පැරණි සිල්ලර කාසි එකතු කරන 'සල්ලිකාරයා!'

 ඡායාරූපය:

පැරණි සිල්ලර කාසි එකතු කරන 'සල්ලිකාරයා!'

වියදම් කිරීමට මුදල් සොයන මිනිසුන් අතර ඔහු වෙනස් මිනිසෙකි. ඔහු මුදල් සංරක්ෂණය කරයි. ඒවායින් වැඩිහරිය කාසිය. ලංකාවේ කාසි හැරුණු විට වෙනත් රටවල කාසිද ඔහු සතුය. නෝට්ටුවලින් ගණුදෙනු කරන යුගයක කාසි ළඟ තබා ගැනීම හා සංරක්ෂණය වෙනස්ම දෙයකි. එය ඔහුගේ විනෝදාංශයයි. වසර 40කට පෙරාතුව කාසි කිහිපයකින් ඇරඹි මෙම විනෝදාංශය අද වන විට කෞතුකාගාරයක් දක්වා වර්ධනය කර ගැනීමට තරම් කාසි එකතුවක් ඔහු සතුය. ඔහු පවසන පරිදි මෙය ආරම්භ කර ඇත්තේ තමන්ගේ මෑණියන්ගේ කීමටය. මෙහි ඇති සිය ගණනක් කාසිවල මිල මෙතකැයි නම් කළ නොහැකිය. ඔහු නමින් එස්.ජේ. ජයනන්ද පෙරේරාය. පදිංචිය බණ්ඩාරවෙල, උතුරු කැබිල්ලවල ප්‍රදේශයේය.

ක්‍රිස්තු පූර්ව යුගය

"මුහුදුබඩ ප්‍රදේශවල අරාබිවරුන් ඇවිල්ලා රතු මුහුද, සේද මාවත හරහා ඇවිත් ගනුදෙනු කරපු කාසි තියෙනවා. අවුරුදු දහස් ගණනක් පැරැණි කූර වගේ මුදල් තිබිලා තියෙනවා. බ්‍රිතාන්‍යයට යටත් කාලේ නිකුත් කරපු කාසි ටික ඔක්කොම මා ළඟ තියෙනවා. ඕලන්දයට යටත් කාලේ සියල්ල තියෙනවා. ඒ කියන්නේ වී.ඕ.සී. කාසි. නිරුවත් ගැහැනු රූපයක් සහිතව කාසියක් තියෙනවා. ඒ තමයි ලක්ෂ්මී දේවිය. ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ භාවිත කළ එකක්. බුදුන් වහන්සේ ඉපදුණේ ක්‍රිස්තු පූර්ව පහේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට වඩා බුදුන් වහන්සේ වසර 550ක් වැඩිමහල්. ලක්ෂ්මී දේවියගේ කාසිය ලංකාවේ භාවිත වෙන කොට සිද්ධාර්ථ කුමාරයා ඉපදිලත් නෑ.

බුදුන්ගේ කාලයේ භාවිත වූ කාසියකුත් මෙතැන තියෙනවා. විජය රජ්ජුරුවෝ ලංකාවට ගොඩබැස්සෙත් බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවන්නේත් එකම දවසෙ. මේ කාසිය බුදුන් වහන්සේ සමයේත් තිබිලා තිබෙනවා. විජය රජ්ජුරුවොත් දැකලා තියෙනවා. අපේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හදන්න මේ කාසි 30,000 ක් නිර්මාණකරුට දීලා තියෙනවා අත්තිකාරමක් හැටියට. කොක්ක වාගෙ සල්ලියකුත් තිබුණා.

1474 මහනුවර රාජධානි සමයේ කාසියක් තියෙනවා. 1821දී ලංකාවේ ඩොලර් පාවිච්චි වුණා. සිංහලෙන් කියන්නේ පතාගය කියලා. රිදී පතාගය කියන්නේ ඩොලර් එකක්. පයිස 45ක් පතාග එකයි. සිංහල ස්වස්ථිකේ කාසිය මං ළඟ තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න පෙර කාසියක්. සුද්දෝධන රජ්ජුරුවන්ගෙ මගධ දේශයේ ධජයේ තිබ්බේ මාළුවෝ දෙන්නෙකුගේ ලාංඡනයක්. ඒ සලකුණම අපේ කාසියක තියෙනවා. යාපනේ දෙමළ රජවරුත් මාළුවෝ දෙන්නෙකුගේ ලාංඡන සහිත කාසි පාවිච්චි කර තියෙනවා.

හැම රටකම කාසි

ලෝකයේ ඕනෑම රටක පැරැණි සල්ලි මා ගාව තියෙනවා. යුගෝස්ලෝවියා, බෘෘනායි, නෙදර්ලන්ත, රැසියාව, හොංකොං, ඉතාලි, ජපන්, ඉරාකය, භූතානය, බහරේන්, තුර්කි, ප්‍රංශ, නේපාල වගේ හැම රටකම ඒවා තියෙනවා. මේවා කෞතුකාගාරයේවත් නෑ.

