සංවර්ධන වැඩ ගැන සාක්ෂි ඉතිරි කළ මුද්දර

 ඡායාරූපය:

සංවර්ධන වැඩ ගැන සාක්ෂි ඉතිරි කළ මුද්දර

ඈත අතීතයේ සිටම කෘෂිකර්මාන්තය මත ගොඩනැගුණ සවිමත් ස්වයං පෝෂිත ආර්ථිකයකට උරුමකම් කියූ ශ්‍රී ලාංකිකයෝ එකී කර්මාන්තය සදහා වාරි ජල සම්පාදන ප්‍රමුඛ කොට ගත්තේය. වියළි කලාපය කේන්ද්‍රකරගත් කෘෂිකර්මාන්තයට අවැසි ජලය රැස්කිරීම සදහා ඉදිකරන ලද විශ්මිත වාරි පද්ධතිය සියවස් ගණනාවක්ම රට සරු සාර කළේය.

පොළොන්නරුව රාජධානිය බිඳ වැටුණු පසුව සහ යටත් විජිත යුගයන්හිද ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු නොවිණ.

ඩී.එස්.සේනානයක මහතා

කාලිංග මාඝ අක්‍රමණයෙන් පසුව නුවර කලාපය ඇතුළු මුළු රජරටම ඝන වනාන්තරයෙන් වැසී ජනශූන්‍ය භූමියක් බවට පත්විය. එය නැවතත් සරු බිමක් වන්නේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි.

දේවන ලෝක යුද සමයේදී ජපානය විසින් බුරුමය යටත් කරගැනීම නිසා මෙරට සහල් ආනයනයට විශාල බාධා මතු විය. පිටරට සහල් ගැන බලාපොරොත්තු නොතබා රට ස්වයංපෝෂිත කර ගැනීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, කලාවැව, යෝධ වැව ආදී පුරාණ වාරි කර්මාන්ත පිළිසකර කර ගොවිතැන නගා සිටුවීමට සැරසිණ. කෘෂිකර්මාන්තයට අමතරව වෙනත් සංවර්ධන අරමුණු ඉටුකරගැනිම සදහා බහුකාර්ය ජල යෝජනා ක්‍රම ආරම්භ කරන ලදි. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය එහි මූලික පියවරයි. මධ්‍යම කදුකරයෙන් ඇරඹී නැගෙනහිරින් මුහුදට ගලායන ගල්ඔය, ඉඟිනියාගලදී හරස්කොට වේල්ලක් බැද විශාල ජලාශයක් තැනිනි. එය ඩී.එස් සේනානායකයන්ට ගෞරව පිණිස සේනානායක සමුද්‍රය ලෙසින් නම් විය.

ඩඩ්ලි සේනානායක මහතා

ඩී.එස්. සේනානායක යන්ගේ හදිසි අභාවයෙන් පසුව වසර 1952 මාර්තු 22 වැනිදා අග්‍රාමාතය ධුරයේ දිවුරුම් දුන්නේය. ඩඩ්ලි සේනානායකන්ද කෘෂි කර්මාන්තය කෙරෙහි විශේෂ අවදානයක් යොමුකළ නායකයෙකි. වසර 1965 දී නැවතත් බලයට පැමිණි සේනානායකයන් කෘෂි කර්මාන්තයට ප්‍රමුඛ තැන ලබාදෙමින් රටේ ආහාර නිෂ්පාදනය ප්‍රමුඛ කාර්යය ලෙස සලකා කටයුතු කළේය. උඩවලව සංවර්ධන යෝජනා ක්‍රමය ඉන් ප්‍රමුඛය. වලවේ ගග හරස් කරමින් විශාල වේල්ලක් ඉදිකර නිර්මිත ජලාශය හෙක්ටයාර 3440 ක භූමියක පැතිර පවතී. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගංගා නිම්න, සංවර්ධන මණ්ඩලය ගොවිකම් සමුදාව සහ පෞද්ගලික අංශයේ සම්පත් කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යෙදවීම ඩඩ්ලි සේනානායක රජයේ ප්‍රමුඛ කාර්යය විය. කෘෂිකාර්මික කටයුතු අග්‍රාමාත්‍ය කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වු අතර පාසැල් සිසුන් ගොවිකමට එක්කර ගැනීම සදහා පාසැල් විශය මාලාවන්ද අලුතින් සකස් කරන ලදි.

