මහත්තයෝ, මේක ජරා රස්සාවක් වාහන උදුරාගන්නා සීසර්වරයකුගේ පාපොච්චාරණය

 ඡායාරූපය:

මහත්තයෝ, මේක ජරා රස්සාවක් වාහන උදුරාගන්නා සීසර්වරයකුගේ පාපොච්චාරණය

තොරතෝංචියක්‌ නැතිව එකක්‌ පිටුපස එකක්‌ නා නා මාදිලියේ වාහන මහමඟ පීරාගෙන ඉදිරියට ඇදෙයි. පෙරහැරක්‌ බඳු ඒ වාහන ගමනේ නිමාවක්‌ නොමැත. කොතරම් පළල් ලෙසට දිනෙන් දින දියුණු වෙමින් මාර්ග බිහිවුවද ඒ මාර්ග වාහනවලට නිදහසේ ගමන් කිරීමට අවශ්‍ය ඉඩකඩ සපුරාලන්නට ප්‍රමාණවත් වී නැත.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව තෙක්‌ රට පුරා ඇති මාර්ග ඔස්‌සේ ගමන් කරන මේ වාහනවලින් සියයට අනූවක්‌ තරම් ප්‍රමාණයකට අයිතිකරුවන් සිටින්නේ විසි තිස්‌ ගණන් වූ සුළු පිරිසක්‌ බව ඔබ දන්නවාද?

ඊට හේතුව වන්නේ විශාල පිරිසක්‌ වාහන මිලදී ගන්නේ මූල්‍ය ආයතනවල පිහිටෙන් වීම නිසාය. එසේ හෙයින් වාහන ලක්‍ෂ ගණනකට භාරකරුවන් සිටියද ඒවායේ හිමිකරුවන් සහ නීත්‍යනුකූල අයිතිකරුවන් වන්නේ එම මූල්‍ය ආයතනය. වාහනයේ භාරකරුවා අයිතිකරුවා බවට පත්වන්නේ සියලු මුදල් මාසික වාරික වශයෙන් ගෙවා අවසන් වූ පසුවයි.

වාහනයේ වටිනාකම මෙන් තවත් අඩක පමණ වැඩි මුදලක්‌ ගෙවීමේ පොරොන්දුව පිට ලබාගන්නා වාහන වෙනුවෙන් ගෙවීමට නියමිත මාසික වාරික තුනක්‌ පැහැර හැරීම නිසා භාරකරුගෙන් වාහනයේ හිමිකරුවා වන ආයතනයට ආපසු ලබාදීමට හෝ ලබාගැනීමට එකඟවන ගිවිසුම් පත්‍රයකට භාරකරුවා බැඳී සිටී. මේ අවසරයෙන් ප්‍රයෝජන ලබන එම මූල්‍ය ආයතන උක්‌ත කටයුත්ත සඳහා සීසර් වරුන්ගේ සහාය ලබා ගනිති.

ගෙවීම් පැහැර හරින ලද වාහන උදුරාගැනීම සිදුවන්නේ භාරකරුවාගේ නිවසේදී හෝ මහමඟදීය. මේ බලහත්කාරකම සිදුකරන මොහොතේ මූල්‍ය ආයතනයේ බලයලත් ස්‌ථිර වැටුපක්‌ ලබන නිලධාරියෙකු එම ස්‌ථානයේ නොමැත. ලක්‍ෂ ගණන් වටින දේපළක්‌ පොරොන්දු පත්‍රයට අනුව හෝ ලබාගැනීමේදී අඩු තරමේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුගේවත් සහභාගිත්වය ලැබිය යුතුය. අපේ රටේ නීතියට අනුව හෙල්මට්‌ නැතිව පාරේ යන යතුරු පැදිකරුවෙකුට දඩකොලයක්‌ ලියන්නටවත් එක්‌ පොලිස්‌ නිලධාරියෙකුට නොහැකිය. නමුත් ලක්‍ෂ ගණන් වටිනා වාහනයක්‌ පැහැර ගැනීමට සීසර්වරුන්ට අවසර තිබේ. එසේ නම් අප සොයා බැලිය යුතු වන්නේ පොලිසියටවත් නැති බලයක්‌ ඇති සීසර්වරුන් කවුරුන්ද කියාය.