මහ බැංකුව වෙනුවෙන් මා නිර්මාණය කළ කාසි තුනක් තියෙනවා. දිස්ත්‍රික්ක කාසි අතරේ ඒවා තියෙනවා. පෘතුගීසීන් ලංකාවේදී භාවිතා කළ කාසි වෙනම තියෙනවා. විවිධ හැඩතල සහිත කාසි අපට දැක ගන්න පුළුවන්. අට පට්ටම්, හය පට්ටම්, විසි පට්ටම් තියෙනවා. රවුම් ඒවා තියෙනවා. හතරැස් තියෙනවා. විවිධ ලෝහ කාසි තියෙනවා. රන්, රිදී, තඹ, පිත්තල, ඇල්මිනියම් ආලේපිත, වාත්තු, මිශ්‍ර ලෝහ, නිකල් කාසිත් තියෙනවා. රහස් අක්ෂර සහිත කාසි තියෙනවා. ලංකාවේ භාවිත කළ සියලු රිදී කාසි මා සතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් නිකුත් කළ සියලු සමරු කාසි මා සතුයි. ආගමික සලකුණු සහිත කාසි වෙනම තියෙනවා. බුදුන් වහන්සේ, කාලි අම්මා, විෂ්ණු , හනුමන්තා, සලකුණු කළ සල්ලි කාසි තියෙනවා.

බුදුහාමුදුරුවෝ වැඳගෙන ඉන්න ඉරියව්වක් ලෝකයේ කොහේවත් දැකලා තියෙනවද? නැහැනේ? නමුත් මා ළඟ තියෙන එක් කාසියක උන්වහන්සේ ඉදිරියට වැඳගෙන ඉන්නවා. බැද්දේගම පොත කියවල තියන අය දන්නවා ඒ කාලේ හම්බන්තොට උසාවියේ දඩ ගැහුවේ සිලිං වලින්. ඒවා මෙතැන තියෙනවා. බුදුන් වහන්සේ ජීවතුන් අතර වැඩසිටි කාලයේ දියුණුව පැවති රටවල් වන්නේ යුරෝපය, රෝමය, ග්‍රීසිය වගේ රටවල්. සීගිරි කැණීම්වලදී හමුවෙලා තියෙනවා රෝම කාසි. ඒ කියන්නේ ඒ කාලයේ අපේ රජවරුන් රෝමය සමඟ ගනුදෙනු කරලා තියෙනවා. ලංකාවේ තිබුණේ පනම්. කැටයක් විතර කාසියක්.

නොකැපූ නෝට්ටු

කපා වෙන් නොකරන ලද ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු මං ගාව තියෙනවා. හැම කාසියක්ම, හැම නෝට්ටුවක්ම නිකුත් කිරීමට හේතුවක් තියෙනවා. බ්‍රිතාන්‍ය මහ රැජිනගේ 60 වසරක පාලන සමය අගය කිරීම සඳහා නිකුත් කළ රුවන්වැලි සෑයේ කාසියක් තියෙනවා. හොර නෝට්ටු හඳුනා ගන්න මැෂින් එකකුත් තියෙනවා.

මේක කෞතුකාගාරයක් හැටියට පවත්වාගෙන යන්න මට උදව් කරන්න. මේ පොළොවේ කැණීම්වලින් හමු වූ කාසි. දඹදෙණි යුගයේ විජයබාහු රජතුමාගේ කාලයේ කාසි. එංගලන්තයේ යවලා කාබන් පරීක්ෂණයක් කරන්න තියෙන ඒවා. රජයෙන් හරි පුද්ගලිකව හරි නගරයෙන් වගේ තැනක් හදලා දෙනවා නම් මේක ප්‍රයෝජනවත් අයුරින් කරගෙන යන්න පුළුවන්. පහුගිය කාලෙ voc කාසි හොයන්න කොච්චර ආවද? මා ළඟ තියෙනවා voc කාසි කිලෝ එකක්. වර්ෂ 1734 භාවිත කළ ඒවා. මේ කාසි ටික කෝටි ගාණක් වටිනවා. ගවේෂණය නොකළ කාසිත් මෙතැන තියෙනවා. හඳුනා නොගත් කාසි සෑහෙන්න තියෙනවා. සමහර විද්වත් ගවේෂකයො එනවා. ඒ මහත්තුරු මං දන්න තරම්වත් මේවා ගැන දන්නෙ නෑ. නයි ඔළු දෙකක් සහිත කාසියකුත් තියෙනවා. අරාබියෙන් ලෝකෙට කාසි හඳුන්වා දුන්නු කාලයේ කාසියකුත් රෝම කාසි ගොඩකුත් තියෙනවා.

කාසි සංරක්ෂණය

කාසි කෞතුකාගාරයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන්. මම ඕනෑම වෙලාවක උදව් කිරීමට සූදානම්.

