අාකාස හීන

 ඡායාරූපය:

අාකාස හීන

ඔබේම එළියෙන් ගිනිකණ වැටීම

අරුන්දතී රෝයි. එකදහස් නවසිය හැට එකේ නොවැම්බර් විසිහතර වෙනිදා ඇසෑම් ප්‍රාන්තයේ උපන්නී ය. ඉන්දියාවේ.

ඇය ගැන ඉන්දියාව මතු නොව ලෝකයම කතා කරන්නට පටන් ගන්නේ එකදාස් නවසිය අනූහතේ දී ය. ඇගේ මුල්ම නවකතාව එළි දැක්වුණ පසු. ‘ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්' නමින්. එහි සිංහල පරිවර්තනය 'සුළු දෙයෙහි දෙවියා' ලෙස විය යුතු ද එසේ නැතහොත් 'සුළු දෙයෙහි ඇලුණු දෙවියා' විය යුතු දැයි මෙරට පුවත්පත්වල සාහිත්‍යය පිටු පුරා වාද විවාද ඇතිවන්නට ටික කලකට පෙර.

The God of Small Things. අරුන්දතී රෝයිව එක රැයින් ප්‍රසිද්ධ කළේ ය. අවලාද නැඟුම් ද ඇගයීම් ද සම සමව ලබාදෙමින්. අශ්ලීල ලිවීමක් කළා යැයි සිය වාසභූමිය වූ කේරළ ප්‍රාන්තයෙන් නැඟුණු චෝදනාවලට පිළිතුරු දීමට සිදුවීමේ සිට එම වසරේ මෑන් බුකර් ත්‍යාගය ලබාගැනීම දක්වා.

කෙසේ වතුදු ඇය ඉන්දියාව හැර නොගියා ය. නැඟුණු අවලාදවලට බියෙන් හෝ ලැබුණු වරදාන වලට ලොබින්. ඉන්දියාවේ ම සිටියා ය.

නවකතා ලිවීම නැවැත්වූවා ය. ලියූ එකම නවකතාවෙන් පූර්ණ තෘප්තියට පත් වූවා සේ.

ඉන්දියාව පුරා ඇවිද යමින් තැන තැන නැඟුණු ජන අරගලවලට සහාය දැක්වූවා ය. බුකර් ත්‍යාගයෙන් ලද මුදල් ද සිය නවකතාව වෙනුවෙන් ලද කතෘ භාගයන් ද නර්මදා වේල්ල තැනීම හේතුවෙන් අවතැන් වන්නවුන්ට පිරිනමමින් ඔවුන් හා උසාවි ගානේ යමින්. කාශ්මීර අරගලය වෙනුවෙන් පෙනී සිටිමින්. ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු මැදිහත්වීම් ප්‍රශ්න කරමින්. කේරළ ආදිවාසීන් හා එක්ව ඔවුන්ගේ හිමිකම් සුරකින ලෙස රජයට බලකරමින්. ආදී තවත් බොහෝ තන්හි දී අරුන්දතී රෝයි නම් ලේඛිකාව අමතක කරවමින් සමාජ ක්‍රියාකිරිනියකගේ චරිතයට ආරෝපණය වෙමින්.

ඒ උදෙසා ද ඇගයීම් ලැබුවා ය.

ටයිම් සඟරාව විසින් වසර දෙදහස් දහහතරේ දී ලෝකයේ වැඩිම බලපෑම් කළ පුද්ගලයන් සිය දෙනාගේ ලැයිස්තුවට ඇය ද එක් කළා ය.

ඇය සම්මානිත වූවා ය. ජනප්‍රිය වූවා ය. ප්‍රසිද්ධ වූවා ය.

ඇය හා කෙරුණු සංවාදයක දී මේ ගැන ප්‍රශ්න කරන්නේ ය. Kathy Arlyn Sokol නම් මාධ්‍යවේදිනිය විසින් Kyoto Journal වාර සඟරාව වෙනුවෙන්. දෙදහස් එකොළහේ නොවැම්බර් පස්වන දා.

