වකුගඩු රෝගීන්ගේ ඉහමොළ අතගාන ජාවා‍රම්කරුවන්ගෙන් පරිස්සම් වෙන්න

 ඡායාරූපය:

වකුගඩු රෝගීන්ගේ ඉහමොළ අතගාන ජාවා‍රම්කරුවන්ගෙන් පරිස්සම් වෙන්න

“සම්පතෝ, උඹ මෙහෙම වැඩක් කරපං. මේ නැන්දා මිනිස්සු ළඟට ගිහිං සල්ලි ඉල්ලන කොට උඹත් අත් දෙක එකතු කරලා වැඳලා කියපං අනේ, අපේ මල්ලි බේරගන්න කීයකිං හරි ආධාරයක් කරන්න කියලා”.

“ඒ ළමයා ඇත්තටම මේ නැද්දගෙයි මාමගෙයිද උක්කුවා මාමේ.....”

කොලුවා ඇසුවේ ලොරියේ එල්ලා තිබෙන බැනරය දෙසත් ගැහැනිය අත වූ ලියවිල්ල දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

“උඹට ඒ පැහිච්චකං වැඩක් නෑනේ.....මොකෝ ජාතකේ හොයලා උඹ උප්පැන්න සහතික ලියන්ඩයැ. ඔය කිව්ව වැඩේ කරහං....”

(සවරංපාලිය - පිටුව 137)

වකුගඩු රෝගයක් හුවා දක්වමින් ජනතාව රවටා ආධාර මුදල් එකතු කරන කූට ජාවාරමක් ගැන ඉහත දැක්වූ ආකාරයේ කතාවක් ඇතුළත් වී තිබෙන්නේ අනුරාධා නිල්මිණිගේ “සවරංපාලිය” නවකතාවෙහිය. මීට අමතරව තැරැව්කරුවන් මඟින් විවිධ පුද්ගලයන් ගෙන්වා ඔවුන්ගේ වෛද්‍යවරයකු විසින් වකුගඩු රෝගීන්ට විකුණා ජාවාරමක් පාදක කර ගනිමින් නිර්මිත විමුක්ති ජයසුන්දරගේ “සුළඟ ගිනි අරන්” සිනමාපටයද අමතක කළ නොහැකිය.

මෙකී නොකී නවකතා සහ සිනමා නිර්මාණ මගේ මතකයට නැඟුණේ අසරණ වකුගඩු රෝගීන් දඩමීමා කර ගනිමින් ජාවාරමෙහි යෙදෙන වංචනිකයන් හතු පිපෙන්නාක් මෙන් අද සමාජයේ බිහි වී ඇති නිසාය.

හලාවත මාදම්පෙ පදිංචි කුමාර (අන්වාර්ථ නාමයකි) වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට භාජනය වූයේ 2007 වර්ෂයේදීය. මහනුවර රෝහලේ සාර්ථකව සිදු කෙ‍රුණු එම සැත්කමෙන් සුවය ලබා සාමාන්‍ය දිවියක් ගත කරන ඔහු දිනක් රාජ්‍ය නිලධාරියකු හමුවීමට ගියේ රාජකාරි අවශ්‍යතාවයකටය.

“ආ.... කොහොමද ? මම ඔයාව දන්නවා. දැන් සනීපද ? මම ඔයාගේ ඔපරේෂන් එකට සල්ලිත් දීලා තියෙනවා.” යනුවෙන් එම නිලධාරියා කුමාරට පැවසුවේ දැඩි හිතවත්කමක් පාමිනි. එය ඇසු කුමාරට උඩ බිම බැලිණි. ඒ ඔහුගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට කිසිදු මුදලක් එකතු නොකළ බැවිනි. වකුගඩුවක් අවශ්‍ය බව දන්වා පුවත්පත්වල දැන්වීම් පළ කළ ද මුදල් එකතු නොකළ බව ඔහුට සහතිකය. ඔහු ඒ බව රාජ්‍ය නිලධාරියාට දැක්වීය.

“ඇත්තද....... ඔයාගේ ෆොටෝ එක දාලා බැනර් ගහලා වෑන් එකකින් හලාවත ටවුමේ සල්ලි එකතු කළා. මම ඒකටයි සල්ලි දුන්නේ.” ඔහු පැවසීය. පුර්ව අපර කතා ගැළපීමේදී එම මුදල් එකතු කර තිබෙන්නේ කුමාර වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට මුහුණදී සුවපත් වූ පසුව බව අනාවරණය විය. මෙය අනුරාධා නිල්මිණිගේ සවරංපාලිය නවකතාවට සමාන සැබෑ කතාවකි.

