අත පිච්චෙන්නට පෙර

 ඡායාරූපය:

අත පිච්චෙන්නට පෙර

බොහෝ ප්‍රවේසමින් පහත වැකි කියවන්න යැයි ඉල්ලමි. ඒවා ඒ තරමටම අපූරුය.

‘කිසිවෙකුගේ බලා‍පොරොත්තු කිසි විටෙක බිඳ නොදමන්න. මන්ද එය ඔහුගේ එකම වස්තුව විය හැක.’

‘දෙවියන් වහන්සේ නෑදෑයින් මැවූ සේක. දෙවියන්ට ස්තූති වීමට මා හට මිතුරන් තෝරා ගැනීමට අවස්ථාව ලැබී ඇත.’

‘ඔබ ආලෝකමත්ව සිටින විට සියල්ලෝම ඔබ පසුපස එනු ඇත. අඳුරේ සිටින සෙවණැල්ලද ඔබට පිටු පා යනු ඇත’

‘ජීවිතය යනු චොකලට් පිරි පෙට්ටියකි. පිටතින් බලා එය රසවිඳිය නොහැක’

‘මිනිසුන් ඔබ කියන දෑ විශ්වාස නොකරනු ඇත. එහෙත් ඔබ කරන සියල්ල විශ්වාස කරනු ඇත.’

‘ජීවිතය යනු කණ්ණාඩියකි. ඔබ එදෙස බලා විරිත්තුවහොත් එය ඔබටද විරිත්තනු ඇත. ඔබ ඊට සිනාසුණොත් එයද ඔබට සිනාසෙනු ඇත’

‘තීරණයක් ගන්නට පෙර දහස් වරක් හිතන්න. තීරණයක් ගත් පසු දහසක් බාධක ආවද ආපසු නොහැරෙන්න’

‘ජීවිතයේ කිසිදු විටෙක ප්‍රශ්නයකට මුහුණ නොදුන් අයෙකු කිසිවිටෙක විශ්වාස නොකරන්න.’

‘කම්මැළියාට ඉක්මනින් හති වැටේ’

බැලූ බැල්මට මේවා අපූරු 'රුවන් වැකිය'.

මේවා කියන්නට ඇත්තේ මහා දාර්ශනිකයින් යැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් සත්‍ය වශයෙන්ම මේවා 'කුරිරු මිනීමරු' ත්‍රස්තයෙකුගේ 'පාඨ' ය.

ඔහු 'හිට්ලර්' ය.

සරලව කියතොත් ඔහු 'රුවන් වැකි ලියූ මිනීමරුවෙකි.' බැලූ බැල්මට ඔහුට ඇත්තේ, වියරු පෙනුමක් නොවේ. ඔහු දෙස බලන කිසිවෙකු 'මේ මිනිසා' මිලියන ගානකගේ ජීවිත විනාශ කළ ඝාතකයෙකු යැයි සිතන්නේ නැත. එහෙත් ඔහු ජාතියක් සමූලඝාතනය කිරීමේ පුරෝගාමියා විය. 'නාසීන්'ට පමණක් උරුම රටක් සහ ලොවක් ප්‍රාර්ථනා කළ ඔහු යුදෙවුවන් ගම් පිටින් වනසා දැමුවේය.

හිට්ලර් බලයට එන්නට පාර කපාගත්තේ හමුදාවේ සිටියදීය. පවත්නා රටේ 'ගන්නට දෙයක්' නැති බව කියා, රට පුරා ප්‍රචාරයක් ගෙනගිය හිට්ලර් පවත්නා රජය යටතේ අසනීප වූ රට සුවපත් කිරීමේ කාර්ය තමාට කළ හැකි බවට ජනතාව මුසපත් කරන කතා පැවැත්වීය.

'යකෙක් හරි කමක් නෑ, අපිට ඕන විනයක් තියෙන රටක්'

ජර්මන් ජනතාවගේ 'ප්‍රාර්ථනාව' එතරම්ම සාහසික තැනට හරවන්නට හිට්ලර් සමත් විය.

දිගු කැපවීමකින් පසු கඔහු 1934 රටේ බලය සියතට ගත්තේය. ජර්මන් ජනතාව ස්වකීය ඉතිහාසය තුළ ගත් ආපසු හැරවිය නොහැකි 'අනුවන'ම තීන්දුව ගත්හ. ඒ හිට්ලර්ට බලය දෙමිනි.

හැබැයි ඔහුගේ 'බැටළු සළුපිළි ලිහී' වෘක ස්වභාවය එළියට ආවේ බලය ලැබුණාට පසුවය.