ඇගේ ප්‍රශ්නය සරල සිංහලට නැඟූ විට මෙසේ ය.

“ ඔබ තව දුරටත් පොදු ජනයාගෙන් කෙනෙක් නොවන විට, ඔබව තරු අතරට තල්ලුකෙරෙන විට; එතැන දී ඔබේ වගකීම කුමක් ද?”

ඇයට ලැබුණු දීර්ඝ පිළිතුරෙන් තැනක් දෙකක් පමණක් පහත උපුටා ලියමි.

“ මං හිතන්නෙ ලෝකය සමහර දේවල් වලින් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී තැනකට ඇවිත් තියෙනවා. අපට බොහෝ තරු සිටිනවා. විවිධාකාරයේ තරු සිටිනවා. මං මා ගැන එහෙම හිතන්නේ නැහැ. ”

“ තරු සංකල්පය කියන එක ඔබේ පොත තුළින් පාඨකයාට ලබාදීමට අපේක්ෂා කරන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මා මේ පොත ලියූවේ මතක ඇති චරිතයක් වීමට හෝ ජනප්‍රිය වීමට නොවේ. ඒ දෙකම පොත ලිවීමෙහි අතුරුඵලයන්"

“ ලබන ආකර්ශණයන් දැක ඔබ දිලෙන්නට පටන්ගෙන ඇතැයි සිතන්නේ නම් එය ඔබ විසින් ඔබවම රවටා ගැනීමක්".

ඇගේ අවසන් ප්‍රකාශය දිගු කලක් වැජඹෙන්නට සිටින සියළුම තරුවලට වලංගුය.

[අනිල් ෙහ්රත්]


රසවතිය

පේරාදෙණියේ මල්!

පේරාදෙණිය ඉතා අපූරු බිම් කඩකි. එහි වැවෙන ගහකොළට ද අපූරු අනන්‍යතාවයක් තිබේ. ලොජ් එක ළඟ ඇති කිරිපළු ගස අරුණු ඉරු රැසින් ළෙලෙනු දැක එතැනින් හිස නොඋස්ව යයි නම් ඒ හැබෑ අවාසනාවන්තයෙකු මිස අනෙකෙකු නොවේ. පොළව තෙක් පහත් වුණු විටපයන්ගෙන් යුක්ත සිඟිති පත් ඇති බෙන්ජමිනා නුග ගස් ‘චණ්ඩාතප ඛණ්ඩනය කරයි.

එක් එක් ගසක් යට එක් එක් බංකුවක එක් එක් ආපන ශාලාවක එක් එක් අඳුරු මුල්ලක ඇති වී නැති වූ කතා සත්මහල් පේරාදෙණිය පුස්තකාලයේ දුලබ පොත් අතර හෝ හොයාගත නොහැකි තරම් අපූරු එවා වෙන්නට ඇත. සංඝමිත්තා කන්ද නැගී පොකුරු කාමර අසළ පෙම්වතිය එන තෙක් රැඳෙමින් 'හරි ප්‍රසාද් චෞරාසියා' අසමින් සිටීම චමත්කාරජනක ක්‍රියාවකි.

මහපොළ ලැබී ටිකදිනකින් ජීවිතයේ චමත්කාරය තුරන් වෙයි. ඉදිරි දින ගෙවීම බියජනක හීනයක් වෙයි. දේශන ශාලා එපා වී යයි. එවන් කළෙක ශේෂ පත්‍රයේ ඉතිරි එකම දෙය ප්‍රේමය පමණක් වෙයි. නමුත්, පෙබරවාරි මාසයේ ළිං-ගෙය අසලින් ගලන දියත්ත තරම් තුනී ආර්ථිකය 'ප්‍රේමයෙන් මන රංජිත' වීමට සුදුසු අවකාශ සීමිත කරයි.

ජූලි මාසය එළැඹෙන්නේ අභියෝගයක් සමඟිනි. අපේ උන්දෑගේ උපන්දිනයට ඇය එතෙක් නොකියවූ හා කියවීමට ප්‍රිය කරන පොතක් හොයාගැනීම ඒ අභියෝගයයි. ඒ ලෙසම පසුව මතවාදී ගැටුම් නිසා ප්‍රිය සංවාද වාද විවාද බවට පත්නොකරන පොතක් සොයාගැනීමයි.

