා අවුරුදු හත අටක් වැඩිමල්.

මේ මගුල කරද්දී දෙමාපියෝ මගේ කැමැත්ත අකමැත්ත ඇහුවේ නැහැ. කෙළින්ම කිව්වා, 'උඹ මේ මනුස්සයා කසාද බදින්න ඕනෑ' කියල. මිතුරුහාමි ගැන මට අමුතු පැහැදීමක් හරි අපැහැදීමක් හරි ඒ දවස්වල තිබුණේ නැහැ.

විවාහයෙන් පස්සේ මිතුරුහාමි මට ගොඩක් ආදරෙන් හිටියා. අපිට දරුවෝ අට දෙනෙක් ලැබුණා. බේබි නෝනා තමයි වැඩිමලා. එයාට දැන් වයස අවුරුදු 85යි. දෙවෙනියා කරුණාවතී එයාට අවුරුදු 83යි, තුන්වැනියා සිරිසේනට 81යි, ඊළඟට සෝමාවතී (73), තිලකාවතී (65), ගුණවර්ධන (63), ඥානවතී (61), සිරිවර්ධන (59).

මේ අයගෙන් සිරිවර්ධනයි සොමාවතියි දැන් ජීවතුන් අතර නැහැ. මිතුරුහාමි ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන මනුස්සයෙක්. ගොඩ ගොවිතැන වගේම මඩ ගොවිතැනත් කළා. මට මේ නිසා වැඩියේ මහන්සි වෙන්න ඕනෑ කමක් තිබුණේ නැහැ. මම කළේ දරුවෝ හදන එක තමයි.

'57 ගංවතුර

57 ගංවතුර කිරිමැණිකා මාතාවගේ ජීවිතය වෙනස් දිශාවකට යොමු කිරීමට හේතු වී තිබේ. මේ ගංවතුරේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ බව ප්‍රකටය. එසේම බිංගිරිය ප්‍රදේශයද අඩි හය හතක් උසට ජලයෙන් යට වී ඇති අතර මකුල්ල පොකුණ මොළඑලිය ගම්මානයද එසේ බරපතළ ලෙස ජලයෙන් යට වී තිබේ. මේ ප්‍රදේශයේ ජලය බැස යාමට දින කීපයක් ගත වූ බව එදා සිටි පැරැන්නෝ අදටත් සිහිපත් කරති. කිරිමැණිකා මාතාවට ඒ ගංවතුර සාමාන්‍ය විපතක් නොවීය. ජීවිතය කනපිට හැරවූ ඒ අත්දැකීම ඇය සිහි කළේ උපේක්ෂාවෙනි.

"ගංවතුර ඇවිල්ල ගම්මාන ඔක්කොම ජලයෙන් යට වුණා. මට මතක විදිහට කීප දෙනෙක්ම වතුරට ගහගෙන ගියා. මොළඑළියේ ගහක වතුරට ගහගෙන ආපු කාන්තාවක් ඉන්නවා කියලා මිතුරුහාමිට කොහොම හරි දැනගන්න ලැබුණා. මම යන්න එපා කිව්වා. නමුත් පීනගෙන ගියා. කොහොම හරි මේ ගෑනු කෙනාව මිතුරුහාමි බේරගෙන අාවා. ගෙදරට අාවාට පස්සේ මේ ගෑනු කෙනා නැවත ගෙදර යන්න කල්පනාවකුත් නැහැ. අපේ මනුස්සයා මේ ගෑනිව යවන්න කලපනාවකුත් නැහැ. අන්තිමට දෙන්නා දිග කන්න පටන් ගත්තා. මාව දාලා මේ මනුස්සය අර ගෑනු කෙනාවත් අරගෙන යන්න ගියා. මගේ මනුස්සයාගෙන් ඒ ගෑනු කෙනාටත් දරුවෝ ඉන්නවා දැන්. මෙහෙම වුණා කියලා මම ඒ මනුස්සයට වෛර කළේ නැහැ. මම එයාට සමාව දුන්නා. අද මිතුරුහාමි ජීවතුන් අතර නැති වුණත් ඒ කාන්තාව ඉන්නවා."

මයියොක්කා පිට්ටුව

මගේ ජීවිතයේ කටුකම අත්දැකීම් තියෙන්නේ නියං කාලවලදී. මට දැන් ඒ කාල වකවානු හරියට මතක නැහැ.

