හයිබ්‍රිඩ් වාහනයක ධාවන අවස්ථා

 ඡායාරූපය:

හයිබ්‍රිඩ් වාහනයක ධාවන අවස්ථා

වඩා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීම සඳහා බහුතරයක් දෙනා හයිබ්‍රිඩ් මෝටර් රථ භාවිතා කරති. පාරිභෝගිකයන්ගේ මූලික අරමුණ එය වුවද එය නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් එම වාහනයේ ධාවන අවස්ථා පිළිබඳ නිසි දැනුවත්භාවයකින් යුක්ත විය යුතුය.

ධාවක අවස්ථා පිළිබඳව දැනුවත් වුවද ධාවනය කරන ආකාරය (driving pattern) නිසි ආකාරයෙන් සකස් කර නොගතහොත් නිෂ්පාදන සමාගම සඳහන් කරන ඉන්ධන කාර්යක්ෂතාවයට ළඟා විය නොහැකිය. එසේ නොමැති වුවහොත් හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගත්තද අප වාහනයෙන් බලාපොරොත්තුවන ප්‍රතිලාභය නොලැබේ.

සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වාහනයක මූලික ධාවන අවස්ථා කිහිපයක් තිබේ.

දෙමුහුම් ධාවන අවස්ථාව (ඇසිස්ට් ධාවන අවස්ථාව/Hybrid Drive mode)

EV ධාවන අවස්ථාව (විදුලි මෝටර් රථයක් ලෙස ක්‍රියාකාරීවන ධාවන අවස්ථාව)

ඔටෝ ස්ටොප් ක්‍රියාකාරිත්වය (Auto Stop)

රී ජෙනරේටිව් බ්රේකින් අවස්ථාව (Re- generative breaking)

එන්ජිමෙන් පමණක් ධාවනය වන අවස්ථාව (Engine drive mode)

මෙම ධාවන අවස්ථා හයිබ්‍රිඩ් මෝටර් රථයක ක්‍රියාකාරී වන්නේ එම මෝටර් රථයේ හයිබ්‍රිඩ් බල පද්ධතියේ නිර්මාණය මතයි. එක එක දෙමුහුම් මෝටර් රථ නිෂ්පාදන මාදිලිය මත ඉහත සඳහන් කළ ධාවන අවස්ථාවන් ධාවනය අතරතුර ක්‍රියාකාරීවන සීමාව වෙනස් වේ.

සාමාන්‍ය දෙමුහුම් වාහනයක EV ධාවන අවස්ථාවේ විදුලි මෝටර් රථයක් ලෙස ධාවනය කළ හැක්කේ කිලෝ මීටර් 1-2 ක් අතර ප්‍රමාණයකි. නමුත් ප්ලගින් හයිබ්‍රිඩ් රථයක (PHV රථයක) EV ධාවන අවස්ථාවේදී කිලෝමීටර් 20-30 ක් අතර ප්‍රමාණයක් දිවිය හැකිය.

වාහනය නිෂ්පාදනය කර ඇති තාක්ෂණික ව්‍යුහය මත ඉහත සඳහන් කළ ධාවන අවස්ථාව සීමා සහිත වේ. අප මිලදී ගන්නා දෙමුහුන් වාහනය කුමන තත්ත්වයක පවතීද යන්න මත හා අපගේ තත්ත්වයට ගැළපේද යන්න මත තීරණය වේ.

දෙමුහුම් ධාවන අවස්ථාව

දෙමුහුන් ධාවනය සහිත ඕනෑම හයිබ්‍රිඩ් රථයක් නිර්මාණය වී ඇත්තේ බල පද්ධති දෙකකිනි. රථය ධාවනය කිරීමට අවශ්‍ය ධාවන බලය එකවර එම පද්ධති දෙක මගින්ම බල සුසංයෝජනයෙන් සපයන අවස්ථාව දෙමුහුන් ධාවනනයක් ලෙස කියයි. මේ ධාවන අවස්ථාවේදී ඉන්ධන කාර්යක්ෂතාව සාමාන්‍ය රථයකට සාපේක්ෂව වැඩිය. එයට හේතුව එන්ජිමට අමතරව වාහනයේ දෙවන බල පද්ධතිය ලෙස සැලකෙන විදුලි මෝටරය මගිනුත් සහය බලයක් සැපයෙන නිසා එන්ජිමේ ක්‍රියාකාරී භාරය (ලෝඩ් එක) අඩුවේ. ඒ නිසා අනෙකුත් රටවලට සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළය.