පේරාදෙණියේ අපූරු සංස්කෘතියක් ඇතත් එය අන් අයුරකින් සංස්කෘතික කතරක් වන්නේ පිට ලෝකය හා ඇති සීමිත සම්බන්ධතාවය නිසා ය. නුවර ටවුමේ සීවලී පොත්හලේ රැවුල් අයියා අප හා මිතුරු වන්නේ මේ නිසා ය. ඔහුට පොත්හලේ ගබඩා කාමරවල අහු මුළුවල සැඟවී ඇති සමහර පොත් සොයා රැවුලේ මකුළුදැල් දවටා ගැනීමට සිදුවේ. ඒවායේ මහ ලාබයක් නැතත් ඔහු සමහර පොත් අප උදෙසා සොයා තබයි. හරියට කෝවිල ළඟ ශෛව අවන්හලේ අයකැමියා මෙනි. ඔහු ද්‍රවිඩ රසවතියේ ඉසව් අපට කියා දෙයි. තෝසේ ද ඉඩ්ලි ද උප්මා ද ගැන කරුණු පහදයි.

මාර්තු මාසයේ පේරාදෙණියේ සියලු තුරුහිස් යථා පුෂ්පිත කුසුමින් අලංකාර වෙයි. කහමල් වැලින් වැගිරෙන කුසුම් දාමයෙන් බිඟු කැළ මතු නොව එහි වෙසෙන යුව ජනයා ද මත්ව යෙති. කලාගාරයට පෙර පාර අයිනේ ඇති මැග්නොලියා ගසෙහි පුළුල් දළයෙන් ගැවසුණු සුගන්ධිත පුෂ්පයෝ එතැන මඳක් රැඳී යන්නැයි ඇරයුම් කරයි. රැයෙහි එතනින් යන කෙනෙකුට ගුප්ත අනියත බියක් දැනෙන තරමට මැග්නොලියා සුගන්ධය තියුණුය. සනාතන මන්දිරය අවට අරලිය ගස්, පායන කාලයේ විවිධ වර්ණයන්ගේ සිරස සරසා ගන්නා නමුත් ජූලි එහි මල් නොවරන්නේ මාස් කන්ද පාමුල සයිමන් ගේ කහ රොබරෝසියා ගස පමණකි.

1997දී අපේ උන්දෑගේ උපන්දිනයට දෙන්න තෑග්ගක් සොයමින් වෙහෙසෙන විට මට 'අපූරු' අදහසක් පහළ විය. පේරාදෙණියට පැමිණි බොහෝ තරුණයින් තම පෙම්වතියන් උදෙසා 'පෙර නුවූ විරූ' යමක් කිරීමට උත්සාහ නොකළේ යැයි කෙසේ සිතන්නද? මම කෘෂි පීඨයෙන් පිටව සෙමින් සෙමින් ඇවිද ගියෙමි. උඩ බැලූ කල මල් නැති ජූලි මාසයේ, බිම මල් පිපී ඇත. ‘අපාය කැන්ටිම’ පසු කර යන විට මොණර පිල් වැනි තෘණ මලින් පොළව හැසී ගැවසී ගොසිනි. ඒවා උඩට ඇලවුණු ඉරු එළිය පතිත වුණු විට ගිනිගත්තා වැනිය. තව ටිකක් දුර ‘වුස්ක් වල’ පැත්තට යන විට බුරුසු වැනි හරිත පැහැයෙන් දිදුළන තණකොළ මලක් හමු වෙයි. තවත් දුර යන විට ‘වීරසූරිය ස්මාරකයෙන්’ ඔබ්බෙහි ‘හිල්ඩා උද්‍යානය’ අසල දම් පැහැති පිහාටු වන් තණ මලකි. 'වල' පසෙක ඊතණ පඳුරකි. පිට්ටනියෙන් කඩාගත් නම නොදන්නා අපූරු හැඩයකින් යුත් වල් මල් කිහිපයද එක්කර මගේ අපූරු 'වල් පොකුර' නිම කළෙමි.

