නීති දෙකක් එක රටක්

 ඡායාරූපය:

නීති දෙකක් එක රටක්

රාජ්‍යයක් නීතියේ පාලනය මත පාලනය වීම යන්නෙහි කේන්ද්‍රීය අදහස වනුයේ රාජ්‍යයේ පාලනයකට අදාළවන්නා වූ සියලුම කරුණු සම්බන්ධයෙන් රජයේ උසස්ම නිලධාරියා ලෙස ක්‍රියාත්මකවන ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා, කැබිනෙට්ටුව ඇතුළු සියලුම මැති ඇමැතිවරුන්, නීතියේ සඳහන්ව ඇති පරිදි පවත්නා නීතියට යටත්ව ආන්ඩු කිරීමය. එමෙන්ම නීතිය පසිඳලන අධිකරණ විනිශ්චයකාරවරුන්, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවය කටයුතු කළ යුත්තේ ඔවුන්ට නීතියේ සඳහන් පටිපාටියට යටත් බවය. එසේ නීතියෙන් පවරා ඇති ආකාරයෙන් ඔබ්බට ගොස් නීතියේ සඳහන් නොවන ෙලස ෙමාවුන් සියල්ල තම නීත්‍යානුකූල බලය අතික්‍රමණය කිරීම බරපතළ වරදකි. නීතියේ සඳහන් ක්‍රමයෙන් බැහැරව කටයුතු කිරීම බරපතළ වරදක් වනවා සේම එලෙස සඳහන් නෛතික කරුණු නොසලකා පැහැර හැර කටයුතු කිරීමද එක හා සමාන වූ බරපතළ වරදකි.

අධිකරණයේ කුණු

නීතියේ පාලනය පිළිබඳව ලොව සුප්‍රකට කෘතියක් වන The Rule of Law රචනා කරමින් බ්‍රිතාන්‍යයේ සිටි කීර්තිමත්ම අග්‍රවිනිශ්චයකාරයා ලෙස සලකන ටොම් බින්හම් විසින් නීතියේ ආධිපත්‍ය හෙවත් නීතියේ මත පාලනය ගැන සරළව මෙසේ සඳහන් කර ඇත. 'රාජ්‍යයක් තුළින් ක්‍රියා කරන සියලු තැනැත්තන්, ඔවුන් පොදු ආයතනික තැනැත්තන් වුවත්, පුද්ගලික තැනැත්තන් වුවත්, ප්‍රසිද්ධියේ සාදන ලද, අනාගතයේ බලපවත්වන සහ උසාවිවලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීතිවලින් බැඳීසිටිය යුතු ය. ඒවායේ ප්‍රතිලාභ වලට හිමිකම් කිව යුතුය.' නීතියේ ආධිපත්‍ය හෙවත් නීතිය මත පාලනය පිළිබඳව එලෙස නිර්වචන කප්පරක් ඇතත් අප රට අනාදිමත් කාලයක සිට නීතියේ ආධිපත්‍ය තුළ පාලනය වීද? විධායකයේ සිට විනිසුරුවරුන් දක්වාද එතැනින් පහළ සියල්ලද නීතිය නොසලකා හරිමින් කටයුතු කළ ඉතිහාසයක් සහ වර්තමානයක් අපට තිබේ. වෙනදා සිදු වුෙව් විධායකය විසින් සියල්ල තම බල පරාක්‍රමයට තුළ නතුකර පාලනය කිරීමය. අදවන විට එය විනිසුරන්ද සිදුකරමින් සිටින බව ෙප ෙන්. යුක්තිය ඉටුකිරීම සහ ඉටුකරන බව පෙනෙන්න තිබිය යුතුය යන නීතියේ සඳහන් මූලික හරයන් පිළිබඳව මහජනතාව තුළ සැක පහළවන අයුරින් කටයුතු කරමින් තිබීම ඊට ෙහ්තු සාධක වී අැත. නීතිය මීට පෙර වකවානුවල සේම තවදුරටත් රාජ්‍ය බලය හසුරවන බලවතුන්ට හා හිතෛෂීන්ට එක් ආකාරයකටත්, සාමාන්‍ය මහජනතාවට වෙනත් ආකාරයකටත් සැලකීම දිගින් දිගටම සිදුවේ. ඊට මෑත උදාහරණද ඕනෑ තරම්ය. සමස්ත අධිකරණ දේහය කුණුවීමත්, කුණු ඒ තුළට පැටවීමත් ඊට ප්‍රධානම ෙහ්තුවයි. තවම ඒවා ශුද්ධ කිරීමේ නිසි ක්‍රමවේදයන් ස්ථාපිත නොකිරීම හා නිසියාකාරව ක්‍රියාත්මක නොවීමත් හේතුවෙන් යහපාලනයද කප්පරක් වචනවලින් එහාට නොගොස් එකතැනම පල්වනු පෙනේ.