EV ධාවන අවස්ථාව

විදුලි මෝටර් රථයක් ලෙසට විදුලි මෝටරයෙන් පමණක් (එනිජිම ඕෆ් වෙලා තියෙන විට) රථය ධාවනය වන අවස්ථාව EV ධාවන අවස්ථාවයි. EV ධාවන අවස්ථාවේ ගමන් කළ හැකි දුර වාහනයේ හයිබ්‍රිඩ් බැට්රියේ ආරෝපණ ප්‍රතිශතය (SOC අගය) මත තීරණය වේ. EV ලෙස ධාවනය කළ හැකි වේග සීමාව කුමක්ද යන්න මෝටර් රථ නිෂ්පාදකයා විසින් එක් එක් මාදිලියට අදාළව දක්වා ඇත. නිෂ්පාදක අත්ලොතෙහි සටහන් තර ඇති පරිදි ධාවන වේගය වාහනයෙන් වාහනයට වෙනස් වේ. අප රථය ධාවනය කරන අවස්ථාව මත EV ධාවන අවස්ථාව ක්‍රියාත්මක කර ගැනීම සඳහා (රියැදුරුගේ අවශ්‍යතාව මත) සමහර මෝටර් රථ මාදිලිවල EV ලෙස සඳහන් ස්විචයක් ද පවතී. එසේ පැවතුණද ස්විචය ක්‍රියාත්මක කළත් EV ධාවන අවස්ථාව ක්‍රියාත්මක වන්නේ නිෂ්පාදකයා විසින් තීරණය කර ඇති සම්මත තත්ත්වයන් සම්පූර්ණ කර ඇත්නම් පමණයි.

නිදසුනක් ලෙස බැට්රියේ ආරෝපණය සියයට පනහකට වඩා වැඩිවිය යුතුය. බැට්රිය ක්‍රියාකාරී උෂ්ණත්වයේ පැවතිය යුතුය. එනිජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට පැමිණ තිබිය යුතුය. රථයේ ඒ/සී භාවිතා කර ඇති ආකාරය මත EV ධාවනය තීරණය වේ.

ඔටෝ ස්ටොප් ක්‍රියාකාරිත්වය

ට්‍රැෆික් නැවතුමකදී (තාවකාලිකව) රථය නැවැත්වූ පසු ස්වයංක්‍රීයව එන්ජිම හා විදුලි මෝටරය ක්‍රියා විරහිත කරමින් ඉන්ධන නාස්තිය අවම කිරීමේ සැලසුම ඔටෝ ස්ටොප් ක්‍රියාකාරිත්වයයි. මෙම ක්‍රියාකාරිත්වය සිදුවීමටත්, සම්මත තත්ත්ව කිහිපයක් රථය තුළ සම්පූර්ණ විය යුතුය.

නිදසුන්, බැට්රි ආරෝපණය, රථය තුළ වායු සමීකරණ භාවිතා කළ හැකි උෂ්ණත්ව පරාසය, ගියර් ලීටරයේ පිහිටුම, අවට වායුගෝලයේ උෂ්ණත්වය

මේ ක්‍රමයේදී ට්‍රැෆික් වලදී එන්ජිම ක්‍රියා විරහිත වී ඇති නිසා ඉන්ධන කාර්යක්ෂතාව වැඩිකර ගැනීමට උදවු වේ.

රී ජෙනරේටිව් බ්‍රේකින් අවස්ථාව

ඕනෑම හයිබ්‍රිඩ් වාහනයක මෙම ක්‍රියාකාරිත්වය ඇත. වාහනය ධාවනය කරන අතරතුර මන්දනය වන අවස්ථාවල සහ බ්රේක් කරන අවස්ථාවල ඒ බව දෙමුහුන් පාලන පද්ධතිය හඳුනාගෙන එන්ජින් ක්‍රියාකාරිත්වය තාවකාලිකව නවතා ධාවන මෝටරය ජෙනරේටරයක් ලෙස ක්‍රියාත්මක කර රෝදක පහරේ (බ්රේක් ගහද්දී) අනවශ්‍ය ලෙස වැයවන චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර නැවත භාවිතය පිණිස බැට්‍රිය තුළ ගබඩා කරයි. මෙහි ඇති වාසිය වන්නේ EV ධාවන අවස්ථාව හෝ දෙමුහුම් ධාවන අවස්ථාව සඳහා අත්‍යවශ්‍ය වන විද්‍යුතය මේ හරහා ලැබේ. මේ නිසා දෙමුහුන් රථයක් ධාවනයේදී හැකිතාක් ක්ෂණික බ්රේක් පහරවල්වලට (Sudden breaking) නොගොස් සෙමෙන් රෝදක පහර ක්‍රියාත්මක කළ හැකිනම් වඩාත් සුදුසුය. එයද ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවීමට උදවු වේ.

