මුහුණේ ලස්සන නැති කරන ඔබේම වැරදි

 ඡායාරූපය:

මුහුණේ ලස්සන නැති කරන ඔබේම වැරදි

මුහුණේ සුන්දරත්වය වැඩි කරගන්න යුවතියන් නොකරන දෙයක් නැති තරම්. කවුරුත් හිතා මතා තමන්ගේ සුන්දරත්වයට වැරදි කරන්නේ නැහැ. ඒත් නොදැනුවත්කම නිසා අපේ අතින්ම අපේ සමේ සුන්දරත්වයට හානි සිදු වෙන බව ඔබ දන්නවාද? නොහිතා කරන මේ වැරදිවලින් අපේ සමේ සුන්දරත්වය අහිමි වන නිසා ඒ ගැන දැනුවත් වී සිටීම වැදගත් නේද?

මුහුණ සෝදන්නේ කොහොමද?

 මුහුණ සේදීමේදී මුහුණ තදින් අතුල්ලන්න එපා. අනවශ්‍ය ලෙස ඇතිල්ලීමෙන් මුහුණේ සම ඇදීමකට ලක් විය හැකියි. මෙය පුරුද්දක් ලෙස දිගින් දිගටම කිරීමෙන් මුහුණේ සම එල්ලා වැටීම සිදුවිය හැකියි. ඒ නිසා නිතරම මුහුණ සේදීම මෘදු ලෙස සිදු කරන්න.

 විවිධ සුවඳ, පාට යෙදූ සබන් ගාන්න එපා. සබන් වෙනුවට තමාගේ සමට ගැළපෙන ෆේස් වොෂ් වර්ගයක් භාවිතා කරන්න පුරුදු වෙන්න.

 මුහුණ සේදීමට උණු වතුර භාවිතා කරන්න එපා. වියළි සමක් සහිත අයගේ සම උණු වතුරට තවත් වියළෙනවා. තෙල් සහිත සමක් ඇති අය උණු වතුර භාවිතා කිරීම නිසා සමේ රෝම කූප විවර වීමෙන් කුරුලෑ වැඩි වෙනවා. ඒ වගේම පුරුද්දක් විදිහට උණු වතුරින් මුහුණ සෝදන අයගේ මුහුණේ සම එල්ලා වැටීමකට ලක් වෙනවා.

 රාත්‍රී නින්දට කලින් මුහුණ සෝදන්න. අපිරිසුදු මුහුණක් ඇතිව නින්දට යෑමෙන් කුරුලෑ වැඩිවිය හැකියි.

මුහුණ පිස දමන්නේ කොහොමද ?

 මුහුණ පිස දැමිය යුත්තේ ඉතා සෙමින්. හරියට තෙත මාත්තු කරනවා වගේ. තදින් මුහුණ පිස දැමීමෙන් කාලයත් එක්ක සම එල්ලා වැටීමට පටන් ගන්නවා. ඇස් යට තදින් ඇතිල්ලුවොත් ඇස් යට සම රැලි වැටී වියපත් පෙනුමක් ඇති විය හැකියි.

 මුහුණේ වතුර සියල්ලම ඉවත් වන සේ මුහුණ පිස දැමිය යුතුයි. මුහුණේ වතුර ඉතුරු වීමෙන් සම වියළෙනවා. ඇස් යට වතුර ඉතුරු වුවහොත් ඇස් යට රැලි වැටෙනවා.

 මුහුණ පිහි දාන්න ඕනේ සිනිඳු කපු රෙද්දකින්. ගොරෝසු තුවාවලින් මුහුණ පිහි දැම්මම මුහුණේ සම ඇදෙනවා.

 මුහුණ පිස දමන රෙද්ද ඉතා පිරිසුදු විය යුතුයි. අපිරිසුදු තුවා භාවිතා කිරීමෙන් සමට විෂබීජ ඇතුළු වී කුරුලෑ හා ලප ඇතිවීමට ඉඩ තිබෙනවා.

ආලේප භාවිත කරන්නේ කොහොමද?

 ඔබ තෝරාගත යුත්තේ ඔබේ සමට ගැලපෙන ක්‍රීම් වර්ගයක්. තෙල් සහිත සමට, වියළි සමට, සාමාන්‍ය සමට ගැලපෙන ලෙස වෙන වෙනම නිපදවපු ක්‍රීම් වර්ග තියෙනවා. ක්‍රීම් එකක් මිලදී ගැනීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.

