යාළුයි අපි යාළුයි

 ඡායාරූපය:

යාළුයි අපි යාළුයි

වෙනදා වගේම කට්ටිය වත්ත පහළට එකතු වුණේ සෙල්ලම් කරන්න.

කට්ටිය බෝල ගහන්නයි සූදානම.

“මං බෝල ගහන්නම්. මට ඇහිදින්න බැහැ. තාම මගේ කකුල හොඳ නැහැ.” කවීෂා කිවුවෙ කකුල අත ගගා.

“ ඔයාගෙ කකුල නම් හොඳ වෙන කකුලක් නෙමෙයි. හිඟන්නගෙ තුවාලෙ වගේ.” ඉමල්ක බැට් එක කවීෂාගෙන් උදුරා ගන්න ගමන් කිවුවා.

“හිඟන්නගෙ තුවාලෙ වගෙයි. කියන්නෙ මොකක්ද” කවීෂාගෙ නංගී මධූෂි ඇහුවා.

“ඔයා චූටි නිසා ඔයාට තේරෙන්නෙ නැහැ. ඔයාගෙ අක්කා හරි වැඩ තමයි හැමදාම කරන්නේ. එයා කකුල රිදෙනවා, කකුල රිදෙනවා කියාලා බෝල ගහන්න විතරක් ලෑස්ති වෙනවා. බෝල ඇහිදින්න එන්නෙ නැහැ. අපිත් ඉතිං පවුනෙ එයාගෙ කකුල අමාරුවනේ කියලා එයාට ඉඩ දෙනවා. එයා බොරු කරන්නෙ. මං අද උදේ ඉස්කෝලෙදි දැක්කා යාළුවොත් එක්ක හොඳට දුවනවා.” ඉමලක් උත්තර දුන්නේ බැට් එකෙන් පොළොවට තට්ටු කරන ගමන්.

“ඉතිං ඉමල්ක අයියේ ඒකට හිඟන්නගේ තුවාලෙ කිවුවේ?” ආයෙත් කවීෂාගෙ නංගී මධූෂි ප්‍රශ්න කළා.

“හිඟන්නොත් තුවාලෙ හොඳ කරගන්නෙ නැහැනේ. හොඳ වුණොත් මිනිස්සුන්ට පෙන්නන්න විදියක් නැහැනේ” ඒ උත්තරය දුන්නෙ කසුන්.

“මිනිස්සුන්ට පෙන්නන්න” මධූෂීගෙ ප්‍රශ්න කෙළවරක් නැහැ.

“තුවාලෙ දැක්කම මිනිස්සු එයා ගැන අනුකම්පා කරලා සල්ලි දෙනවනේ.”

“මට තේරුණා. මට තේරුණා. අපේ අක්කා ඔයාලගෙන් අනුකම්පාව ගන්න තමයි කකුල අමාරුව කිව්වෙ” මධූෂිට හිනා.

“යන් ගෙදර. මට කාගෙවත් අනුකම්පාවක් ඕන නැහැ.” කවීෂා මධූෂිගෙ අතින් ඇද්දා.

“හරි.. හරි.. තරහා ගන්න ඕන නැහැ. අපි හෙටත් සෙල්ලම් කරන්න ඕනනේ. අපි යාළුවොනේ. අද ඔයත් බෝල ඇහිඳිමු. මනුකි කවීෂාගෙ ගමන නතර කළා.

ටික වෙලාවක් යද්දි කට්ටිය හිනාවෙවී සෙල්ලම් කරනවා.

[තනුජා අයගම නැන්දා]

මාතෘකා