කාටත් හොරෙන් තනා ගත් මගේ ‘වල් පොකුර’ රැගෙන පහුවෙනිදා උදයේ සංඝමිත්තා පඩිපෙළ අසළ රැක හුන්නෙමි. 'ඇය' මිතුරියන් හා පඩිපෙළ බැස එන්නීය. මගේ හද සැලෙයි. මේ කෙල්ලන් රංචුව ඉදිරියේ වල් පොකුරක් දීම නොහොබනේ යැයි මගේ සිත මට කියයි.

මොකුත් නොදූන්නත් හිනාවෙන අපේ උන්දෑ; වල් පොකුර දෝතින්ම වඩාගෙන ‘ඉස්තුතියි’ කීවාය. ඒ උන්දෑගේ හැටිය. අවුරුදු විසි අටක් තිස්සේ සුබ උපන් දින ගෙවී ගොසිනි. හිසෙහි නර නැගේ. අපි අපේ සිහිනයට ළඟා වෙමින් ඉන්නෙමු.

සුබ උපන් දිනයක්.................!

[හෂිත අබේවර්ධන]


අතුරු පාර

 

මාවතෙන් උපන් දෙවඟන

පහුගිය දවසක මමත් මගෙ මිත්‍රයෙකුත් අතුරුගිරියෙ ආපන ශාලාවක තේ බිබී ඉන්දෙද්දි ඒතන දොරකඩ අම්මෙක් තමන්ගෙ දරු දෙන්නත් තියාගෙන හඳුන්කූරු විකුණමින් හිටියා. එක දරුවෙක් හරහට වඩන වයසෙ. අනිත් දරුවාට අවුරුදු හතරක් විතර ඇති. ආපන ශාලාවට ආපු තරුණියක් අර දුව පනිමින් හිටපු දරුවා අතට යම් මුදලක් දුන්නා. ඒසැනින් අර අම්මා දරුවට අඬගහලා අර මුදල උදුර ගත්තා. ටිකකින් ඒ දරුවා අම්මට ගහමින් කඩේ වීදුරු අල්මාරියෙ කෑම වර්ගෙකට අත දික්කරමින් විලාප දුන්නා.

"ඒ අම්මට විසිතුරු කෑම දරුවට අරන් දෙනවට වඩා ඒ මුදලින් කරන්න වැදගත් වැඩ ඇති" කියලා මම හිතුවත් මගෙ මිත්‍රයා හිතුවෙ ඒ අම්මා දරුවො පෙන්නලා හම්බකරනවා ඇති කියලයි. මගෙ මිත්‍රයා ඒ දරුවට එයා ඉල්ලලා අඬපු කෙටි කෑම අරන් දුන්නම ඒ දරුවා ඒකෙන් කොටසක් තමන්ගෙ අම්මට දෙන්න කාරුණික වුණා.

ලංකාවෙ කොච්චර වීදි දරුවො ඉන්නවද කියලා සංඛ්‍යාත්මක තොරතුරු දන්නෙ නැති වුණත් සෑම ප්‍රධාන නගරයකම වීදි දරුවො ඉන්නවා. කොළඹ නගරයේ පිටකොටුව ආශ්‍රිතව වීදි දරුවො විශාල සංඛ්‍යාවක් ඉන්නවා. එයාලගෙ ජීවිත නොදන්නා කලාපයක්.

දැන් මම මේ කියන්න යන කතාව ඉන්දියානු ජාතික කාන්තාවකගෙ එකක්. ඇයව වයස දහයෙදි අවුරුදු තිහක මිනිහෙකුට බලෙන් විවාහ කරදෙනු ලබනවා.ඇගේ ස්වාමියා ඇයට වයස විස්සෙදි පහර දීලා ගෙදරින් පන්නනවා. එතකොට ඇය මාස නමයක දරු ගැබක් දරාගෙනයි ඉන්නෙ. ඇය ඇගේ අම්මගෙ ගෙදර හොයාගෙන යන අතරමග හරක් ගාලකදි දියණියක් ප්‍රසූත කරනවා. බිලිඳු දුව එක්ක මග ගෙදර ගියත් ඇයට එහි දොරවල් වැහෙනවා. ඇය දුවත් එක්ක පාරෙ හිඟාකන්න පටන් ගන්නෙ වෙනත් විකල්පයක් නැතිම තැන. ඇගේ නියම දිවි අරුත ඇය හොයාගන්නෙ පාරෙන්.