 ඔබ ගාන්නේ සති දෙකෙන් සුදු වෙනවා කියලා සහතික කරපු ක්‍රීම් එකක්ද? එහෙමනම් අදම ඒවා භාවිතයෙන් ඉවත් කරන්න. එයට හේතුව සති දෙකෙන් සුදු වෙන ක්‍රීම්වල ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු වීමයි. සති දෙකකින් ලස්සනට සුදු වෙලා, ටික දවසකින් හිටියටත් වඩා ඔබව අවලස්සන කරන්න එම වයිට්නින් ක්‍රීම්වලට හැකි බව හොඳින් මතක තබාගන්න.

 හැකි තරම් ඖෂධීය ක්‍රීම් භාවිතා කරන්න. එයින් සිරුරට වන අහිතකර ප්‍රතිඵල ඉතා අවමයි.

ආහාර රටාව කෙබඳුද?

 අධික තෙල් සහිත සහ ක්ෂණික සහ සකස් කළ ආහාරවලින් ඈත් වී නැවුම් එළවලු, පලතුරු සහ පලා වර්ග බහුලව ආහාරයට ගන්න. ක්ෂණික ආහාර සහ පැණි බීම වර්ග ආහාරයට ගැනීම තරම් අඩු කරන්න. දිනපතා සමබල ආහාර වේලක් ගන්න.

 ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ගැනීම අඩු කරන්න.

 දිනකට වතුර ලීටර් 2ක්වත් පානය කරන්න.

 තේ, කෝපි බීම අඩු කර ඒ වෙනුවට ඉරමුසු, බෙලි මල්, නෙල්ලි, බාර්ලි වැනි බීම බොන්න. එමඟින් සම පැහැපත් වේ.

කුරුලෑවලට සත්කාර කරන්නේ කොහොමද?

බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ කුරුලෑවක් දැකපු ගමන් කඩලා දාන්නයි. නමුත් එයින් ඔබේ අත්වල තියෙන විෂබීජ තුවාලය තුළට යා හැකියි. ඒ වගේම මුහුණේ වලවල් සහ තුවාල කැළැල් ඇති වෙනවා. කුරුලෑ මුහුණ පුරා පැතිරෙනවා. මේ නිසා කුරුලෑ ආ විට ඒවා අතින් ඇල්ලීමෙන් වැළකී ස්වාභාවිකවම වියළීමට ඉඩහරින්න.

මීට අමතරව, ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම, මළ බද්ධය, පණු අමාරුව, මුත්‍රා අඩස්සිය, ඉස්සොරි සඳහා ප්‍රතිකාර ලබා නොගැනීම, මේකප්, ෆවුන්ඩේෂන් වැඩි වෙලාවක් ආලේප කර තැබීම වැනි වැනි අතපසුවීම්වලින් ද ඔබේ සමේ සුන්දරත්වය ඔබට අහිමි වෙනවා. මේ වැරදි පිළිබඳ සැලකිලිමත් වුණොත් ඔබට නීරෝගී, පැහැපත් මුහුණක් වගේම සමකුත් ලබා ගන්න පුළුවන්.

අන්තර්ජාලය ඇසුරිනි

[යශෝදා ඉන්දීවරී]


