මිලියන විසිදෙකක ජීවිත නංවන අසම සම වාරි විප්ලවය මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය

 ඡායාරූපය:

මිලියන විසිදෙකක ජීවිත නංවන අසම සම වාරි විප්ලවය මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය

කළුගඟ ජලාශය පරිමාව. උස දිග

පස් පුරවන ලද ගල් වේල්ල(ප්‍රධාන වේල්ල) - 68 මීටර 568 මීටර

සැදලි වේල්ල - 28 මීටර 719 මීටර

සම්බන්ධිත උමං මාර්ග - දිග කි.මී 7.85

සම්බන්ධිත ඇළ මාර්ග - දිග මීටර් 472

ධාරිතාව - තත්පරයට ඝන මීටර් 35

 

කළුගඟ ව්‍යාපෘතිය මගින් පෝෂණය වන වැව්

ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මගින් - 1200

වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් - 353

මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ - 16

 

ප්‍රතිලාභ ලැබෙන දිස්ත්‍රික්ක

අනුරාධපුර

පොළොන්නරුව

මාතලේ

ත්‍රිකුණාමලය

කුරුණෑගල

 

ව්‍යාපෘතියේ අංගයන්

මොරගහකන්ද හා කළුගඟ ලෙස ප්‍රධාන ජලාශ 2 ක්

එම ජලාශ සම්බන්ධ කෙරෙන උමග සහිත ඇළ මාර්ගයක්

මෙගා වොට්ස් 25ක ධාරිතාවෙන් යුත් විදුලි බාලාගාරයක්

මොරගහකන්ද හා කළුගඟ ප්‍රධාන විකල්ප මාර්ගයන්

ඉහළ ඇළහැර ඇළ

ලග්ගල සහ බිසෝපුර නව සංවර්ධන ප්‍රදේශයන් ලෙස දියුණු කිරීම


මොරගහකන්ද මගේ සිහිනය සැබෑවීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

“2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව මා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත්තට පස්සේ, මාව බලයට පත්කිරීමට මූලික වූ දේශපාලන පක්ෂ, එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ, සංවිධාන, ආයතන 49ක නායකයන් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ආණ්ඩුවේ බලතල බෙදා ගැනීම පිළිබඳ තිබූ සාකච්ඡාවේදී අගමැතිතුමා ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන් මගෙන් ඇහුවා ජනාධිපතිතුමා, ජනාධිපතිතුමා ධුරයට අමතරව මොන විදිහේ අමාත්‍යංශයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මම එකවරම කිව්වේ මම මහවැලි අමාත්‍යංශය කරන්න කැමැතියි, මොරගහකන්ද සිහිනය මට සැබෑ කරගන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මම මේ අමාත්‍යංශයට නැවත වතාවක් පත් වුණේ.

“මම ඒකයි කිව්වේ මේක මගේ ඉරණමක් එක්ක දෛවෝපගතව ඇති වුණ වාසනාවන්ත සිදුවීමක් කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම රජරට ජනතාව ප්‍රමුඛ උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාතේ ජනතාවගේ දුක් කඳුළු පිසින්න, පානීය ජල ප්‍රශ්න විසඳන්න, කෘෂිකර්මයට බලපාන ජල හිඟය අවසන් කරන්න මේ රටේ ක්‍රියාත්මක යෝධ සංවර්ධන ව්‍යාපෘතිය නිසා අද තමුන්නාන්සේලා අපි සෑම කෙනෙක්ම එක්වෙලා මේ උතුම් කාර්යයට දායකත්වය දීලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලසීමාව තුළ මේ කටයුතු තව තවත් කාර්යක්ෂම කරලා ඉතාම ඉක්මනින් මෙහි අවසානයක් දැකලා මේ ජලය නිකුත් කිරීමේ කාර්යය කරන්නට.”