සී. පී. ද සිල්වා මහතා

නිදහසින් අනතුරුව වල් වැදී තිබූ රජරට අස්වැද්දීමට පෙරට ආ නායකයින් අතර සී පී ද සිල්වා නාමයට හිමිවනුයේ සුවිශේෂි ස්ථානයකි. චාල්ස් පර්සිවේල්ද සිල්වා නැත්නම් සී. පී. ද සිල්වා මුලික අධ්‍යාපනය ඉතා උසස් අයුරින් සම්පුර්ණ කර උසස් අධ්‍යාපන කටයුතු සදහා එංගලන්තය බලා පිටත් විය. වසර 1935 දී ලංකාවට පැමිණ ඉතිහාසයේ ළාබාලතම සිවිල් නිලධාරියා ලෙස ද සිවිල් සේවයට එක් විය. අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කයන්හි දී ඒජන්තවරයා ලෙසින් පුරා වසර 7 ක් කටයුතු කළේය.

පසු කලෙක ගාමිණි දිසානායක මහතා මල් ඵල ගැන්වූ මහවැලි සිහිනයේ මුල් අයිති කරුවා සී පී ද සිල්වා මහතාය.

සී.පී. ද සිල්වා මහතා ඩඩ්ලි සේනානායක රජයේ (1965 – 1970) අමාත්‍ය මණ්ඩලයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ප්‍රථම විශය භාර අමාත්‍යවරයා ලෙසින් වර්ෂ 1969 දී පොල්ගොල්ලෙන් උතුරට, අනුරාධපුරයට සහ පොළොන්නරුවට ජලය හරවන පොල්ගොල්ල අමුණ සදහා මුල්ගල තැබුෙව්ය.

මහවැලි ව්‍යාපාරය

මධ්‍ය කඳුකරයෙන් පැන නැඟී කි.මී 321ක් මග ගෙවා ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන දිවයිනේ විශාලම ගංගාව වන මහවැලිය මෙම සංවර්ධන කටයුතු සදහා පදනම විය. නිදහසෙන් අනතුරුව රජයක් විසින් ක්‍රියාත්මක කරන ලද විශාලතම බහුකාර්ය යෝජනා ක්‍රමය මහවැලි සංවර්ධන වැඩසටහනයි.

මහවැලි ගඟ උතුරට හැරවීම පිළිබද අධ්‍යයන ඇරඹෙනුයේ වසර 1950 සිටය. දිවයිනේ ජල සම්පත් සමීක්ෂණයක් සදහා කොළඹ ක්‍රමය යටතේ ආධාර හිමිවිය. වසර 1958 වන විට මෙම අධ්‍යයනයන් නිමා කර තිබුණි. වසර 1968 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල UNDP සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ FAO ආධාරයෙන් මහවැලි සංවර්ධන වැඩසටහනේ මහ සැලැස්ම Master Plan සම්පාදනය කරන ලදි. වසර 30ක් තුළ අදියර 3කින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන ලදි.

ඩඩ්ලි සේනානායක රජයේ (1965 – 1970) මහවැලි සංවර්ධනයට අදාල පළමුවැනි විෂය භාර අමාත්‍ය වරයා වූයේ සී. පී. ද සිල්වා මහතාය. වසර 1969 දී පොල්ගොල්ලෙන් උතුරට අනුරාධපුරය, පොළොන්නරුව ප්‍රදේශවල ජලය හරවන පොල්ගොල්ල අමුණ ඉදිකිරීමට මුල්ගල තබන ලදි.1970 පෙබරවාරි 10 වන දින මහවැලි සංවර්ධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සී.පී ද සිල්වා මහතාය.

මෛත්‍රීපාල සේනානායක මහතා

1970 දී ඇතිවූ ආණ්ඩු පෙරලියක් සමඟින් තවත් කීර්තිමත් දේශපාලනඥයකු මහවැලි ව්‍යාපාරයට මූලිකත්වය දුන්නේය. ඔහු මෛත්‍රීපාල සේනානායකයි. එතුමන් නව රජයේ විෂයභාර අමාත්‍යවරයා විය.

වැව් බැදි රටින් උපන් ජනතා පුත්‍රයකු වූ මෛත්‍රීපාල සේනානායක මහතා අපරාජිතව වසර 47ක් මැදවච්චිය ආසනය නියෝජනය කරමින් වාර්තාවක් තබා ඇති අතර, එතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයකු සහ සභානායක ලෙසින් ක්‍රියාකළ කෘතහස්ත දේශපාලඥයෙකි. එතුමන් 19 වතාවක් වැඩබලන රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කර තිබීමද සුවිශේෂි කරුණකි.

මහවැලි ව්‍යාපාරයේ ප්‍රථම අදියර සාර්ථකව නිමකර ගැනීමට හැකිවූයේ මෛත්‍රීපාල සේනානායක මහතාගේ තිරසාර දැක්ම පදනම් කරගෙනය.