කාසි පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා එකින් එක කාසි පරීක්ෂණයට භාජනය කරලා පළමුව කාල නිර්ණය කළ යුතුයි. පුරාවිද්‍යා ගවේෂකයන් කණ්ඩායමක් එකතු වෙලා රජයේ මැදිහත් වීමෙන් මේ කාර්යයට අත ගැසිය යුතුයි. මං සල්ලි දීලා ලබා ගත්තු කාසි නිකම්ම දෙන්නත් බෑ. නිසි වටිනාකමක් අවශ්‍යයි. මා මිය ගියායින් පස්සෙ ළමයින් මේවා බලාගෙන සංරක්ෂණය කරයිද? නැද්ද කියන්න මං දන්නෙ නෑ. මේ කාසි එකතුව ජාත්‍යන්තර වටිනාකමක් සහිතයි. රජය මැදිහත් වී ජාතික උරුමයක් ලෙස සලකා කාසි සංරක්ෂණාගාරයක් හදනවා නම් මං උදව් කරන්න ලෑස්තියි.

ක්‍රි: ව: 1070 දඹදෙණි රාජධානියේ මස්ස රන් කාසිය, සලාක කාසිය, ඉංග්‍රීසි සමයේ පනම් කාසිය, බතාවියානු තුට්ටු 11/2, පනම් 1/4, අති පෞරාණික ලක්ෂ්මී කාසි, පාණ්ඩ්‍ය කාසි, ආගමික සලකුණු සහිත කාසි, මැටි කාසි, ලිබියා කාසි, ඉරාන කාසි, ඉතාලි කාසි, ජර්මනිය, යුගෝස්ලෝවියාව, සයිප්‍රස්, ජෝර්දාන්, රුසියාව, ඕමාන්, නෙදර්ලන්තය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ප්‍රිප් දිවයින, තුර්කිය, බ්‍රෑනායි, භූතාන්, කුවේට්, හොංකොං, මලයාසියාව, ඉන්දියාව, හන්ගේරියාව, පිලිපීනය, බහරේන්, අමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය, ග්‍රීසිය, ඕස්ට්‍රේලියාව,ස්පාඤ්ඤය, චීනය, පකිස්ථානය, නේපාලය, තායිලන්තය, මාලදිවයින, සිංගප්පූරුව යනාදී වශයෙන් රටවල් ගණනාවක පැරැණි හා භාවිත කාසි හා නෝට්ටු මෙහිදී දැකගත හැකිය.

පුද්ගලික කාසි එකතු කරන්නෙකුට විනෝදාංශයක් සඳහා කාසි එකතු කළ ද එය ලේසි පහසු කටයුත්තක් නොවේ. එයට හේතුව පැරැණි කාසි මිලදී ගැනීමේදී ගෙවීමට සිදු වන ඉහළ මිල ගණන් නිසාය. කියමනට තුට්ටුවක් වටින්නේ නැතැයි කීවාට අද තුට්ටුවක මිල කාසි එකතු කරන්නෙකුගෙන්ම අසා දැනගත යුතුය.

ලංකාවේ භාවිත වූ සියලුම කාසි හා නෝට්ටු අප රටේ සෑම තැනකම විසිරී ඇත. ඒවා ලබා ගැනීම දුෂ්කර කාර්යයකි. පැරැණි භාණ්ඩ, මුද්දර හා කෞතුක භාණ්ඩ විකුණන ස්ථානයන්හි මෙම කාසි හා නෝට්ටු අධික මිල ගණන්වලට විකිණීමට ඇත. විනෝදයට කාසි එකතු කරන්නෙකුට ඒවා මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැත. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කෞතුකාගාර දෙපාර්තමේන්තුව මේ සඳහා උනන්දු වන්නේ නම් මෙම වටිනා සම්පත එකම ස්ථානයකට රැස් කරගත හැකිය.

ශ්‍රී ලංකාවේ පැරැණි කාසි හා මුදල් නෝට්ටු දැකබලා ගැනීමට හැකිවන්නේ ජාතික කෞතුකාගාරයේදී හා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පවත්වාගෙන යන මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයෙනි. නමුත් ලංකාවේදී භාවිතයට ගැනුණ වෙනත් රටවල කාසි හා මෙරට රජ කළ රජවරු හා පාලකයන් නිකුත් කළ කාසි සියල්ලම හෝ ඉන් වැඩි කොටස පෙර කියූ ස්ථානයන්හිදී දැකබලා ගැනීමට හැකිවේද? යන්න ප්‍රශ්නයකි.

අද ඔබ ළඟ තිබෙන වටිනාකමක් නැති කාසියක් තවත් ශතවර්ෂයකදී මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් විය හැකිය. බලධාරීන් මැදිහත් විය යුත්තේ මිල කළ නොහැකි මෙම සම්පත සංරක්ෂණයට පියවරක් ගැනීමය. එසේ නොමැතිනම් රජය හෝ පුද්ගලික ආයතනයක් හෝ පුද්ගලයෙකු හෝ මැදිහත්වී මේ කාසි කෞතුකාගාරය විධිමත් පරිදි ස්ථාපිත කර ගැනීමට දායක වීමය. ජයනන්ද පෙරේරා මහතා වැනි මිනිසුන් වෙනුවෙන් ලබා දිය හැකි අත්වැල එයයි.

 

[ආනන්ද හපුගොඩ] ඡායා [බණ්ඩාරවෙල සමූහ]

මාතෘකා