විනිසුරු ඊවා වනසුන්දර

"දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ, නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා, ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත්‍රශීලීත්වයෙන්ම කතා කළා. ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර තමන් නීති විද්‍යාලයේ සිට ඇසුරු කළ මිත්‍රයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට විනිසුරු ධුරය ලබා දීමට අරලියගහ මන්දිරයට කැඳවූ ආකාරය ගැන කියා තිබුණේ 2014 ජූලි 6 වෙනිදා දේශය පුවත්පතේ 5 වැනි පිටුවට දී තිබූ සම්මුඛ සාකච්ජාවකදීය. ඇය එතැනින් නොනැවතී නීති විද්‍යාලයේදී නීති ශිෂ්‍ය මහින්ද රාජපක්ෂ කළ කී ආදරණීය මතකයන් ගැනද දීර්ඝව කියා තිබිණි.

අතුරු තහනම් නියෝග

එම සම්මුඛ සාකච්ජාවෙන් මාස 10කුත් දින 7කට පසුව එනම් 2015 මැයි 13 වෙනිදා හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඊවා වනසුන්දර, සරත් ආබ්‍රෲ සහ බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන් අසුන් ගන්නා ලදි. එහිදී පෙත්සම විභාගයට පෙරම පුද්ගලික කරුණක් නිසා එම පෙත්සම විභාග කළ නොහැකි බව කියූ විනිසුරු බුවනෙක අලුවිහාරේ විනිශ්චාසනයෙන් බැස ගිය අතර ඊවා වනසුන්දර සහ සරත් ආබ්‍රෲ දෙපළ මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසය මඟින් ගෝඨාභය රාජපක්‍ෂව අත්අඩංගුවට නොගත යුතු බවට අතුරු තහනමක් එම වසරේ ඔක්තෝබර් 6වැනිදා දක්වා පනවන ලදි. මූල්‍ය වංචා හා රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා ඒ වනවිට අත්අඩංගුවට ගෙන සිටි තමාව නිදහස් කරන ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙහිද විනිසුරු ඊවා වනසුන්දර සිටින ලදි. එහිදී පුද්ගලික හේතුමත තමන් එම විනිසුරු මඩුල්ලෙන් ඉවත්වන බව විනිසුරු ඊවා වනසුන්දර මැයි 25 වෙනිදා අධිකරණයට දන්වන ලදි. ඒ අනුව එම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාත් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ යන විනිසුරුවරුන් හමුවේ කැඳවීමට පසුව තීරණය විය. මේ වනවිටත් දිගින් දිගටම අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ. එම අතුරු තහනමට වසර තුනක්ද නික්ම ගොස් තිබේ. බැසිල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉවත් වූ ආකාරයටම ගෝඨාභය නඩුවෙන්ද විනිසුරු ඊවා වනසුන්දර පසුව ඉවත් වූවාය.