ගම්පොළ ලක්මාල් දසනායක ද වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වකුගඩුවක් අවශ්‍ය බව දන්වා ජාතික පුවත්පතක දැන්වීමක් පළ කළ අයෙකි.

“පත්තරේ දැන්වීම පළ වුණාට පස්සේ ගොඩක් අය දුරකථනයට කතා කරලා ලක්ෂ 10ක් දෙනවා නම්, ලක්ෂ 15 ක් දෙනවා නම් වකුගඩු දෙන්න කැමතියි කියලා කිව්වා. ඔපරේෂන් එකට ඉස්සෙල්ලා අත්තිකාරම් මුදලක් දෙන්න කිව්වා. ඊට අමතරව වෛද්‍ය පරීක්ෂණවලට යන එන ගමන්වලට වෙනම ගෙවන්න ඕනෑ. මට වැඩිපුරම කතා කළේ කොළඹ, මහරගම, රාගම ප්‍රදේශවලින්.

අද හුඟක් රැවටිලිකාරයින් ඉන්න නිසා පරිස්සමෙන් කතා කරන්න කියලා මට මගේ වෛද්‍යවරයා උපදෙස් දීලා තිබුණේ. ඒ නිසා මම ඒ අයට පස්සේ කතා කරන්නම් කියලා නිශ්ශබ්ද වුණා. සමහරු කිව්වා එයාලා කියන රෝහලේ ඔපරේෂන් එක කරන්න ඕනෑ කියලා. මම කිව්වා එහෙම බැහැ. අපි මහනුවර රෝහලේ තමයි ඔපරේෂන් එක කරන්නේ කියලා.” යනුවෙන් විස්තර කළ ලක්මාල් දසනායකයට මේ වන විට මහනුවර ප්‍රදේශයේ කෙනෙකු වකුගඩුවක් පරිත්‍යාග කිරීමට එකඟ වී තිබීම සතුටට කරුණකි.

බොහෝ රෝගීන් අමාරුවේ වැටෙන්නේ පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවය. වංචනි‍කයෝ මෙම දැන්වීම් ඩැහැ ගනිති. එය උප‍යෝගි කරගෙන මුදල් ගරා ගැනීමට පිඹුරුපත් සකසති. අසරණ රෝගීහු මේ කිසිවක් නොදනිති. අවසානයේ දී පොහොසත් වන්නේ මෙම වංචනිකයෝ. රෝගීන්ට හිමිවන දෙයක් නැත.

වකුගඩු පරිත්‍යාග කිරීම අද වන විට මහා කුසල කර්මයකට වඩා හොඳ ව්‍යාපාරික ඉල්ලමක් බවට පත් වී ඇති බව සඳහන් කරන්නේ කනගාටුවෙනි. ඇතැම් වකුගඩු පරිත්‍යාගශීලින් රෝගීන් දෙතුන් දෙනකුටම වකුගඩු පරිත්‍යාග කිරීමට පෙලඹෙන්නේ දාන පාරමිතාව සම්පුර්ණ කර ගැනීමේ උතුම් චේතනාවෙන් නම් නොවේ. කීප දෙනකුගෙන්ම මුදල් කඩා ගැනීමටය. ඔවුන් ‍කොයි තරම් සුක්ෂමද කිවහොත් රෝගීන් කිපදෙනා සමඟම ඔවුහු වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණෙති. ඇතැම් විට ඔවුන් පලා යන්නේ ශල්‍යාගාරයට රැගෙන යෑමට විනාඩි කීපයක් තිබියදීය. ඒ මොහොත වන විට රෝගීන්ගේ ඥාතීන් වකුගඩු පරිත්‍යාගශීලින්ගේ ගිණුම‍‍ට මුදල් බැර කර ඇති බැවින් රෝගීන්ට සිදු වන්නේ වකුගඩුව සහ මුදල් අහිමි වීම වේදනාවෙන් දරාගෙන සිටින්නට පමණි.

ඔවුන්ට එරෙහිව පොලිසියකට ගොස් පැමිණිල්ලක් කළ නොහැකි වන‍්නේ සිරුරේ අවයව දන්දිය හැකි වුවත් විකිණීමට තහනම් නිසාය. බොහෝවිට වකුගඩු බද්ධ කිරීමෙන් අනතුරුව මුදල් ලබා දිය හැකි වුවත් තමාට ගැළපෙන වකුගඩු පරිත්‍යාගශීලියා අහිමි වේ යැයි යන බියෙන් ‍බොහෝ රෝගීන්ගේ ඥාතිහු පරිත්‍යාගශීලින්ට මුදල් ලබා දීමට පුරුදු වී සිටිති.