යමෙකු යහපත් දෙයක් කරන විට කකුලෙන් ඇදීම අප රටේ මිනිසුන්ගේ සුලබ ක්‍රියාවකි. නමුත් උත්සාහයෙන් හා කැපවීමෙන් යහපත් ක්‍රියාවක නිරත වන පුද්ගලයාට තමන් කරන ක්‍රියාව පිළිබඳ නිසි අවබෝධයක් ඇත. ඒ නිසා කකුලින් අදින්න කොපමණ මිනිසුන් සිටියත් උත්සාහවන්තයා තම අරමුණ සාක්ෂාත් කරගනී. මහින්ද රාජපක්ෂ රෙජීමය පරදවා බලයට පත් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද පොදු අපේක්ෂකයා වන විට කකුලින් අදින්න බොහෝ පිරිසක් සිටියහ. එහෙත් ඔහුගේ ගමන නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි විය. ඔහු 2015 ජනාධිපති වී ආරම්භ කරන පළමු ව්‍යාපෘතිය මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය බවට ජනතාවට පොරොන්දු විය. ඒ දිගු කලක සිට මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය සඳහා ජාතිවාදී බලපෑම් එල්ලවූ නිසාය.

මෙම ව්‍යාපෘතියේ මූලික අවස්ථාව වූ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ පළමු උත්සාහය දරනු ලැබුවේ 1970 සමගි පෙරමුණු රජයේ වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග ඇමති මෛත්‍රීපාල සේනානායක මහතා විසිනි. එම ව්‍යාපෘතියෙන් යෝජනා වූයේ උතුරුමැද, පදවිය හා උතුරු ප්‍රදේශයට ජලය ගෙනයෑමය. එහෙත් මෙරට ක්‍රියාත්මක වූ ජාතිවාදී සුළුතරයකගේ බාධා මැද එය ඔහුට ක්‍රියාත්මක කළ නොහැකි විය. අනතුරුව ‘77 බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ විදුලිබල, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමති ගාමිණී දිසානායක මහතා විදුලිබල නිෂ්පාදනයට මූලිකත්වය දී වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ ජලාශ ඉදි කළ අතර මොරගහකන්ද ජලාශය ඔවුනටද මඟහැරුණි. ඒ අනුව එහිලා මුල් අඩිතාලම දැමුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා 1998 වසරේ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය බාරගැනීමෙනි. ඔහු එහි මතුව තිබූ සියලු ගැටලු නිරාකරණය කර 2007 වසරේ මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාලය ඉදි කළේය. ඒ අනුව අද ඔහු එදා රජරට ජනතාවට දුන් පොරොන්දුව ඉටුකර මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ වැඩකටයුතු නිමා කර ඇත. රජරට ජනතාවට සංවර්ධනයේ අරුණලු උදාකර ඇත. .

මෙම ව්‍යාපෘතිය මගින් අලුත් වැව් 2000ක් පමණ ජලයෙන් පෝෂණය වේ. එමගින් දිවයිනේ පළාත් හතරක ලක්ෂ 15 කට අධික ජනතාවට සෙත සැලසේ. මාතලේ දිසිත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි නිම්නයේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල පල්ලේගම ප්‍රදේශයන් හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වේ. මෙහි සම්පූර්ණ ජල ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 248කි. එය අක්කර අඩි 200880 වපසරියකින් සමන්විත වේ. මෙහි ඉදි වන වේල්ලෙහි දිග මීටර් 618කි. එමගින් විශාල ජල ධාරිතාවක් රඳවාගැනීමේ හැකියාවක් පවතී. ජලාශයට දකුණු දෙසින් මීටර් 28ක් පළල හා මීටර් 719ක් උසින් යුත් සැඳලි වේල්ලක් ඉදි වේ. ඒ මඟින් කළුගඟ දකුණු ‍ප්‍රදේශය පුරා ජලය නොමැතිව වගාකිරීමට නොහැකි වූ සහ පානීය ජල ගැටලුවෙන් හෙම්බත් වූ ග්‍රාමසේවා වසම් 12කට ජලය සැපයේ. ඒ අශ්‍රිතව වැව් 16ක් මෙමගින් පෝෂණය වන අතර වැසි වතුරෙන් නකල්ස් රක්ෂිතයෙන් ගලා එන ජලය අපතේ යෑම වළක්වා ජලය එකතුකර තබාගැනීම සඳහා මෙම කළුගඟ දකුණු සැඳලි වේල්ල මගින් සිදුවේ.