පොල්ගොල්ල අමුණේ වැඩකටයුතු අවසන් කර වසර 1976 ජනවාරි 8 වැනිදා සමගි පෙරමුණු රජයේ අග්‍රමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් විවෘත කරන ලදි.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කෘෂිකර්මාන්තය සඳහා 99%ක බලපෑමක් ඇති මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතියේ පළමුවැනි ශක්‍යතා අධ්‍යයනය සිදුකරන ලද්දේ මෛත්‍පාල සේනානායක මහතාගේ මගපෙන්වීම යටතේය.

සමගි පෙරමුණ රජය පරාජයට පත්කරමින් එක්සත් ජාතික පක්ෂය වසර 1977 දී බලයට පත්විය. එ.ජා.ප.ය හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මගින් කෘෂිකර්මාන්තයට අතිරේකව කර්මාන්ත සංවර්ධනයට අවැසි යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමුකරන ලදි. විදුලි බලය ඊට ප්‍රධාන සාධකයක් වූ බැවින් විදුලිය නිපදවීම සදහා ප්‍රමුඛත්වය ලබා දීමට නව රජයට සිදුවිය.

කඩිනම් මහවැලිය

මහවැලි මහ සැලැස්ම යෝජනා කොට තිබුණේ වසර 30කදී අනුක්‍රමයෙන් නිම කිරීමටයි. නමුත් ඒ සමය වනවිට රටෙහි ආර්ථිකයේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබුණි. මහවැලි ව්‍යාපාරයේ කටයුතු කෙටි කලකින් නිමකිරීමට අත්‍යාවශ්‍ය විය. ඒ අනුව 1977 ඔක්තෝබර් 12වනදා මහවැලි සංවර්ධන මණ්ඩලයට රැස්වූ එවකට අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට තීරණය කරන ලදී.

පසුව එම වසරේ ම ජනපති ධුරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විධායක නායකත්වයෙන්, අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මග පෙන්වීම යටතේ මහවැලි කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණි. මහවැලි කඩිනම් වැඩපිළිවෙලේ වගකීම, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට භාර විය.

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය

මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කරන සෑම කලාපයකටම අවශ්‍ය මංමාවත්, වාරි පද්ධති, නගර නිර්මාණ, පරිපාලන පද්ධති, රෝහල්, තැපැල් සේවා, ගබඩා, පොලීසි ආදී මූලික පහසුකම් ඇතිකිරීම සඳහා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් ඇරඹූ අතර, ඒ යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ස්ථාපනය කෙරිණි.

මෙම කඩිනම් ව්‍යාපෘතිය යටතේ මහවැලි පංච මහා ජලාශ සාදා නිමකිරීමට සැලසුම් සකස් කෙරිණ. එම ජලාශ වනුයේ වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ සහ මොරගහකන්දයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වරයා ලෙසින් ලක් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබු ජේ. ආර්. ජයවර්ධන මහතා මහවැලි ව්‍යාපාරය කඩිනම් කිරීමේ පුරෝගාමියාය. වසර 1977 දී රටේ ආර්ථිකය නව මගකට යොමුකරමින් විවෘත හා නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හදුන්වාදෙනු ලැබිණ. පෞද්ගලික අංශය මූලික වූ සංවර්ධනයට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් සංවර්ධනය, අපනයන මත පදනම් වූ කර්මාන්ත සංවර්ධනය නව රජයේ ප්‍රධාන මුලෝපායන් විය. බලශක්තිය ඒ සඳහා ප්‍රධාන සාධකයක් වූ බැවින් ජල විදුලිය නිපදවා ගැනීමට අවශ්‍ය උපරීම දායකත්වය ජල විදුලි බලාගාර මගින් ගැනීම රජයේ අදිටන වූයේය.

ව්‍යාපෘතිවලට අදාළ වියදම් විදේශ ආධාර මගින් ලබාගැනීමට ජයවර්ධන රජය උත්සුක විය.

ගාමිණි දිසානායක මහතා

1942 මාර්තු මස 20 වනදා ඓතිහාසික කන්ද උඩරට කොත්මලේ පුරවරයේ මාස්වෙලදී මෙලොව එළිය දුටු පුත් රුවන නමින් ලයනල් ගාමිණී දිසානායක නම් විය.ඩඩ්ලි සේනානායක මහතාගේ මගපෙන්වීම යටතේ එජාපයට එක්වූ ගාමිණී දිසානායක මහතා වසර 1977 දී එක්සත් ජාතික පක්ෂයේ ජයත් සමඟින් කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තේරී පත්වීය.