සීසර් (seizer) යන ඉංග්‍රීසි වචනයේ අර්ථය බලෙන් පැහැරගන්නා යන්නයි. නීතියට අනුකූල නොවී දඩබ්බර යන අර්ථයක්‌ද එයින් සැපයේ. අපට සීසර්වරුන් හමුවන්නේ අසම්මත අඳුරු බිමකදීය. ඒ සම්මත සමාජ වටපිටාව තුළ සීසර්වරුන් නොමැති නිසාය. මා එතැන්සිට අසා සිටියේ ඔහු විසින් පවසන ලද නීතියෙන් පවා සම්මත කර ඇති අසම්මත සීසර් රැකියාවේ ගෝත්‍රික සමාජ ලක්‍ෂණ පිළිබිඹු කරන ක්‍රියාවලීන් සිදුකරන ආකාරය පිළිබඳවයි.

"ටයි පටිය හතරට නමල සාක්‌කුවෙ දාගෙන බස්‌ එකේ රස්‌සාවට යන උපාධි මහත්තුරු ගන්න හිඟන පඩිය වගේ හත් අට ගුණයක්‌ සීසර්ලා හම්බ කරනව.

"පඩිය (වැටුප) සාමාන්‍යයෙන් කීයක්‌ විතර වෙනවද?

පේෂීට්‌ නෑ. ඕටී නෑ. බටා නෑ. මහත්තයෝ. කොටින්ම කියනවනං සීසර් කියල ජොබ් එකක්‌ නෑ. කන්ට්‍රෑක්‌ එක තමයි භාරගන්නෙ. වැඩේ හැටියට තමයි පේමන්ට්‌. මේකත් ඔය හිතන තරං ලේසි ජොබ් එකක්‌ නොවෙයි. මාස තුනක්‌ ඇරියස්‌ වුණ ගමං බඩු හංගනව. ගෙවල් දොරවල් රත්තරං බඩු පවා උගස්‌තියල තමයි සමහරු වාහනේ ගන්නෙ. ඒක උස්‌සගෙන යනව බලාගෙන ඉන්න කාටද පුළුවං. ඉඳල හිටල හරි අතපය විසිකරන පොරවලුත් හම්බවෙනවා. ඒවගේ වෙලාවට අපිත් ඉතිං නිකං ඉන්නෙ නෑ. අවම බලය පාවිච්චි කරනව. වාහනේ උස්‌සන්ඩ යන්නෙ පොලිසියෙ ඇන්ට්‍රියක්‌ දාලනෙ. එතකොට ඉතිං අපටත් තියෙනවනේ පොලිස්‌ බලතල".

වාහනයක්‌ භාරකරුගෙන් ගැනීමේදී පොලිසියේ නිලධාරීන්ද සහභාගි කරගත යුතුය. නීතිය එසේ වුවත් ඒ සඳහා ආයතනය මගින් මුදල් ගෙවීමක්‌ අවශ්‍ය වේ. එම මුදල නොගෙවා තම කාර්යය ඉටුකර ගැනීමට අපේ නීතිය තුළ කිසිදු බාධාවක්‌ නොමැත.

"සමහර වාහන උස්‌සන්න සති ගණං මාස ගණං රස්‌තියාදු වෙන්න වෙනව. එහෙම හොයාගන්න බැරි වාහනයක්‌ උස්‌සපුවම ගෙවන ගාන වැඩියි. හැබැයි ඉතිං අපි කන බොන අඩිගහන සල්ලිත් අන්තිමට ගෙවන්න වෙන්නෙ වාහනේ අයිතිකාරයට. මොකද? එයා වාහනේ ආපහු ගන්න වෙලාවේ සීසර් ගාස්‌තු කියල අපට දුන්නු ගාන ඇඩ් කරනව".

ඔබ කියන ක්‍රමයට වාහනයක්‌ උස්‌සනවට කීයක්‌ විතර ගෙවනවද?