එන්ජිමෙන් පමණක් ධාවනය වන අවස්ථාව

ඉන්ධන කාර්යක්ෂමතාව අඩුම (පෙට්ට්‍රල් වැඩිපුරම වැයවෙන අවස්ථාව) අවස්ථාව මෙය වේ. හයිබ්‍රිඩ් පද්ධතියේ විදුලි මෝටරය මගින් එන්ජිමට සහය බලයක් නොලැබේ. එබැවින් ධාවනය සඳහා අවශ්‍ය සම්පූර්ණ බලයම එන්ජිමෙන් ලබා දේ. මේ ධාවන අවස්ථාවේ ඉන්ධන කාර්යක්මතාව අඩුය. එමෙන්ම හයිබ්‍රිඩ්වල පරිසර දූෂණය වැඩිම අවස්ථාව මෙය වේ.

ඉහත සඳහන් කළ ධාවන අවස්ථා හඳුනාගෙන ධාවනයේදී එම ධාවන අවස්ථා උචිත ලෙස භාවිතා කළ හැකි නම් ඉහළ ඉන්ධන කාර්යක්ෂතාවක් දෙමුහුම් රථය හරහා ලබා ගත හැකිය. එමෙන්ම එවන් ධාවනයකදී පරිසරයට එක්වන කාබනික මෝචනය (පරිසර දූෂක දූව්‍ය) අඩුවන බැවින් පරිසරයද සුරැකේ. එමෙන්ම එය මතු අනාගත පරම්පරාව සඳහා අපි ලබාදෙන දායාදයකි.

ආචාර්ය

නුවන් මදනායක

ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු/ තාක්ෂණ උපදේශක (හයිබ්‍රිඩ් මෝටර් රථ පිළිබඳ විශේෂඥ)


මගේ මෝටර් රථය 110 Toyota Corolla වර්ගයේ මෝටර් රථයකි. මෝටර් රථය ළඟදි මගේ අතින් gascut ගියා. එය නැවත දැම්මා. ඒත් එන්ජින් ෆෑන් එක ඔටෝ වැඩකරන්නේ නැහැ. සෙන්සර් එකකුත් දැම්මා. මෙයට හේතුව කුමක්ද?

 

ආර්. සේනානායක මිනුවන්ගොඩ

 

සෙන්සර් එකේ වයර් ෂොකට් එක ගැලවූ පසු ෆෑන් එක ඔන් වේදැයි පරික්ෂා කර බලන්න. එසේ නොවේ නම් එයට අදාළ විදුලි පරිපථය දෝෂ සහිත වේ. එසේ ක්‍රියාත්මක වේ නම් සෙන්සර් එක දෝෂ සහිත වේ. නිවැරදි උෂ්ණත්ව සීමාව තුළ ෆෑන් එක ඔන් නොවේනම් එයද සෙන්සර් එකේ දෝෂයකි. කෙසේ වුවද මෙයට අමතරව තර්මෝස්ටේට් වෑල්ව් (Thermostat Valve) එක නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි පරික්ෂා කර බලන්න. විසඳුම් ලැබේ.


Honda Civic EK3 VTEC D15B Engine, Automatic Transmission තියෙන වාහනේ නැවතිලා ඉඳලා Pickup කරනකොට Gear Engage එකවෙන්න කලින්ට වඩා ප්‍රමාද වුණා. පොඩි Knock එකකුත් ආවා. ඒනිසා Transmission Oil මාරු කළා.. ඒත් තාම ලෙඩේ අඩු නෑ. ODO reading එක 125000km වගේ. දාපු Oil එකවැරදිද?

 

නිමේෂ් චාමින්ද

කොට්ටාව

 

ඔබගේ මෝටර් රථයේ ගියර් බොක්ස් එකේ දෝෂ තත්ත්වයක් ඇති බව හැඟේ. ගියර් බොක්ස් එක ඇතුළත සිහින් තෙල් කාන්දුවක් හේතුවෙන් පැවතිය යුතු තෙල් පීඩනය අඩුවීමක් නිසාවෙන් බොහෝ දුරට මෙය සිදුවිය හැක. දක්ෂ කාර්මිකයකු ලවා ගියර් බොක්ස් එකේ ඔයිල් ෆිල්ටර් එක ගලවා පිරිසිදු කර නැවත ගියර් ඔයිල් මාරුකර ධාවනයේ ප්‍රගතියක් නොවන්නේ නම් ස්ටෝල් ටෙස්ට් එකක් කර එක් එක් ගියර්වල පිහිටුම්වල දෝෂ පවතීද යන්න දක්ෂ කාර්මිකයකු ලවා පහසුකම් සහිත ගරාජයක සිදුකර දෝෂය සොයාගත හැක.