හිට්ලර් වැඩ පටන් ගත්තේ මෙහෙමය.

ආරක්ෂක ඇමැතිගේ බිරිය වෛශ්‍යාවක් යැයි චෝදනා කළ ඔහු ඇමැතිවරයා සිය තනතුරෙන් නෙරපා දැමීය. ඒ සමඟම, සමලිංගික චෝදනාවක් යොමුකරමින් හමුදාපතිවරයා ගෙදර යැවීය.

දිනකට අඩුම තරමේ යුදෙව්වන් විසි දහසක් ඔහු විසින් මරවනු ලැබීය. රැළි වැඩි බර මොළ ඇති ජන විශේෂයක් ලෙස හැඳින්වෙන ඉරි වැටුණු පිජාමා ඇඳුමින් සැරසූ යුදෙව්වන් මිලියන ගාණක් මරා දැමීමට ඔහු පතරොම් වෙනුවට ගෑස් භාවිත කළේය. ලෝකයේ අතිශය සුපිරි බුද්ධිමතුන්, ලේඛකයින්, දාර්ශනිකයින්, වගේම ව්‍යාපාරික පෙරටුගාමීන් බොහොමයක් දෙනා යුදෙව්වන්ය. ක්වන්ටොම් කලනයේ සිට මනෝ විශ්ලේෂණවාදය දක්වා සෑම නව දැනුමකම හිමිකරුවෝ මේ යුදෙව්වෝය. ඇල්බට් අයින්ස්ටයින්, කාල් මාක්ස්, චාලි චැප්ලින්, ස්ටීවන් ස්පිල්බර්ග්, ෆ්‍රාන්ස් කෆ්කා, සිග්මන් ෆ්‍රොයිඩ්, මාර්ක් සකර්බර්ග්, වැනි දහස් ගණනක් ඒ අතර සිටිති.

දහස් ගණනක යුදෙව් සංහාරය නිසා එවැනි සුපිරි මොළ දහස් ගාණකගේ ජීවිත ඉරණම ගෑස් කාමරවලදී හමාර විය. තමාගේ වර්ගයේ දරුවන් වඩා ගනිමින් ඔවුන් හුරතල් කරමින් ‘ඇස්බැන්දුම් ආදරයක්’ පෙන්වූ ඔහු බිහිසුණු ඒකාධිපතියෙක් විය. බොහොමයක් රටවල ඒකාධිපති නායකයින් දරුවන් සුරතල් කිරීම අහඹුවක් නෙවේ. ඔහුත් එවැන්නෙක්ය. ලේ ගංගාවක් මැද අධිරාජ්‍ය විජිතයක කිරුළ දැරීමේ හීනය ඔහු නඩත්තු කරමින් සිටියේය.

වියරු පාලකයෝ ස්වකීය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ගැන පුරසාරම් දොඩමින් අනෙකා පෙලීම සිදුකරයි.

හිට්ලර්ගේ ගති සොබාව මනාකොට නඩත්තු කරන 'හිට්ලර්' ලා සීරුවට හිස ඔසවමින් සිටිති.

බලය තිබූ දා සාහසිකත්වයේ කෲරතර පාඩම අපූරුවට කියාදුන් ඔවුහූ, බලය ගිලිහුණු විට උපශාන්ත උපාසකයින් වී සිටිති. 'එව මහන' කී විට පැවිදිව, උපසපන් වීමට තරම් පිං ඇත්තන් සේ ඔවුහූ දැන් හැසිරෙති. මිනිස්කම

'කුණු කඳු යට' සඟවා පාරාදීස ගොඩනැගූ ඔවුහූ, දැන් ජාතියට පණ දෙන මුරදෙවියන් සේ හැසිරෙති.

පන්සල් යති. පල්ලි යති. කෝවිල් යති. අනෙකාගේ දුක අද්දර කඳුළු සලති. වියතුන් එක්කාසු කරති. රැස්වීම් තියති. රට හදන හැටි කියති. නීතිය, සාධාරණත්වය වෙනුවෙන් ඕන නම් 'හදවත' ගලවා දෙන්නට එක පයින් සූදානම්ව සිටිති.

හිට්ලර් කළේත් ඒකමය. වෙනසකට තිබෙන්නේ භාෂාවේ පමණක්ය. අර්ථය එකක්මය.

'මම විනයගරුක අභිමානවත්, සංවර්ධිත ජර්මනියක් ගොඩනඟමි'

එහෙම කීවේ, ජර්මනියේ හිට්ලර්ය.