වැස්ස දවස්වල ගෙදර පිරිසුදුව තියාගන්න හැටි

නිවසේ පිළිවෙළ හා පිරිසුදුකම රැකගැනීමට ගෘහණියන් තරම් උනන්දු වෙන්නෙ කවුද? වැසි දවස්වලට නම් ඒ කාර්යය තරමක් අසීරුයි වගේම වැඩි මහන්සියකුත් දැරීමට සිදුවෙනවා. වැසි ජලය නිසා ගෙවත්ත මඩ වීමත්, ඒ නිසා නිවසේ බිම අපිරිසුදු වීමත් සිදුවනවා. විශේෂයෙන් කුඩා දරුවන් සහ වියපත් වැඩිහිටියන් ලෙස්සා වැටීමෙන් අනතුරු සිදුවීමට තිබෙන ඉඩත් වැඩියි. ඔබ රැකියාවක නියුතු ගෘහණියක් නම් ඔබට නිතර නිවස පිරිසිදු කිරීම සඳහා මිඩංගු කිරීමට කාලයක් ද නැහැ. ඒ නිසා නිවස පිරිසුදු කරන සරල සහ පහසු ක්‍රම දැනගැනීම කාර්යබහුල ගෘහනියන්ට ඉතා වැදගත් වනවා. ඔබ නිවස අලුත්වැඩියා කරන විට හෝ අලුතින් නිවසක් ඉදි කරන විට මෙම ක්‍රම ඒ සඳහා යොදාගැනීමට උත්සාහ කරන්න. එවිට ඔබට පිරිසුදු කිරීම් සඳහා ගතවන කාලය අවම කරගත හැකියි.

ගෙබිමට අඳුරු වර්ණයේ ටයිල් අතුරන්න. එයින් ඉක්මනින් බිම අපිරිසුදු වීම වළක්වා ගත හැකියි.

දීප්තිමත් වර්ණ සහිත මුද්‍රිත තිර රෙදි භාවිත කරන්න.

පාවහන් නිතරම නිවසින් පිටත තබන්න.

තෙත පාවහන්, වැහි කබා සහ කුඩ තැබීමට එළිමහනේ රාක්කයක් හෝ එවැනි යමක් වෙනම ස්ථානයක් වෙන් කර තබන්න.

නිතර වතුර වැටීමෙන් නාස්ති විය හැකි ගෘහ භාණ්ඩ පිරිසුදු රෙද්දකින් ආවරණය කර තබන්න.

ඇඳවල් ඇඳ ආවරණවලින් ආවරණය කර තබන්න.

වැසි කාලවලදී භාවිතයට ගැනීමට බ්ලැන්කට්, සහ ඇඳ ඇතිරිලි කල්තබා සූදානම් කර තබන්න.

තෙත ඇඳුම් වියැළීම සඳහා හොඳින් වාතාශ්‍රය ලැබෙන නිතර භාවිත නොකරන කාමරයක් සූදානම් කර තබන්න.

පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය සහ උපකරණ නිතර සූදානමින් තබාගන්න.


පාන් පීසා

අවශ්‍ය ද්‍රව්‍ය-

වාටි කපා ඉවත් කරගත් පාන් පෙති කිහිපයක්

කැමති වර්ගයක මස්, මාළු හෝ එළවළු තෙම්පරාදුවක්

පෙති කපාගත් බී ලූනු,තක්කාලි සහ මාළු මිරිස් ස්වල්පයක්

කැමති වර්ගයක සෝස් ස්වල්පයක්

චීස් ස්වල්පයක්

බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය

පාන් පෙත්තක් ගෙන එය මත සෝස් තවරාගන්න. ඉන්පසු සාදාගත් මස්, මාළු හෝ එළවළු තෙම්පරාදුවෙන් ස්වල්පයක් පාන් පෙත්ත මතට දමාගන්න. දැන් පෙති කපාගත් බී ලූනු, තක්කාලි සහ මාළු මිරිස් ස්වල්පයක් ඒ මත අතුරාගන්න. ඒ මත චීස් දමාගන්න. මේ ආකාරයට සියලුම පාන් පෙති සකස් කරගන්න. ඉන්පසු බටර් තවරාගත් පෑන් එකක් ළිප තබා රත්වන විට එයට සකස් කරගත් පාන් පෙත්ත දමා රන්වන් පැහැ වන තෙක් බැදෙන්නට හැර ළිපෙන් බා ගන්න. නැතිනම් සකස් කරගත් පාන් පෙති උදුනකට දමා බේක්කර ගැනීමට ද හැකිය. පහසුවෙන් ඉක්මනින් සකසා ගත හැකි පාන් පීසා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද සුදුසු රසවත් උදෑසන ආහාරයකි.


දෙතොලට ගැළපෙන ලස්සනම ලිප්ස්ටික්

දෙතොලේ ලස්සන වැඩි කරගන්න ලිප්ස්ටික් එහෙමත් නැත්නම් තොල් ආලේපන භාවිත කිරීම කාන්තාවන් අතර තිබෙන ජනප්‍රිය රූපලාවන්‍ය පුරුද්දක්. සම්පූර්ණයෙන්ම මේකප් නොකරන කාන්තාවන් පවා ලිප්ස්ටික් ගැල්වීම ට පුරුදු වී සිටිනවා.