ළබැඳියාවන් අතර ගැටුම

ලංකා ඉරිදා සංග්‍රහය "අධිකරණය කෙළෙසීම දරුණු අතට" මැයෙන් පළ කර තිබූ ලිපියකට අනුව හිටපු අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් සහ විනිසුරු ඊවා වනසුන්දරට තවත් චෝදනාවක් එල්ලකර තිබිණි. එම ලිපියට අනුව මීට වසර හයකට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විදුලිබල පෞද්ගලික සමාගමේ නිළධාරීන්ට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පවරා තිබී ඇත. එහිදී එවකට නීතිපතිවරයාව සිටි මොහාන් පිරිස් එම නිළධාරීන්ගෙන් අල්ලස් ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ඉවත හෙලූ බවට චෝදනා එල්ලවී තිබූ බවත්, එවකදී විනිසුරු ඊවා වනසුන්දර වැඩ බලන නීතිපතිවරිය ලෙස කටයුතු කර තිබී ඇති බවත් සඳහන්ව තිබිණි. එවකදී එම නඩුව පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කරුණු නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති දෙපාර්තුමේන්තුව විසින් දන්වා තිබී ඇති බවත් සඳහන්ව තිබේ. එම චෝදනා මත මොහාන් පීරිස් වගඋත්තරකරුවෙකු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යළිත් පසුගිය වසරේ අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු වී කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. එහිදී ඊට එරෙහිව මොහාන් පීරිස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරමින් මහාධිකරණ නඩුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලා ඇත. ලංකා ඉරිදා සංග්‍රහය වාර්තා කරන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම රීට් පෙත්සම සළකා බලන ලද විනිසුරු මඩුල්ලේ ඊවා වනසුන්දර විනිසුරුවරියද සිට ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ මහාධිකරණයේ නඩු විභාගය වාරණය කිරීමටය. මොහාන් පීරිස් නීතිපතිව සිටියදී එවක වැඩබලන නීතිපතිවරිය වූූ ඊවා වනසුන්දර එසේ තිබියදී රීට් පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වීමට තරම්වත් ආචාරධාර්මිකව ක්‍රියා කිරීමට ඉදිරිපත් නොවී අධිකරණය අපකීර්තියට පත් කරමින් කටයුතු කර ඇති බවද ලංකා ඉරිදා සංග්‍රහය අනාවරණය කර ඇත. මෙකී ළබැඳියාවන් අතර පවතින නඩු විභාග විනිශ්චය කිරීමම යුක්තිය පසිඳලීමේ මූලිකම හරයන් බිඳ දමන්නක් බව බැලූ බැල්මටම පෙනේ. මෙකී හිටපු අග්‍රවිනිශ්චයකාරවරයාම මෛත්‍රීපාල ජනාධිපතිවරයා හමු වී කැමති පරිදි තීන්දු තීරණ දිය හැකි බව ප්‍රකාශ කළායැයි ජනාධිපතිවරයාම කියනු මාධ්‍ය ඔස්සේ මහජනතාව දක්නා ලදී.

විනිසුරු සරත් ආබෲ

හිටපු ජනාධිපතිවරයා විසින් 2014 මැයි 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ සරත් ආබෲ විනිසුරුවරයාගේ ඉතිහාසය පහරදීම්, ලිංගික අඩත්තේට්ටම් චෝදනා කප්පරක් සහිත ගඳ ගහන ඉතිහාසයක් බව රටටම නොරහසකි. ඔහු බලපිටියේ හා මොරටුව මහේස්ත්‍රාත් විනිසුරුවරයකු ලෙස සේවය කළ සමයේ පොලිස් නිලධාරීන්ට පහරදීම් සිදුකර තිබුණි. ඒවා සියල්ල පසුව ගොඩින් බේරාගන්නා ලදි. 2010 වසරේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරමින් විසිහැවිරිදි මෙහෙකාරියකට ලිංගික අඩත්තේට්ටම් කරනු ලැබීය. එවකදී යුක්තිධර්මී හා ආචාරධාර්මී විනිසුරුවරු ආබෲ විනිසුරුවරයා සමඟ විනිශ්චයාසනයේ වාඩි වීම ප්‍රතික්ෂේප කළහ. ඒ කිසිවක් විධායක ජනපති බලය සහ නීති විද්‍යාලයේ යාලු මිත්‍රකම් ඉදිරියේ දී නොවැදගත් විය. විධායකය විසින් ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කළා මිසක අධිකරණය පිරිසිදු තැනක් නොකරන ලදි.