මගේ 2003 සුසුකි එවරි වෑන් රථයේ මෑතක සිට එන්ජිම ක්‍රියාත්මක කළ විට ෆෑන් බෙල්ට් එක ළඟ පොඩි හම් එකක් එනවා. මෙය ෆෑන් බෙල්ට් මාරු කිරීමට හේතුවක් විය හැකිද? නැතිනම් තිබෙන ෆෑන් බෙල්ට් එකටම එම හම් එක නැති කර ගැනීමට සුදුසු පියවරක් තිබේද?

 

ජයතිස්ස පෙරේරා නාවලපිටිය

 

බෙල්ට් ඩ්‍රෙසින් (Belt Dressing) වැනි කෙමිකල්ස් එම ස්ථානයට යෙදීමෙන් තාවකාලිකව ශබ්දය නැති කරගත හැක. කෙසේ වුවද බෙල්ට් එක ගෙවීම ධාවන පුලියේ මතුපිට ගෙවීම් හා මලබැඳීම හා බෙල්ට් ඇජෙස්ටරයේ ඇති ගැටලුකාරී තත්ත්වයන් මෙයට හේතුවිය හැකි බැවින් දක්ෂ කාර්මිකයකු ලවා පරීක්ෂාකර ගන්න.


මා සතුව ඇත්තේ Toyota Hilux Vigo වර්ගයේ කැබ් රථයකි. එහි ළඟදී සිට පිටුපස රෝදවලින් විශාල ශබ්දයක් ඇති වේ. බ්රේක් ලයිනර්, හබ් බෙයාරින් මාරු කිරීමක් කළා. ඒත් ඒ සද්දේ අඩු නැහැ. එයට හේතුව කුමක්ද?

 

පමුත් රාජපක්ෂ

රත්නපුර

 

ශබ්ද සඳහා විසඳුම් දිය හැක්කේ පරීක්ෂක ධාවනයකින් පසු එම ශබ්දය හොඳින් අසා කොටස් පරීක්ෂා කිරීමකින් පසුවය. කෙසේ වෙතත් පිටුපස ෂොකැබ්සෝබර්, ෂොක් මවුන්ට් ආදී කොටස්ද දක්ෂ කාර්මිකයෙකු ලවා පරීක්ෂාවට ලක් කරන්න.


මගේ මෝටර් රථය Toyota Corolla 111 කි. මෙම රෝටර් රථය එන්ජින් පද්ධතියක් සහිතව ආ මෝටර් රථයකි. එහි පිටුපස බ්රේක් ලයිනර් ඉතා ඉක්මනින් (මාසයක් යාමට පෙර) ගෙවී යයි. එමෙන්ම පිටුපස රෝද සිරවීමක්ද සිදුවේ. ලයිනර් අලුතින් සවි කරන ලදී. එමෙන්ම බ්රේක් පොම්පයේ වොෂර් සෙට් එක දමන ලදී. ඒත් ඒ ලෙඩ එලෙසම පවතී. ගරාජ් එකෙහි මෝටර් කාර්මිකයන් පැවසුවේ ABS බ්රේක් පද්ධතිය දැමීමට අවශ්‍ය බවයි. එහෙත් එය මිලදී ගත නොහැකිය. එම නිසා එය යථා තත්ත්වයට පත්කර ගත හැකිද?

 

පී. දිසානායක

මාතර

 

ABS (ABS Modulator) එක යෙදීමට සිදුවේ. එය අලුත්වැඩියා කළ නොහැකි අතර එහි කාණ්ඩ අංකයට ගැළපෙන ඒකකයක් එම මාදිලියේ හැර වෙනත් මාදිලිවල පැවතිය හැකි බැවින් මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ආයතනයක් හරහා ඒ පිළිබඳ පරීක්ෂා කරන්න.

රථවාහන ගැටලු සඳහා අපෙන් පිළිතුරු

(බදාදා දිනවල පමණයි.)

ආචාර්ය නුවන් මදනායක

 

ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු/ තාක්ෂණ උපදේශක

(හයිබ්‍රිඩ් මෝටර් රථ පිළිබඳ විශේෂඥ)

යොමුව | නදී

35. ඩී. ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ.

දුරකතනය - 2429429 ෆැක්ස් - 2429290

ඊ මේල් - [email protected]

මාතෘකා