මෙහෙමයි. මම ඉතිං යටකෑල්ලක්‌, අපේ බොස්‌ට තමයි කන්ට්‍රැක්‌ එක දෙන්නෙ. අපි යන්නෙත් එයාගෙ පස්‌සෙන්. මේ ඒරියා එකේ ජොබ් ටික සේරම එන්නෙ එයාට. එක කම්පැණියක නොවෙයි. කම්පැණි හතරක පහක ඕඩර් එයාට තියෙනවා. පිටින් සීසර්ල සෙට්‌ එකක්‌ ආවත් අපේ බොස්‌ව දැනුවත් කරල තමයි ඒ ගොල්ලො වැඩට බහින්නෙ. අන්තිමට බොසාට බිං කුලියත් ගෙවල තමයි යන්නෙ.

කවුද එතකොට ඔය කියන බොස්‌?

මා ඇසූ ප්‍රශ්නයට මඳ සිනහවක්‌ද සමඟ ඔහු පිළිතුරු ලබාදෙයි. ඔහු සඳහන් කළ තැනැත්තා ප්‍රදේශයේ මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක්‌. මේ වනවිටත් දේශපාලන ඝාතනයක්‌ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන්නේය.

බොහෝ වේලා සිදුවන මේ කතාබහ අතරතුර අපේ මිතුරුකම තව තවත් ළෙංගතු බවට පෙරළෙද්දී සීසර්ලා පිළිබඳ නාමලේඛනයක්‌ ඔහුගේ මුවින් ගිලිහේ. ඒ නම් සටහන් කිරීමට සාක්‍ෂි සාධක මා සතු නොවේ.

අතීත මතක ගබඩාවේ ඉතිරි වූ සටහනක්‌ ලියා අමුණන්නේ සීසර්ලාගේ ලෝකය කොතරම් බිහිසුණු දැයි වටහාගන්නට වටිනාම සාධකයක්‌ ඔහුගේ මුවින් ගිලිහුණු පුද්ගල නාමයක පවතින නිසාය. එපමණක්‌ නොවේ, මෙකී පුද්ගලයා සීසර් කල්ලියක සාමාජිකයෙක්‌ බව එකල පත්තර පිටු අතරේ සටහන් වූ බව නිවැරදිව මතකයේ ඇති නිසාය. ශ්‍රී ලංකාව තුළ සමස්‌ත පාතාල ලෝකයේම ඔටුන්න අතට ගන්නට රාජ්‍ය බලය නමැති ඔටුන්නේද ආශිර්වාදය ඔහුට හිමිවී තිබිණි. හේ බැද්දගාන ප්‍රදේශයෙන් බිහිවී රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධව ඉතා වගකිවයුතු ආරක්‍ෂක සේවාවකට සම්බන්ධව සිටි අයෙකි. මේ තැනැත්තා අවසානයේ පාතාලයේ ප්‍රහාරයකින්ම මිය ගියේය. එදා මෙදා තුර සීසර් රස්‌සාව කළ සහ කරන පිරිසගේ නාමාවලියක්‌ සකස්‌කළ හොත් එය පොලිස්‌ අපරාධ පොත්වල ලියෑවී ඇති අපරාධකරුවන්ගේ නාම ලේඛනයක එක්‌ කොටසක්‌ යෑයි වැටහේ.

හිතක්‌ පපුවක්‌ නැතිව අහිංසක මිනිසුන්ගේ ජීවිත අයිතිය උදුරාගන්නට තරම් සැහැසි වූ පාතාලයන්ට නිල නොවන ආකාරයේ රැකියාවන් සහ ආදායම් සැපයීමට තරම් කාරුණික වන ආයතන තමන් සමඟ ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් සමඟ සිදුකරන්නේ කුමන ආකාරයක ගනුදෙනුවක්‌ දැයි මා සමඟ මිතුරු වූ සීසර්වරයාගෙන් විමසූවෙමි.

මෙහෙම උස්‌සපු වාහනයක ගන්න දෙයක්‌ ඉතුරුවෙන්නෙ කලාතුරකින්. ගලවන්න තියෙන කෑලි ඔක්‌කොම ගලවගෙන අන්තිමට ටයර් සෙට්‌ එක අලුත් නම් ඒවත් පරණ ටයර්වලට මාරු කරනව. එහෙම කරල තමයි යාඩ් එකට ගිහිං දාන්නෙ".