‘‘සර් නිතර ගෙදර බොනවා. පාටි වලට ගියාම බොනවා. රෑට පාටි වලදි සිංදු කියනවා. එහෙම බීලා සමහර දවසට තනියම කාර් එක අරගෙන එනවා. රෝයල් තෝමියන් බිග් මැච් එක බලන්න කොහොම හරි යනවා. ක්‍රිකට් වලට ගොඩක් ආසයි. කින්ග්ස්බරි හෝටලය ඉස්සර ඉන්ටකොන්ටිනන්ටල් කියන නමෙන් තිබුණේ. ඒකෙදී නිතර බිව්වා මහින්ද රාජපක්ෂලා වගේ ලොකු ලොකු අය එක්ක. එහෙම ගිහින් ඇවිත් කාර් එකට නැග්ගම කියනවා අද බිව්වෙ ජනාධිපතිතුමා එක්ක, අපි රට ගෙනියන්නෙ මෙහෙමයි අරහෙමයි කියලා. ඉස්සර උසාවියේ එක එක ප්‍රශ්න දාගෙන දවස් දෙක තුන වැඩට නොයන වෙලාවල් තියෙනවා. එතකොට මීටින් කියලා අරලියගහ මන්දිරේට යනවා. කොහොම හරි අර ප්‍රශ්න ඉවර කරගෙන ආයෙ උසාවි යනවා. එතුමා උසාවියේ විකාර කරද්දි ඒ ජීවිතේ නතර කරන්න ගොඩක් අය උත්සාහ කළා. රෝහිණි පෙරේරා මැඩම්ගේ නිල කාමරේ තිබුණේ අපේ සර්ගෙ එකට අල්ලපු එක විදියට. මැඩම් සර්ගෙ වැඩ ඔක්කොම දැනගෙන හිටියා කියල මැඩම්ගෙ පීඑස්ඕ අපිත් එක්ක කියනවා. කොහොම හරි සර් එක්ක එකට නඩු අහන්න බෑ කියලා රෝහිණී මැඩම් ඒ කාලේ පැමිණිලිත් කළා. ‘‘

අතුරු තහනම වලංගුද?

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබ්‍රෲගේ නිල ආරක්ෂකයාව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ලියුම්කරු හමුවේ පැවසූ දෑ අතරින් උපුටාගත් කොටසක මෙලෙස සටහන්ව තිබුණේ 2016 සැප්තැම්බර් 4 වෙනිදා ඉරුදින පුවත්පතෙහිය. මේ සාක්ෂි මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බොහෝ දෑ නිරුවත් කරනු ඇත. අද වනවිට සරත් ආබෲ විනිසුරුවරයා ජීවිතයෙන් නික්ම ගොස්ය. එහෙත් ඔහුගේ නීති විද්‍යාල මිත්‍රයාගේ සොහොයුරා වෙනුවෙන් 2015 මැයි 13 විනිසුරු ඊවා වනසුන්දර සමඟ එක්ව ලබාදුන් අතුරු තහනම් නියෝගය තවමත් එලෙසම ක්‍රියාත්මක වේ. ගජ මිතුරු නීති නාටක තව කොතෙක් තිබේද? එදත් අදත් මෙලෙස නීතිය නැවෙද්දී මහජනතාව යුක්තිය පිළිබඳව බලාපොරොත්තු තබා ගනු ඇත්ද? අධිකරණ හා නීතිය විෂයේදී යුක්තිය පසිඳලීම සඳහා යොදාගැනෙන සංවිධාන ක්‍රම, විනිසුරන් තෝරාපත් කර ගැනීම, ඔවුන්ගේ විනය පාලනය, උසස්වීම් ලබා දීම සඳහා යොදා ගැනෙන ක්‍රමවේදය, බලය පාවිච්චි කිරීමේදී පිළිපැදිය යුතු කොන්දේසි පිළිබඳව කටයුතු කළ විධායක ජනාධිපතිවරයාද අද තනතුරෙන් නික්ම ගොස් ඇත. එහෙත් තවමත් දූෂණ චෝදනා ලාභී විනිසුරුවරු අධිකරණයේ ධුර දරමින් සිටිති. නීතිඥ සංගමයද මහජනතාවද තවමත් නිහඬය.