එක නියඟයකදී අපිට සිද්ධවුණා මැල්ලුම් කොළ විතරක් කළා ජීවත් වෙන්න. කොටුපලා, අගුනකොළ, තම්පලා, වට්ටක්කා දළු වගේ දේවල් තමයි වැඩි පුර කෑවේ. ඉඳලා හිටලා අල වර්ග තම්බගෙන කෑවා. මයියොක්කා පිට්ටුව තමයි ඒ දවස්වල ජනප්‍රියම කෑම. මේ දවස්වල කොස් දෙල් වගේ දේවලුත් වැඩියේ තිබුණේ නැහැ. ඒ වගේම සිරිමාවෝ මැතිනියගේ කාලේ හාල් පොල්ල, මිරිස් පොල්ල මේවටත් මම මුහුණ දුන්නා.

මම දරුවෝ අටදෙනා ජීවත් කරවන්න නොකරපු දෙයක් නැහැ. ගොවිතැන් කළා, කුලීවැඩ කළා, අන්තිමට වෙළඳාමේ ගියා. මම හලාවත, බෝවත්ත, විලත්තව, හෙට්ටිපොළ වගේ පොළවල්වලට එළවළු පලතුරු අරගෙන ගියා. මෙහෙම පොළවල් ගානේ ගිහින් කීයක් හරි හොයාගෙන ඇවිල්ල තමයි දරුවන් ලොකු මහත් කළේ. මිතුරුහාමි මට කළ වැරැද්ද ගැන හිත හිතා මම ගෙදරට වෙලා හිටියානම් මගේ දරුවනට යන කලක් නැහැ. මටත් තිබුණා ආයේ කසාදයක් කරගන්න. නමුත් මම හිතුවේ මගේ දරුවන් ගැන විතරයි.

ආයුෂ වැඩිවූ රහස

මට තව අවුරුදු කීපයක් ජීවත් වෙන්න පුළුවන්. මගේ ඇග පත ටිකක් රිදෙනවා ඇරෙන්න වෙන කිසි ලෙඩක් මට නැහැ. සීනි නැහැ කොලෙස්ටරෝල් නැහැ. හැබැයි මගේ දරුවන්ට ඒවා තියනවා. මට වඩා ලෙඩ ඒ අයට තියනවා. මගේ තාත්තා නැති වෙද්දී එයාගේ වයස අවුරුදු 108 යි. අම්මා නැති වෙද්දී අම්මගේ වයස අවුරුදු 110 යි. මට දැන් 105 යි. අපේ පරම්පරාවේ අයට ආයුෂ වැඩියි. මේකට ප්‍රධාන හේතුව අපි හොදට මහන්සි වෙලා වැඩ කළා. කම්මැලිකමට ගෙදරට වෙලා නිදියගත්තේ නැහැ. මනුස්සයා වගේම මමත් වැඩ කළා. මනුස්සය මාව දාලා ගියාට පස්සේ මම එයාගේ වැඩත් එක්ක කළා. ඒ වගේම කද්දී තියෙන දෙයක් හොඳට කෑවා. මේ තමයි මම මෙච්චර කාලයක් ජීවත් වීමේ රහස. මට රටේ අනික් යටත් කියන්න තියෙන දේ තමයි තමනට ලැබෙන දුක සතුටක් කරල භාර ගන්න කියන එක.

මම දරුවෝ අට දෙනාත් එක්ක තනි වෙද්දී මම ඒ ගැන හිත හිතා හිටියානම් මටත් දරුවන්ටත් මොනවා වෙන්න තිබුණද? අද මගේ දරුවෝ කන්න අදින්න දීලා මට හොඳට සලකනවා. ඒ අතින් ලෝකේ වාසනාවන්තම අම්මා මම කියල තමයි මම හිතන්නේ. මගේ මූණේ මේ තියන හිනාව එදත් තිබුණා. අදත් තියනවා. හිනා වෙවී තමයි කවදහරි මැරෙන්නෙත්."

ඇය ඒ ටික කීවේද සිනාසෙමිනි. ඇයට වයස අවුරුදු 105 ක් යැයි ඇය දකින කිසිවකු නොසිතනු ඇත. එසේම ඇගේ සිනහවට වසඟ නොවන කිසිවකු නොවනු ඇත!

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

මාතෘකා