කළුගඟ ජලාශය ඉදි කිරීමට කුවෙට් සංවර්ධන අරමුදල, සෞදි සංවර්ධන අරමුදල, ඔපෙක් ජාත්‍යන්තර අරමුදල මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබේ. එම මුදල රුපියල් දසලක්ෂ 15000කි. ඊට අමතරව ශ්‍රි ලංකා රජයෙන් රුපියල් ලක්ෂ 2500ක් පමණ කළුගඟ ජලාශයට ලබාදී ඇත. කළුගඟ පහළ නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2000ක පමණ ප්‍රමාණයක් තිරසර ලෙස වී ගොවිතැන ඇතුළු කෘෂිවගාවන් සඳහා අවශ්‍ය ජලය සැපයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා චීන තාක්ෂණය යොදා නිම වූ කිලෝමීටර 7.85 ක දිගින් යුතු උමගක්ද ඇතුළුව කිලෝ මීටර 9ක් දිග ඇල මාර්ගයක් වන අතර මෙහි සියලු ඉදිකිරීම් පරිසර හිතකාමී ලෙස ඉදිවේ.

කාලන්තරයක සිට ඵලදායී කටයුක්තකට නොගෙන වාර්ෂිකව මහ සයුරට ගලාගිය ඝන මීටර් දසලක්ෂ 818 ක ජල ප්‍රමාණය කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළැහැර ඇළ ඔස්සේ මහකනදරාව දක්වා ගෙන ගොස් පැරණි අඹන්ගඟ, යෝධඇළ හරහා මින්නේරිය ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජලයට එක්වී ජල ප්‍රාමණය තවත් වර්ධනය වී එම ප්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තවදුරටත් පුළුල් කෙරේ. පැරණි අඹන්ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප්‍රදේශයෙන් ගලාගිය ජල ප්‍රමාණය වයඹ ප්‍රදේශයේ පවුල් 40000කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීම සිදු වේ. පළාත් හතරක් ආවරණය වන සේ එතෙක් මෙතෙක් බිහි වූ විශාලතම ව්‍යාපෘතිය මෙය වේ. මෙම ප්‍රදේශයේ ජනතාවට පීඩා එල්ල වූ වකුගඩු රෝග හා අපිරිසිදු ජලය මගින් ඇති වන රෝග පීඩා ආදියෙන් මතු පරපුර රැකගනිමින් පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් මෙම වාරි විප්ලවයෙන් සිදු වේ. එමෙන්ම කුඩා කර්මාන්ත හා මහාපරිමාණයේ කර්මාන්ත සඳහා අවශ්‍ය ජලයද මෙම ව්‍යාපෘතියේ සැපයෙන බව කළුගඟ නොවාසික ප්‍රධාන ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා පැවසීය.

“සෙන්ට්‍රල් ඉන්ජිනේරින් ආයතනයෙනුයි මෙම කළුගඟ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කළේ. දැනට වසර තුනක පමණ කාලයක් එහි වැඩ කරලා තියෙනවා. මේ දෙසැම්බර් වෙද්දි වැඩ ඉවර කරනවා. අවුරුදු 20 කට වරක් එන ගංවතුරක් ගෙනයන්න මේ ඩෑම් එකේ ධාරිතාව තියෙනවා. තප්පරයට ඝන මීටර 720 ක ප්‍රමාණයක් ගෙනයන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. මෑත කාලයේ අපි ගංවතුරක් දැකල තියෙන්නේ තත්පරයට ඝන මීටර් 200ක පමණ ගංවතුරක් විතරයි. මෙහි රඳවාගන්න පුළුවන් මුළු ජල ධාරිතාව අක්කර අඩි 200000ක් වෙනවා. පළාත් හතරම ආවරණය වන පරිදී ජලය ඇළ මාර්ග හරහා ලබාදෙන්න පුළුවන්.

