කලාකාරයො ලොකුද?

 ඡායාරූපය:

කලාකාරයො ලොකුද?

අනේ මම අවුරුදු හත්සිය දාහතරක් සින්දු කිව්වා, මට තාම ගෙයක් නෑ. මං චිත්‍රපටි එක්කෝටි දාහතරලක්ස තිස් හතරදාස් පන්සීය දෙකක රඟපෑවා දැන් මට සලකන්න කවුරුත් නෑ. අහවල් නාට්ටිය කළා. අහවල් සින්දුව ලිව්වා. මේ රටේ කලාකාරයන්ට සලකන්නෙ නෑ. අනේ මට ඉන්න ගෙයක් නෑ. රටට කොච්චර රඟපෑවත් අපි කුලියට ඉන්නෙ. ගමටම ණයයි. ලොකු අම්මේ...! 

ලංකාවෙ ‘කලාකාරයන්ගේ’ මේ ආකාරයේ නොයෙක් හීල්ලීම් හොටු පෙරීම් දැක මේක ලියන්න හිතු‍ෙණ.


අසරණ මනුස්සයෙක් ඉන්නවනං ගෙයක් හදල දෙන එක, බෙහෙත් ටිකක් අරන් දෙන එකේ කිසිම වැරැද්දක් නැත. රජයට බැරිනං අපි හරි කරලා දෙනවාය. ඒ නිසා අසරණ මනුස්සයෙකුට පිහිට වීමයි අපි අහවල් කාලයක් කලාව කළා, ඒක හින්දා උදව් කරපන් කීමයි පටලවා ගැනීමෙන් වළකින්න.


කලාකරුවෙක් කරන්නේද වෘත්තියකි. අනිත් වෘත්තීන් කලාකරුවාගෙන් වෙනස් වෙන්නේ මොන ලොකු මෑණියන්ගේ වස්තරයක තර්කයකින්ද කියා මට තේරෙන්නේ නැත. වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් තමන්ගෙ දැනුම විකුණනවා සේම, සපත්තු හදන්නෙක් තමන් හදන සපත්තු විකුණනවා සේම කලාකාරයෙක් කරන්නේද සින්දුවකින් රංගනයකින් සංගීතයකින් චිත්‍ර ඇඳීමකින් හෝ වෙන මොන දේකින් හෝ තමන්ගේ හැකියාවක් විකිණීමයි.


මෙතන තියෙන්නේද ලංකාවේ ගෝත්‍රිකක ජීවීන්ට ආවේණික වෘත්තියක්, වෘත්තියක තත්ත්වයේ නොතියා පූජනීයත්වයට පත්කිරීමේ විකාරයේ ප්‍රතිපලය.


දේශපාලඥයන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් කලාකරුවන්ගෙන්ද අපි දැන් විඳින්නේ ඒ විකාරයේ ප්‍රතිඵලයි.


උඹ සින්දු කියපන් නැත්තං මරනවා කියා බෙල්ලට පිහිය තියා ඔය එකෙකුටවත් සින්දු කියන්නට කියා කවුරුත් කියා නැත. අනේ ඔයා රඟපෑවෙ නැත්තං අපි මැරෙනව කියා ලංකාවේ උන් නාහෙන් අඬා නැත. ඔය හැමෝම කරන්නේ තෝරාගත් වෘත්තියකි. එයින් හම්බකරගෙන තමන්ගේ විශ්‍රාමික ජීවිතය සකසා ගැනීම තම තමන්ගේ වගකීම විනා අනේ අපි සින්දු කිව්වා මට දැන් ගෙයක් හදලා දෙන්න කීම විකාර කතාවකි. කලාව කරන කාලයේ මුදලක් ඉතිරි නොකරගෙන අනාගත සැලසුමක් නැතිව වයසට ගියාට පසු අනේ අපි ඔයාලා වෙනුවෙන් කලාව කළා අපිට ගාණක් දෙන්න කීම විකාරයකි.


ඒ වෙලාවට හිතෙන්නේ හරිහමන් ගාණක් ලැබෙන්නෙ නැත්තං වෙන රස්සාවක් නොකර මොන බම්බුවටද හලෝ තමුන් කලාව කළේ කියා අහන්නටය.


ලංකාවේ ‘දේශපාලුවෝ’  ‘කලාකාරයන්ට’ තියන ජනප්‍රියත්වය පෙන්නා ඡන්ද කඩාගැනීමට උන්ව නම්මා ගැනීමේ උපක්‍රමයක් ලෙස උන්ට ගෙවල් දීමේ, වාහන දීමේ, උපදේශක පට්ටම් දීමේ බහුබූතයක් ඇරඹූහ. දැන් ලංකාවේ සමහර කලාකාරයෝ හිතන් ඉන්නේ ඒ අනිත් වෘත්තීන්වලට නොසලකා උන්ට විතරක් සැලකුවේ පිටසක්වළින් ගෙනා විශේෂ මෙව්වා එකක් හෝ එයාලා අතිපූජනීය ජීවීන් කොටසක් නිසා බවයි.


අනේ ප්ලීස් ඇහැරෙන්න.


ඔයාලට කැමති එවුන්ගෙ ඡන්ද කඩාගන්න ඔයාල කඩේ යවන්න ඕන නිසා මිසක් වෙන මොන කෙහෙල් ඇවරියක් නිසාවත් ඔයාලට සැලකුවේ නැත. හන්දියේ කඩල විකුණන කොලුවාට ඡන්ද පන්දහක් අරන් දීමට හැකිනං අර දේශපාලුවෝ කොලුවාටද ගෙයක් දෙනු ඇත. එතකොට ඌ හිතනවානං මගේ අහවල් පූජනීය එකක් නිසා ඌට ගෙයක් දුන්නා කියා ඒකට බෙහෙත් අරන් දෙනවා ඇරෙන්න වෙන කිරීමට දෙයක් නැත.


ලංකාවේ සමහර කලාකාරයින් හිතා ඉන්නා පරිදි උන්ට රජය අනිවාර්යෙයෙන් දැඩි සත්කාර ඒකකයේ තබා සැලකිය යුතුය. විශ්‍රාම වැටුප් දීම, ගෙවල් දීම, පඩියක් දීම, වාහනයක් දීම අනිවාර්යයෙන් කළ යුතු අයිතිවාසිකමක් කියා හිතාගෙන සිටියි. ඔව් ඔව් ඔයාලට වාහන දෙන්න තමයි මිනිස්සු ආණ්ඩු පත් කරන්නෙ. අනේ මේ නිකං ඉන්න ඒයි.


ඒක නිසා ඔයාලයි අනිත් අයගෙයි ඇති වෙනසක් නැත. ඔයාලා පූජනීයද නැත. ඔයාලා විසේස සත්ව කොට්ඨාසයක් වන්නේද නැත. ඔයාලට කවුරුත් මන්න බෙල්ලට තබා කලාව කරන්නට කියාද නැත. අපි අහවල් සින්දු කළා, අහවල් රංගනය කළා ඒක නිසා අපිට ගෙයක් දීපන් අරක දීපන් මේක දීපන් කියා නාහෙන් අඬන්න ඉන්නවානං අනේ ප්ලීස් අපිට ඔයාගෙ නල්ලමලේ කලාව එපා. ඕක පැත්තකින් තියලා රස්සාවක් කරලා දෙයියනේ කියලා ජීවත් වෙන්න අනිත් උන්ට වද දෙන්නෙනැතුව.


(කලාව කේවල් නොකරන වෘත්තීයමය කලාකරුවන් සඳහා මෙය අදාළ නොවේ.)

[චමල් අකලංක]

මාතෘකා