වර්තමානයේ මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එම අවස්ථාවලදි ඇතැම් වෛද්‍යවරුන් අවයව බද්ධ කළ රෝගීන්ගේ තොරතුරු මොළය මිය ගිය අයගේ ඥාතීන්ට හෙළිදරව් නොකිරීම‍ට පරිස්සම් වන්නේ එකී ඥාතීන් බද්ධ කළ රෝගීන්ගෙන් මුදල් ඉල්ලා කරදර කළ හැකි අවදානම වළකා ගැනීමටය. එහෙත් මෙලොව සැවොම එක වගේ නැත. කිසිදා නුදුටු, කිසිදු සබඳකමක් නැති නන්නාඳුනන වකුගඩු රෝගීන්ට වකුගඩු පරිත්‍යාග කරන බෝධිසත්ව ගති ගුණ ඇති උතුම් පුද්ගලයෝ තවමත් මේ මිහිපිට වාසය කරති. අසරණ රෝගීන් විකුණාගෙන මුදල් උපයන වංචනිකයන් අතර සිටින දාන පාරමිතා පුරණ බෝසත්වරුන් අප අමතක නොකළ යුතුය.

වකුගඩු බද්ධ කිරීම සඳහා වකුගඩු පරිත්‍යාග කිරීමේ මුවාවෙන් සිදු කෙරෙන වංචා පිළිබඳව විමසා බැලීමේදී තවත් අනුවේදනීය පුවතක් අසන්නට ලැබුණේ මහනුවර රෝහලේ වකුගඩු සායනයට පැමිණි රෝගියකුගෙනි. ඔහු සමඟ ප්‍රතිකාර ගැනීමට පැමිණි එක් පුද්ගලයකු වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගි වී තිබුණේ සිය බිරිය සහ වකුගඩු පරිත්‍යාගශීලියා සමඟය. සැත්කම ආසන්නයේදී ඔහුගේ බිරිය වකුගඩු පරිත්‍යාගශීලියා සමඟ පැන ගියාය. අවසානයේදී ඔහුට වකුගඩුවත් සිය බිරියත් අහිමි විය.

මේ අතරවාරයේදී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති බව හඟවා වාහන කොල්ලයක් සිදු කිරීමට තැත් කළ පුවතක් අප සමඟ පැවසුවේ නුගේගොඩ ඇඹුල්දෙණියේ පදිංචි ප්‍රසන්න ය. ඔහු සිය සොයුරියට වකුගඩුවක් ඉල්ලා පුවත්පත් දැන්වීමක් පළ කළ අතර ඊට බොහෝ ප්‍රතිචාර ලැබිණි. මරදාන ප්‍රදේශයේ අයෙකු ප්‍රසන්නට කතා කර පැවසුවේ ඔහු වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති බවත් ඒ පිළිබඳව වැඩි විස්තර කතා කර ගැනීමට පංචිකාවත්ත ප්‍රදේශයේ තැනකදී හමුවන ලෙසත්ය. ප්‍රසන්න එම ස්ථානයට සේන්දු වන විට මරදාන ප්‍රදේශයේ වෙනත් තැනකට පැමිණෙන ලෙස දන්වා තිබිණි. ඔහු එම ස්ථානයට ළඟා වනවාත් සමඟ නාඳුනන පුද්ගලයකු දිවවිත් ප්‍රසන්නට දන්වා ඇත්තේ ඉක්මනින් එම ස්ථානයෙන් පිටවන ලෙසය.

ප්‍රසන්න නවීන පන්නයේ මෝ‍ටර් රථයෙන් බැස වකුගඩු පරිත්‍යාගශීලියා සමඟ කතාබහ කිරීමට යන අතරවාරයේදී ඔහුගේ රිය රැගෙන පලා යෑම ඔවුන්ගේ අරමුණ වී තිබුණි. එකී විස්තරය දැන් වූ පුද්ගලයාට පින් දෙමින් ප්‍රසන්න එතනින් පිට වූයේ පුවත්පතක පළවන අසරණ රෝගීන්ගේ දැන්වීම් මුවාවෙන් මෙරට සිදු වන අපරාධ ගැන මෙනෙහි කරමින් ය.

වකුගඩු පරිත්‍යාගශීලින් වේශයෙන් වංචනිකයන් හා අපරාධකරුවන් පැමිණෙන විට සංවේදී කතා පුවත් රැගත් පුද්ගලයන්ද ඉඳහිට පැමිණෙන අවස්ථා ඇත. හලාවත මාදම්පේ පදිංචි කුමාරට වකුගඩුවක් පරීත්‍යාග කිරීමට කැමති පුද්ගලයෙක් කතා කළේය. ඔහු කුමාරට පවසා තිබුණේ සමූපකාරයක සේවය කරන සිය බිරිය මුල්‍ය වංචාවකට හසු වී ඇති බැවින් එම මුදල් පියවා ගැනීමේ අරමුණින් ඔහු වකුගඩුවක් දීමට සූදානම් බවය.

සාමාන්‍යයෙන් අපට නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ වකුගඩුවක් අවශ්‍ය බවට පළ කෙරෙන දැන්වීම් ය. එහෙත් වකුගඩුවක් ප්‍රදානය කිරීමට කැමති අයකු විසින් පළ කරනු ලැබූ දැන්වීමක් අහම්බෙන් නෙත ගැටී තිබුණේ මගේ හිතවත් මාධ්‍ය සගයකුටය. ඔහු ක්ෂණිකවම එම දැන්වීමේ සඳහන් දුරකථන අංකයට කතා කළේ දැන්වීමේ තිබූ සුවිශේෂත්වයත් සමඟ හටගත් කුතුහලය නිසාය.

“අනේ මහත්තයෝ, මම හිරේට නියම වෙන්න ඉන්න මිනිහෙක්. මගේ වැරදි නිසා තව නඩු වාර කීපයකින් මට හිරේට යන්න වෙනවා. මම වකුගඩුවක් විකුණලා සල්ලි හොයාගෙන ළමයින්ගේ පොත්වල දාලා උන්ට ජීවත් වෙන්න මාර්ගයක් පාදලා දෙන්න ඕනෑ නිසයි මම මේ දැන්වීම පළ කළේ. මම හිරේ ගියාම උන් ජීවත් වෙන්නේ කොහොමද මහත්තයෝ .......” ඔහු පැවසූ කතාවට මගේ මිතුරාගේ නෙතට කඳුළක් ඉනුවේ නිරායාසයෙනි.

වකුගඩුවක් විකුණා සිය දරු පවුල ජීවත් කිරීමට පියකු විසින් ගනු ලබන වෑයමක් ගැන ඒ ආකාරයට ඇසෙද්දි පියකු විසින් සිය රෝගී දරුවා විකුණාගෙන මුදල් උපයා ගත් කතා පුවතක් මට අසන්නට ලැබුණේ එක්තරා පුවත්පත් ආයතනයකදීය.

එම පුවත්පත් ආයතනයේ ඉරිදා පළවන පුවත්පතේ අසරණ රෝගී දරුවකුට ආධාර උපකාර ඉල්ලා සංවේදී කතා පුවතක් පළ විය. එය පළ වූ පසුව එම පුවත්පත් ආයතනයට එකී රෝගී දරුවාගේ මවත් ඥාතියකුත් පැමිණ ඔවුන්ගේ දරුවාට මුදල් අවශ්‍ය නොවන බවත් එකී දරුවා සැත්කමට භාජනය වී සුවපත් වෙමින් සිටින බවත් ප්‍රකාශ කළ අතර එම කතා පුවත පළ කළේ කාගේ වුවමනාවකටදැයි විමසා සිටියහ.

එකී රෝගී දරුවාගේ වෛද්‍ය වාර්තා, ඡායාරූප ඇතුළු සියලුම සටහන් පුවත්පතට රැගෙනවිත් භාරදී තිබුණේ දරුවාගේ පියාය. දරුවකුගේ පියා සියලු වාර්තා සමඟ කරන ඉල්ලීමක් ඉවත දැමීමට තරම් සාධාරණ හේතුවක් නැත. එහෙත් මෙම දරුවාගේ මව සහ පියා නීතියෙන් වෙන් වූ දෙපළකි. ඇත්ත වශයෙන්ම දරුවාගේ භාරකාරත්වය හිමි වී තිබුණේ මවටය. මව සිය සහෝදරයන් සමඟ දරුවා රැක බලාගෙන ජීවත් වන බැවින් ඔවුන්ට මුදල් අහේනියක් තිබුණේ නැත.

එහෙත් දරුවාගේ පියා සිය ලෙයින් උපන් දරුවාගේ රෝගී තත්ත්වය මුදල් සරි කර ගැනීමට යොදා ගත්තේ හිරිකිතක් නැතිවය.

වකුගඩු රෝගීන් ඇතුළු රෝගීන්ට මුවා වී කූ‍ට ලෙස මුදල් උපයා ගන්නා මේ සමාජයේ මෙවැනි පියවරුන් ගැන අප පුදුම විය යුතු නොවන්නේ අද සියලුම අගයන් මුදල් මත තීරණය වන සම‍ාජයක අප ජීවත් වන නිසාය.

[හර්ෂා සුගතදාස]

මාතෘකා