ලිප්ස්ටික්වලින් දෙතොල්වල තෙතමනය ආරක්ෂා කරන අතර දෙතොල් වියැළීම ද පාලනය කරනවා. ලිප්ස්ටික් වර්ග තෝරාගැනීමේදී සමේ වර්ණයට සහ ස්වාභාවයට ගැලෙපන උසස් තත්ත්වයේ ගුණාත්මක නිෂ්පාදනයක් තෝරාගත යුතුයි. ඊට අමතරව තොල් ආලේපන තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් ද තිබෙනවා.

 සාමාන්‍යයෙන් අඳුරු සමක් ඇති අයට අඳුරු සහ මලානික වර්ණවල ලිප්ස්ටික් සුදුසු නැහැ. එයින් සමේ අඳුරු පැහැය තවත් වැඩිවිය හැකියි.

 ක්‍රීම් ස්වාභාවයෙන් යුතු ලිප්ස්ටික් සුදුසු වන්නේ ප්‍රමාණයෙන් කුඩා දෙතොල් ඇති අයටයි. ඉන් දෙතොල්වල ප්‍රමාණය විශාල කර පෙන්වනවා. එම නිසා ප්‍රමාණයෙන් විශාල දෙතොල් ඇති අය ක්‍රීම් ගතිය වැඩි ලිප්ස්ටික් ආලේප කිරීමෙන් වැළකිය යුතුයි.

 ලික්විඩ් එනම්, දියර සහිත ලිප්ස්ටික් ආලේප කිරීම පහසු අතර ඒවායින් දෙතොල්වලට වර්ණවත් සහ දිලිසෙන පෙනුමක් ලැබෙනවා.

 දිලිසෙන ගතියෙන් යුතු ග්ලොස් ලිප්ස්ටික් ද වර්ණවත් උත්සව අවස්ථාවලට සහභාගි වන යුවතින්ට මනාව ගැලපෙනවා. විශේෂයෙන් නව යොවුන් තරුණියන්ට දිලිසෙන ලිප්ස්ටික් හොඳින් ගැලපෙනවා. ඒ වගේම සැදෑ සහ රාත්‍රී සාදවලට සහභාගි වන විට දීප්තිමත් වර්ණයක ග්ලොස් ලිප්ස්ටික් වර්ගයක් භාවිත කිරීම සුදුසුයි.

 ලිප්ස්ටික් සමග ලිප් ලයිනර් එක අඳිනවා නම් එය සිහින්ව තොල ඇතුලතින් කිරීම වඩා සුදුසුයි. ලිප්ස්ටික් වර්ණයෙන්ම ලිප් ලයිනර් එක ඇඳගැනීම දැන් ජනප්‍රිය විලාසිතාවයි.

 ලිප්ස්ටික් ගැල්වීමට පෙර ලිප් බාම් එකක් ආලේප කිරීමෙන් දෙතොල්වල තෙතමනය ආරක්ෂා වනවා.

 ලිප්ස්ටික් කූරෙන් ලිප්ස්ටික් ගැල්වීමට වඩා සාර්ථක ක්‍රමය වන්නේ කුඩා බුරුසුවකින් ලිප්ස්ටික් ආලේප කිරීමයි.

 ලිප්ස්ටික් නිසි ලෙස ආලේප කිරීම වගේම නිසි ලෙස ඉවත් කිරීමත් වැදගත්. ඒ සඳහා බේබි ඔයිල් හෝ ග්ලසරින් ස්වල්පයක් භාවිත කරන්න.

 එමෙන්ම අඛණ්ඩව ලිප්ස්ටික් ආලේප කිරීම නිසා සිදුවිය හැකි දෙතොල් අවපැහැ ගැන්වීම වළක්වා ගැනීමට දෙතොල් මත මී පැණි, කෝමාරිකා ආදිය ආලේප කිරීම ආදී සත්කාර ද සතියකට දෙවරක් පමණ සිදුකරන්න.

සංස්කරණය [සුරේකා නිල්මිණී ඉලංගකෝන්]

මාතෘකා