විදුලි බලශක්ති අවශ්‍යතාව සහ ශ්‍රී ලංකාවේ අනාගතය

 ඡායාරූපය:

විදුලි බලශක්ති අවශ්‍යතාව සහ ශ්‍රී ලංකාවේ අනාගතය

ශ්‍රී ලංකාවේ විදුලි බලශක්ති උත්පාදන ශක්‍යතාවය ( Total Installed Power Generation Capacity ) 2016 වසර සඳහා නිකුත් කරන ලද දත්ත සංඛ්‍යා ලේඛන අනුව ගිගාවොට් 4.018ක පමණ අගයක් ගෙන ඇත.

මෙම ඓක්‍යය සෑදෙනුයේ ගිගවොට් 0.9 ( මෙගවොට් 900 ක් ) ගල් අඟුරු දහනයෙන් රත්වන ජලය ජල වාෂ්ප බවට පත්කිරීමෙන් ද, ගිගවොට් 1.335ක ප්‍රමාණයක් ඛණිජතෙල් දැවීමෙන්ද, ගිගවොට් 1.375ක ධාරිතාවක් ජල ප්‍රවේගය සහ බලය මගින් ද, ගිගවොට් 0.442 (මෙගවොට් 442) ක් ක්ෂුද්‍ර බළාගාර, සුළං බලය, සූර්ය තාපය, ජෛව ස්කන්ධ දහනය (Biomass) සහ සූර්ය ආලෝකය යනාදි ක්‍රමවේදයන් මගින්ද උත්පාදනය කරනු ලැබීමෙනි.  

එමෙන්ම එම 2016 වසර සඳහා මෙරට විදුලි බලශක්ති ඉල්ලුම ලෙස වාරතා වූයේ ගිගවොට් 2.453 ( මෙගවොට් 2,453) වන අතර, එම ඉල්ලුමෙන් 38% ගෘහස්ථ පරිභෝජනය මගින්ද, 39% කර්මාන්තාශ්‍රිත පරිභෝජනය මගින්ද, 20% වාණිජ්‍ය සේවාස්ථාන සහ ව්‍යාපාරික ආයතන මගින්ද ජනනය කර ඇත.  

මෙම ආසන්නතම යාවත්කාලීන දත්ත හුවා දක්වන ලද 2016 වසරේ සිට වසර විස්සක් තෙක් ඉතිහාසය පිරික්සා බලන කල, දැක ගත හැකි දෙය නම්, එම වසර විස්සක කාලය තුළ මෙරට විදුලි උත්පාදන ශක්‍යතාවය වාර්ෂිකව 5% ක පමණ දළ වර්ධනයක්ද, එම කාලය සඳහා විදුලි ඉල්ලුම වාර්ෂිකව 3%-4% පමණ දළ වර්ධනයක්ද රඳවා ගෙන තිබෙන බවයි.   

මෙරට ආර්ථික බල කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරය ආශ්‍රිතව අධිවේගයෙන් යටිතල පහසුකම් පුළුල් කිරීමේ ඉලක්ක සහිත සැලසුම් ක්‍රියාවේ යෙදවීමද, අක්කර 570 කට වඩා විශාල භූමි ප්‍රදේශයක් මුහුදින් අත්පත් කර ගනිමින් ඉදිවෙන කොළඹ ජාත්‍යන්තර වාණිජ්‍ය නගරය වැනි දැවැන්ත ව්‍යාපෘති කඩිනමින් ඒවායේ ගොඩනැගිලි ඉදිකිරීමේ අදියරයන් කරා මෙහෙයවීමද සිදුවෙමින් පවතී.    

මේ සමග ජාත්‍යන්තර ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස අනාගතයේදී ශ්‍රී ලංකාව ඉටු කිරීමට නියමිත භූමිකාව ගැන, මනා විචක්ෂණශීලිත්වයකින් යුතුව බලන්නේ නම්, අප හට පෙනී යා යුතු කරුණ වන්නේ, ඉහත සඳහන් කරන්නට යෙදුණු විදුලි බලශක්ති ඉල්ලුමේ වාර්ෂික දළ අගයන්ද මේ සියලු ප්‍රයාමයන්ට සමගාමීව දිගු පිමි පනිමින් ඉහළ යා හැකි බවය.    

මෙම ආර්ථික සංරචකවලට බද්ධව පවතින සාමාජීය කරුණු සලකා බැලුවහොත්, ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහාද අභ්‍යන්තර දහන එන්ජින් සංකල්පයෙන් බැහැරව, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රවාහක මාධ්‍යයන් ආදේශ කිරීමට, 2018 වසර සඳහා අයවැ‍ය ප්‍රතිපත්ති මගින් හෙළි කරන ලද පරිදි, රජය සතු සැලසුම් ක්‍රියාත්මක කිරීමේදීද, විදුලි දුම්රිය, බස් රථ වැනි පොදු ප්‍රවාහන අවශ්‍යතා සඳහා විදුලිය මගින් බලය සපයන රථ යොදා ගැනීමේදීද, මෙරට විදුලි බල ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි විය හැකි බවට අප අනුමාන කළ යුතුය.    

2017 වසරේ අප්‍රේල් මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලය මගින් වර්ෂ 2018 - 2037 කාලය සඳහා විදුලි බල උත්පාදන ශක්‍යතාව වර්ධනය කිරීමට දිගු කාලීන සැලසුමක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය උදෙසා ඉදිරිපත් කරන ලද අතර, ඒ ආශ්‍රිතව ඇතිවූ මහජන කතිකාවතේදී මෙම වසර අවසන් වන්නට ප්‍රථම විදුලි ජනන ශක්‍යතාවය ගිගවොට් 4.3 ක් පමණ දක්වා ඉහළ දැමීමටත්, වසර 2037 වනවිට එම අගය ගිගවොට් 10 දක්වා ඉහළ දැමීමටත් ක්‍රමවේදයන් එම දිගුකාළීන සැළසුමෙහි අන්තර්ගත බව සඳහන් කරන ලදී.    

ශ්‍රී ලංකාව රටක් ලෙස එහි ආර්ථික සහ සාමාජීය සන්දර්භයන්ගේ ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටී. මෙයින් ඔබ්බට සිය ජාතික ප්‍රතිපත්ති සංවර්ධනයේ අරමුණු ඉටුවන දිශානතියට මෙහෙයවීමේදී, වඩාත් වැදගත් වනුයේ මෙම විදුලි බල ශක්ති අවශ්‍යතාව ඊට ඇවැසි පරිදි සපුරාලන දෘඪතර බලශක්ති ජනන සැළසුම් සම්පාදනයේ අවශ්‍යතාව හඳුනාගෙන, එබඳු සැළසුම් සම්පාදනයේ සහ ක්‍රියාවේ යෙදීමේ ලා දෙස්, විදෙස් විශේෂඥ සහාය ලබා ගෙන, මනා පෙර සූදානමක් සහිතව මෙරට ආර්ථිකයෙහි වඩාත් තීරණාත්මකම දශකයන් වෙත ප්‍රවිෂ්ඨ වීමයි.  

එසේ කිරීමෙහි ලා බාධක මැඩ පැවැත්වීමට හෝ මගහැර යාමට උපායශීලී විය යුතු අතර, විවිධ පාර්ශ්ව විසින් වපුරනු ලබන දුරාවබෝධයන්ගේ අහිතකර බලපෑම් අවම කරලීම සඳහා සමාජය විධිමත්ව දැනුවත් කරලීමේ ක්‍රියාවලිද ඊට සමාන්තරව ආරම්භ විය යුතුය. එමෙන්ම විදුලි ජනනයේ ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණය සඳහා පෞද්ගලික අංශයේද සහභාගිත්වය ප්‍රමිතිගතව සහ විධිමත්ව වර්ධනය කළ යුතුය. නමුත් මෙකී විදුලි අවශ්‍යතාව සපුරාලීමෙහි ලා කේවළ ක්‍රමවේදයන්ට වඩා, රජය සමස්තය හසුරුවන ශක්තිමත් ප්‍රතිපත්ති සැකසීමෙහි උත්සුක වීම අනිවාර්ය විය යුතුය.    

නො-එසේ නම් සිදුවනු ඇත්තේ, වසර 2025 පමණ වනවිට මිලියන 25 සීමාවට ආසන්න වන අපගේ ජනගහණයේ ප්‍රගතියේ ගමන් මගට ඇවැසි විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අදාළ විදුලි ජනන යාන්ත්‍රණයන් අපොහොසත් වීමෙන්, වත්මනේ මෙරට වෙසෙන සහ අනාගතයේ වෙසෙනු ඇති ජනයා සුඛිත මුදිත කරලීමේ ඉලක්ක කරා මෙහෙයවන සැලසුම් අඩාළ වීමය.

[දමිත් කේතක]

මාතෘකා

ජනප්‍රිය ලිපි