"ඉඳල හිටල තවත් චාන්ස්‌ හම්බවෙන වෙලාවල් තියෙනව. වාහනේ උස්‌සන්න ගිය වෙලේ ඉඳල අයිතිකාරය අඬනවනේ. දන්න කියන පොරවල් කියනව සීසර් චාර්ජ් එක ඩබල් ගෙවන්නං වාහනේ තියල යන්ඩ කියල. එකට දෙකක්‌ එනවනං කවුද අකැමැති. "යාර්ඩ්" එකට ගෙනිච්චොත් සමහර විට කම්පැණිය කියනව ආපහු දෙන්නං සම්පූර්ණ ගාන ගෙවන්න කියල. ඊට වැඩිය ලාභයිනේ සීසර් චාර්ජ් එක ටිකක්‌ වැඩිපුර ගෙවල හරි වාහනේ තියාගන්න එක.

මේ මූල්‍ය ආයතන අමාරුවෙ දාන්න බැරිවුනාට පරිප්පු කන එක තැනක්‌ තියෙනව. පාතාලෙ පොරක්‌ වාහනයක්‌ ගත්තොත් වාරික ගෙව්වෙ නෑ කියල ඒක උස්‌සන්න සීසර්ල යන්නෙ නෑ. ඉල්ලං කන්ඩ කවුද කැමැති වෙන්නෙ. ඒත් ඉතිං වැඩක්‌ නෑ, කැලණි පාලම යටින් පොල්කොස්‌සක්‌ ගහගෙන ගියාට පාලමට දැනෙන්නෙත් නෑ. වතුරට දැනෙන්නෙත් නෑ.

මිතුරු මිනිසාගේ අත්දැකීම් සියල්ල අසා අවසන් වී නැත. නමුත් මා ඔහුගෙන් සමුගත යුතුය. සමුගන්නා මොහොතේ ඔහු මා සමඟ පැවසුවේ තමන් මෙම රැකියාවට සමුදී ඇති බවයි. එසේ වීමට හේතුව තමන්ගේ ප්‍රධානියා ලෙස හැඳින්වූ තැනැත්තා බන්ධනාගාරගත වී සිටීම යෑයි මට සිතුණු නමුදු ඔහු පැවසුවේ වෙනත් කතාවකි.

මම දැං ඒ රස්‌සාව නවත්තල තිබෙන්නේ. දවසක්‌ අපි ගියා කාර් එකක්‌ උස්‌සන්ඩ. මනුස්‌සයව ඇදල දාල යතුර අරගෙන කාරෙකට නගින්ඩ හදනකොට එයාගේ පුතා මගේ ඇඟේ එල්ලිලා අඬන්න පටන්ගත්ත. බුදු මාමේ කාර්එක ගෙනියන්න එපා කියල. මමත් දරුවො දෙන්නෙකුගෙ තාත්ත කෙනෙක්‌. මට මගේ පුතා මතක්‌ වුණා.

මම අපේ උන්ට පැත්තකට වෙන්ඩ කියල අර මනුස්‌සයට යතුර දුන්න. එයා ගුරුවරයෙක්‌. දරුවන් දහස්‌ ගාණකගේ ඇස්‌ පාදල අමාරුවෙං සල්ලි ටිකක්‌ එකතුකරල වාහනයක්‌ අරගෙන තියෙන්නෙ.

මම එදා හිස්‌ අතිං ගෙදර ආව. මේක මහ ජරා රස්‌සාවක්‌. අහිංසක මිනිස්‌සුන්ගෙ දුක්‌ ගින්දර. මේ සල්ලිවලින් දරුවන්ට කන්න දෙන්න හොඳ නෑ කියල මට දැනුණ. ඒ සිද්ධිය වෙලා සතියක්‌ යන්න කලින් මට ආරංචි වුණා අර සර්ගේ වාහනෙ ආපසු උස්‌සලා කියලා.

 

[සුදත් සමරදිවාකර]

මාතෘකා