විනිසුරුවරු නැගිට යෑම

මේවනවිට හිටපු අමාත්‍යංශ ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු විනිශ්චය කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් වූ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ඊවා වනසුන්දර මීට පෙර එම නඩුවලින් පුද්ගලික හේතු ඇති බව දන්වා ඉවත් වී ඇත. මේ සියලුම විනිසුරුවරුන් හිටපු ජනාධිපතිවරයා විසින් එවකදී පත් කළ විනිසුරුවරුන්ය. අධිකරණයේ පහළ විනිසුරු භූමිකාවේ සිට ඉහළ දක්වා ක්‍රමිකව ආ අයද නොෙවති. අධිකරණ සේවාවෙන් කෙළින්ම විධායක බලය ප්‍රකාරව විනිසුරු ධුරයට පත් කළ විනිසුරුවරුන්ය. මෙවැනි පත්කිරීම් කප්පරක් තිබේ. එය විධායක බලය ප්‍රකාරව නීත්‍යානුකූල බවට යමෙක්ට තර්ක කළ හැකිය. එහෙත් ඒවා එදා සහ අද ක්‍රියාත්මක වන අකාරය අනුව ස්වාභාවික යුක්තිය මූලධර්ම පිළිබඳව කොතෙක් දුරට විශ්වාසය තැබිය හැකිද යන්න ගැටලුවකි. අවසන්වරට මෙම නඩු විභාගය කැඳ වූ පසුගිය ජුනි 1 වෙනිදා විනිසුරු මූර්දු ප්‍රනාන්දු ද පුද්ගලික හේතුවක් මත ඉවත්වන බව දන්වා නඩු විභාගයෙන් ඉවත් විය.

මේ වන විට මෙම පෙත්සම් විභාගයට වසර 3ක් ගතව තිබේ. මෙම නඩුව විභාග වනවා වෙනුවට දිනෙන් දින කල් යවමින් විනිසුරුවරුන් ඉවත් වෙමින් තිබේ. එලෙස නඩු දින කල් යන්නේ ද මාස 6 ක පමණ කාලයකට වන අතර පසුගිය ජුනි 01 වෙනිදා ඇසුණු නඩුව නැවත කල් ගියේ නොවැම්බර් 27 වෙනිදාට ය. 2018 වසර සඳහා නඩු විභාගය මෙතෙක් ගෙන ඇත්තේ දින 3ක් පමණි.

ඇප පනත වෙනස් වීම

ඇප පනත ප්‍රකාරව තමන්ව අසාධාරණයක් සිදුවීමට නියමිත හෝ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගනු ලැබීමට නියමිත නම් අපේක්ෂිත ඇප තමන්ගේ පදිංචිය අනුව අදාළ මහේස්ත්‍රාත් බලය සහිත මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටිය හැක. ඇප පනත අනුව සහ ලියුම්කරුගේ දැනුම අනුව නීතියේ සඳහන් පටිපාටිය එයවන අතර යම් ලෙසකින් එම අපේක්ෂිත ඇප ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුවහොත් ඉන්පසුව මහාධිකරණය වෙත ප්‍රතිශෝධන අපේක්ෂිත ඇප ඉල්ලුම්පතක් යොමු කළ හැකිය. නිර්දෝෂී යමෙකු වේ නම් ඔහුට දඬුවම් කිරීම වෙනුවට හැකි සෑම අයුරකින්ම අධිකරණ පද්ධතිය සැකසී ඇත්තේ මහජන‍යාට යුක්තිය හා සාධාරණත්වය ලබාදීමේ අරමුණෙනි. ඒ අනුව මහාධිකරණයෙන්ද යම් අයුරකින් අපේක්ෂිත ඇප ඉල්ලුම්පත නිෂ්්‍ප්‍රභ වුවහොත් ඊට ඉහළ උසාවියකට ඇප ඉල්ලුම්කරුට යා හැකිය. ඒ සඳහා දන්නා හා අප අසා ඇති නීතිය අනුව පහළ අධිකරණ ක්‍රියාවලියේදී අපේක්ෂිත ඇප ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීම සිදුවිය යුතු අතර එම ක්‍රියාවලිය පසුකරගෙන යා යුතුය. එහෙත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයා තම අපේක්ෂිත ඇප අයදුම්පත කෙළින්ම යොමුකරන්නේ මෙරට උපරිමාධිකරණය වෙතය. එහිදී එක් විනිසුරුවරයෙක් පුද්ගලික හේතුන් ඇති බව දන්වා බැස යන අතර රාජපක්ෂ පවුලේ හිතවතුන් දෙදෙනෙකු වූ විනිසුරු සරත් ආබෲ සහ ඊවා වනසුන්දර එම පෙත්සම පහළ මහේස්ත්‍රාත් අධිකරණයකට යොමු නොකර කෙළින්ම අත්අඩංගුවට ගැනීමේ අතුරු තහනම් නියෝග පනවනු ලබයි. තමන්ම එවැනි අතුරු තහනමක් ලබා දී පසුව එම නඩුවෙන් බැස යන්නේ පුද්ගලික හේතු ඇති බව ප්‍රකාශ කරමිනි. මුල් වතාවේම තමන් විසින් අතුරු තහනම් නියෝගය ලබාදීමට පෙර තමන්ට පුද්ගලික හේතු ඇති බව ලිඛිතව සටහන්කර ඉවත්වීමට නීතියේ ප්‍රතිපාදන මත හැකිය. එසේ නොකර අතුරු තහනම ලබා දී ඉන් ඉවත්වීම යුක්ති යුක්තද යන්න සැක සහිතය.