'අපි ලෝකයේ විනයගරුක අභිමානවත් රටක් ගොඩනඟනවා.

එහෙම කියන්නේ මෙහේ 'හිට්ලර්' පන්නයේ අයය.

මුල් අවධියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ක්‍රියාවන් අනුමත කළ දේවධර්ම ආචාර්යවරයෙකු වූ මාටින් නීමෝලර් පසුකාලීනව හිට්ලර්ගේ මර්දනකාරී පිළිවෙත දැඩිව විවේචනය කළේය. ඔහුගේ මෙම ප්‍රකාශය අදටත් ලොව පුරා අතිජනප්‍රිය කියමනක් ලෙස සැලකේ.

මුලින්ම ඔවුන් සමාජවාදීන්ට එරෙහිව පැමිණියා. එහෙත් මම ඊට විරෝධය පළ කළේ නැහැ.

මොකද මම සමාජවාදියෙක් නොවන නිසා..

ඊට පස්සේ ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට එරෙහිව පැමිණියා.

එහෙත් මම කතා කළේ නැහැ.

මොකද මම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් නොවන නිසා..

ඔවුන් යුදෙව්වන්ට එරෙහිව පැමිණියා.

එහෙත් මම කතා කළේ නැහැ.

මොකද මම යුදෙව්වෙක් නොවන නිසා...

ඊට පස්සේ ඔවුන් මා එරෙහිව පැමිණියා.

ඒත් මා වෙනුවෙන් කතා කරන්න

කිසිවෙකු ඉතිරිව සිටියේ නැහැ...

බොකාසා, අප්‍රිකාවේ සිටි වඩාත් කෲරතම ඒකාධිපතියෙකි. මිනීමස් කෑම ගැනත්, තම සතුරන් සතුන්ට කෑමට සැලසූ බවටත් චෝදනා ලැබූවෙකි. 1979දී බලයෙන් පහකෙරෙන තෙක්, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අධිරාජයා වශයෙන් තමන් විසින්ම ඔටුනු පළඳාගෙන සිටියේය. ඔහු දරුවන් හැටදෙදෙනෙකු ජාතක කෙළේය. නැපෝලියන් බොනපාට් කෙනෙකු මෙන් ඔටුනු පැළඳීම සඳහා ඔහු වැය කළ මුදල, මුළු රටේම වසරක දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමානය.

බොකාසා 1939 දී ප්‍රංශ යටත් විජිත හමුදාවට බැඳුණු අතර, 1958 වනවිට ඔහු යටත් විජිත හමුදාවේ ලුතිනන්වරයකු බවට පත්විය. 1966 ජනවාරි 1 බොකාසා රටේ බලය අල්ලා ගත්තේය. ඔහු ජනපති විය. ඔහුට බලයට පැමිණීමට උපකාර කළ බැන්සා ඔහුව බලයෙන් නෙරපීමට සූදානම් වන බව සැක කර 1969 දී අත්අඩංගුවට ගෙන වධ දී, මරණ දඬුවමට ලක් කළ අතර 1976 වසරේ දෙසැම්බර් 4 වනදා නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් සිය රාජ්‍යය එදින පටන් අධිරාජ්‍යයක් ලෙස හඳුන්වා දුන්නේය.

වෙනසක් නැත, මෙහෙත් එහෙමය. බොකාසලා රෙදි මදිමින් සිටිති.

ඉඩි අමීන් 1946 වසරේ සොල්දාදුවෙකු ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවේ සේවයට බැඳුණු අතර, පසුව උසස්‌වීම් ලබා උගන්ඩා යුද හමුදාවේ හමුදාපති පදවියට පත්විය. ගරා වැටුණු රට තමා ගොඩනගන බව කියමින් ඔහු අනතුරුව බලය ගන්නට ආවේය. පසුව ඔහු එයම භාවිත කරමින් බලය ගත්තේය.