ඇය කියනවා ඇයට සිය දිවි නසාගන්න හිතුනු බව. ඒත් ඇය එහෙම කරන්නෙ නැහැ. ඇය ජීවත් වෙනවා. ඇය දකිනවා ඇය අවට ඉන්න වීදි දරුවො. ඇය ඔවුන්ට ඇගේ රැකවරණය දෙනවා. ඇය උපයන මුදල් ඇයට සහ ඇගේ දරුවාට විතරක් නෙමේ ඇගේ වටේ ඉන්න වීදි දරුවො වෙනුවෙනුත් වැයකරනවා. ඇය මෙය නොනවත්වාම කරගෙන යනවා. මේ වෙද්දි ඇය වීදි දරුවො එක්දහස් හාරසීයකට වඩා වැඩි සංඛ්‍යාවකට රැකවරණය දීලා තියෙනවා. ඇය ඒ දරුවන්ට උගන්නනවා. වෙනත් පුද්ගලයින් සහ සංවිධාන ඇගේ පිහිටට එනවා. ඇගේ සමහර දරුවො ඉහළටම ඉගෙනගෙන නොයෙක් වෘතීන්ට යනවා, විවාහ වෙනවා. ඇය තව තවත් වීදි දරුවන්ට පිහිට වෙනවා. දැන් ඇගේ වයස අවුරුදු හැට නමයක්. ඇය යටතේ පාලනය වෙන වීදි දරුවන්ට උදව් කරන සංවිධාන හයක් තියෙනවා. ඇගේ කතාව මිනිසෙකුගේ සීමාවන් සහ අප්‍රමාණ දිරිය ගැන කතාවක් හැටියට ලෝකය පුරා ප්‍රකටයි. ඇය සින්දුතායි සප්කල්. මාවතෙන් උපන් දෙවඟන. සින්දුතා ගැන මම මුලින්ම දැන්ගත්තෙ ජේ ශෙට්ටි කියන ඉන්දීය තරුණයගෙ ෆේස්බුක් පිටුවෙන්. පස්සෙ ඇය ගැන තවත් තොරතුරු හොයාගන්න පුළුවන් වුණා. ඇය සරලයි. ඒ වගේ ඇය තමන්ගෙ හිත අනුගමනය කරනවා. ඇය ඇගේ ජෛව විද්‍යාත්මක දරුවට සහ ඇය විසින් හදා වඩා ගන්න වීදි දරුවන්ට සලකන්නෙ එකම විධියට.

ලංකාවෙ වීදි දරුවන්ට ආමන්ත්‍රනය කරලා එයාලව පුනරුථාපනය කරන වැඩසටහන් තියෙනවද මම දන්නෙ නැහැ. ඒත් වීදි දරුවො පේන්න ඉන්න හැටියට ඒ වැඩසටහන් තියෙනවා නම් ඒවයෙ අවුලක් ඇති කියලා හිතෙනවා. ඒ දරුවොත් දරුවො කියන කාරණාව අපිට අමතක වෙනවා. එයාලට ඕනෙ හිඟමන් නෙමෙයි ආදරය, රැකවරණය සහ අධ්‍යාපනය. වීදි බල්ලො ගැන වැඩකරන සමහර ආයතන ඉතාම හොඳින් වැඩකරන බවක් පේනවා. ඒක සුබවාදී දෙයක්. වීදියෙ ඉන්න මිනිස්සු ගැනත් හොයලා වැඩකරන අය අපිට ඕනෙ.

[ඉසුරු චාමර සෝමවීර]

මාතෘකා