අධිකරණය කා සඳහාද?

මෙම තර්කයන් අධිකරණයේ දේශපාලනකරණය වීම් පිළිබඳව අලුත් කතාවක් නොවේ. එමෙන්ම සමස්ත අධිකරණ පද්ධතියම විනාශ කිරීමේ අරමුණක් සඳහා ලියවෙන්නක්ද නොවේ. මෙය හුදෙක්ම නීතියේ පාලනය මත රටක් හා මහජනතාවක් පාලනය විය යුතු බවටත්, රටේ නීතිය සැමට සාධාරණ හා ඊට ඉහළින් කිසිවෙකුත් නොසිටිය යුතුය යන ක්‍රියාවලිය පිළිබඳවත් මතක්කර දීමකි. එක් දිනකින් අග්‍රවිනිශ්චයකාරවරු ධුරයෙන් පහ කෙරුණු, නීතිඥ සංගම්වලට හා එහි නිලධාරීන්ට මහ දවාලේ පහර දුන් ඉතිහාසයක් මෙරටට තිබිණි. මහින්ද කහඳගම වැනි දේශපාලන මැරයන් රටේ උපරිමාධිකරණය ඉදිරියේදී නීතියට පොලුවලින් ගැසූ ඉතිහාසයක් මෙරටට තිබිණි. නමුත් මේ කතාව මහින්ද, මෛත්‍රීපාල හෝ රනිල් තබා අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ගෝඨාභය පිළිබඳව හෝ නොවේ. මේ ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් මහජනතාවට පෙනී සිටීමට අයිතියක් තිබේ. ඒ කැමැත්තට මාධ්‍යකරුවන් වේවා නීතිඥයන් වේවා දේශපාලඥයන් වේවා ගරු කළ යුතුය. එහෙත් මේ ඕනෑම දේශපාලන කඳවුරකට අයත් මහජනතාව අවසානයේ තමන්ට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් යා යුත්තේ අධිකරණය ඉදිරියටය. එහි ඇති හැකි සුලුතරයට එක නීතියකුත්, නැති බැරි බහුතරයකට තවත් නීතියකුත් තිබිය නොහැකිය. අද මේවාට ආවඩන යමෙක් වේද, ඒ දේශපාලඥයෙක් ද ඒ විනිසුරුවරයෙක් ද හෙට දිනයේ නීතිය වෙනස්ව ක්‍රියාත්මක වනු ඇත. එනයින් ස්වාධීන හා සාධාරණ, බැලූ බැල්මට සියල්ලට යුක්තිය ඉටුවන බව පෙනෙන අධිකරණයක් සියල්ල අපේක්ෂා කළ යුතුය. ඒ වෙනුවෙන් පෙරට ආ යුතුය. අපරාධ හෝ අසාධාරණ තම තමන්ගේ දොරට තට්ටුකරන තුරු නොසිට සියල්ල අරගල කළ යුත්තේ නීතිය මත පාලනය ඇති කර ගැනීමටත්, අපරාධ විනිර්මුක්තියට එරෙහිවත්ය.

[කසුන් පුස්සෙවෙල]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?