වැවිලිකරයේ දේශපාලනඥයකු වූ ගාමිණී අපේක්ෂා කළේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වීමටය. නමුත් ඔහු නව රජයේ වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස පත්විය. ජේ.ආර්. ඇතුළු 24 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ තුරුණුතම ඇමැතිවරයා ලෙස ගාමිණී දිසානායකයන් දිවුරුම් දුන්නේය.

ගාමිණී සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමට පෙර සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සේනානායක හමුවී සාකච්ඡා කළේය. තමා වැඩ භාරගන්නා උත්සවයට දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම ප්‍රබල ප්‍රතිවාදියකු වූ මෛත්‍රීපාල සේනානායකට සහභාගී වන ලෙස ආරාධනා කරනුයේ ගාමිණීගේ සැබෑ මහත්මා භාවය පිළිබිඹු කරමිනි. යෝධ මහවැලි ව්‍යාපාරය සිදුකළේ ඔහුගේ මූලිකත්වයෙනි.

මොරගහකන්ද ජලාශය

මින්, අක්කර ලක්ෂ3ක් අලුතින් අස්වද්දා ලක්ෂ15කට අධික පිරිසකට සෙත සැලසෙන අතර ලක්ෂ3කට පිරිසිඳු පානීය ජලය සැපයේ. මෙය ශ්‍රීලංකාවේ පළාත් කිහිපයක ව්‍යාප්ත වකුගඩු රෝගය අවම කිරීමට ද හේතුවන බවද විද්‍යාඥයෝ විශ්වාස කරති. ජලාශයේ සම්පූර්ණ ජලධාරිතාව අක්කරඅඩි හයලක්ෂ හැටදහසකි. මෙම ධාරිතාව පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව මෙන් 6ගුණයක් බව වාරි ඉංජිනේරුවෝ පවසති.

මොරගහකන්ද සහ ඒ හා සම්බන්ධ කළුගඟ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම, උතුරුමැද, වයඹ, හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට දියවර සැපයෙනු ඇත. මෙගාවොට් 25ක ධාරිතාවෙන් යුත් විදුලිබලයක් ජලාශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

මහවැලි පංච මහා ජලාශයන්හිදී අවසානය අඹන්ගඟ හරස් කර ඉදිකරන ලද මොරගහකන්ද ජලාශයයි. 2018 ජනවාරි 08 වැනිදා මොරගහකන්දේ මංගල දියවර මුදා හැරණුයේ ගරු ජනාධිපති තුමන්ගේ මොරගහකන්ද සිහිනය සැබෑ කරමිනි.

ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා

මොරගහකන්ද ජලාශය ඒ.එන්.එස්. කුලසිංහ ජලාශය ලෙස නම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත්කළේ පසුගිය 08වැනිද‌ා පොල්ගොල්ලේදීය. ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ සාලිස් වසරක මහවැලි අසිරිය වැඩසටහනේදීය.

විදේශ ගතව සිටි කුලසිංහයන් ලංකාවට කැඳවූයේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. ඉංජිනේරුවන් කීපදෙනෙකු සමඟ සිටි කුලසිංහයන් ගෙන් ජයවර්ධන මහතා අසන්නේ වසර 30කින් නිමකිරීමට නියමිත මහවැලිය වසර 5-8කින් නිමකළ හැකිද යන බවය. අනෙක් විශේෂඥයන් බැහැ කියද්දී කුලසිංහයන් වගකීමට කරගැසුවේය. කුලසිංහයන් මුලින්ම අතගැසුවේ වික්ටෝරියා ව්‍යාපෘතියටය. පස් භාවිත කරමින් වේලි ඉදිකිරීම පිළිබඳ ලෝකයේ විශේෂඥ දැනුම තිබුණේ ලංකාවේ බව කුලසිංහයන් හොඳින් දැන සිටියේය.

ගරු ජනාධිපතිතුමන් විසින් විවෘත කරන ලද මොරගහකන්ද ජලාශය ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතාට උපහාර පිණිස එතුමාගේ නමින් නම් කරන ලදි.

ජනවාරි 08

2015 ජනවාරි 08 ගරු ජනාධිපතිතුමන් ජනාධිපතිවරණයෙන් ජයගත් ඓතිහාසික දිනයයි. වසර 1976 ජනවාරි 08 වැනිදා පොල්ගොල්ල සංකීර්ණය විවෘත කිරීමෙන් ආරම්භ වූ මහවැලි ව්‍යාපෘතිය අවසන් වූයේ 2018 ජනවාරී 08 වැනිදාය.

[නිරෝෂණ පීරිස්]

මාතෘකා