බල තණ්‌හාවෙන් උමතුව සිටි ජනාධිපති ඉඩි අමීන් තමා හඳුන්වාගත්තේ අතිගරු, ජීවිත කාලයටම ජනාධිපති, ෆීල්ඩ් මාර්ෂල් අල්හාඡ්, ආචාර්ය ඉඩි අමීන් ඩඩා යනුවෙනි. එතැන් සිට ඔහු උමතු පාලකයෙකු විය. ‘දරසෑයේ නීතිය’ එරටට හඳුන්වා දුන් ඔහු තම මතයට එරෙහි වන සියලු දෙනාට මරණය උරුම කළේය. ආසියාතිකයින් උගන්ඩාව වනසන බවට ඔහු නින්දේදී දුටු සිහිනයක් නිසා වරෙක ඔහු සියලු ආසියාතිකයින් එරටින් පැන්වීය. ඔහුගේ පාලන කාලය තුළ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු අතර, මානව හිමිකම් උල්ලංඝනය, දේශපාලන ප්‍රතිවාදීන් අනිසි ලෙස මෙල්ල කිරීම, සුළු ජාතීන්ට වධ හිංසා කිරීම සහ නීතියට පටහැනි මිනිස්‌ ඝාතන උපරිම මට්‌ටමින් සිදුවිය. මෙම කාලය තුළදී අත්තනෝමතික ලෙස මරාදමන ලද මිනිසුන් සංඛ්‍යාව 100,000 සිට 500,000 ක්‌ පමණ වන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.

1930 ඩොමිනික් රාජ්‍යයේ පාලකයා වූ 'රෆායල් ට්‍රැජිල්ලෝත්' ‘අමුතු’ උමතුකාරයෙක්ය. 'දෙවියන් ස්වර්ගයේ ට්‍රැජුල්ලා විශ්වයේ' ලෙස සෑම දේවස්ථානයකම සටහන් කළ ඔහු රටේ සෑම අංක තහඩුවකම ‘ට්‍රැජුල්ලෝට ජය’යනුවෙන් සටහන් කළේය. තම පුතාට වසර තුන සපිරෙන විට කර්නල් පදවියක් පිරිනැමූ ඔහු පුතාට වයස දහය වන විට ජනරාල් පදවිය දුන්නේය. රටේ සියලු ගොඩනැඟිලි, පාලම්, බෝක්කු, කඳු, හෙල් සියල්ලට තම පවු‍ලේ නම් යොදන්නට ඔහු ප්‍රිය කළේය.

ඔහු පවා බලය ගන්නට පෙර අපූරු 'සුරංගනා කතා' සමාජගත කළේය. අන්තිමට මිනී කන්නන්ගේ රටක් නිර්මාණය කළේය.

මිනිස් ස්වභාවය වන්නේ 'අරුමෝසම්' චමත්කාරයට ලොල් වීමය. මේ රටවල මිනිස්සු ඒවාට රැවටී තීන්දු තීරණ ගෙන ලෝකයේ මුල්ලට කොන් වූ රටවල් තනා ගත්හ.

සෑම් මානික්ෂෙව් 1972 ඉන්දියාවේ ජයග්‍රාහී රණ ශූරයෙකි. ඔහු, ඉන්දීය උපමහද්වීපයේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයාය. ඔහුට ඔහුගේ හමුදාමය කටයුතු නිසා සෑහෙන කීර්තියක් තිබුණේය. ඒ වන විට රට පාලනය කළේ ඉන්දිරා ගාන්ධිගේ කොන්ග්‍රසයයි. එය පරාජය කිරීම උදෙසා එවක ඉන්දීය විපක්ෂය සෑම් මානික්ෂෙව් වෙත "දැල" එළමින් සිටියේය. ඒ බව ඉන්දිරා දැනගත් සැනින් ඈ කළේ සෑම්ව සිය නිල නිවෙසට ගෙන්වාගෙන ඔහු හා කතා කිරීමය.

"ඔබ සදාකාලික ජාතික වීරයෙක්. ඔබට අද කොහේවත් සතුරන් නෑ. ඔබ දේශපාලනයට ආවොත් ඔබේ එක් පැත්තක පාක්ෂිකයන් ඉඳීවි. නමුත් කිහිප පැත්තකින් සතුරන් හිඳීවි. කල්පනා කොට තීන්දුවක් ගන්න"

ඉන්දිරා තේ පැන් සංග්‍රහයක් අතරේ සෑම්ට කීවාය.

ඔහු තියුණු ලෙස කල්පනා කළේය.

"මම රණවිරුවෙක්, දේශපාලකයෙක් නොවේ." ඔහු එහෙම තීන්දු කළේය.

හමුදාව සහ දේශපාලනය තේරුම් නොගන්නා සමහරු ඒ දෙකම කළ හැකි යැයි මානසික ස්වයං වින්දනයක සිටිති. එහෙත්, හමුදා පාලකයින්, හෝ හමුදාවෙන් පැන්ෂන් ගිය අය රටක් ගොඩනැගූ ඉතිහාසයක් හොයා ගන්නට නම් නැත.

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා