නං දැමිල්ලේ විත්තිය...

 ඡායාරූපය:

නං දැමිල්ලේ විත්තිය...

මොරගහකන්ද කුලසිංහ ජලාසය සහ රාජගිරියේ මාදුළුවාවේ සෝභිත හිමි ගුවන් පාලම විවෘත කරනවා දැක්කෙමි.

ජලාසෙන් ලැබෙන වතුර හා පාලමෙන් තදබදය ඉවර වෙනවාද නැද්ද.. ඡන්දෙ අස්සේ විවෘත කළේ මොකෝ මැකෝ කියා හෝ කතා කරනවාට වඩා ඔය නම් දැමිල්ල ගැන කතා කළ නිසා මට නං හිතුණේ ජනාධිපතිතුමා නම් දැමීම ගැන මීට වඩා සිතිය යුතු බවය.

අම්මප අපෙ හාන්දුරුවනේ, මම ජනාධිපතිනං ඉතින් ඕකට මොරගහකන්ද චමල් අකලංක පොල්වත්තගේ අන්තර්ජාතික ජලාසය හා රාජගිරිය චමල් අකලංක පොල්වත්තගේ ගුවන් පාලම ලෙස නම ගහගන්නවාය..

ඒ විතරක් නෙමෙයි මා ප්‍රිය ඡන්ද දායක හිතෝතුනි, මම ගෙන්නනවා ඉන්දියාවෙන් ශ්‍රියා ගෝසාල්..  ආයුබෝවේවා පොල්වතාණෙනි.. කියලා ශ්‍රියාගේ මිහිරි කටහඬින් සින්දුවක් කියාගෙන.. දීපිකා පදුකෝන් ප්‍රමුඛ කැන්ඩියන් ඩාන්සර්ස් නැටුම් කණ්ඩායම ගෙන්නා, ඔතන වේල්ල අරින්න කලින් මඩේ නටා, සතියක් මාගේ දහ අට රියන් කටවුට් සමග ඡන්දේ ඉවර වෙනකන්ම මහ බැංකුවෙන් බැඳුම්කරයක් නිකුත් කර හෝ සල්ලි හොයාගෙන බ්‍රේකින් නිව්ස් දමනවාය. දීපිකා එක්ක අගමැතිතුමා නටන්න හැදුවොත්නං ඉතින් අම්මපා ගෙදර යවනවාමය.

නැටුම හොඳනං දීපිකා පදුකෝන් මාවත ලෙස කොට්ටාවෙන් පාරකට නමකුත් දමා බස් හෝල්ට් එකකුත් හදා මහ ඇමති තුමාට කියා විවෘත කරනවාය.

ගුවන් පාලමටනං ඉතින් සෝබිත හාමුදුරුවන්ගේ නම දාපු එක ගැන මගේ අමනාපයක් නැති අතර විධායකය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය, හොරු ඇල්ලීම, සාධාරණ සමාජයක් බිහි කිරීම ආදී පොඩි පොඩි සිඟිති වැඩ නැතුව උන්වහන්සේගේ හිත සතුටු වීමට ලංකාවේ ලොකුම ගුවන් පාලමටම නම දැමීම ගැන හද පතුලෙන් බුර බුරා නගින සතුටක් ඇත. මේ ඔක්කොමත් හරි මට තවමත් විසඳාගත නොහැකි ගැටලුව වූයේ එදා ජලාසය විවෘත කරන වෙලාවේ කිව්වේ මංගල දියවර නිකුත් කළා කියාය..

නමුත් දියවර නිකුත් කළේ ජනාධිපති හා අගමැති තුමාය..

පෙර මෙන් නොව ජනමාධ්‍ය ස්වාධීනත්වයේ මුදුන් මල්කඩ ලෙස වැජඹෙන රාජ්‍ය මාධ්‍ය, මංගල සමරවීර මහත්තයා මාධ්‍ය ඇමති නිසා බොරුවට නම කීම නං වරදිය.

[චමල් අකලංක]

මාතෘකා