“පරිසරයට මුදාහරින උමගක් හදලා තියෙනවා. මොරගහකන්දට ජලය නිකුත් කරන උමං මාර්ග මේකෙ හදල තියෙනවා. ඒවා ලබන (23) දින ජනාධිපතිතුමා අතින් විවෘත වෙනවා. මොරගහකන්දෙන් උතුරු පළාතට යවන ජලයෙන් විශාල ප්‍රමාණයක් යවන්නේ මේ කළුගඟ ව්‍යාපෘතියෙන්. කළුගඟ වම් ඉවුරෙ හා දකුණු ඉවුරේ අක්කර 6000 ක් අස්වද්දන්න පුළුවන් මේ වේල්ලෙන්. මේ ව්‍යාපෘතිය තමයි මෙතෙක් කාලයකට ලංකාවේ ඉදි වූ විශාලම ඉදිකිරීම”

මෙම ව්‍යාපෘතියෙන් පිටවන ජලය වාරි ඇළ මාර්ග ඔස්සේ දිශාවලට විහිදීමේදී ප්‍රමුඛතාව දී ඇත්තේ ස්වාභාවික පරිසරය හා වනජීවීන්ගේ අවශ්‍යතා ඉටුවන පරිද්දෙනි. විශේෂයෙන්ම අලි ඇතුන් මාරු වන ස්ථාන සහ ජීවින් විශාල ලෙස ඇති ප්‍රදේශවලදී වාරි ඇළ ඉවුරු තුළට ඇතුළු වී ජලය ඔවුනට භාවිත කළ හැකි සේ ඉදි කර ඇත. ව්‍යාපෘති සංවර්ධන කාර්යයන් හේතුවෙන් ඇති විය හැකි අයහපත් පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා පාරිසරික කළමනාකරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයකි. ඒ අතර ජල පෝෂක ප්‍රදේශවල නව වගාවන් හෙක්ටයාර් 2000ක් පමණ ඇති කිරීම, පාශු සංරක්ෂණ කාර්යන් ක්‍රියාත්මක කිරීම, අලිමංකඩවල්, වනජීවී වාසස්ථාන දියුණු කිරීම, ශාක හා සත්ව සංරක්ෂණ වැඩසටහන් දියුණු කිරීම සිදු වේ. ඉහත සියලු අංග ජාත්‍යන්තර (EIA Report) වාර්තාවේ නිර්දේශ මත ක්‍රියාත්මක වේ.

දශක ගණනාවක සිට කළුගඟ පහළ නිම්න ප්‍රදේශයේ මනම්පිටිය, සෝමාවතිය ඇතුළු අවට ප්‍රදේශයන්හි කෘෂිකාර්මික වගාබිම් මෙන්ම වනසතුන්, මනුෂ්‍ය ජීවිත හා දේපළවලට හානි කරමින් මහත් විනාශයක් ගෙනදුන් වාර්ෂික විශාල ජල කන්දරාව මෙල්ල කර මිනිසාගේ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ගබඩා කළ හැකි වීම පහළ නිම්න ප්‍රදේශයේ ජනතාව ලද භාග්‍යක් වේ.

නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වන මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිසා අනාගතයේදී සංචාරක ව්‍යාපාරය ප්‍රදේශයේ පුළුල් වන බවට අනුමාන කළ හැකිය. සංචාරක ආකර්ෂණයක් සහිත මහනුවර, සිගිරිය, පොළොන්නරුව, මාදුරුඔය, දඹාන වැනි ප්‍රදේශ සමඟ සෘජුව සම්බන්ධ විය හැකි ලෙස කළුගඟ ජලාශය පිහිටීම නිසා ජාත්‍යන්තර වටිනාකමක් මෙයට හිමි වේ. එමෙන්ම ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙම ව්‍යාපෘතිය හරහා දියුණු වේ. එමගින් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 4700 ඉක්මවූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික අර්ථිකයට එක්වේ. මෙරට බිහි වූ බහුකාර්ය ව්‍යාපෘතියක් මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වෝට් 25 ක විදුලිබල නිෂ්පාදනයක් අත් කර දේ. එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 1545ක් පමණ ඉතිරි වේ.

කළුගඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිසා ඉවත් කිරීමට සිදු වන පවුල 3000ක් පමණ නව පරිපාලන නගර, ග්‍රාමීය මංමාවත්, වාරි පද්ධතිය, ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විතව නැවත පදිංචි කරයි. ඔවුන් හට මඩින් අක්කර 1.5ක් හා ගොඩින් අක්කර භාගයක් පමණ ලබාදීමට කටයුතු යොදා ඇත. එමෙන්ම ඔවුන්ට නියම කෙරූ වන්දිය මුදලට සාපේක්ෂව 50%ක වන්දි මුදලක් පිරිනැමීටට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාතා කටයුතු යොදා ඇත. ප්‍රදේශයේ ශ්‍රම බලකාය වන තරුණ, තරුණියන් හට රැකියා අවස්ථා සඳහා මග පාදමින් සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය, පානීය ජලය, සන්නිවේදනය, මහාමාර්ග, වාරිමාර්ග වැනි අංග සංවර්ධනය වේ. එම නිසා මොරගහකන්ද ප්‍රදේශය නව නගරයක් වී රාජ්‍ය සේවා හා පෞද්ගලික සේවා පිළිබඳ කේන්ද්‍රස්ථානයක් වේ.

මෙම යටිතල පහසුකම් සංවර්ධනය වීම මගින් ප්‍රදේශය නවීකරණය මෙන්ම ශීඝ්‍ර සංවර්ධනයක් කරා යොමුවනු ඇතැයි අපේක්ෂා කරන අතර ප්‍රදේශයේ පැවති කිසියම් ආකාරයක හුදකලා බව දුරස් වෙමින් නවීන ලෝකයේ ආස්වාදය සියලු ජනතාව වෙත ලබාදීම ව්‍යාපෘතිය මගින් සිදු වේ. ලක්ෂ ගණනක ජනතාවට අවශ්‍ය ජලය ක්‍රමවත්ව ලබාදීම උදෙසා තමන්ගේ උපන් ගම්, දේපළ, ශ්‍රමය, දැනුම, ජීවිත පූජා කළ ලග්ගල, පල්ලෙගම ජනතාවට රටේ සියලුම ජනතාව පින්දිය යුතුය. මන්ද මෙම වාරි කර්මාන්තය මගින් රටටම බත සැපයිය හැකි නිසාය.

“ජයග්‍රහණය මගේ නොවේය. එහි උරුමකරුවෝ උතුරු මැද, වයඹ ප්‍රමුඛ පළාත්වාසී ලක්ෂ සංඛ්‍යාත මහවැලි දරුවෝය. මිලියන 22ක් තරම් වන සමස්ත ශ්‍රී ලංකාවාසී දරුවෝය. මින් මතු කෙත් බිම්වලින් දෙකන්නයම වගා කළ හැකි නව කෘෂි ආර්ථික අරුණෝදය හමු වේ නොසැලෙන ආත්ම ශක්තියෙන්, මහපොළොව සමඟ ගැටෙමින්, නව ආර්ථිකමය ප්‍රවේශයන් කරා පියනගන මහවැටියේ නූතන පරම්පරාවේ දරුවෝය.”

එසේ පැවසුවේ වාරි තාක්ෂණයේ නව සලකුණක් තබමින් පුලුතිසිපුර ගොවි ජනපද තුළින් බිහි වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෙම මහා වාරි ව්‍යාපෘතිය ඉදිකිරීමට එතුමා කලක සිට සිහින දැක්කේය. එකල පාලකයන්ගේ පටු අරමුණු නිසා පුලතිසිපුර මෙන්ම උතුරු නැගෙනහිර වැසියන් ජලය නොමැතිව ඉරි තැළුණු බිමේ ජලය ඉල්ලා දෙවියන්ට කරන පුද පූජා දුටුවේය, ඔවුන්ගේ දුක තමන්ගේ කරගත්තේය. 2015 ජනතා මනාපයෙන් බලයට පැමිණි පුලතිසි පුර අභීත පුතු විසින් තම නෑසියන්ට මෙන්ම උතුරු, නැගෙනහිර, වයඹ පළාත්හි ජනතාවගේ ඉරිතලාගිය ජීවිතවලට දියපොදක් වෙමින් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඔහුගේ සිහිනය සැබෑ විය. දැන් වැඩකටයුතු සියල්ල අවසන්ය. නොබෝ දිනකින් හෙක්ටයාර් ගණනාවක කෙත් වතු සාරවත් වේ. ජල හිඟයෙන් පීඩාවිඳි ජීවිතවල අඳුර නසමින් නව හිරු පායා තිබේ.

 

[අසේල ලියනගේ] ඡායා [වාසිත පටබැදිගේ]

මාතෘකා